Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 45

ගීතිකාව 138 පැසුණු හිසකෙස් අලංකාරය

විශ්වාසවන්ත පුරුෂයන්ගේ අවසන් වදන්වලින් පාඩම්

විශ්වාසවන්ත පුරුෂයන්ගේ අවසන් වදන්වලින් පාඩම්

“ප්‍රඥාව තියෙන්නේ වයසින් මුහුකුරා ගිය අය ළඟ නෙවෙයිද? තේරුම්ගැනීමේ හැකියාව තියෙන්නේ හුඟ කාලයක් ජීවත් වුණ අය ළඟ නෙවෙයිද?”යෝබ් 12:12.

ලිපියේ අරමුණ

යෙහෝවාට කීකරු වෙද්දී දැන් ආශීර්වාද ලැබෙනවා විතරක් නෙවෙයි අනාගතේදී සදාකාල ජීවිතෙත් ලැබෙනවා.

1. වැඩිහිටි අයගෙන් අපි ඉගෙනගන්න ඕනෙ ඇයි?

 ජීවිතේ වැදගත් තීරණ ගන්න අපි ඕනෙම කෙනෙක්ට හොඳ මඟ පෙන්වීම් ඕනේ. අපිට පුළුවන් ඒ වගේ මඟ පෙන්වීම් වැඩිමහල්ලන්ගෙන් සහ අවබෝධයෙන් වැඩ කරන වෙනත් ක්‍රිස්තියානීන්ගෙන් ලබාගන්න. හැබැයි කෙනෙක් අපිට වඩා වයසින් ගොඩක් වැඩි වුණා කියලා එයා කියන දේවල් අද කාලෙට ගැළපෙන්නේ නැහැ කියලා හිතන්න හොඳ නැහැ. යෙහෝවා කැමතියි අපි හැමෝම වැඩිහිටියන්ගෙන් ඉගෙනගන්නවා දකින්න. මොකද එයාලට අපිට වඩා ගොඩක් අද්දැකීම්, අවබෝධය, ප්‍රඥාව තියෙනවා.—යෝබ් 12:12.

2. අපි අද ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 බයිබල් කාලවලදී යෙහෝවා තමන්ගේ සෙනඟට මඟ පෙන්නන්න, දිරිගන්වන්න වැඩිහිටි වගේම විශ්වාසවන්ත පුරුෂයන්ව පාවිච්චි කළා. ඒ වගේ කීපදෙනෙක් තමයි මෝසෙස්, දාවිත් සහ යොහන්. එයාලා ජීවත් වුණේ වෙනස් කාලවල්වල. එයාලා මූණ දුන්න දේවලුත් වෙනස්. ජීවිතේ අවසාන කාලේදී එයාලා යෞවන අයට ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් දුන්නා. ඒ තුන්දෙනාම දෙවියන්ට කීකරු වෙන එක කොච්චර වැදගත්ද කියලා කාවැද්දුවා. එයාලා දුන්න මඟ පෙන්වීම් යෙහෝවා අපේ ප්‍රයෝජනයට බයිබලේට ඇතුළත් කළා. ඒ නිසා එයාලා කියපු දේවලින් බාල, මහලු කොයි කාටත් ප්‍රයෝජන ගන්න පුළුවන්. (රෝම 15:4; 2 තිමෝ. 3:16) ඒ විශ්වාසවන්ත පුරුෂයන් එයාලාගේ ජීවිතේ අන්තිම කාලේදී කිව්වේ මොනවාද? එයාලා කියපු දේවල්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි බලමු.

‘ඔයාලට ගොඩක් කල් ජීවත් වෙන්න ලැබෙනවා’

3. දෙවියන්ටයි, සෙනඟටයි මෝසෙස් සේවේ කළේ මොන විදිවලින්ද?

3 මෝසෙස් යෙහෝවා වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා සේවේ කරපු කෙනෙක්. එයා අනාගතවක්තෘවරයෙක්, විනිශ්චයකරුවෙක්, හමුදාපතියෙක් සහ ලේඛකයෙක් විදිහට සේවේ කළා. එයාට ගොඩක් අද්දැකීම් තිබ්බා. එයාව තමයි යෙහෝවා පාවිච්චි කළේ ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවගන්න. මෝසෙස් යෙහෝවා කරපු හුඟක් ආශ්චර්යයන් ඇස් දෙකෙන්ම දැක්කා. යෙහෝවා එයාව බයිබලේ මුල් පොත් පහ, ගීතාවලිය 90 සහ පේන විදිහට ගීතාවලිය 91 ලියන්නත් පාවිච්චි කළා. යෝබ් පොත ලියන්න ඇත්තෙත් මෝසෙස් කියලා හිතන්න පුළුවන්.

4. මෝසෙස් දිරිගැන්නුවේ කාවද? ඒ ඇයි?

4 මෝසෙස් මැරෙන්න ටික කාලෙකට කලින් ඒ කියන්නේ එයාට අවුරුදු 120දී ඊශ්‍රායෙල්වරුන්ව රැස් කරලා එයාලා ඇස්වලින් දැකපු, අද්දැකපු දේවල් ආයේ මතක් කළා. එතන හිටපු සමහරු යෞවන කාලේදී යෙහෝවා කරපු ආශ්චර්යයන් දැක්කා. ඊජිප්තුවරුන්ට යෙහෝවා දඬුවම් කරපු විදිහ, රතු මුහුද දෙබෑ කරලා ඊශ්‍රායෙල්වරුන්ව පරෙස්සමින් ගෙනාපු විදිහ, පාරාවෝගේ හමුදාව සුනුවිසුනු කරපු විදිහ එයාලා දැක්කා. (නික්. 7:3, 4; 14:29-31) පාළුකරයේදී යෙහෝවා එයාලව බලාගත්ත විදිහත් ආරක්ෂා කරපු විදිහත් එයාලා අද්දැක්කා. (ද්වි. 8:3, 4) දැන් එයාලා ඉන්නේ පොරොන්දු දේශයට යන්න ඔන්න මෙන්න කියලා. ඉතින් මේ ලැබුණ අවසාන අවස්ථාව මෝසෙස් පාවිච්චි කළා එයාලව දිරිගන්වන්න. a

5. මෝසෙස්ගේ අන්තිම වචනවලින් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න සහතිකය මොකක්ද? (ද්විතීය කතාව 30:19, 20)

5 මෝසෙස් කිව්වේ මොනවාද? (ද්විතීය කතාව 30:19, 20 කියවන්න.) ඊශ්‍රායෙල්වරු ඉස්සරහා තිබ්බේ ලස්සන අනාගතයක්. යෙහෝවාගේ ආශීර්වාදය තිබුණ නිසා පොරොන්දු දේශයේ සෑහෙන කල් ජීවත් වෙන්න එයාලට අවස්ථාව තිබුණා. ඒක කිසිම දේකින් අඩුවක් නැති, සරු, ලස්සන දේශයක්. මෝසෙස් මෙහෙම කිව්වා. “ඒ දේශයේ තියෙන හරිම ලස්සන, විශාල නුවරවල් ඔයාලා ඉදි කළේ නැති වුණාට ඒවා ඔයාලට අයිති වෙනවා. හැම සැප සම්පතක්ම තියෙන එයාලාගේ ගෙවල්, පොකුණු, මිදිවතු, ඔලීවවතු ඔයාලට අයිති වෙනවා. ඒවා හදන්නවත් ඒවා වගා කරන්නවත් ඔයාලා මහන්සි වුණේ නැති වුණාට ඒ හැම දෙයක්ම ඔයාලට අයිති වෙනවා.”—ද්වි. 6:10, 11.

6. ඊශ්‍රායෙල්වරුන්ව යටත් කරගන්න යෙහෝවා අනිත් ජාතීන්ට ඉඩහැරියේ ඇයි?

6 මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟවීමකුත් දුන්නා. එයා කිව්වා ඒ දේශයේ දිගටම ජීවත් වෙන්න නම් එයාලා අනිවාර්යයෙන්ම යෙහෝවාට කීකරු වෙන්න ඕනෙ කියලා. දෙවියන්ට කීකරු වෙලා, ‘ඔහුව අත්හරින්නේ නැතුව ජීවනයට යන මාර්ගය’ තෝරගන්න කියලා මෝසෙස් එයාලාගෙන් ඉල්ලුවා. හැබැයි එයාලා යෙහෝවාට අකීකරු වුණා. ඒ නිසා කාලයත් එක්කම දෙවියන් ඇසිරියානුවන්ටයි, බැබිලෝනිවරුන්ටයි ඉඩ දුන්නා එයාලව යටත් කරගෙන වහල්භාවයට ගෙනියන්න.—2 රාජා. 17:6-8, 13, 14; 2 ලේක. 36:15-17, 20.

7. මෝසෙස් කියපු දේවල්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

7 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? කීකරු වෙද්දී සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඊශ්‍රායෙල්වරු වගේම අපි ඉදිරියෙත් පොරොන්දු දේශයක් තියෙනවා. අපි දන්නවා ළඟදීම මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලා. (යෙසා. 35:1; ලූක් 23:43) එදාට සාතන් සහ භූතයෝ නැහැ. (එළි. 20:2, 3) යෙහෝවාගෙන් මිනිස්සුන්ව ඈත් කරන බොරු ආගම් නැහැ. (එළි. 17:16) මිනිස්සුන්ව තළලා පෙළලා දාන මිනිස් ආණ්ඩුත් නැහැ. (එළි. 19:19, 20) කැරලිගහන අයට පාරාදීසේ කිසිම ඉඩක් නැහැ. (ගීතා. 37:10, 11) මිනිස්සු හැමෝම යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට කීකරු වෙන නිසා හැමෝම අතර සාමය, එක්සත්කම තියෙනවා. එයාලා හැමෝම එකිනෙකාට ආදරේ කරනවා. එකිනෙකාව විශ්වාස කරනවා. (යෙසා. 11:9) අපි දිගටම යෙහෝවාට කීකරු වෙනවා නම් අපිට පාරාදීසේ අවුරුදු සීයක් දෙසීයක් නෙවෙයි සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—ගීතා. 37:29; යොහ. 3:16.

අපි යෙහෝවාට කීකරු වෙනවා නම් පාරාදීසේදී අවුරුදු සීයක් දෙසීයක් නෙවෙයි සදාකාලෙටම ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා (7 ඡේදය බලන්න)


8. සදාකල් ජීවිතේ ගැන යෙහෝවා දීලා තියෙන පොරොන්දුව සහෝදරයෙක්ට උදව් වුණේ කොහොමද? (යූද් 20, 21)

8 සදාකල් ජීවිතේ ගැන යෙහෝවා දීලා තියෙන පොරොන්දුව අපි හැම වෙලේම මනසේ තියාගද්දී මොන ප්‍රශ්න ආවත් අපි යෙහෝවාව අත්හරින්නේ නැහැ. (යූද් 20, 21 කියවන්න.) අපේ දුර්වලකම් එක්ක සටන් කරන්නත් ඒක අපිට උදව් වෙනවා. අවුරුදු ගාණක් අප්‍රිකාවේ මිෂනාරි සේවේ කරපු සහෝදරයෙක් වැරදි පෙලඹීමක් එක්ක සටන් කළා. එයා මෙහෙම කිව්වා. “මං මේක හදාගත්තේ නැත්නම් මට නැති වෙන්නේ සදාකාල ජීවිතේ. ඒක එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඒ ගැන හිතන එක මට උදව් වුණා කොහොමහරි මේක හදාගන්න ඕනෙ කියලා අධිෂ්ඨාන කරගන්න. ඒ නිසා මං වැඩි වැඩියෙන් යෙහෝවාගෙන් ඉල්ලුවා මේක හදාගන්න උදව් කරන්න කියලා. ඔහුගේ උදව්වෙන් මං අන්තිමේදී ඒකෙන් ගොඩ ආවා.”

“ඔයා සාර්ථක වෙයි”

9. දාවිත් මූණ දුන්නේ මොන වගේ අභියෝගවලටද?

9 දාවිත් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. එයා සංගීතඥයෙක්, කවියෙක්, රණශූරයෙක් සහ අනාගතවක්තෘවරයෙක්. එයා ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට මූණ දුන්නා. ඉරිසියාවෙන් පැළුණු සාවුල් රජගෙන් පලා ගිහින් එයා අවුරුදු ගාණක් තැනින් තැන ජීවත් වුණා. රජ වුණාට පස්සෙත් එයාගේ පුතා අබ්සලොම් රජකම පැහැරගන්න ගිය නිසා ජීවිතේ බේරගන්න එයාට ආයෙත් පලා යන්න වුණා. ජීවිතේ හැලහැප්පීම්වලට මූණ දුන්නත් එයා අතින් බරපතළ වැරදි වුණත් දාවිත් අවසන් හුස්ම හෙළන කල්ම යෙහෝවාව අත්හැරියේ නැහැ. ඒකයි යෙහෝවා කිව්වේ දාවිත් “මගේ හිත සතුටු කරන කෙනෙක්” කියලා. ඒ නිසා දාවිත් කියපු දේවල්වලට අපි ඇහුම්කන් දෙන එක වටිනවා.—ක්‍රියා 13:22; 1 රාජා. 15:5.

10. සලමොන්ට දාවිත් උපදෙස් දුන්නේ ඇයි?

10 උදාහරණෙකට තමන්ගේ පුතා සහ ඊළඟ රජ වන සලමොන්ට දාවිත් කිව්වේ මොනවාද කියලා අපි බලමු. යෙහෝවාට නමස්කාර කරන්න දේවමාලිගාවක් හදන්න යෙහෝවා තෝරගත්තේ සලමොන්ව. (1 ලේක. 22:5) ඒ නිසා සලමොන් ඉස්සරහා ගොඩක් අභියෝග තිබ්බා. ඉතින් මොනවාද දාවිත් එයාට කිව්වේ?

11. දාවිත් සලමොන්ට දීපු උපදෙස මොකක්ද? (1 රාජාවලිය 2:2, 3) කීකරු වෙද්දී සලමොන් ආශීර්වාද ලැබුවේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

11 දාවිත් කිව්වේ මොනවාද? (1 රාජාවලිය 2:2, 3 කියවන්න.) දාවිත් සලමොන්ට කිව්වා යෙහෝවාට කීකරු වුණොත් එයාගේ ජීවිතේ සාර්ථක වෙයි කියලා. කීකරු වුණ නිසා සලමොන් අවුරුදු ගාණක්ම සාර්ථක වුණා. යෙහෝවා එයාට ගොඩක් විදිවලින් උදව් කළා. (1 ලේක. 29:23-25) එයා අතිශ්‍රේෂ්ඨ මාලිගාවක් හැදුවා. බයිබලේ පොත් කීපයක්ම ලිව්වා. එයා කියපු දේවල් බයිබලේ තව පොත්වලත් සඳහන් වෙනවා. එයාගේ ප්‍රඥාව, ධන සම්පත් නිසා හැමෝම අතරේ සලමොන් ගොඩක් ප්‍රසිද්ධ වුණා. (1 රාජා. 4:34) හැබැයි දාවිත් කිව්වේ සලමොන්ට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ එයා යෙහෝවාට කීකරු වුණොත් විතරයි කියලා. ඒත් එයා වයසට යද්දී බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න ගත්තා. ඒ නිසා එයා ගැන යෙහෝවා පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. ඉතින් ධර්මිෂ්ඨකමින්, යුක්තිසහගතව මිනිස්සුන්ව පාලනය කරන්න යෙහෝවා සලමොන්ට දුන්න හැකියාව එයාගෙන් අයින් කළා.—1 රාජා. 11:9, 10; 12:4.

දාවිත් සලමොන්ට කියපු අවසන් වදන්වලින් පැහැදිලි වෙනවා අපි යෙහෝවාට කීකරු වෙනවා නම් හොඳ තීරණ ගන්න ඕනෙ කරන ප්‍රඥාව ඔහු අපිට දෙනවා කියලා (11-12 ඡේද බලන්න) b


12. දාවිත් කියපු දේවල්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

12 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? කීකරු වෙද්දී අපේ ජීවිත සාර්ථක වෙනවා. (ගීතා. 1:1-3) යෙහෝවා පොරොන්දු වෙන්නේ නැහැ සලමොන්ට වගේ ප්‍රසිද්ධිය, ධන සම්පත් අපිට දෙනවා කියලා. හැබැයි අපි ඔහුට කීකරු වුණොත් හොඳ තීරණ ගන්න ඕනෙ කරන ප්‍රඥාව ඔහු අපිට දෙනවා. (හිතෝ. 2:6, 7; යාකො. 1:5) ඔහුගේ මඟ පෙන්වීම් උදව් වෙනවා රස්සාව, අධ්‍යාපනය, විනෝදය, සල්ලි හම්බ කරන එක වගේ දේවලදී ඥානවන්ත තීරණ ගන්න. දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී ඔහුත් එක්ක තියෙන අපේ බැඳීම ආරක්ෂා වෙනවා. අපිට සදාකල් ජීවිතෙත් ලැබෙනවා. (හිතෝ. 2:10, 11) හොඳ යාළුවෝ හොයාගන්නත් පුළුවන්. ඒ වගේම පවුල් ජීවිතේ සාර්ථකව, සතුටින් ගත කරන්නත් පුළුවන්.

13. ජීවිතේ නියම සතුට හොයාගන්න කාමන්ට උදව් වුණේ මොකක්ද?

13 මොසැම්බික්වල ඉන්න කාමන් හිතුවා සාර්ථක වෙන්න නම් ඉහළට ඉගෙනගන්න ඕනෙ කියලා. ඒ නිසා එයා විශ්වවිද්‍යාලෙට ගිහින් ගෘහ නිර්මාණ ශිල්පය හදාරන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “මං ඒකට ගොඩක් ආස කළා. හැබැයි ඒක මගේ කාලේ, ශක්තිය මගෙන් උදුරගත්තා. මට උදේ 7.30 ඉඳන් හවස 6 වෙන කල්ම ක්ලාස් තිබ්බ නිසා රැස්වීම් යන්න බැරි වුණා. යෙහෝවා එක්ක තියෙන බැඳීමත් ටික ටික අඩු වෙන්න ගත්තා. මට තේරුණා මං මේ හදන්නේ ස්වාමිවරු දෙන්නෙක්ට සේවේ කරන්න කියලා.” (මතෙ. 6:24) එයා ඒ ගැන ගොඩක් යෙහෝවාට යාච්ඤා කළා. අපේ ප්‍රකාශවලින් ඒ ගැන තොරතුරු හෙව්වා. එයා කියන දේ බලන්න. “වැඩිමහල්ලන්ගෙනුයි, අම්මාගෙනුයි ලැබුණ මඟ පෙන්වීම් නිසා මං තීරණේ කළා විශ්වවිද්‍යාලෙන් අයින් වෙලා යෙහෝවාට පූර්ණකාලීනව සේවේ කරන්න. ඒක තමයි මං ගත්ත හොඳම තීරණේ. ඒ ගැන මං කවදාවත් පසුතැවිලි වෙන්නේ නෑ.”

14. මෝසෙස්ටයි, දාවිත්ටයි කියන්න ඕනෙ වුණ වැදගත් දේ මොකක්ද?

14 මෝසෙසුයි, දාවිතුයි යෙහෝවාට ගොඩක් ආදරේ කළා. ඔහුට කීකරු වෙන එක කොච්චර වැදගත්ද කියලා එයාලා දැනන් හිටියා. ඒ නිසා එයාලව ආදර්ශයට අරන් දිගටම විශ්වාසවන්තව ඉන්න කියලා ජීවිතේ අන්තිම කාලේදී එයාලා අනිත් අයව දිරිගැන්නුවා. ඒ වගේම ඒ දෙන්නාම අනතුරු ඇඟෙව්වා යෙහෝවාව අත්හැරියොත් ඔහුත් එක්ක තියෙන බැඳීම, ඔහු පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද නැති වෙයි කියලා. එයාලා කියපු දේවල් අපිටත් අදාළයි. ඊට සියවස් ගාණකට පස්සේ දෙවියන්ගේ තවත් සේවකයෙක් යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එක කොච්චර වැදගත්ද කියලා පෙන්නුවා.

‘ඒ තරම් සතුටක් තවත් නැහැ’

15. යොහන් අද්දැක්කේ මොන වගේ දේවල්ද?

15 යේසුස් ගොඩක් ආදරේ කරපු ගෝලයෙක් තමයි යොහන්. (මතෙ. 10:2; යොහ. 19:26) යේසුස් සේවේ කරපු කාලේ පුරාම එයා ඔහුත් එක්කම හිටියා. යේසුස් කරපු ආශ්චර්යයන් එයා දැක්කා. අමාරු කාලවලදීත් එයා යේසුස් එක්කම හිටියා. යේසුස්ට වධ දීලා මරන විදිහ එයා දැක්කා. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ එයාට ඔහුව හම්බ වුණා. මුල් සියවසේදී ක්‍රිස්තියානි සභාව තිබ්බේ පොඩි කණ්ඩායමක් විදිහට. හැබැයි “මුළු පොළොව පුරාම දේශනා කරලා” ක්‍රිස්තියානි සභාව වර්ධනය වෙන විදිහ යොහන් දැක්කා.—කොලො. 1:23.

16. යොහන්ගේ ලිපිවලින් ප්‍රයෝජන ලැබුණේ කාටද?

16 යොහන්ගේ ජීවිතේ අන්තිම කාලේදී එයාට අවස්ථාව ලැබුණා බයිබලේ පොත් කීපයක්ම ලියන්න. එයා යේසුස්ගෙන් ලැබුණ පුදුමාකාර දර්ශන ඇතුළත් එළිදරව් පොත ලිව්වා. (එළි. 1:1) එයාගේ නමින් තියෙන සුවිශේෂ පොතත් එයා ලිව්වා. ලිපි තුනක් ලියන්නත් යොහන්ට අවස්ථාව ලැබුණා. ඒකෙන් තුන්වෙනි ලිපිය එයා ලිව්වේ ගායස්ට. යොහන් ගායස්ට එයාගෙම දරුවෙක්ට වගේ ආදරේ කළා. (3 යොහ. 1) ගායස්ව විතරක් නෙවෙයි හුඟක් අයව යොහන් සැලකුවේ එයාගෙම දරුවන් වගේ. මේ විශ්වාසවන්ත මහලු මිනිසා ලියපු දේවල් එදා වගේම අදත් යේසුස්ගේ අනුගාමිකයන්ට ලොකු දිරිගැන්වීමක්!

17. 3 යොහන් 4 කියන විදිහට යොහන්ට වැඩි සතුටක් දැනුණේ මොකක් නිසාද?

17 යොහන් ලිව්වේ මොනවාද? (3 යොහන් 4 කියවන්න.) යොහන් ලිව්වා දෙවියන්ට කීකරු වෙන අය දකිද්දී එයාට ලොකු සතුටක් දැනෙනවා කියලා. එයා තුන්වෙනි ලිපිය ලියන කාලේ සමහරු බොරු ඉගැන්වීම් පතුරලා සභාවේ බෙදීම් ඇති කළා. හැබැයි තවත් අය දිගටම “සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වුණා.” එයාලා යෙහෝවාට කීකරු වෙලා ඔහුගේ ආඥා පිළිපැද්දා. (2 යොහ. 4, 6) ඒ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් නිසා යොහන්ගේ විතරක් නෙවෙයි යෙහෝවාගේ හිතත් ගොඩක් සතුටු වුණා.—හිතෝ. 27:11.

18. යොහන් කියපු දේවල්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

18 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? විශ්වාසවන්තව හිටියොත් ඒක අපිටත් අනිත් අයටත් සතුටක්. (1 යොහ. 5:3) උදාහරණෙකට අපි විශ්වාසවන්තව ඉද්දී ඒ ගැන යෙහෝවා සතුටු වෙනවා කියලා අපි දන්නවා. ඒක අපිටත් සතුටක්. අපි මේ ලෝකේ බලපෑමට අහු නොවී යෙහෝවා කියන දේ කරද්දී ඔහු ගොඩක් සතුටු වෙනවා. (හිතෝ. 23:15) දේවදූතයොත් සතුටු වෙනවා. (ලූක් 15:10) අපේ සහෝදරයන් විශ්වාසවන්තව විරුද්ධවාදිකම් දරාගද්දී, වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉද්දී ඒක අපිටත් ලොකු සතුටක්. (2 තෙස. 1:4) අපි දිගටම විශ්වාසවන්තව හිටියොත් සාතන්ගේ මේ සමාජය නැති වෙන දවසට අපිට සතුටු වෙන්න පුළුවන් සාතන්ගේ බලපෑම තියෙද්දීත් අපි යෙහෝවාට විශ්වාසවන්තව හිටියා කියලා.

19. අනිත් අයට සත්‍යය කියලා දෙද්දී රේචල්ට දැනුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

19 අනිත් අයට සත්‍යය කියලා දෙන එකෙනුත් අපිට ලොකු සතුටක් දැනෙනවා. අනිත් අයට දෙවියන් ගැන කියලා දෙන්න ලැබුණ අවස්ථාව ඩොමිනිකන් ජනරජයේ ජීවත් වෙන රේචල් සැලකුවේ ලොකු ගෞරවයක් විදිහට. එයා කීපදෙනෙක්ටම සත්‍යයට එන්න උදව් කළා. එයා මෙහෙම කියනවා. “මාත් එක්ක පාඩම් කරන අය යෙහෝවා ගැන විශ්වාසේ තියද්දී, ඔහුට තියෙන ආදරේ නිසා ජීවිතේ වෙනස්කම් කරගද්දී මට දැනෙන සතුට කියාගන්න බෑ. ඒ සතුට එක්ක බලද්දී මගේ මහන්සිය, මං කරපු කැප කිරීම් මොනවාද කියලත් හිතෙනවා.”

යෙහෝවාට ආදරේ කරන්න, කීකරු වෙන්න අනිත් අයට උගන්නද්දී ඒකෙන් අපිට ලොකු සතුටක් ලැබෙනවා (19 ඡේදය බලන්න)


විශ්වාසවන්ත පුරුෂයන්ගේ වදන්වලින් ප්‍රයෝජන ගන්න

20. අපිත් මෝසෙස්ට, දාවිත්ට සහ යොහන්ට සමාන වෙන්නේ කොහොමද?

20 මෝසෙස්, දාවිත් සහ යොහන් ජීවත් වුණ කාලවල්, එයාලා මූණ දුන්න දේවල් අපිට වඩා වෙනස්. හැබැයි අපි අතරේ සමානකම් තියෙනවා. එයාලා වගේම අපිත් සේවේ කරන්නේ එකම සැබෑ දෙවියන්ට. එයාලා වගේම අපිත් යෙහෝවාට යාච්ඤා කරනවා. ඔහු මත රඳා ඉන්නවා. ඔහුගෙන් මඟ පෙන්වීම් පතනවා. ඒ විශ්වාසවන්ත මහලු පුරුෂයන්ට වගේ අපිටත් ලොකු විශ්වාසයක් තියෙනවා යෙහෝවාට කීකරු වෙන අයට ඔහු අනිවාර්යයෙන් ආශීර්වාද කරයි කියලා.

21. විශ්වාසවන්ත මහලු පුරුෂයන් කියපු දේවලට කීකරු වෙන අයට ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදද?

21 ඒ විශ්වාසවන්ත පුරුෂයන් එයාලාගේ ජීවිතේ අන්තිම කාලේදී කියපු වදන් හිතට අරගෙන යෙහෝවාට කීකරු වෙන්න අපි දිගටම අධිෂ්ඨාන කරගමු. එහෙම කරනවා නම් ජීවිතේ හැම පැත්තෙන්ම අපිට සාර්ථක වෙන්න පුළුවන්. “ගොඩක් කල් ජීවත් වෙන්නත්” පුළුවන්. (ද්වි. 30:20) ඒ විතරක් නෙවෙයි එහෙම කරද්දී අපි අපේ ආදරණීය තාත්තාගේ හිත සතුටු කරනවා කියලා දැනගෙන ඉන්න එක අපිටත් ලොකු සතුටක්. මොකද අපිට කවදාවත් හිතාගන්න බැරි විදිහේ ආශීර්වාද ගොන්නක් දෙන්න ඔහු බලාගෙන ඉන්නවා.—එෆී. 3:20.

ගීතිකාව 129 දිගටම විඳදරාගමු

a රතු මුහුද ගාවදී යෙහෝවා කරපු ආශ්චර්යයන් දැකපු හුඟදෙනෙක්ට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. (ගණන්. 14:22, 23) යෙහෝවා කිව්වා ඒ කාලේ වෙද්දී අවුරුදු 20ත් ඊට වැඩි අයත් පාළුකරයේදී මැරෙනවා කියලා. (ගණන්. 14:29) හැබැයි එයාලා අතරේ හිටපු අවුරුදු 20ට වඩා අඩු අයගෙන් හුඟදෙනෙක්, යොෂුවා, කාලෙබ් සහ ලෙවී ගෝත්‍රයට අයත් හුඟදෙනෙක් යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා පොරොන්දු දේශයට ඇතුල් වුණා. එයාලට පුළුවන් වුණා යෙහෝවා එයාලා වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණ ආශීර්වාද ඇස් දෙකෙන්ම බලාගන්න.—ද්වි. 1:24-40.

b පින්තූරවල අදහස: වම: ජීවිතේ අන්තිම කාලේදී දාවිත් සලමොන්ට මඟ පෙන්වීම් දෙනවා. දකුණ: සහෝදර සහෝදරියන් පුරෝගාමි පාසැලට සහභාගි වෙලා යෙහෝවාගේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගන්නවා.