Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 46

ගීතිකාව 49 දෙවිගේ හදවත සතුටු කරමු

සහෝදරයෙනි, සහායක සේවකයෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?

සහෝදරයෙනි, සහායක සේවකයෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?

“ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා.”ක්‍රියා 20:35.

ලිපියේ අරමුණ

මේ ලිපියෙන් බව්තීස්ම වුණ සහෝදරයන්ට සහායක සේවකයෙක් වෙන්න ආසාවක් ඇති කරනවා. ඒ වගේම ඒ ඉලක්කෙට යන්න එයාලව දිරිගන්වනවා.

1. පාවුල්ට සහායක සේවකයන් ගැන හැඟුණේ කොහොමද?

 විශ්වාසවන්තව සේවේ කරපු සහායක සේවකයන්ව පාවුල් හුඟක් අගය කළා. ෆිලිප්පියේ සහෝදරයන්ට ලියද්දී එයා වැඩිමහල්ලන් ගැන වගේම සහායක සේවකයන් ගැනත් කතා කරලා එයාලට සුභ පැතුවා.—ෆිලි. 1:1.

2. සහෝදර ලුයිස්ට සහායක සේවකයෙක් විදිහට සේවේ කරන්න ලැබුණ එක ගැන දැනුණේ කොහොමද?

2 බව්තීස්ම වුණ තරුණ, මහලු හුඟක් සහෝදරයන් සහායක සේවකයන් විදිහට සේවේ කරලා ලොකු සතුටක් අද්දකිනවා. උදාහරණෙකට ඩෙවන් සහායක සේවකයෙක් වෙද්දී එයාට අවුරුදු 18යි. ලුයිස් සහායක සේවකයෙක් වෙද්දී එයාට 50ටත් වැඩියි. ඒ ගැන එයාට කොහොමද දැනුණේ? එයා මෙහෙම කියනවා. “සභාවේ අය වෙනුවෙන් සේවේ කරන්න ලැබුණ මේ අවස්ථාව ගැන මට ගොඩක් සතුටුයි. එයාලා මට ආදරෙයි. දැන් මට අවස්ථාව තියෙනවා එයාලා වෙනුවෙන් මගේ ආදරේ පෙන්නන්න.” හුඟක් සහායක සේවකයන්ගේ හැඟීමත් ඒකමයි.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?

3 බව්තීස්ම වුණ සහෝදරයෙනි, ඔයා තාමත් සහායක සේවකයෙක් නෙවෙයි නම් ඒ ඉලක්කේ තියාගන්න ඔයාට පුළුවන්ද? ඒකට ඔයාව පොලඹවන්න ඕනෙ මොකක්ද? සහායක සේවකයෙක් වෙන්න නම් ඔයාට තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු. ඊට කලින් අපි බලලා ඉමු සහායක සේවකයෙක් සභාව වෙනුවෙන් කරන දේවල් ගැන.

සහායක සේවකයෙක් සභාව වෙනුවෙන් කරන දේවල්

4. සහායක සේවකයෙක් සභාව වෙනුවෙන් කරන්නේ මොන වගේ දේවල්ද? (පින්තූරයත් බලන්න.)

4 සහායක සේවකයෙක් අනිවාර්යයෙන්ම බව්තීස්ම වුණ සහෝදරයෙක් වෙන්න ඕනේ. සභාවේ වැඩවලට වැඩිමහල්ලන්ට උදව් කරන්න එයාව පත් කරන්නේ දෙවියන්ගේ බලයෙන්. සමහර සහායක සේවකයන් සේවේ යන ප්‍රදේශ සැලසුම් කරනවා. ප්‍රචාරකයන්ට ඇති තරම් පොත් පත් තියෙනවාද කියලා හොයලා බලනවා. තවත් අය නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන, නඩත්තු කරන වැඩවලට හවුල් වෙනවා. එයාලා රැස්වීම්වලදී පරිවාරකයන් විදිහටත් ඕඩියෝ වීඩියෝ අංශයෙත් සේවේ කරනවා. එයාලා සභාව වෙනුවෙන් වැදගත් වැඩ ගොඩක් කරනවා. ඒ හැම දේටම වඩා එයාලා යෙහෝවාට ආදරේ කරන, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අනුව ජීවත් වෙන අය. එයාලා සහෝදරයන්ටත් ගොඩක් ආදරෙයි. (මතෙ. 22:37-39) සහෝදරයෙක්ට කොහොමද පුළුවන් සහායක සේවකයෙක් වෙන ඉලක්කේ තියාගන්න?

අනිත් අය වෙනුවෙන් කැමැත්තෙන්ම සේවේ කරලා සහායක සේවකයන් යේසුස්ව ආදර්ශයට ගන්නවා (4 ඡේදය බලන්න)


5. සහායක සේවකයෙක් වෙන ඉලක්කෙට යන්න සහෝදරයෙක්ට පුළුවන් කොහොමද?

5 සහායක සේවකයෙක්ට මොන වගේ සුදුසුකම්ද තියෙන්න ඕනෙ කියලා බයිබලේ කියනවා. (1 තිමෝ. 3:8-10, 12, 13) ඒ සුදුසුකම් ගැන හොඳට අධ්‍යයනය කරලා ඒවා ලබාගන්න මහන්සි වෙලා වැඩ කරන්න. ඒත් මුලින්ම හිතලා බලන්න ඔයා සහායක සේවකයෙක් වෙන්න ඇත්තටම ආස ඇයි කියලා.

සහායක සේවකයෙක් වෙන්න ආස ඇයි?

6. ඔයා සහෝදර සහෝදරියන්ට උදව් කරන්න ඕනෙ මොන හේතුව නිසාද? (මතෙව් 20:28; පින්තූරයත් බලන්න.)

6 අපේ හොඳම ආදර්ශය යේසුස්. ඔහුට ඔහුගේ තාත්තා ගැනත් මිනිස්සු ගැනත් ලොකු ආදරයක් තිබුණා. ඒ ආදරේ තමයි ඔහුව පෙලඹුවේ අනිත් අය වෙනුවෙන් මහන්සි වෙලා සේවේ කරන්න. මිනිස්සු වැදගත් නැහැ කියලා හිතන දේවල් වුණත් අනිත් අය වෙනුවෙන් කරන්න. (මතෙව් 20:28 කියවන්න; යොහ. 13:5, 14, 15) ඔයාගේ හිතෙත් ඒ වගේ ආදරයක් තියෙනවා නම් සහායක සේවකයෙක් විදිහට දියුණු වෙන්න යෙහෝවා ඔයාට උදව් කරයි.—1 කොරි. 16:14; 1 පේතෘ. 5:5.

තනතුරු ලබාගන්න ආස වෙනවා වෙනුවට නිහතමානීව අනිත් අයට සේවේ කරන්න ඕනෙ කියලා යේසුස් ඔහුගේ ආදර්ශයෙන් ගෝලයන්ට ඉගැන්නුවා (6 ඡේදය බලන්න)


7. අනිත් අයගෙන් වර්ණනා ලබන්න තියෙන ආසාව නිසා සහායක සේවකයෙක් වෙන එක වැරදි ඇයි?

7 මේ ලෝකේ නම් කැපීපේන්න හදන අයව තව උඩින් තියනවා. ඒත් යෙහෝවාගේ සංවිධානය එහෙම නැහැ. යේසුස් වගේ ආදරෙන් පෙලඹිලා සේවේ කරන කෙනෙක් කවදාවත් කැපීපේන්න හදන්නේ නැහැ. එයා වගකීම් දරන්නේ අනිත් අයව පාලනය කරන්න, තනතුරු ලබාගන්න තියෙන ආසාව නිසා නෙවෙයි. මොකද ඒ වගේ කෙනෙක්ට බැහැ නිහතමානී වෙලා යෙහෝවාගේ බැටළුවන්ව බලාගන්න. එයාට හිතෙයි සමහර වගකීම් කරන එක මදිපුංචිකමක් කියලා. (යොහ. 10:12) කැපීපේන්න, ප්‍රශංසාව ලබාගන්න තියෙන ආසාව නිසා සහායක සේවකයෙක් වෙන්න හදන කෙනෙක්ට යෙහෝවාගෙන් නම් ආශීර්වාද ලැබෙන්නේ නැහැ.—1 කොරි. 10:24, 33; 13:4, 5.

8. යේසුස් ගෝලයන්ට දුන්නේ මොන උපදෙසද?

8 යේසුස්ට කිට්ටුවෙන් හිටපු අයත් සමහර වෙලාවට වැරදි අදහසක් හිතේ තියාගෙන වගකීම් ගන්න හැදුවා. යාකොබ් සහ යොහන් යේසුස් ළඟට ගිහින් කිව්වා එයාලට දේවරාජ්‍යයේ විශේෂ තනතුරු දෙන්න කියලා. ඒ ඉල්ලපු දේ හොඳයි කියලා කියනවා වෙනුවට යේසුස් ගෝලයෝ 12දෙනාටම මෙහෙම කිව්වා. “ඔයාලා අතරේ උසස් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාලාගේ සේවකයා වෙන්න ඕනේ. ඔයාලා අතරේ පළවෙනියා වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාලාගේ දාසයා වෙන්න ඕනේ.” (මාක් 10:35-37, 43, 44) ඔයා වගකීම් දරන්න කැමති සභාවේ අයට සේවේ කරන්න තියෙන ආසාව නිසා නම් ඔයා සභාවට ලොකු ආශීර්වාදයක් වෙයි.—1 තෙස. 2:8.

ආසාව තව වැඩි කරගන්න

9. සේවේ කරන්න තියෙන ආසාව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

9 සහෝදරයෙනි, අපි දන්නවා ඔයාලා යෙහෝවාට ගොඩක් ආදරෙයි, ඔයාලට ඕනෙ අනිත් අයට සේවේ කරන්න කියලා. ඒත් සහායක සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන වැඩ කොටස කරන්න ඔයාට ආසාවක් නැත්නම්? එහෙමනම් සහෝදරයන් වෙනුවෙන් සේවේ කරද්දී ලැබෙන සතුට ගැන හිතලා බලන්න. යේසුත් කිව්වා “ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා” කියලා. (ක්‍රියා 20:35) ඔහු ඒක කරලත් පෙන්නුවා. ඒ නිසා සේවේ කරලා ලබන සතුට ඔහු අද්දැක්කා. ඔයාටත් පුළුවන් ඒ සතුට අද්දකින්න.

10. අනිත් අයට සේවේ කරලා සතුට අද්දැක්කා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? (මාක් 6:31-34)

10 අනිත් අයට සේවේ කරලා යේසුස් ලොකු සතුටක් අද්දැක්කා. (මාක් 6:31-34 කියවන්න.) සැරයක් යේසුයි, ගෝලයෝයි හොඳටම මහන්සි වෙලා හිටියේ. ඒ නිසා එයාලා විවේක ගන්න නිස්කලංක තැනකට ගියා. ඒත් එතන්ට යද්දීත් මිනිස්සු ඔහුගෙන් ඉගෙනගන්න එතන්ට ඇවිල්ලා හිටියා. ඕන නම් යේසුස්ට කියන්න තිබ්බා “දැන් නං කතා කරන්න බෑ, ගොඩක් මහන්සියි” කියලා. මොකද එයාලට “කෑම කන්නවත් විවේකයක් ලැබුණේ නැහැ.” එක්කෝ යේසුස්ට තිබුණා පොඩි දෙයක් උගන්නලා එයාලව යවන්න. හැබැයි එයාලා ගැන යේසුස්ට තිබුණ ආදරේ නිසා ඔහු එයාලට “ගොඩක් දේවල් උගන්නන්න පටන්ගත්තා.” ඔහු ‘හවස් වෙන කල්ම’ එයාලට ඉගැන්නුවා. (මාක් 6:35) ඒ, ඔහු ඒක කරන්න බැඳිලා හිටපු නිසා නෙවෙයි, ‘එයාලා ගැන ඇති වුණ අනුකම්පාව’ නිසයි. එයාලා ගැන තිබුණ ආදරේ නිසා ඔහු ගොඩක් ආසාවෙන් එයාලට ඉගැන්නුවා. අනිත් අයට සේවේ කරලා යේසුස් කොච්චර සතුටක් අද්දැක්කාද!

11. යේසුස් ඔහුට සවන් දෙන අයගේ ඕනෑ එපාකම් හොයලා බලලා එයාලට උදව් කළේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

11 යේසුස් මිනිස්සුන්ට උගන්නලා විතරක් නතර වුණේ නැහැ. ඔහු එයාලාගේ ඕනෑ එපාකම් ගැනත් හොයලා බැලුවා. සැරයක් ඔහු ආශ්චර්යවත් විදිහට කෑම දීපු වෙලාවේ ගෝලයන්ට කිව්වා ඒවා සෙනඟට බෙදලා දෙන්න කියලා. (මාක් 6:41) අනිත් අය වෙනුවෙන් සේවේ කරන විදිහ යේසුස් ඒකෙන් ඉගැන්නුවා. ඒ වගේම අනිත් අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් දේවල් කරන එකේ වැදගත්කමත් ඔහු පෙන්නුවා. හිතන්න, යේසුස් එක්ක එකතු වෙලා මිනිස්සුන්ට කෑම බෙදද්දී, මිනිස්සු ඒවා කාලා සතුටු වෙනවා දකිද්දී ගෝලයන්ට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද! (මාක් 6:42) යේසුස් අනිත් අය වෙනුවෙන් දේවල් කරපු එකම අවස්ථාව මේක නෙවෙයි. පොළොවේ හිටපු කාලේ පුරාම ඔහු අනිත් අය වෙනුවෙන් සේවේ කළා. (මතෙ. 4:23; 8:16) අනිත් අයට උගන්නන එකෙන්, එයාලාගේ ඕනෑ එපාකම් හොයලා බලලා ඒවා කරන එකෙන් යේසුස් ගොඩක් සතුටු වුණා. ඔයාත් සහායක සේවකයෙක් වෙන්න කැමති අනිත් අයට සේවේ කරන්න ඕන නිසා නම් ඔයාටත් පුළුවන් ඒ වගේ සතුටක් අද්දකින්න.

ඔයාගේ හිතේ යෙහෝවා ගැන ආදරයක්, අනිත් අයට උදව් කරන්න ආසාවක් තියෙනවා නම් සහෝදර සහෝදරියන්ට උදව් කරන්න ඔයා ඕනම දෙයක් කරයි (11 ඡේදය බලන්න) a


12. සභාවේ අයට උදව් කරන්න තරම් හැකියාවක් අපිට නැහැ කියලා හිතන්න හොඳ නැත්තේ ඇයි?

12 ඔයාට හිතෙනවා නම් ඔයාට කිසිම හැකියාවක් නැහැ කියලා අධෛර්යය වෙන්න එපා. මොකද සභාවේ අයට උදව් කරන්න ඕන ගුණාංග ඔයා ගාව ඇති. 1 කොරින්ති 12:12-30 පාවුල් කියපු දේ ගැන හිතන්න. ඒක අදාළ කරගන්න පුළුවන් පැති තේරුම්ගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. පාවුල් කිව්වා ඔයා ඇතුළුව සභාවේ ඉන්න හැමෝම සභාවේ වැදගත් වැඩ කොටසක් කරනවා කියලා. ඒත් ‘සහායක සේවකයෙක් වෙන්න ඕන කරන සුදුසුකම් මට තාම නෑ’ කියලා ඔයාට හිතෙනවා නම්? එහෙමයි කියලා ඒ ඉලක්කේ අත්හරින්න එපා. යෙහෝවාට සේවේ කරන්න, සහෝදරයන්ට උදව් කරන්න ඔයාට පුළුවන් දේ කරන්න. එතකොට වැඩිමහල්ලෝ ඔයාට කරන්න පුළුවන් විදිහේ පැවරුමක් ඔයාට දෙයි.—රෝම 12:4-8.

13. සහායක සේවකයෙක් වෙන්න උදව් වෙන හුඟක් ගුණාංග ගැන කියන්න පුළුවන් මොනවාද?

13 බයිබලේ සහායක සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන ගුණාංග හැම ක්‍රිස්තියානියෙක්ම වර්ධනය කරගන්න ඕන ඒවා. හැම ක්‍රිස්තියානියෙක්ම යෙහෝවාට ළං වෙන්න ඕනේ. අනිත් අයට දීලා සතුටක් ලබන්න ඕනේ. දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්නත් ඕනේ. එහෙම බලද්දී සහායක සේවකයෙක් වෙන්න ඕන සමහර ගුණාංග ඔයා දැනටමත් වර්ධනය කරගෙන තියෙනවා. ඒත් තව මොනවාද ඔයාට කරන්න පුළුවන්?

ඉලක්කෙට ළං වෙන්නේ කොහොමද?

14. “ගෞරවනීයව හැසිරෙනවා” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (1 තිමෝති 3:8-10, 12)

14 දැන් අපි 1 තිමෝති 3:8-10, 12 තියෙන සුදුසුකම් කීපයක් බලමු. (කියවන්න.) සහායක සේවකයෙක් “ගෞරවනීයව හැසිරෙන” කෙනෙක් වෙන්න ඕනේ. ඒක “ගෞරවය ලබන්න සුදුසු,” “දේවල් බැරෑරුම්ව සලකන” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සහායක සේවකයෙක්ට හිනා වෙන්න, විනෝද වෙන්න බැහැ කියන එක නෙවෙයි. (දේශ. 3:1, 4) ඒකෙන් අදහස් කරන්නේ වගකීමක් දුන්නාම ඔයා ඒක සැහැල්ලුවට ගන්නේ නැහැ කියන එකයි. ඔයාට වැඩක් දුන්නොත් වෙලාවට ඉවර කරන, විශ්වාසේ තියන්න පුළුවන් කෙනෙක් විදිහට ඔයා හොඳ නමක් දිනාගෙන ඉන්න ඕනේ. ඒ වගේ කෙනෙක්ට සභාවේ හැමෝගෙම ගෞරවය ලැබෙනවා.

15. “එක් කෙනෙක්ට එක දේකුත් තවත් කෙනෙක්ට තව දේකුත් කියන අය වෙන්න බැහැ” කියන එකේ අදහස මොකක්ද? “තමන්ටම වාසි ප්‍රයෝජන ලබාගන්න තියෙන කෑදරකම නිසා වංක විදිහට දේවල් කරන අය” නෙවෙයි කියන එකේ අදහස මොකක්ද?

15 සහායක සේවකයෙක් ‘එක් කෙනෙක්ට එක දේකුත් තවත් කෙනෙක්ට තව දේකුත් කියන්න බැහැ.’ ඒ කියන්නේ ඔයා අවංක, විශ්වාසේ තියන්න පුළුවන් කෙනෙක් කියන එකයි. වචනයක් දුන්නොත් ඔයා ඒක රකිනවා. (හිතෝ. 3:32) ඔයා ‘තමන්ටම වාසි ප්‍රයෝජන ලබාගන්න තියෙන කෑදරකම නිසා වංක විදිහට දේවල් කරන්නෙත් නැහැ.’ ඒ කියන්නේ ඔයා ව්‍යාපාරයක් කරද්දී වංචා කරන්නේ නැහැ. සල්ලි සම්බන්ධ දේවලදීත් ඔයා ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසේ තියන්න පුළුවන්. ඔයා සහෝදරයන් එක්ක තියෙන බැඳීම අතකොළුවක් කරගෙන සල්ලි හම්බ කරන්නේ නැහැ.

16. (අ) ‘මත්පැන්වලට අධික ආසාවක් තියෙන කෙනෙක් වෙන්න බැහැ’ කියන්නේ මොකක්ද? (ආ) “නිදොස් හෘද සාක්ෂියක් රැකගන්නවා” කියන්නේ මොකක්ද?

16 සහායක සේවකයෙක් ‘මත්පැන්වලට අධික ආසාවක් තියෙන කෙනෙක් වෙන්න බැහැ.’ ඒ කියන්නේ ඔයා ඕනෑවට වඩා බොන කෙනෙක්වත් හොඳට බොන කෙනෙක් විදිහට ලේබල් ගැහිලා ඉන්න කෙනෙක්වත් නෙවෙයි. ඒ වගේම ඔයා ‘නිදොස් හෘද සාක්ෂියක් රැකගන්න කෙනෙක්.’ ඒ කියන්නේ ඔයා හැම වෙලේම දෙවියන්ගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවා. ඇත්ත, ඔයා අතින් අඩුපාඩු වෙයි. ඒත් ඔයාට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් තියෙනවා. ඒ නිසා ඔයාගේ හිත වධ දෙන්නේ නැහැ. ඔයා මනසේ සාමය අද්දකිනවා.

17. ‘වගකීම් දරන්න සුදුසු අයද’ කියලා හොයලා බලනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (1 තිමෝති 3:10; පින්තූරයත් බලන්න.)

17 පාවුල් කිව්වා ‘එයා ඒ වගකීම දරන්න සුදුසුද කියලා හොයලා බලන්න’ කියලා. ඒ කියන්නේ මේ වෙද්දීත් ඔයා විශ්වාසේ තියන්න පුළුවන්, වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා වැඩිමහල්ලෝ දකින්න ඕනේ. ඉතින් වැඩිමහල්ලෝ ඔයාට පැවරුමක් දුන්නොත් ඒකට සංවිධානයෙන් දීලා තියෙන මඟ පෙන්වීම් හොඳට බලන්න. ඒ පැවරුමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද, ඒක ඉවර කරන්න ඕනෙ කවදාටද කියලා බලන්න. ඒ විදිහට ඔයාට දෙන ඕනම පැවරුමක් ඔයා උද්‍යෝගයෙන් කරද්දී සභාවේ අයත් දකියි ඔයා වගකීමෙන් වැඩ කරනවා කියලා. වැඩිමහල්ලෙනි, බව්තීස්ම වුණ සහෝදරයන්ව පුහුණු කරන්න. (1 තිමෝති 3:10 කියවන්න.) ඔයාගේ සභාවේ අවුරුදු 10ත් 14ත් අතර බව්තීස්ම වුණ සහෝදරයන් ඉන්නවාද? එයාලා හොඳට අධ්‍යයනය කරන, රැස්වීම්වලට සූදානම් වෙන අයද? එයාලා හැම රැස්වීමකදීම අදහස් දෙනවාද? වරද්දන්නේ නැතුව සේවේ එනවාද? එහෙමනම් වයසට ගැළපෙන පැවරුම් එයාලට දෙන්න. එයාලා ඒවා හොඳට කරයි. එතකොට වයස 17ක් 19ක් වෙද්දීම සහායක සේවකයන් විදිහට සේවේ කරන්න ඕන කරන සුදුසුකමුත් එයාලට තියෙයි.

බව්තීස්ම වුණ සහෝදරයන්ට පැවරුම් දෙන එකෙන් එයාලා වගකීම් දරන්න “සුදුසු අයද කියලා හොයලා බලන්න” වැඩිමහල්ලන්ට පුළුවන් (17 ඡේදය බලන්න)


18. ‘එයාලට විරුද්ධව කිසිම චෝදනාවක් එල්ල වෙන්න බැහැ’ කියන එකේ අදහස මොකක්ද?

18 සහායක සේවකයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට ‘විරුද්ධව කිසිම චෝදනාවක් එල්ල වෙලා තියෙන්න බැහැ.’කියන්නේ ඔයා බරපතළ වරදක් කළා කියන චෝදනාව එල්ල කරන්න බැරි විදිහට ජීවත් වෙන්න ඕනෙ කියන එකයි. ඇත්ත, සමහර වෙලාවට ක්‍රිස්තියානීන්ට විරුද්ධව බොරු චෝදනා එල්ල කරනවා. යේසුස්ටත් එහෙම කළා. ඔහු කිව්වා ඔහුගේ අනුගාමිකයන්ටත් එහෙම දේවල් වෙයි කියලා. (යොහ. 15:20) ඒත් ඔයා දිගටම යේසුස් වගේ පවිත්‍ර ජීවිතයක් ගත කරනවා නම් සභාවේ අය අතර ඔයාට හොඳ නමක් ලැබෙයි.—මතෙ. 11:19.

19. එයාට “ඉන්න ඕනෙ එක බිරිඳයි” කියන්නේ ඇයි?

19 එයාට “ඉන්න ඕනෙ එක බිරිඳක් විතරයි.” යෙහෝවා පළවෙනි විවාහය හඳුන්වලා දෙද්දී කිව්වා එක පුරුෂයෙක්ට ඉන්න ඕනෙ එක බිරිඳක් කියලා. ක්‍රිස්තියානීන් හැමෝම පිළිපදින්නේ ඒ ප්‍රතිපත්තිය. (මතෙ. 19:3-9) ඒ නිසා ක්‍රිස්තියානි පුරුෂයෙක් අනාචාරයේ යෙදෙන්නේ නැහැ. (හෙබ්‍රෙ. 13:4) ඔයා හැම වෙලේම ඔයාගේ බිරිඳට විශ්වාසවන්තව ඉන්නවා. ඔයා කවදාවත් වෙන ස්ත්‍රීන්ට ආදර හැඟීම් පෙන්නන්නේ නැහැ.—යෝබ් 31:1.

20. පවුලේ අයට “හොඳ මඟ පෙන්වීම් දෙන” කෙනෙක් වෙන්න සහෝදරයෙක්ට පුළුවන් කොහොමද?

20 එයාලා “තමන්ගේ දරුවන් සහ පවුලේ අය අතරේ පෙරමුණ අරන් එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන අය වෙන්න ඕනේ.” ස්වාමිපුරුෂයෙනි, ඔයාට තියෙන වගකීම් බැරෑරුම්ව සලකන්න. වරද්දන්නේ නැතුව පවුලේ නමස්කාරය කරන්න. බිරිඳ එක්ක, දරුවන් එක්ක මාරුවෙන් මාරුවට සේවේ කරන්න. යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න. (එෆී. 6:4) ඒ විදිහට ඔයා පවුලේ අයව හොඳින් රැකබලා ගද්දී ඒකෙන් පේනවා ඔයාට සභාවේ අයවත් රැකබලා ගන්න පුළුවන් කියලා.—1 තිමෝ. 3:5.

21. ඔයා තාමත් සහායක සේවකයෙක් විදිහට සේවේ කරන්නේ නැත්නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්?

21 ඔයා තාමත් සහායක සේවකයෙක් නෙවෙයිද? එහෙමනම් මේ ලිපියේ තොරතුරු හොඳට කියවන්න. ඒ ගැන යාච්ඤා කරන්න. සහායක සේවකයෙක්ට තියෙන්න ඕන ගුණාංග ගැන අධ්‍යයනය කරන්න. ඒවා ජීවිතේට එකතු කරගන්න මහන්සි වෙන්න. යෙහෝවාට, සහෝදරයන්ට ඔයා කොච්චර ආදරෙයිද කියලා හිතන්න. එයාලට සේවේ කරන්න ඔයාට තියෙන ආසාව වැඩි කරගන්න. (1 පේතෘ. 4:8, 10) අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී දැනෙන සතුට අත්විඳලා බලන්න. එතකොට සහායක සේවකයෙක් විදිහට සේවේ කරලා යෙහෝවාගේ ආශීර්වාද ලබන්න ඔයාටත් පුළුවන්.—ෆිලි. 2:13.

ගීතිකාව 17 “මා කැමතියි”

a පින්තූරේ අදහස: වම් පැත්තේ පින්තූරෙන් පෙන්නන්නේ යේසුස් නිහතමානීව ගෝලයන් වෙනුවෙන් සේවේ කරන විදිහයි. දකුණු පැත්තේ පින්තූරෙන් පෙන්නන්නේ සහායක සේවකයෙක් සභාවේ ඉන්න මහලු සහෝදරයෙක්ට උදව් කරන විදිහයි.