Skip to content

පටුනට යන්න

හොඳ අධ්‍යයන පුරුදු තියාගන්න නම් . . .

හොඳ අධ්‍යයන පුරුදු තියාගන්න නම් . . .

බයිබල් අධ්‍යයනය දිගටම ආසාවෙන් කරන්න ඔයාට අමාරුයි කියලා දැනෙනවාද? හැමෝටම වගේ කාලෙන් කාලෙට ඒ ප්‍රශ්නේ එනවා. ඒත් මේ උදාහරණේ බලන්න. නාන එක අපි නිතරම කරන්න ඕනෙ දෙයක්. කම්මැළි නොවී හොඳට කාලේ අරන් ඒක කරන්නත් ඕනේ. ඒත් නෑවාම අපිට කොච්චර ප්‍රබෝධයක් දැනෙනවාද? බයිබල් අධ්‍යයනයෙනුත් ඒ වගේම ප්‍රබෝධයක් ලැබෙනවා. ඒක හරියට “දේවවචනය කියන වතුරෙන්” අපිවම පිරිසිදු කරගන්නවා වගේ. (එෆී. 5:26) අධ්‍යයනය කරන්න මොනවාද උදව් වෙන්නේ?

  • කාලසටහනක් හදාගන්න. ක්‍රිස්තියානීන් අතපසු නොකර කරන්න ඕනෙ “වඩා වැදගත් දේවලින්” එකක් තමයි බයිබල් අධ්‍යයනය. (ෆිලි. 1:10) ඔයා හදපු කාලසටහනට අනුව වැඩ කරන්න උදව් වෙන්නේ මොකක්ද? ඔයාට පුළුවන් ෆ්‍රිජ් එකේ නැත්නම් හොඳට පේන වෙන තැනක කාලසටහන ගහන්න. නැත්නම් ඔයාගේ ෆෝන් එකෙන්, ටැබ් එකෙන් ඔයා අධ්‍යයනය කරන වෙලාව මතක් කරගන්න එලාම් එකක් තියාගන්න.

  • ඔයාට හොඳ මොකක්ද බලන්න. ඔයාට ලේසි එක දිගට ඉඳගෙන අධ්‍යයනය කරන එකද? නැත්නම් පොඩි පොඩි වෙලාවල් අරන් අධ්‍යයනය කරන එකද? ඔයාට හොඳ මොකක්ද කියලා දන්නේ ඔයායි. ඒ අනුව ඔයාගේ කාලසටහන හදාගන්න. අධ්‍යයනය කරන වෙලාව ආවාම පොඩි කම්මැළිකමක් දැනුණොත් වැඩේ අත්හැරලාම දාන්නේ නැතුව විනාඩි දහයක් වගේ අරන් අධ්‍යයනය කරන්න. පොඩි වෙලාවක් හරි අධ්‍යයනය කරන එකෙන් හිතනවාට වඩා ප්‍රයෝජන ලැබෙනවා. අනිත් අතට ඔයා අධ්‍යයනය කරන්න පටන්ගත්තාම නවත්තන්නේ නැතුව දිගටම ඒක කරන්න හිතෙයි.—ෆිලි. 2:13.

  • විෂයන් කලින්ම තෝරගන්න. ඔයා අධ්‍යයනය කරන්න දාගත්ත වෙලාවේ අධ්‍යයනය කරන්නේ මොනවාද කියලා කල්පනා කරකර හිටියොත් “කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න” ඔයාට බැරි වෙයි. (එෆී. 5:16) ඒ නිසා ඔයා අධ්‍යයනය කරන්න කැමති විෂයන්වල, ලිපිවල ලැයිස්තුවක් කලින්ම හදාගන්න. ඔයාට හොයන්න ඕනෙ කියලා හිතෙන විෂයක් තියෙනවා නම් ඒක ටක් ගාලා ලියාගන්න. අධ්‍යයනය කරලා ඉවර වෙන හැම වතාවකම ඔයා හොයන්න කැමති තව දේවල් තියෙනවා නම් ඒවාත් ලැයිස්තුවට දාගන්න.

  • වෙනස්කම් කරගන්න. අධ්‍යයනය කරන වෙලාවේ, විෂයන්වල වෙනසක් කරන්න ඕනෙ කියලා හිතුණොත් ඒක කරන්න. වැදගත් වෙන්නේ අධ්‍යයනය කරන්නේ කවදාද, කොච්චර වෙලාවක්ද, මොනවාද කියන එක නෙවෙයි. ඔයා අත්හරින්නේ නැතුව ඒක දිගටම කරන එකයි.

පුරුද්දක් විදිහට අධ්‍යයනය කරද්දී අපි යෙහෝවාට තව ළං වෙනවා. හොඳට හිතලා වැඩ කරන්න පුරුදු වෙනවා. අපිට ප්‍රබෝධයකුත් ලැබෙනවා.—යොෂු. 1:8.