Skip to content

පටුනට යන්න

කොයි කාටත් අහන්න පුළුවන් පුංචි ප්‍රශ්නයක්!

කොයි කාටත් අහන්න පුළුවන් පුංචි ප්‍රශ්නයක්!

මේරියි, එයාගේ මහත්තයා ජෝනුයි a ජීවත් වුණ පැත්තට පිලිපීනයේ ඉඳන් හුඟක් අය රස්සාවටයි, පදිංචියටයි ආවා. ඒ දෙන්නා එයාලත් එක්ක ශුභාරංචිය බෙදාගත්තා. කොරෝනා කාලේදී මේරිට පුළුවන් වුණා එයාලා ඉන්න රටේ විතරක් නෙවෙයි තවත් රටවල්වල ඉන්න අයත් එක්ක බයිබල් පාඩම් පටන්ගන්න. ඒත් කොහොමද එයා ඒක කළේ?

මේරි එයාත් එක්ක බයිබලේ පාඩම් කරන අයගෙන් ඇහුවා “බයිබලේ ඉගෙනගන්න කැමති තව කාව හරි ඔයා දන්නවාද” කියලා. එයාලා ඔව් කිව්වොත් මේරි කියනවා ඒ අයව මට අඳුන්නලා දෙන්න කියලා. අහපු ඒ පුංචි ප්‍රශ්නේ නිසා ලොකු ප්‍රතිඵල ලැබුණා. මොකද බයිබලේ තියෙන දේවල් අගය කරන අය සාමාන්‍යයෙන් ඉගෙනගන්න දේවල් ගැන පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක කතා කරන්න ආසයි. මේරි අහපු ඒ ප්‍රශ්නේ නිසා ඊළඟට මොකද වුණේ?

මේරිත් එක්ක බයිබලේ පාඩම් කරපු ජැස්මින් බයිබලේ ඉගෙනගන්න ආස තව හතරදෙනෙක්ව අඳුන්නලා දුන්නා. එයාලාගෙන් කෙනෙක් තමයි ක්‍රිස්ටීන්. එයා පාඩමට කොච්චර ආසද කියනවා නම් එයා මේරිට කිව්වා සතියට දෙසැරයක් පාඩම කරමු කියලා. මේරි ක්‍රිස්ටීන්ගෙනුත් ඇහුවා බයිබලේ පාඩම් කරන්න කැමති අයව දන්නවාද කියලා. ඒ වෙලාවේ ක්‍රිස්ටීන් කිව්වා “ඔව්, මං මගේ යාළුවන්ව ඔයාට අඳුන්නලා දෙන්නම්” කියලා. සති කීපයක් ඇතුළත ක්‍රිස්ටීන් එයාගේ යාළුවෝ හතරදෙනෙක්ව මේරිට අඳුන්නලා දුන්නා. පස්සේ ක්‍රිස්ටීන්ගේ ඒ යාළුවොත් එයාලා දන්න තව අයව මේරිට අඳුන්නලා දුන්නා. ඔය විදිහට ඕක දිගටම ගියා.

පිලිපීනයේ ඉන්න ක්‍රිස්ටීන්ගේ පවුලේ අයත් බයිබලේ ඉගෙනගන්නවා දකින්නයි ක්‍රිස්ටීන්ට ඕන වුණේ. ඒ නිසා එයා එයාගේ දුව ඇන්ඩ්‍රියාට ඒ ගැන කිව්වා. මුලදී ඇන්ඩ්‍රියා හිතන් හිටියේ මෙහෙමයි. ‘සාක්ෂිකරුවෝ කියන්නේ හරිම අමුතු ආගමක්. එයාලා යේසුස්ව විශ්වාස කරන්නේ නෑ. පාවිච්චි කරන්නෙත් පරණ ගිවිසුම විතරයි.’ ඒත් පාඩම කරපු මුල් දවසේම ඒ වැරදි අදහස මැකිලා ගියා. පාඩම කරද්දී එයා කිව්වා “බයිබලේ එහෙමනම් කියන්නේ ඒක තමයි ඇත්ත” කියලා.

ඔහොම ටික කාලයක් යද්දී ඇන්ඩ්‍රියා එයාගේ යාළුවෝ දෙන්නෙක්වයි, එයා එක්ක වැඩ කරපු කෙනෙක්වයි මේරිට අඳුන්නලා දුන්නා. ඒ වගේම ඇන්ඩ්‍රියාගේ පාඩම කරද්දී එයාගේ අන්ධ නැන්දා ඇන්ජලා එයාලා කතා කරපු දේවල් අහගෙන ඉඳලා තියෙනවා. ඒක මේරි දැනන් හිටියේ නැහැ. ඒත් දවසක් ඇන්ජලා ඇන්ඩ්‍රියාට කිව්වා එයාත් පාඩමක් පටන්ගන්න කැමතියි, එයා ගැනත් මේරිට කියන්න කියලා. පස්සේ ඇන්ජලාත් පාඩමක් පටන්ගත්තා. ඉගෙනගත්ත දේවලට එයා ගොඩක් ආස වුණා. මාසයක් ඇතුළත එයා හුඟක් බයිබල් පද මතක තියාගත්තා. එයා මේරිගෙන් ඇහුවා සතියට හතර වතාවක් බයිබල් පාඩම කරන්න පුළුවන්ද කියලා. ඇන්ඩ්‍රියාගේ උදව්වෙන් ඇන්ජලා වරද්දන්නේ නැතුව වීඩියෝ කොන්ෆරන්ස් හරහා රැස්වීම්වලටත් සම්බන්ධ වෙන්න පටන්ගත්තා.

මේරි දැනගත්තා ක්‍රිස්ටීන්ට පාඩම කරද්දී එයාගේ මහත්තයා ජොෂුවාත් ඒ අහළ පහළ ඉන්නවා කියලා. ඒ නිසා මේරි ජොෂුවාගෙනුත් ඇහුවා පාඩමට ඉන්න කැමතිද කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. “ඕනෙ නම් මං අහගෙන ඉන්නම්. හැබැයි මගෙන් ප්‍රශ්න අහන්න නම් එපා. ඇහුවොත් මං නැඟිටලා යනවා.” පාඩම පටන් අරගෙන විනාඩි පහක් ඇතුළත ක්‍රිස්ටීන්ටත් වඩා වැඩියෙන් එයා ප්‍රශ්න අහන්න ගත්තා. පස්සේ එයාත් බයිබල් පාඩමක් කරන්න කැමති වුණා.

මේරි අහපු පුංචි ප්‍රශ්නේ නිසා හුඟක් අය බයිබලේ ඉගෙනගන්න ආස වුණා. ඒ කීපදෙනෙක්ව මේරි සභාවේ අනිත් අයට භාර දුන්නා. ඔය විදිහට මේරිට පුළුවන් වුණා රටවල් හතරක ඉන්න 28දෙනෙක් එක්ක බයිබල් පාඩම් පටන්ගන්න.

මේ ලිපියේ මුලින්ම කතා කරපු මේරිගේ බයිබල් ශිෂ්‍යයාවක් වුණ ජැස්මින් 2021 අප්‍රියෙල්වල බව්තීස්ම වුණා. ක්‍රිස්ටීන් 2022 මැයිවල බව්තීස්ම වුණා. ඊටපස්සේ එයා පිලිපීනයේ එයාගේ පවුලේ අය ගාවට ගියා. ක්‍රිස්ටීන් මේරිට අඳුන්නලා දීපු තවත් දෙන්නෙකුත් බව්තීස්ම වුණා. ඊට මාස කීපයකට පස්සේ ඇන්ජලාත් බව්තීස්ම වෙලා දැන් එයා ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවේ කරනවා. ක්‍රිස්ටීන්ගේ මහත්තයා ජොෂුවා සහ එයාගේ දුව ඇන්ඩ්‍රියා වගේම තවත් කීපදෙනෙක් මේ වෙද්දී ලොකු දියුණුවක් ලබමින් ඉන්නවා.

මුල් සියවසේදී පවුලේ අය අතර, යාළුවන් අතර හරිම ඉක්මනින් ශුභාරංචිය පැතිරුණා. (යොහ. 1:41, 42අ; ක්‍රියා 10:24, 27, 48; 16:25-33) ඉතින් ඔයාත් කැමතිද ඔයා එක්ක බයිබලේ පාඩම් කරන අයගෙන්, බයිබලේ ගැන දැනගන්න උනන්දු තවත් අයගෙන් මෙහෙම අහන්න? “බයිබලේ ගැන දැනගන්න කැමති තව කාව හරි ඔයා දන්නවාද?” ඒ පුංචි ප්‍රශ්නේ නිසා කීදෙනෙක් නම් බයිබලේ ඉගෙනගන්න කැමති වෙයිද කියලා කවුද දන්නේ!

a නම් වෙනස් කරලා තියෙනවා.