ජීවිත කතාව
“මං කවදාවත් තනි වුණේ නෑ”
ජීවිතේ සිද්ධ වෙන දේවල් නිසා අපිට තනිකමක් දැනෙන්න පුළුවන්. ආදරේ කරන කෙනෙක් නැති වෙද්දී, කාත් කවුරුත් ළඟ නැති වෙද්දී, නුහුරු නුපුරුදු පැත්තකට යන්න වෙද්දී අපිට තනිකමක් දැනෙනවා. මං ඔය ඔක්කොම අද්දැක්කා. හැබැයි ඒ මොන දේ වුණත් මං කවදාවත් තනි වුණේ නෑ. ඉන්නකෝ ඒ ඇයි කියලා කියන්න.
දෙමාපියන්ගේ ආදර්ශය
අපේ තාත්තායි, අම්මායි තද කතෝලික. හැබැයි බයිබලෙන් යෙහෝවාගේ නම දැනගත්තාම එයාලා සාක්ෂිකරුවන් වුණා. මගේ තාත්තා දක්ෂ වඩුවෙක්. සත්‍යයට ආවාම එයා යේසුස්ගේ රූප කැටයම් කරන එක නතර කළා. හැබැයි පස්සේ තාත්තා එයාගේ හැකියාව පාවිච්චි කරලා ගෙදර පල්ලෙහා තට්ටුව නමස්කාර මධ්‍යස්ථානයක් කළා. ඒක තමයි පිලිපීනයේ මැනිලාවලට කිට්ටුව තිබුණ සැන් හුවාන් ඩෙල් මොන්ටේ කියන නගරේ හදපු පළවෙනි එක.
මං ඉපදුණේ 1952දී. අම්මායි, තාත්තායි අයියලා හතරදෙනාටයි, අක්කලා තුන්දෙනාටයි වගේම මටත් බයිබලේ තිබුණ වටිනා සත්‍යයන් ඉගැන්නුවා. මං ලොකු වෙද්දී තාත්තා කිව්වා හැම දවසකම බයිබලෙන් පරිච්ඡේදේ ගාණේ කියවන්න කියලා. ඒ වගේම අපේ ප්‍රකාශනවලින් එයා මාත් එක්ක පාඩම් කළා. විටින් විට චාරිකා සේවකයන්ටයි, බෙතෙල් එකේ අයටයි අපේ ගෙදර නවාතැන් දුන්නා. එයාලා කියපු දේවල්, එයාලාගේ අද්දැකීම් නිසා පවුලක් විදිහට අපි ලොකු සතුටක්, දිරිගැන්වීමක් ලැබුවා. ඒක තමයි අපිට උදව් වුණේ සේවේ මුල් තැනට දාන්න.
දෙමාපියන්ගේ විශ්වාසෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. 1971දී අම්මා නැති වුණාට පස්සේ තාත්තායි, මායි එකට පුරෝගාමි සේවේ පටන්ගත්තා. මට 20ක් වෙද්දී ඒ කියන්නේ 1973දී තාත්තාත් නැති වුණා. අම්මායි, තාත්තායි දෙන්නාම නැති වුණ නිසා මට ලොකු තනිකමක් දැනුණා. හැබැයි මං දැනන් හිටියා මගේ ‘බලාපොරොත්තුව අනිවාර්යෙන්ම ඉටු වෙනවා, ඒක සැක කරන්න කිසිම හේතුවක් නැහැ’ කියලා. (හෙබ්‍රෙ. 6:19) ඒක තමයි මට උදව් වුණේ දුකෙන් යට නොවී දේවල් දිහා හොඳ විදිහට බලලා යෙහෝවාට තව ළං වෙලා ඉන්න. තාත්තා නැති වෙලා වැඩි කල් යන්න කලින් මං විශේෂ පුරෝගාමි සේවේ පටන්ගත්තා. මට පැවරුම ලැබුණේ පාලාවන්වල කෝරොන් කියන හුදෙකලා දූපතට.
අභියෝග පිරුණු පැවරුම් මැද තනියෙන්
මං කෝරොන්වලට එද්දී මට 21යි. නගරේ හැදුණු වැඩුණු කොල්ලෙක් විදිහට එහෙට හුරු වෙන්න මට ලේසි වුණේ නෑ. එහේ හරියට කරන්ට් නෑ, වතුර නෑ. යන්න එන්න වාහනත්
අඩුයි. එහේ සහෝදරයෝ කීපදෙනෙක් හිටියාට මට පුරෝගාමි කරන්න සහයකයෙක් හිටියෙත් නෑ. සමහර වෙලාවට මං සේවේ ගියේ තට්ට තනියම. මුල් මාසේ නම් පවුලේ අය, යාළුවෝ නැතුව මට සෑහෙන අමාරු වුණා. රෑට මං අහස දිහා බලන් ඇස්වල කඳුළු පුරෝගෙන අඬනවා. මට හිතුණා පැවරුම දමලා ගහලා ආයේ යන්න.ඒ වෙලාවට මට හිතිච්ච, දැනිච්ච හැම දේම මං යෙහෝවාට කිව්වා. ප්‍රකාශනවලින්, බයිබලෙන් කියවපු දිරිගැන්වෙන දේවල් මං මතක් කරගත්තා. මගේ ඔළුවට හැම වෙලේම වගේ ආපු බයිබල් පදයක් තමයි ගීතාවලිය 19:14. එතන කියන විදිහට යෙහෝවා ‘මගේ පර්වතය. මගේ ගැලවුම්කරු.’ හැබැයි එහෙම වෙන්න නම් යෙහෝවා සතුටු වෙන දේවලින් මනස පුරෝගන්න ඕනේ. ඒකට ඔහුගේ ගුණාංග, ඔහු කරන දේවල් ගැන කල්පනා කරන්න ඕනේ. “ඔයා කවදාවත් තනි වෙලා නෑ” a කියන ලිපියත් මට උදව් වුණා. මං ඒක ආයේ ආයේ කියෙව්වා. මං තනි වුණ වෙලාවට මට දැනුණේ යෙහෝවා මගේ එහා පැත්තේ ඉන්නවා කියලා. ඒක මට උදව් වුණා ඔහුත් එක්ක කතා කරන්න, ඔහු ගැන අධ්‍යයනය කරන්න සහ ගැඹුරින් හිතන්න.
කෝරොන්වලට ගිහින් වැඩි කල් යන්න කලින් මං වැඩිමහල්ලෙක් වුණා. එහේ හිටපු එකම වැඩිමහල්ලා විදිහට මට තමයි සේවා පාසැල, සේවා රැස්වීම, පොත් පාඩම, ‘මුරටැඹ’ පාඩම ඔය ඔක්කොම මෙහෙයවන්න වුණේ. හැම සතියකම බයිබල් දේශනත් දෙන්න වුණා. ඉතිං තනිකමක් දැනෙන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.
කෝරොන්වල මං කරපු සේවේට හුඟක් හොඳ ප්‍රතිඵල ලැබුණා. මං පාඩම් කරපු සමහරු බව්තීස්ම වුණා. ඒත් අභියෝගත් නැතුවම නෙවෙයි. සමහර වෙලාවට සේවේ කරපු පැත්තට යන්න දවස් භාගයක්ම පයින් යන්න වුණා. නවතින්නේ කොහෙද කියලවත් මං දැනන් හිටියේ නෑ. අපි සේවේ කරපු පැත්තට පොඩි පොඩි දූපත් ගොඩක් අයිති වුණා. ඔය පැතිවලට යන්න තිබුණේ කුණාටු ඇති වෙන මුහුද හරහා මෝටර් බෝට්ටුවලින්. මං පීනන්න දැනන් හිටියෙත් නෑ. ඔය මොන අභියෝගේ තිබ්බත් යෙහෝවා මාව ආරක්ෂා කළා, මට හයියක් වුණා. මට පස්සේ තමයි තේරුණේ යෙහෝවා ඒ කාලේ මාව පුහුණු කළේ මගේ ඊළඟ පැවරුමට කියලා.
පැපුවා නිව් ගිනියාවේ
1978දී ඕස්ට්‍රේලියාවේ උතුරු පැත්තට වෙන්න තිබුණ පැපුවා නිව් ගිනියාවට මට පැවරුමක් ලැබුණා. එහේ ගොඩක් කඳු තිබුණා. එහේ ජනගහනය මිලියන තුනක් වුණාට එහේ භාෂා 800කට වඩා තියෙනවා. හොඳ වෙලාවට ගොඩක් අය මෙලනේසියන් පිජින් භාෂාව කතා කළා. ඒකටම තමයි ටොක් පිසිං කියලත් කියන්නේ.
එහේ අගනුවර තිබුණ ඉංග්‍රීසි සභාවකට මට තාවකාලිකව පැවරුමක් ලැබුණා. පස්සේ මං ටොක් පිසිං කතා කරන සභාවකට ගියා. එහෙදී මං ඒ භාෂාව ඉගෙනගන්න පන්තියකට ගියා. ඒකේ ඉගෙනගත්ත දේවල් මං සේවේදී පාවිච්චි කරපු නිසා ඉක්මනට ඒ භාෂාව මං ඉගෙනගත්තා. වැඩි කල් යන්න කලින් මං ටොක් පිසිංවලින් බයිබල් දේශනයකුත් දුන්නා. පැපුවා නිව් ගිනියාවට ගිහින් අවුරුද්දක් යන්නත් කලින් චාරිකා සේවකයෙක් විදිහට පැවරුම ලැබුණාම මට පුදුම හිතුණා. මට යන්න තිබුණේ එහේ එක එක පළාත්වල තිබුණ ටොක් පිසිං කතා කරන සභාවලට.
එහේ ගොඩක් ඈතින් ඈත තමයි සභා තිබුණේ. ඒ නිසා චාරිකා සමුළු සංවිධානය කරන්න සෑහෙන එහෙට මෙහෙට යන්න වුණා. මට ඒ රට අලුත්, භාෂාව අලුත්, සිරිත් විරිත් අලුත්. ඉතිං මුලදී ලොකු තනිකමක් දැනුණා. සභාවලට යන්න
තිබුණෙත් කඳු බෑවුම් තියෙන හරිම දුෂ්කර පැති හරහා. මං හැම සතියකම වගේ ප්ලේන් එකෙන් තමයි ඔය ගමන්බිමන් ගියේ. සමහර වෙලාවට ඒ ප්ලේන් එකේ හිටපු එකම කෙනා මං විතරයි. ඒ ප්ලේනුත් අබලන් වෙච්ච, පොඩි ඒවා. ඒවාවල යද්දී මට දැනුණේ මං අර පීනන්න බැරුව බෝට්ටුවල ගියා වගේ තමයි.එහේ ගොඩක් අයට ටෙලිෆෝන් තිබුණේ නෑ. සභාවලට පණිවිඩ යැව්වේ ලියුම්වලින්. හැබැයි ගොඩක් වෙලාවට ලියුම් එහෙට යන්නත් කලින් මං එහෙට ගිහින් ඉවරයි. ඒ නිසා සමහර වෙලාවට එහෙට ගිහින් මිනිස්සුන්ගෙන් අහන්න වෙනවා සාක්ෂිකරුවෝ ඉන්නේ කොහෙද කියලා. හැබැයි ඒ හැම වතාවකම සහෝදරයෝ මාව හරිම ආදරෙන් පිළිගත්තා. එයාලව දැක්කාම මට තේරුණා මගේ වෙහෙස වතුරේ යන්නේ නෑ කියලා. මං යෙහෝවාගේ උදව් ගොඩක් විදිවලින් අද්දැක්කා. ඔහුත් එක්ක තිබුණ බැඳීමත් තව වැඩි වුණා.
මං බෝගෙයින්විල් කියන දූපතට ආපු මුල්ම සැරේ මං දැක්කා දෙන්නෙක් මං දිහා හිනා වෙලා බලාගෙන ඉන්නවා. පස්සේ එයාලා ඇවිත් ඇහුවා “ඔයාට අපිව මතකද” කියලා. බලද්දී එයාලා මං පැපුවා නිව් ගිනියාවට ගිය මුල් කාලේ සාක්ෂි දරපු දෙන්නෙක්. මං එයාලට පාඩමක් කරලා පස්සේ ඒක වෙන සහෝදරයෙක්ට භාර දුන්නා. දැන් එයාලා බව්තීස්මත් වෙලා. මං පැපුවා නිව් ගිනියාවේ හිටපු අවුරුදු තුනේදී ලබපු එක ආශීර්වාදයක් තමයි ඕක.
වැඩ පිරුණු පුංචි පවුලක්!
1978දී මං කෝරොන්වලින් යන්න කලින් ලස්සන, ගොඩක් කැප කිරීම් කරපු ඇඩෙල් කියලා සහෝදරියක්ව අඳුරගන්න ලැබුණා. එයා එයාගේ ළමයි දෙන්නා සැමුවෙල්වයි, ෂර්ලිවයි බලාගන්න ගමන් ස්ථාවර පුරෝගාමි කළා. එයාගේ වයසක අම්මාව බලාගත්තෙත් එයා. 1981 මැයිවල මං ඇඩෙල්ව බඳින්න පිලිපීනයට ගියා. පස්සේ පවුලේ අයවත් බලාගන්න ගමන් අපි ස්ථාවර පුරෝගාමි කළා.
පවුල් වගකීම් තිබුණත් 1983දී මාව ආයේ විශේෂ පුරෝගාමියෙක් විදිහට පාලාවන්වල ලිනපකාන් කියන දූපතට යැව්වා. අපි ඔක්කොම එහේ ගියා. ඒක හුදෙකලා පැත්තක්. සාක්ෂිකරුවන් හිටියෙත් නෑ. එහෙට ගිහින් අවුරුද්දක් විතර යද්දී ඇඩෙල්ගේ අම්මා නැති වුණා. ඒ දුක දරාගන්න දිගටම සේවේ කරපු එක අපිට උදව් වුණා. හොඳට දියුණු වුණ බයිබල් පාඩම් ගොඩක් අපිට එහෙදී හම්බ වුණ නිසා නමස්කාර මධ්‍යස්ථානයක් ඕන වුණා. ඉතිං අපිම එකක් හැදුවා. අපි එහෙට ගිහින් අවුරුදු තුනකට විතර පස්සේ සිහි කිරීමට 110දෙනෙක් ආවා. ඒ ආපු අයගෙන් හුඟදෙනෙක් පස්සේ බව්තීස්මත් වුණා.
1986දී මට කූලියොන්වලට පැවරුමක් ලැබුණා. එහෙදී ඇඩෙල්ටත් විශේෂ පුරෝගාමියෙක් විදිහට පැවරුම ලැබුණා. කූලියොන්වල ලාදුරු රෝගීන් ඉන්න කොලනියක් තිබුණා. මුලදී නම් අපි ඒ රෝගීන්ට දේශනා කරන්න ටිකක් බය වුණා. හැබැයි එහේ හිටපු සහෝදරයන් කිව්වා ඒ රෝගීන්ට ප්‍රතිකාර ලැබෙන නිසා බෝ වෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි කියලා. සමහර ලාදුරු රෝගීන් අපේ සහෝදරියකගේ ගෙදර තිබුණ රැස්වීම්වලටත් ආවා. කාලෙත් එක්කම අපේ බය ඇරිලා ගියා. ලාදුරු රෝගීන් හිතන් හිටියේ දෙවියනුයි, මිනිස්සුයි එයාලව පැත්තකට දාලා කියලා. ඒ වගේ අයට බයිබලේ තියෙන බලාපොරොත්තුව ගැන කියන්න අපිට පුළුවන් වුණා. දවසක එයාලාගේ ලෙඩේ නැත්තටම නැති වෙනවා කියලා ලූක් 5:12, 13.
දැනගත්තාම ඒ මූණුවල ඇඳුණු හිනාව දැක්කාම අපිටත් සතුටක් දැනුණා.—කෝරොන්වල හිටපු තරුණ සහෝදරියන් දෙන්නෙක්ට කූලියොන්වලට ඇවිත් සේවේ කරන්න කියලා අපි කතා කළා. එයාලාගේ ආශ්‍රය අපේ ළමයින්ටත් හොඳයිනේ. කූලියොන්වලට හුරු වෙන්නත් ඒක අපේ ළමයින්ට උදව් වුණා. සැමුවෙලුයි, ෂර්ලියි ඒ දෙන්නාත් එක්ක හොඳට සේවේ කළා. එයාලා ගොඩක් ළමයින්ට පාඩම් කළා. ඇඩෙලුයි, මායි ඒ ළමයින්ගේ දෙමාපියන්ට පාඩම් කළා. ඔහොම අපි පවුල් 11ක් එක්කම පාඩම් කළා. වැඩි කල් යන්න කලින් හොඳට දියුණු වෙන බයිබල් පාඩම් ගොඩක් අපිට තිබුණා. ඒ නිසා එහේ සභාවකුත් පිහිටෙව්වා.
මුලදී නම් මං තමයි ඒ පැත්තේ හිටපු එකම වැඩිමහල්ලා. ඉතිං ශාඛා කාර්යාලයෙන් මගෙන් ඇහුවා කූලියොන්වල හිටපු ප්‍රචාරකයන් අටදෙනාට රැස්වීම් තියන්න පුළුවන්ද කියලා. ඊටපස්සේ මරිලි කියන ගමේ හිටපු ප්‍රචාරකයන් නවදෙනාටත් රැස්වීම් තියන්න පුළුවන්ද ඇහුවා. ඔය මරිලි කියන පැත්තට යන්න බෝට්ටුවෙන් පැය තුනක් විතර යනවා. එහේ රැස්වීම ඉවර වුණාට පස්සේ අපි කට්ටියම කඳු පීරගෙන පැය ගණන් ගිහින් හැල්සි කියන ගමේ බයිබල් පාඩම්වලට යනවා.
මරිලිවලයි, හැල්සිවලයි හිටපු ගොඩදෙනෙක් වැල නොකැඩී සත්‍යයට ආවා. ඒ නිසා ඔය තැන් දෙකේම අපි නමස්කාර මධ්‍යස්ථාන හැදුවා. ලිනපකාන්වල අය වගේම මෙහේ සහෝදරයොයි, බයිබල් පාඩමුයි ඒවා හදන්න ඕන කරන බඩු අපිට දුන්නා. ඒ වගේම එයාලා ඒ වැඩවලට උදව් කළා. මරිලිවල හදපු හෝල් එකට 200ක් විතර දාන්න පුළුවන්. ඒ හෝල් එක තව ලොකු කරලා ඕනෙ නම් සමුළු තියන්නත් පුළුවන්.
දුක, තනිකම මැද්දේ ආයෙත් සතුට
අපේ ළමයි ලොකු වුණාට පස්සේ 1993දී මායි, ඇඩෙලුයි පිලිපීනයේ චාරිකා සේවේ ගියා. 2000දී මං දේවසේවා පුහුණු පාසැලට ගියා. ඒ, ඒකේ උපදේශකයෙක් විදිහට පුහුණුව ලබන්න. මට හිතුණෙම මං ඒ පැවරුමට සුදුසු නෑ කියලා. හැබැයි ඇඩෙල් මාව ගොඩක් දිරිගැන්නුවා. ඇඩෙල් මට කිව්වා “ඔයාගේ පැවරුම කරන්න ඕන කරන ශක්තිය යෙහෝවා ඔයාට දෙයි” කියලා. (ෆිලි. 4:13) ඇඩෙල් ඒක කිව්වේ එයාගේ අද්දැකීමෙන්මයි. මොකද එයා සේවේ කළේ ගොඩක් අසනීප තියාගෙන.
2006දී වුණේ අපි හීනෙකින්වත් හිතපු නැති දෙයක්. ඇඩෙල්ට පාකින්සන් තියෙනවා කියලා
හොයාගත්තා. ඒ වෙද්දී මං උපදේශකයෙක් විදිහට සේවේ කරකරයි හිටියේ. මට හිතුණා ඇඩෙල්ව බලාගන්න ඕන නිසා පැවරුම අත්හරින්න. හැබැයි ඇඩෙල් කිව්වා “මට බෙහෙත් කරන්න පුළුවන් දොස්තර කෙනෙක්ව හොයලා දෙන්න. දිගටම පැවරුම කරන්න යෙහෝවා අපිට උදව් කරයි” කියලා. ඊළඟ අවුරුදු හයේම ඇඩෙල් අමාරුකම් තිබුණත් ඒ ගැන මුකුත් නොකියා දිගටම සේවේ කළා. එයාට ඇවිදගන්න බැරි වුණාට පස්සේ එයා රෝද පුටුවෙන් ගිහින් සේවේ කළා. එයාට කතා කරගන්න අමාරු වුණාම රැස්වීමේදී වචනයක්, දෙකක් හරි ගළපගෙන අදහස් දුන්නා. 2013දී ඇඩෙල් නැති වුණා. ඒ වෙන කල්ම එයාව අගය කරලා සහෝදර සහෝදරියන් එයාට එක දිගට මෙසේජ් එව්වා. මං අවුරුදු 30කට වඩා මගේ ආදරණීය, විශ්වාසවන්ත යාළුවාත් එක්ක මගේ ජීවිතේ බෙදාගත්තා. දැන් එයා නැති මගේ ලෝකේ මට ලොකු තනිකමක්, දුකක් දැනෙනවා.ඇඩෙල්ට ඕන වුණෙත් මං දිගටම පැවරුම කරනවා දකින්නයි. ඉතින් මං ඒක කළා. සේවේට වැඩි කාලයක් දෙන එක තනිකම දරාගන්න මට උදව් වුණා. 2014 ඉඳන් 2017 වෙන කල් අපේ වැඩ තහනම් කරපු රටවල ටගාලොග් භාෂාව කතා කරන සභා බලන්න යන්න මට පැවරුමක් හම්බ වුණා. ඒ පැවරුමෙන් පස්සේ මට අවස්ථාව ලැබුණා තායිවානයේ, ඇමරිකාවේ සහ කැනඩාවේ ටගාලොග් භාෂාව කතා කරන සභාවලට යන්න. 2019දී ඉන්දියාවේ සහ තායිලන්තයේ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වපු SKE පාසැලේ මං උපදේශකයෙක් විදිහට වැඩ කළා. මේ හැම පැවරුමකින්ම මට ලැබුණේ ලොකු සතුටක්. ඇත්තටම යෙහෝවාට මගේ උපරිමේ දෙද්දී තමයි මං ජීවිතේ වැඩියෙන්ම සතුටින් හිටියේ.
උදව් වැඩි ඈතක නෑ
ලැබුණ හැම පැවරුමකින්ම මං සහෝදර සහෝදරියන්ට තව ළං වුණා. ඉතිං එයාලව දාලා යන්න වෙද්දී ලේසි වුණේ නෑ. ඒ වගේ වෙලාවට මං යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න ඉගෙනගත්තා. ඔහුගේ උදව් මං හැම තිස්සේම වගේ අද්දැක්කා. ඒක මට උදව් වුණා ජීවිතේ මොන හැලහැප්පීම් ආවත් ඒවාට හුරු වෙන්න. දැන් මං පිලිපීනයේ විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවේ කරනවා. අලුත් සභාවත් දැන් මට හොඳට හුරුයි. එයාලා මට ගොඩක් උදව් කරනවා. මගේම පවුලේ අය වගේ මාව බලාගන්නවා. අපේ ෂර්ලියි, සැමුවෙලුයි අම්මාගේ අඩිපාරේ යනවා දැක්කාම මට හරි ආඩම්බරයි.—3 යොහ. 4.
මං ජීවිතේ ගොඩක් අභියෝගවලට මූණ දීලා තියෙනවා. මගේ නෝනා දරුණු අසනීපයක් හැදිලා දුක් විඳලා මගෙන් වෙන් වෙන විදිහත් මට බලන් ඉන්න වුණා. විටින් විට තත්වයන් අලුත් වෙද්දී ඒවාට හැඩගැහෙන්නත් මට සිද්ධ වුණා. හැබැයි මං අදටත් යෙහෝවා “අපෙන් දුරස් වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි” කියන දේ අද්දකිනවා. (ක්‍රියා 17:27) අපි හුදෙකලා පැත්තක හිටියත් අපිට උදව් කරන්න “බැරි තරමට යෙහෝවා දෙවියන්ගේ අත කොට නැහැ.” (යෙසා. 59:1) යෙහෝවා මගේ පර්වතය. ඔහු ජීවිත කාලේ පුරාම මං ළඟ හිටියා. ඒකට මං ඔහුට හදවතින්ම ස්තුති කරනවා. යෙහෝවා හිටපු නිසා මං කවදාවත් තනි වුණේ නෑ.
a 1972 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 521-527 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)