Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 6

ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

යෙහෝවා දෙන සමාව අගය කරන්න ඕනෙ ඇයි?

යෙහෝවා දෙන සමාව අගය කරන්න ඕනෙ ඇයි?

“දෙවියන් මුළු ලෝකයටම කොච්චර ආදරේ කළාද කියනවා නම් ඔහුගේ එකම පුතාව එයාලා වෙනුවෙන් දුන්නා.”යොහ. 3:16.

ලිපියේ අරමුණ

යෙහෝවා දෙන සමාව ගැන අපේ හිතේ තියෙන අගය තව වැඩි කරගන්නයි අපිට ඕනේ. අපිට සමාව දෙන්න ඔහු කරලා තියෙන දේ ගැන කල්පනා කරන එක ඒකට උදව් වෙනවා.

1-2. උදාහරණේ කතා කරන තරුණයාගේ තත්වෙට අපේ තත්වේ සමාන වෙන්නේ කොහොමද?

 හොඳට සල්ලි බාගේ තියන පවුලක හැදී වැඩෙන තරුණයෙක් ඉන්නවා. දවසක් හදිස්සියේම එයාගේ දෙමාපියන් අනතුරකින් මැරෙනවා. ඒක දැනගත්තාම එයාගේ මුළු ලෝකෙම කඩන් වැටෙනවා. හැබැයි දේවල් එතනින් නතර වෙන්නේ නැහැ. එයා දැනගන්නවා එයාගේ දෙමාපියන් හතර වටේටම ණය වෙලා කියලා. අම්මලා එයාට ඉතුරු කරලා ගිහින් තියෙන්නේ ලොකු බූදලයක් නෙවෙයි ලොකු ණය බරක්! ණයකාරයෝ එයාගේ පස්සෙන් පන්නනවා. හැබැයි ඒක ජීවිතේට ගෙවලා ඉවර කරන්න පුළුවන් ණයක් නම් නෙවෙයි.

2 අපේ තත්වෙත් හරියට ඒ තරුණයාගේ තත්වේ වගේ. අපේ මුල් දෙමාපියන් වුණ ආදම් සහ ඒව පරිපූර්ණ අය. ඒගොල්ලෝ ජීවත් වුණේ හරිම ලස්සන උයනක. (උත්. 1:27; 2:7-9) ඒගොල්ලන්ට මේ පොළොවේ සතුටින් හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. හැබැයි හැම දේම එකපාරට වෙනස් වුණා. එයාලාගේ නිවහන වුණ ලස්සන උයන එයාලට නැති වුණා. සදාකල් ජීවත් වෙන අවස්ථාවත් ඒගොල්ලන්ට නැති වුණා. එයාලාගේ දරුවන්ට දෙන්න මොනවාද එයාලට ඉතුරු වුණේ? බයිබලේ මෙහෙම කියනවා. “එක මිනිසෙක් නිසා ලෝකෙට පව්කාරකම ඇතුල් වුණා. ඒ පව්කාරකමේ ප්‍රතිඵලය මරණයයි. මරණය හැමෝටම උරුම වුණා. මොකද හැමෝම වැරදි කළා.” (රෝම 5:12) ආදම් එයාගේ දරුවන්ට දීපු උරුමය පව්කාරකම. ඒකේ ප්‍රතිඵලය මරණය. අපිට උරුම වුණ මේ පව්කාරකම හරියට ලොකු ණයක් වගේ. ඒක කවදාවත් ගෙවලා ඉවර කරන්න පුළුවන් එකක් නම් නෙවෙයි.—ගීතා. 49:8.

3. අපේ පව් ‘ණයකට’ සමාන වෙන්නේ කොහොමද?

3 යේසුස් අපේ පව් ‘ණයකට’ සමාන කළා. (මතෙ. 6:12, පාදසටහන; ලූක් 11:4) අපි වැරදි කරද්දී ඒක හරියට අපි යෙහෝවාට ණය වෙනවා වගේ. කාගෙවත් උදව් නැතුව අපිට තනියෙන් ඒ ණය ගෙවලා ඉවර කරන්න බැහැ. ඒ ණය අහෝසි වෙන්නේ අපි මැරුණාම විතරයි.—රෝම 6:7, 23.

4. (අ) උදව් ලැබුණේ නැත්නම් පාපය උරුම වුණ හැමෝටම වෙන්නේ මොකක්ද? (ගීතාවලිය 49:7-9) (ආ) බයිබලේ “පාපය” කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? (“ පාපය” කියන කොටුව බලන්න.)

4 ආදම් සහ ඒව නැති කරගත්ත හැම දේම ආයේ ලබාගන්න අපිට පුළුවන්ද? අපේ හැකියාවෙන් නම් ඒක කීයටවත් කරන්න බැහැ. (ගීතාවලිය 49:7-9 කියවන්න.) උදව් ලැබුණේ නැත්නම් අපිට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපිට නැවත නැඟිටීමකුත් නැහැ. අපිත් සත්තු වගේ නිකම්ම මැරිලා යයි.—දේශ. 3:19; 2 පේතෘ. 2:12.

5. අපිට උරුම වුණ ණය ගෙවන්න අපේ ආදරණීය තාත්තා අපිට උදව් කළේ කොහොමද? (පින්තූරය බලන්න.)

5 අපි කලින් කතා කරපු තරුණයා ගැන ආයෙත් හිතන්න. ලොකු සල්ලිකාරයෙක් එයාට උරුම වුණ ණය සම්පූර්ණයෙන්ම ගෙවන්නම් කියලා කියනවා. ආයේ කතා දෙකක් නැහැ ඒ කෙනා ගැන තරුණයාගේ හිතේ ලොකු අගයක් ඇති වෙයි. අපේ ආදරණීය තාත්තා යෙහෝවාත් ආදම්ගෙන් අපිට උරුම වුණ ණය ගෙවන්න ඉදිරිපත් වුණා. ඒ, අපි වෙනුවෙන් වටින තෑග්ගක් දීලා. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “දෙවියන් මුළු ලෝකයටම කොච්චර ආදරේ කළාද කියනවා නම් ඔහුගේ එකම පුතාව එයාලා වෙනුවෙන් දුන්නා. එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම විනාශ වෙන්නේ නැතුව සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි.” (යොහ. 3:16) ඒ තෑග්ග නිසා යෙහෝවා එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් අපිට අවස්ථාව හම්බ වුණා.

ජීවිත පූජාව ගැන විශ්වාසේ තියෙන අයට යෙහෝවා සමාව දෙනවා කියන ශුභාරංචිය යේසුස් දේශනා කළා. (යොහ. 3:16) ඊටපස්සේ අවශ්‍ය වන්දිය දෙන්න යේසුස් ඔහුගේ ජීවිතේ කැමැත්තෙන්ම පූජා කළා (5 ඡේදය බලන්න)


6. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? ඒ ඇයි?

6 අපේ පව්වලට සමාව ලබා දෙන්න යෙහෝවා අපි වෙනුවෙන් දීපු තෑග්ගෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද? ඒකට උත්තරේ දැනගන්න බයිබලේ පාවිච්චි කරලා තියෙන යෙදුම් කීපයක් ගැනත් ඒවාවලින් අදහස් කරන දේ ගැනත් අපි මේ ලිපියෙන් බලනවා. මොකද අපේ වැරදිවලට සමාව දෙන්න යෙහෝවා අපි වෙනුවෙන් කරලා තියෙන දේ ගැන අපි හිතන්න හිතන්න ඔහු ගැන අපේ හිතේ තියෙන අගය තව වැඩි වෙනවා.

ඉලක්කය

7. (අ) ආදම් සහ ඒව නැති කරගත්තේ තව මොනවාද? (ආ) ආදම් සහ ඒවගෙන් පැවතෙන අය විදිහට අපි කරන්නම ඕනෙ මොකක්ද? (රෝම 5:10, 11)

7 ආදම් සහ ඒව නැති කරගත්තේ සදාකල් ජීවත් වෙන්න තිබුණ අවස්ථාව විතරක් නෙවෙයි. එයාලාගේ ආදරණීය තාත්තා වුණ යෙහෝවා එක්ක එයාලට තිබුණ වටිනා බැඳීමත් එයාලට නැති වුණා. මුලින් එයාලා දෙවියන්ගේ පවුලේ සාමාජිකයන්. (ලූක් 3:38) හැබැයි එයාලා දෙවියන්ට අකීකරු වුණාම දෙවියන් එයාලව ඔහුගේ පවුලෙන් අයින් කළා. ඒක වුණේ එයාලට දරුවන් බිහි වෙන්න කලින්. (උත්. 3:23, 24; 4:1) අපි එයාලාගෙන් පැවතෙන අය නිසා අපි දෙවියන්ගේ හතුරන් වුණා. යෙහෝවාත් එක්ක ආයෙත් හොඳ බැඳීමක් ඇති කරගෙන ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙන්න නම් අපි ඔහුත් එක්ක සමාදාන වෙන්නම ඕනේ. (රෝම 5:10, 11 කියවන්න.) එක පොතක කියන විදිහට දෙවියන් එක්ක “සමාදාන වෙන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනේ තේරුම “හතුරෙක්ව යාළුවෙක් කරගන්නවා” කියන එකයි. ඇත්තටම හතුරන් වෙලා හිටපු අපිව යාළුවන් කරගන්න යෙහෝවාමයි මුලපිරුවේ.

සැලැස්ම

8. යෙහෝවා ඇති කරපු සැලැස්ම මොකක්ද?

8 පාපය උරුම වුණ අපිට දෙවියන් එක්ක සමාදාන වෙලා ආයෙත් ඔහුගේ යාළුවන් වෙන්න උදව් වෙන සැලැස්මක් යෙහෝවා ඇති කළා. ඒ සැලැස්ම නිසා ආදම් නැති කරගත්ත හැම දෙයක්ම ආයෙත් අපිට දෙන්න දෙවියන්ට පුළුවන්. ඒ කොහොමද? ඒ, ආදම් නැති කරගත්ත දේට සමාන වටිනාකමක් තියෙන දෙයක් අපි වෙනුවෙන් දීලයි. රෝම 3:25 කියනවා ‘දෙවියන් එක්ක අපිට ආයෙත් සමාදාන වෙන්න ඔහු පූජාවක් දුන්නා’ කියලා. ඒ පූජාව නිසා අපි එක් එක් කෙනාට දෙවියන් එක්ක සමාදාන වෙලා ඔහුගේ යාළුවන් වෙන්න අවස්ථාව තියෙනවා.

9. ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදිවලට සමාව දෙන්න යෙහෝවා තාවකාලිකව ඇති කරපු සැලැස්ම මොකක්ද?

9 ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදිවලට සමාව දෙන්න යෙහෝවා තාවකාලික සැලැස්මක් ඇති කළා. ඒක නිසා යෙහෝවා එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න එයාලට පුළුවන් වුණා. ඊශ්‍රායෙල්වරු අවුරුද්දකට වතාවක් විශේෂ උත්සවයක් සැමරුවා. ඒ තමයි සමඟි වීමේ දවස. ඒ දවසේදී උත්තම පූජකයා සෙනඟ වෙනුවෙන් සත්ව පූජා ඔප්පු කළා. ඇත්ත, සත්ව පූජාවලට බැහැ සෙනඟගේ පව්වලට සම්පූර්ණ සමාවක් ලබා දෙන්න. ඒත් ඊශ්‍රායෙල්වරු අවංකව පසුතැවිලා යෙහෝවා කියලා තිබුණ විදිහට පූජා ඔප්පු කරන කල් යෙහෝවා එයාලාගේ වැරදිවලට සමාව දෙන්න ලෑස්ති වෙලා හිටියා. (හෙබ්‍රෙ. 10:1-4) ඒ සැලැස්මෙනුයි, නිතිපතා ඔප්පු කරපු පාප පූජාවලිනුයි එයාලට මතක් කළා එයාලාගේ පව්කාරකම සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒ වගේම සත්ව පූජාවලට වඩා ශ්‍රේෂ්ඨ, ස්ථිර පූජාවක් අවශ්‍යයි කියලත් එයාලට මතක් කළා.

10. පව්වලට සමාව දෙන්න යෙහෝවා ඇති කරපු ස්ථිර සැලැස්ම මොකක්ද?

10 මිනිස්සුන්ගේ වැරදිවලට සමාව දෙන්න යෙහෝවා ස්ථිර සැලැස්මක් ඇති කළා. ‘හුඟදෙනෙක්ගේ පව් තමන් පිටට අරන් ජීවිතේ එක පාරක් ඔප්පු කරන්න’ ඔහු තමන්ගේ එකම පුතාව එව්වා. (හෙබ්‍රෙ. 9:28) යේසුස් ‘හුඟදෙනෙක්ව මිල දීලා ගන්න ඔහුගේ ජීවිතය වන්දියක්’ විදිහට දුන්නා. (මතෙ. 20:28) ඒත් ඇයි වන්දියක් ඕන වුණේ?

වන්දිය

11. (අ) බයිබලේ කියන විදිහට වන්දියක් ගෙවන්න ඕනෙ ඇයි? (ආ) ඒක ගෙවන්න පුළුවන් කොයි වගේ කෙනෙක්ට විතරද?

11 බයිබලේ කියන විදිහට වැරදිවලට සමාව ලබාගෙන දෙවියන් එක්ක ආයෙත් සමාදාන වෙන්න නම් වන්දියක් ගෙවන්න ඕනේ. a ආදම් නැති කරගත්ත ජීවිතේට ගෙවන්න ඕන වන්දිය මොකක්ද? ආදම් සහ ඒව නැති කරගත්තේ පරිපූර්ණ ජීවිතයක්. එයාලට සදාකල් ජීවත් වෙන්න අවස්ථාවත් තිබුණා. ඉතින් ගෙවන වන්දිය නැති වුණ දේට 100%ක් සමාන වෙන්න ඕනේ. (1 තිමෝ. 2:6) ඒ වන්දිය ගෙවන්න පුළුවන් (1) පරිපූර්ණ, (2) සදහටම මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව තියෙන වගේම (3) ඒ ජීවිතේ පූජාවක් විදිහට අපි වෙනුවෙන් දෙන්න කැමති, වැඩිහිටි කෙනෙක්ට විතරයි.

12. නියමිත වන්දිය ගෙවන්න යේසුස්ට පුළුවන් වුණේ ඇයි?

12 යේසුස්ට ඒ වන්දිය ගෙවන්න පුළුවන් වුණේ ඇයි? මේ හේතු තුන බලන්න. (1) ඔහු ඉපදුණේ පරිපූර්ණ කෙනෙක් විදිහට. ‘ඔහු කිසිම වරදක් කළේ නැහැ.’ (1 පේතෘ. 2:22) (2) ඒ නිසා ඔහුට මේ පොළොවේ සදාකල් ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. (3) ඒ ජීවිතේ ඔහු අපි වෙනුවෙන් පූජා කරන්න කැමති වුණා. (හෙබ්‍රෙ. 10:9, 10) යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණ නිසා ආදම් පව් කරන්න කලින් හිටපු තත්වෙට ඔහු සීයට සීයක් සමානයි. (1 කොරි. 15:45) යේසුස්ගේ මරණය නිසා ඔහුට පුළුවන් වුණා ආදම් නැති කරගත්ත දේ වෙනුවෙන් නියමිත වන්දිය ගෙවන්න. (රෝම 5:19) ඒ විදිහට යේසුස් “අන්තිම ආදම්” වුණා. යේසුස් ඔහුගේ ජීවිතේ එක පාරක් දීලා “සදහටම” ප්‍රයෝජන ලැබෙන පූජාවක් ඔප්පු කළා. ඒ නිසා ආදම් නැති කරගත්ත දේ වෙනුවෙන් පරිපූර්ණ කෙනෙක් ඇවිත් ආයෙත් පූජාවක් ඔප්පු කරන්න අවශ්‍ය නැහැ.—හෙබ්‍රෙ. 7:27; 10:12.

13. යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන් මොකක් නිසාද?

13 යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන් මොකක් නිසාද? අපේ වැරදිවලට සමාව දෙන්න යෙහෝවා සැලැස්මක් ඇති කළා. ඒ සැලැස්මට අනුව යේසුස් ඔහුගේ පරිපූර්ණ ජීවිතේ පූජා කරලා වැරදිවලට සමාව ලබා දෙන්න ඕන කරන වන්දිය ගෙව්වා.—එෆී. 1:7; හෙබ්‍රෙ. 9:14.

ප්‍රතිඵල

14. දැන් අපි බලන්නේ මොනවා ගැනද? ඒ ඇයි?

14 යෙහෝවා අපි වෙනුවෙන් ඇති කරපු සැලැස්මෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න බයිබලේ පාවිච්චි කරලා තියෙන යෙදුම් දෙකක් ගැන දැන් බලමු. යෙහෝවා අපිට සමාව දෙන එකෙන් අපිට ලැබෙන්නේ මොනවාද කියලා තේරුම්ගන්න එතකොට අපිට පුළුවන් වෙයි.

15-16. (අ) බයිබලේ මුදවගන්නවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (ආ) ඒක අපිට බලපාන්නේ කොහොමද?

15 බයිබලේ කියනවා අවශ්‍ය වන්දිය ගෙවලා තියෙන නිසා අපිව මුදවගත්තා නැත්නම් නිදහස් කළා කියලා. ඒ ගැන පේතෘස් මෙහෙම කියනවා. “ඔයාලාගේ මුතුන්මිත්තන්ගෙන් උරුම වුණ කිසි තේරුමක් නැති ජීවිතෙන් ඔයාලව නිදහස් කළේ [මුදවගත්තේ] රිදී, රත්තරන් වගේ නැති වෙලා යන දේවල් දීලා නෙමෙයි. ඔයාලව නිදහස් කළේ කිසිම කැළලක්, කිසිම දෝෂයක් නැති බැටළු පැටියෙක්ගේ ලේවලට සමාන, ගොඩක් වටින ක්‍රිස්තුස්ගේ ලේ දීලයි.”—1 පේතෘ. 1:18, 19.

16 අපිට උරුම වුණ පාපය සහ මරණය නිසා අපි ගොඩක් දුක් වේදනා අද්දකිනවා. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. (රෝම 5:21) යේසුස්ගේ අනර්ඝ රුධිරය දීලා අපිව මුදවගත්ත එක ගැන අපි යෙහෝවාටයි, යේසුස්ටයි සදා ණයගැතියි!—1 කොරි. 15:22.

17-18. (අ) ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (ආ) ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 බයිබලේ කියනවා යෙහෝවා ඔහුගේ සේවකයන්ව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ අපිට විරුද්ධව තියෙන චෝදනාවලින් අපිව නිදහස් කරලා අපේ පව් මකලා දානවා කියන එකයි. එහෙම කරන එකෙන් යුක්තිය සම්බන්ධයෙන් ඔහු පිහිටුවලා තියෙන ප්‍රමිති ඔහු බාල කරන්නේ නැහැ. ඔහු අපිව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරන්නේ අපි ඒක ලබන්න වටිනා අය නිසාවත් ඔහු අපේ පව් සුළුවට සලකන නිසාවත් නෙවෙයි. ඒ වෙනුවට ඔහු අපිට සමාව දෙන්නේ, පව්වලට සමාව දෙන්න ඔහු ඇති කරපු සැලැස්ම ගැනත් අපිව මුදවගන්න ගෙවපු වන්දිය ගැනත් අපිට තියෙන විශ්වාසය නිසයි.—රෝම 3:24; ගලා. 2:16.

18 අපිව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? යේසුස් එක්ක ස්වර්ගයේ ඉඳන් පාලනයට හවුල් වෙන්න තෝරගෙන තියෙන අයව දෙවියන්ගේ දරුවන් විදිහට සලකලා ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. (තීත. 3:7; 1 යොහ. 3:1) එයාලාගේ පව්වලට දැනටමත් සමාව ලැබිලයි තියෙන්නේ. එයාලා කරපු පව් සම්පූර්ණයෙන්ම මකලා දාලා. ඒ නිසා දේවරාජ්‍යයේ පාලනයට හවුල් වෙන්න එයාලට සුදුසුකම් තියෙනවා. (රෝම 8:1, 2, 30) මේ පොළොවේ ජීවත් වෙන බලාපොරොත්තුව තියෙන අයව දෙවියන්ගේ යාළුවන් විදිහට සලකලා ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එයාලාගේ පව්වලටත් සමාව ලැබිලයි තියෙන්නේ. (යාකො. 2:21-23) අර්මගෙදොන් යුද්දෙන් බේරෙන මහත් සමූහයට කවදාවත් මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. (යොහ. 11:26) මිය ගිහින් ඉන්න “ධර්මිෂ්ඨ” සහ “අධර්මිෂ්ඨ” අය නැවත නැඟිටින්න යනවා. (ක්‍රියා 24:15; යොහ. 5:28, 29) අන්තිමේදී යෙහෝවාට කීකරු වෙන මේ පොළොවේ ඉන්න හැමෝටම ‘දෙවියන්ගේ දරුවන් අද්දකින තේජවත් නිදහස අද්දකින්න ලැබෙනවා.’ (රෝම 8:21) අපේ ආදරණීය තාත්තා එක්ක ඒ වගේ බැඳීමක් ඇති කරගන්න පුළුවන් දවස එන කල් අපි බලාගෙන ඉන්නේ ඉස්පාසුවක් නැතුව!

19. අපි හිටපු තත්වේ හොඳ අතට හැරිලා තියෙන්නේ කොහොමද? (“ යෙහෝවා දෙන සමාව” කියන කොටුවත් බලන්න.)

19 අපිත් හිටියේ හැම දෙයක්ම නැති වුණ, කවදාවත් ගෙවාගන්න බැරි ලොකු ණයකට හිර වුණ තරුණයා වගේ. ඒත් යෙහෝවා අපේ උදව්වට ආවා. අපේ පව්වලට සමාව දෙන්න යෙහෝවා සැලැස්මක් ඇති කරපු නිසාත් ඒ වෙනුවෙන් දෙන්න ඕන වන්දිය යේසුස් ගෙවපු නිසාත් අපි හිටපු තත්වේ වෙනස් වුණා. යේසුස් ගැන අපිට විශ්වාසයක් තියෙන නිසා පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්න අපිට අවස්ථාව තියෙනවා. යෙහෝවා අපේ පව්වලට සමාව දුන්නාට පස්සේ ඔහු සලකන්නේ කවදාවත් ඒවා අපි අතින් නොවුණ ගාණට. ඒ හැම දේටම වඩා වැදගත්ම දේ තමයි අපිට අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න දැන් පුළුවන් වෙලා තියෙන එක.

20. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

20 යෙහෝවායි, යේසුයි අපි වෙනුවෙන් කරපු දේ ගැන හිතද්දී අපේ හිතේ ලොකු අගයක් ඇති වෙනවා. (2 කොරි. 5:15) එයාලා අපේ උදව්වට ආවේ නැත්නම් අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැ. යෙහෝවා අපිට සමාව දුන්නාම අපි ඒ ගැන ආයේ හිතහිත වධ වෙන්න ඕනෙ නැහැ කියලා පෙන්නන උදාහරණ බයිබලේ තියෙනවා. අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 10 යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න

a සමහර භාෂාවල “වන්දියක්” කියන වචනේ පරිවර්තනය කරලා තියෙන්නේ “ජීවිතයක් වෙනුවෙන් කරන ගෙවීමක්” විදිහටයි.