පාඩම් ලිපිය 8
ගීතිකාව 130 සමාව දෙන්න
යෙහෝවා දෙන සමාව ආදර්ශයට ගන්න
“යෙහෝවා අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දීලා තියෙනවා වගේ ඔයාලත් ඒ විදිහටම එයාලට සමාව දෙන්න.”—කොලො. 3:13.
ලිපියේ අරමුණ
අපේ හිත රිද්දපු කෙනෙක්ට සමාව දෙන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන මේ ලිපියෙන් බලනවා.
1-2. (අ) කෙනෙක්ට සමාව දෙන්න අපිට අමාරු වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? (ආ) ඩෙනිස් සමාව දුන්නේ කොහොමද?
ඔයාට කවදා හරි දැනිලා තියෙනවාද කෙනෙක්ට සමාව දෙන්න ගොඩක් අමාරුයි කියලා? හුඟක් අයට එහෙම දැනෙනවා. විශේෂයෙන්ම කෙනෙක් අපේ හිතට ලොකු වේදනාවක් දීලා තියෙනවා නම් සමාව දෙන්න අමාරුයි. හැබැයි ඒ වගේ හැඟීම්වලින් ගොඩ ඇවිල්ලා අනිත් අයට සමාව දෙන්න අපිට පුළුවන්. ඒ දේ සහෝදරි ඩෙනිස් a කළා. 2017දී අලුතෙන් විවෘත කරපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය බලන්න එයායි, එයාගේ පවුලේ අයයි ගියා. එයාලා ගිහින් එද්දී තව වාහනයක් ඇවිත් එයාලාගේ කාර් එක හැප්පුවා. ඒකෙන් ඩෙනිස්ට සිහිය නැති වුණා. සිහිය ආවාම එයා දැනගත්තා අනතුරෙන් එයාගේ දරුවන් හොඳටම තුවාල වෙලා කියලා. ඒ වගේම එයාගේ මහත්තයා මැරිලා කියලා. ඩෙනිස් මෙහෙම කියනවා. “මොකක්ද වුණේ කියලා මට හිතාගන්න බැරි වුණා. මට පුදුම දුකක් දැනුණේ.” පස්සේ එයා දැනගත්තා මේ අනතුර වුණ වෙලාවේ ඒ හප්පපු කෙනා වෙන කල්පනාවකවත් බීලාවත් ඉඳලා නැහැ කියලා. මේක ඇත්තටම හිතපු නැති විදිහට වෙච්ච අනතුරක් කියලා එයා දැනගත්තා. ඒත් එයා යෙහෝවාගෙන් ඉල්ලුවා මනසේ සාමය තියාගන්න උදව් කරන්න කියලා.
2 වාහනේ හප්පපු කෙනාව අත්අඩංගුවට අරන් තිබ්බා. වරදකරු කියලා ඔප්පු වුණොත් එයා හිරේ යනවා. හැබැයි ඩෙනිස්ට දැනගන්න ලැබුණා එයාව හිරේ දානවාද නැද්ද කියලා තීරණේ වෙන්නේ ඩෙනිස් දෙන කටඋත්තරේ මත කියලා. ඩෙනිස් ඒ ගැන මෙහෙම කියනවා. “මගේ ජීවිතේ වේදනාකාරීම සිද්ධිය ගැන කතා කරන්න වෙනවා කියලා දැනගත්තාම මට දැනුණේ මැහුම් දාලා තිබුණ මගේ තුවාල ආයෙත් ඇරලා ඒවාට ගෝණි ගණන් ලුණු දානවා වගේ.” සති කීපයකට පස්සේ ඩෙනිස් එයාගේ කටඋත්තරේ දෙන්න ලොකු වේදනාවකුත් හිතේ තියාගෙන උසාවියට ගියා. මොනවාද එයා කිව්වේ? ඩෙනිස් කිව්වා එයාලව හප්පපු මනුස්සයාට සමාව දෙන්න කියලා. b ඩෙනිස් කටඋත්තරේ දුන්නාට පස්සේ විනිසුරුතුමාගේ ඇස්වලටත් කඳුළු ආවා. විනිසුරුතුමා මෙහෙම කිව්වා. “මං මේ වෘත්තිය අවුරුදු 25ක් තිස්සේ කරනවා. හැබැයි අසාධාරණේට ලක් වුණ කෙනා අසාධාරණේ කරපු කෙනාට සමාව දෙන්න කියලා කියනවා මං කවදාවත් අහලා නෑ! ආදරේ, සමාව කියන වචන මේ බිත්ති හතරේ මීට කලින් කවදාවත් ඇහිලා නෑ.”
3. සමාව දෙන්න ඩෙනිස් පෙලඹුණේ ඇයි?
3 සමාව දෙන්න ඩෙනිස් පෙලඹුණේ ඇයි? එයා යෙහෝවා සමාව දෙන විදිහ ගැන හොඳට කල්පනා කළා. (මීකා 7:18) යෙහෝවා අපිට සමාව දෙන විදිහ ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නම් ඒ අගය අපිව පොලඹවයි අනිත් අයට සමාව දෙන්න.
4. යෙහෝවා කැමති අපි මොනවා කරනවාටද? (එෆීස 4:32)
4 යෙහෝවා වගේ අපිත් අනිත් අයට කැමැත්තෙන්ම සමාව දෙනවා දකින්නයි ඔහු කැමති. (එෆීස 4:32 කියවන්න.) ඔහු බලාපොරොත්තු වෙනවා අපිව රිද්දන අයට සමාව දෙන්න අපි ලෑස්ති පිට ඉඳියි කියලා. (ගීතා. 86:5; ලූක් 17:4) ඒත් කොහොමද ඒක කරන්නේ? අනිත් අයට හදවතින්ම සමාව දෙන කෙනෙක් වෙන්න උදව් වෙන දේවල් තුනක් බලමු.
ඔයාට දැනෙන විදිහ ගණන් නොගෙන ඉන්න එපා
5. හිතෝපදේශ 12:18 කියන විදිහට කෙනෙක් අපිව රිද්දද්දී අපිට දැනෙන්න පුළුවන් කොහොමද?
5 කෙනෙක් කරපු කියපු දෙයක් නිසා අපේ හිතට ලොකු වේදනාවක් දැනෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ කෙනා අපේ කිට්ටු යාළුවෙක් නැත්නම් අපේ පවුලේ කෙනෙක් නම් වේදනාව වැඩියි. (ගීතා. 55:12-14) ඒ වගේ වෙලාවට පිහියකින් පපුවට ඇන්නා වගේ වේදනාවක් අපිට දැනෙන්න පුළුවන්. (හිතෝපදේශ 12:18 කියවන්න.) සමහරවිට අපි අපේ හැඟීම් ගණන් ගන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. එහෙම කරන එක හරියට පපුවට ඇනපු පිහිය එහෙම්මම තියාගෙන ඉන්නවා වගේ. ඒකෙන් වෙන්නේ හිතේ තුවාලේ කවදාවත් සනීප වෙන්නේ නැති එකයි.
6. කවුරු හරි කෙනෙක් අපි අප්සෙට් යන දෙයක් කළොත් අපි මොනවා කරන්න පෙලඹෙයිද?
6 කෙනෙක් අපි අප්සෙට් යන විදිහේ දෙයක් කළොත් අපිට එකපාරට කේන්ති යන්න පුළුවන්. බයිබලෙත් කියනවා කේන්ති යන දේවල් වෙන්න පුළුවන් කියලා. ඒත් කවදාවත් ඒ කේන්තියට අපිව පාලනය කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. (ගීතා. 4:4; එෆී. 4:26) ඒ ඇයි? මොකද අපේ හැඟීම් අපේ ක්‍රියාවට බලපානවා. කේන්ති ගත්තා කියලා ඒකෙන් වෙන හොඳක් නැහැ. (යාකො. 1:20) මතක තියාගන්න, කේන්ති යන එක පාලනය කරන්න ඔයාට බැරි වෙයි. ඒත් කේන්තියෙන් ඉන්නවාද නැද්ද කියන එක පාලනය කරන්න ඔයාට පුළුවන්.
කේන්ති යන එක පාලනය කරගන්න බැරි වුණත් කේන්තියෙන් ඉන්නවාද නැද්ද කියන එක පාලනය කරන්න ඔයාට පුළුවන්
7. කෙනෙක් අපිව රිද්දද්දී අපිට තව මොන වගේ හැඟීම් ඇති වෙයිද?
7 අනිත් අය නරක විදිහට සලකද්දී අපිට දැනෙන්නේ කේන්තිය, දුක විතරක්ම නෙවෙයි. මේ උදාහරණ බලන්න. සහෝදරි ඈන් මෙහෙම කියනවා. “මං පොඩි කාලේ තාත්තා අම්මාව දාලා ගිහිං මාව බලාගන්න හිටපු කෙනාව බැන්දා. මට දැනුණේ තාත්තා මාව පැත්තකට දැම්මා වගේ. එයාලට ළමයි හම්බ වුණාම මාව දැන් වැඩක් නෑ කියලයි මට හිතුණේ. මං උස් මහත් වුණේ ඒ වගේ හැඟීම් එක්ක.” සහෝදරි ජෝජෙට්ගේ මහත්තයා එයාට ද්‍රෝහි වුණාම එයාට දැනුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “අපි පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ. පුරෝගාමි කළෙත් එකට. මේකෙන් පස්සේ මගේ හිත කීතු කීතුවලට ඉරිලා ගියා.” සහෝදරි නඕමි කියන දේ බලන්න. “මං හීනෙකින්වත් හිතුවේ නෑ මහත්තයා මට මෙච්චර වේදනාවක් දෙයි කියලා. එයා කාලයක් තිස්සේ හොරෙන් අසභ්‍ය දර්ශන බැලුවා කියලා පිළිගත්තාම මට දැනුණේ එයා මාව රැවැට්ටුවා, මට ද්‍රෝහි වුණා කියලා.”
8. (අ) අපි අනිත් අයට සමාව දෙන්න ඕන ඇයි? (ආ) සමාව දෙද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? (“ ලොකු කම්පනයක් දැනෙන දෙයක් කෙනෙක් කළොත්?” කියන කොටුව බලන්න.)
8 අනිත් අය කරන කියන දේවල් පාලනය කරන්න අපිට බැහැ. ඒත් ඒවාට ප්‍රතිචාරය දක්වන විදිහ පාලනය කරන්න අපිට පුළුවන්. අපේ හිත රිද්දපු කෙනෙක්ට දක්වන්න පුළුවන් හොඳම ප්‍රතිචාරය සමාව දෙන එක. මොකද අපි යෙහෝවාට ගොඩක් ආදරෙයි. ඔහු ආස අපි සමාව දෙනවා දකින්න. සමාව දෙන්නේ නැතුව දිගටම කේන්තියෙන් හිටියොත් අපි මෝඩ විදිහට වැඩ කරයි. ඒක අපේ සෞඛ්‍යයටත් බලපාන්න පුළුවන්. (හිතෝ. 14:17, 29, 30) බලන්න සහෝදරි ක්‍රිස්ටීන් කියන දේ. “මං වේදනාවෙන්, තරහෙන් ඉද්දී මගේ මූණේ හිනාවක් නැති තරම්. ගුණද නැද්ද බලන්නේ නෑ අතට අහු වෙන ඕන ජරාවක් කනවා. මට හරියට නින්ද යන්නෙත් නෑ. මං හිතන්නේ බලන්නේ නැතුව ඔහේ දේවල් කරනවා, කියනවා. මගේ මහත්තයා එක්ක, අනිත් අයත් එක්ක වැඩ කරන විදිහටත් ඒක බලපානවා.”
9. අපි තරහ හිතේ තියාගෙන ඉන්න හොඳ නැත්තේ ඇයි?
9 ඔයාගේ හිත රිද්දපු කෙනා සමාවෙන්න කියලා ඔයාට කිව්වේ නැති වුණත් එයා කරපු දේ නිසා ඇති වුණ හානිය අඩු කරගන්න ඔයාට පුළුවන්. ජෝජෙට් මෙහෙම කියනවා. “මගේ කලින් මහත්තයා ගැන මගේ හිතේ තිබුණ තරහ නැති කරගන්න මට කාලයක් ගියා. හැබැයි මං කොහොමහරි ඒක කළා. ඊටපස්සේ මට දැනුණේ පුදුම සහනයක්.” හිතේ තියෙන අමනාපය අත්හරිනවා කියන්නේ හිතේ තුවාලේ සනීප වෙන්න ඉඩ දෙනවා කියන එකයි. ඒ වගේම සමාව දෙද්දී අපි කරන්නේ අපිටම තෑග්ගක් දෙන එකයි. මොකද එතකොට අපිට පුළුවන් වෙච්ච දේම හිතහිත ඉන්නේ නැතුව ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න. (හිතෝ. 11:17) ඒ කරලත් සමාව දෙන්න බැහැ වගේ නම් මොකද කරන්නේ?
තරහ නිවාගන්න
10. හිතේ තියෙන තුවාලේ සනීප වෙන්න කාලේ දෙන්න ඕනෙ ඇයි? (පින්තූරත් බලන්න.)
10 හිතේ තරහ නිවාගන්න පුළුවන් එක විදිහක් තමයි ඒකට හොඳට කාලේ දෙන එක. කකුලක් කැඩුණ කෙනෙක්ට බෙහෙත් කරලා ඒක සනීප වෙන්න කාලයක් යනවා. ඒ වගේ අපි අපේ හිතේ තියෙන තුවාලේ සනීප වෙන්නත් කාලේ දෙන්න ඕනේ. එතකොටයි හිත රිද්දපු කෙනාට මුළු හදවතින්ම සමාව දෙන්න පුළුවන්.—දේශ. 3:3; 1 පේතෘ. 1:22.
11. සමාව දෙන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?
11 සමාව දෙන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. c යාච්ඤාව උදව් වුණ විදිහ ගැන ඈන් මෙහෙම කියනවා. “මං යෙහෝවාගෙන් ඉල්ලුවා හිතන්නේ බලන්නේ නැතුව අපි කියපු කරපු දේවලට සමාව දෙන්න කියලා. ඊටපස්සේ මං තාත්තාටයි, එයාගේ නෝනාටයි ‘මං තරහ නෑ, මං සමාව දුන්නා’ කියලා ලියුමක් යැව්වා.” ඒක කරන එක ලේසි නැතත් ඈන් මෙහෙම කියනවා. “යෙහෝවා වගේ සමාව දෙන්න මං උත්සාහ කරපු නිසා මං හිතනවා තාත්තායි, එයාගේ නෝනායි කවදා හරි යෙහෝවා ගැන දැනගන්න ආස වෙයි කියලා.”
12. අපේ හැඟීම්වලට වඩා අපි යෙහෝවාව විශ්වාස කරන්න ඕනෙ ඇයි? (හිතෝපදේශ 3:5, 6)
12 ඔයාගේ හැඟීම් ගැන විශ්වාසේ තියන්නේ නැතුව යෙහෝවා ගැන විශ්වාසේ තියන්න. (හිතෝපදේශ 3:5, 6 කියවන්න.) අපිට ඕනෙ හොඳම දේ දන්නේ ඔහුයි. (යෙසා. 55:8, 9) ඔහු කවදාවත් අපිට හානියක් වෙන දෙයක් කරන්න කියන්නේ නැහැ. ඔහු කියනවා නම් සමාව දෙන්න කියලා ඒකෙන් වෙන්නේ හොඳක් විතරයි. (ගීතා. 40:4; යෙසා. 48:17, 18) අනිත් අතට අපි හැඟීම්වලට වහල් වෙලා වැඩ කළොත් කවදාවත් සමාව දෙන එකක් නැහැ. (හිතෝ. 14:12; යෙරෙ. 17:9) නඕමි මෙහෙම කියනවා. “මං හිතුවේ මහත්තයා අසභ්‍ය දර්ශන බලපු එකට මං සමාව දෙන්න ඕනෙ නෑ කියලා. මොකද මට හිතුණා සමාව දුන්නොත් එයා ආයේ ඒක කරයි කියලා. එයා කරපු දේ නිසා මට දැනුණ වේදනාව එයා අමතක කරයි කියලා. අනික මට හැඟෙන විදිහ යෙහෝවාට තේරෙනවානේ කියලා මං හිතුවා. ඒත් මං තේරුම්ගත්තා මගේ හැඟීම් යෙහෝවාට තේරෙනවා කියන්නේ ඔහු ඒකට එකඟයි කියන එක නෙවෙයි කියලා. මට දැනෙන දේ ඔහු දන්නවා. මේ තුවාලේ සනීප වෙන්න කාලයක් යයි කියලත් ඔහු දන්නවා. ඒත් ඔහු බලාපොරොත්තු වෙනවා මං මහත්තයාට සමාව දෙයි කියලා.” d
හොඳ දකින්න
13. රෝම 12:18-21 කියන විදිහට අපි කරන්න ඕනෙ මොනවාද?
13 අපේ හිත හොඳටම පාරපු කෙනෙක්ට සමාව දෙනවා කියන්නේ වෙච්ච දේ ගැන නිකම්ම කතා නොකර ඉන්නවා කියන එක නෙවෙයි. ඒකට ඊට වඩා දෙයක් අපි කරන්න ඕනේ. අපේ හිත රිද්දුවේ සභාවේ කෙනෙක් නම් අපි එයාත් එක්ක සමාදාන වෙන්න ඕනේ. (මතෙ. 5:23, 24) ඒ නිසා තරහෙන් ඉන්නේ නැතුව අපි එයාට දයාව පෙන්නනවා. අමනාපයෙන් ඉන්නේ නැතුව සමාව දෙනවා. (රෝම 12:18-21 කියවන්න; 1 පේතෘ. 3:9) ඒකට උදව් වෙන්නේ මොකක්ද?
14. අපි උත්සාහ කරන්න ඕනෙ මොනවා කරන්නද? ඒ ඇයි?
14 අපි අනිත් අය දිහා බලන්න ඕනෙ යෙහෝවා බලන විදිහට. යෙහෝවා හැම තිස්සේම මිනිස්සුන්ගේ හොඳ දිහායි බලන්නේ. (2 ලේක. 16:9; ගීතා. 130:3) කෙනෙක් නරකයි කියලා හිතාගෙන එයා දිහා බැලුවොත් අපිට පේන්නේ එයාගේ නරකම තමයි. හැබැයි එයා හොඳයි කියලා හිතාගෙන බැලුවොත් අපිට එයාගේ හොඳ පේනවා. අනිත් අයගේ හොඳ පේන තරමට එයාලට සමාව දෙන්න ලේසියි. සහෝදර ජැරඩ් මෙහෙම කියනවා. “කෙනෙක් මගේ හිත රිද්දුවාම මං ඒක ගැනම හිතන්නේ නැතුව එයාට තියෙන හොඳ ගුණාංග ගැන හිතනවා. එතකොට එයාට සමාව දෙන්න මට ලේසියි.”
15. කෙනෙක්ට සමාව දුන්නාම ඒ ගැන එයාට කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
15 කෙනෙක්ට සමාව දුන්නාම ඒ ගැන එයාට කියන එකත් වැදගත්. ඒ ඇයි? නඕමි මෙහෙම කියනවා. “දවසක් මහත්තයා මගෙන් ඇහුවා ‘ඔයා මට සමාව දුන්නාද’ කියලා. ‘ඔව් මං සමාව දුන්නා’ කියලා කියන්න ඕන වුණත් මගේ කටින් ඒ වචන ආවේ නෑ. එතකොට මට තේරුණා මං එයාට මුළු හදවතින්ම සමාව දීලා නෑ කියලා. කාලයත් එක්කම ‘මං ඔයාට සමාව දුන්නා’ කියලා එයාට කියන්න මට පුළුවන් වුණා. ඒ වෙලාවේ එයාගේ ඇස්වල කඳුළු පිරුණා. මට තේරුණා ඒකෙන් එයාට කොච්චර සහනයක් දැනුණාද කියලා. සමාව දුන්න නිසා මගේ හිතටත් පුදුම සැනසීමක් දැනුණේ. එදා ඉඳලා මං එයා ගැන ටිකෙන් ටික ආයෙත් විශ්වාසේ තියන්න පටන්ගත්තා. දැන් අපි කලින් වගේම හොඳ යාළුවෝ.”
16. සමාව දෙන එක ගැන ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
16 යෙහෝවා කැමතියි අපි අනිත් අයට සමාව දෙනවාට. (කොලො. 3:13) ඒක ලේසි නැහැ තමයි. හැබැයි කෙනෙක් හිත රිද්දද්දී ඔයාට දැනෙන විදිහ නොසලකාහරින්නේ නැත්නම්, අමනාපය පරාද කරන්න ඔයා උත්සාහ කරනවා නම් ඔයාට පුළුවන් සමාව දෙන්න. ඒ කෙනා ගැන හිතේ තියෙන තරහ මරහ අයින් කරගන්නත් පුළුවන්.—“ සමාව දෙන්න උදව් වෙන දේවල් තුනක්” කියන කොටුව බලන්න.
ප්‍රයෝජන ගැන හිතන්න
17. සමාව දෙන්න ඕනෙ ඇයි?
17 සමාව දෙන්න අපිට ගොඩක් හේතු තියෙනවා. (1) සමාව දෙද්දී අපි අනුකරණය කරන්නේ, සතුටු කරන්නේ අපේ දයාවන්ත දෙවි යෙහෝවාවයි. (ලූක් 6:36) (2) එහෙම කරද්දී යෙහෝවා අපිට සමාව දීලා තියෙන එක අපි අගය කරනවා කියලා පෙන්නනවා. (මතෙ. 6:12) (3) හොඳ සෞඛ්‍යයක් තියාගන්නත් මිතුදම් ශක්තිමත්ව තියාගන්නත් ඒකෙන් පුළුවන්.
18-19. සමාව දෙද්දී මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?
18 අපි අනිත් අයට සමාව දෙද්දී අපි හීනෙකින්වත් හිතපු නැති විදිහේ ආශීර්වාද ලැබෙන්න පුළුවන්. උදාහරණෙකට ඩෙනිස්ගේ සිද්ධිය බලන්න. එයාලාගේ වාහනේ හප්පපු කෙනා නඩුවෙන් පස්සේ එයාගේ ජීවිතේ නැති කරගන්නයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒ ගැන ඩෙනිස් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඩෙනිස් සමාව දුන්නාම ඒක ඒ කෙනාගේ හිතට තදින්ම වැදුණා. ඒ නිසා එයා සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්නත් පටන්ගත්තා.
19 අපිට දැනෙන්න පුළුවන් සමාව දෙන එක මේ ලෝකේ කරන්න තියෙන අමාරුම දේවලින් එකක් කියලා. හැබැයි ඒක ආශීර්වාද ලබන්න පුළුවන් හොඳම විදිවලිනුත් එකක්. (මතෙ. 5:7) ඒ නිසා යෙහෝවා වගේ සමාව දෙන්න ඔයාට පුළුවන් හැම දේම කරන්න.
ගීතිකාව 125 “දයාවන්ත අය සන්තෝෂවත්”
a සමහර නම් වෙනස් කරලා තියෙනවා.
b මේ වගේ අවස්ථාවකදී කරන්නේ මොකක්ද කියලා ක්‍රිස්තියානීන් පෞද්ගලිකව තීරණේ කරන්න ඕනේ.
c jw.org එකේ අපේ සින්දු යටතේ තියෙන “සැමට දෙමු සමාව,” “මුළු හිතින්ම සමාව දෙන්න” සහ “අතහැර දාමු අමනාපේ” කියන වීඩියෝ බලන්න.
d අසභ්‍ය දර්ශන බලන එක වරදක්. ඒකෙන් අනිත් කෙනාගේ හිතට ලොකු වේදනාවකුත් ගේනවා. හැබැයි ඒක ශුද්ධ ලියවිල්ලට අනුව වරද කරපු කෙනාගෙන් දික්කසාද වෙන්න පදනමක් නෙවෙයි.