හොඳ යාළුවෙක් වෙන්න
ප්‍රශ්න එද්දී ඒවාට මූණ දෙන්න වෙන්නේ තනියම කියලා ඔයාට දැනිලා තියෙනවාද? අපි ඉන්නේ “හරිම අනතුරුදායක, ජීවත් වෙන්න අමාරු කාලෙක.” (2 තිමෝ. 3:1) ඒ නිසා තනිකමක් දැනෙන, අපි අධෛර්යය වෙන වෙලාවල් තියෙනවා. ඒත් අපි ප්‍රශ්න එක්ක තනියම ඔට්ටු වෙන්න ඕන නැහැ. බයිබලේ කියනවා “කරදරයකදී” උදව් කරන්න අවංක යාළුවෝ ඉන්න එක ගොඩක් වටිනවා කියලා.—හිතෝ. 17:17.
අවංක යාළුවන්ගෙන් උදව්
පාවුල් එක්ක සංචාර සේවේ ගිය යාළුවන්ගෙන් එයාට ගොඩක් උදව් ලැබුණා. (කොලො. 4:7-11) රෝමයේ හිරේ ඉද්දී පාවුල්ට කරගන්න බැරි වුණ දේවල් කරලා දුන්නේ ඒ යාළුවෝ. ෆිලිප්පි සභාවේ හිටපු අය දීපු දේවල් පාවුල්ට ගෙනල්ලා දුන්නේ එපෆ්‍රොදිතස්. (ෆිලි. 4:18) පාවුල් සභාවලට ලියපු ලියුම් ඒ සභාවලට ගිහිල්ලා දුන්නේ තිකිකස්. ඒ වගේ යාළුවන්ගේ උදව් නිසා පාවුල් නිවාස අඩස්සියේ හිටියත් හුදෙකලා හිර කුටියක හිටියත් එයාගේ සේවේ දිගටම කරගෙන යන්න පුළුවන් වුණා. ඒ වගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?
හොඳ යාළුවෙක්ගේ වටිනාකම අදත් අපේ සහෝදර සහෝදරියන් ඔප්පු කරලා තියෙනවා. එක සහෝදරියක් ස්පාඤ්ඤයේ ඉන්න ස්ථාවර පුරෝගාමි සහෝදරියක් වන එලිසබෙත්ට හොඳ යාළුවෙක් වුණා. එලිසබෙත්ගේ අම්මාට මාරාන්තික පිළිකාවක් තිබුණා. ඉතින් මේ සහෝදරිය බයිබල් පදවල තියෙන අදහස් දාලා දිරිගන්වලා එයාට මෙසේජ් යැව්වා. ඒ ගැන එලිසබෙත් මෙහෙම කියනවා. “තව කෙනෙක් මං ගැන හිතනවා කියලා දැනුණ එකම මේ ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න මට උදව් වුණා.”—හිතෝ. 18:24.
නමස්කාරේ දේවල් කරන්න අපේ සහෝදරයන්ට උදව් කරලා අපේ යාළුකම් තව වැඩි කරගන්න අපිට පුළුවන්. උදාහරණෙකට වයසක කෙනෙක්ව රැස්වීම්, සේවේ එක්ක යන්න ඔයාට පුළුවන්ද? එහෙම කරද්දී ඔයාලා දෙන්නාම දිරිගැන්වෙයි. (රෝම 1:12) හැබැයි සමහරු ඉන්නේ ගෙදරටම කොටු වෙලා. ඒ වගේ කෙනෙක්ට යාළුවෙක් වෙන්නේ කොහොමද?
ගෙදරටම කොටු වුණ අයට
සමහර සහෝදරයන්ට බරපතළ අසනීප නිසා නැත්නම් වෙනත් හේතු නිසා රැස්වීම්වලට එන්න බැහැ. ඩේවිඩ් කියන සහෝදරයාගේ අද්දැකීම බලන්න. එයාට ලිම්ෆෝමා කියන පිළිකාව තිබ්බා. මාස හයක් පුරා එයා ඒකට කීමෝතෙරපි ප්‍රතිකාර ගත්තා. ඔය කාලේ පුරාවටම ඩේවිඩුයි, එයාගේ නෝනා ලිදියායි රැස්වීම්වලට සහභාගි වුණේ ඔන්ලයින් හරහා.
සභාවේ හිටපු යාළුවන්ගෙන් එයාලට මොන වගේ උදව්ද ලැබුණේ? හැම රැස්වීමකටම පස්සේ නමස්කාර මධ්‍යස්ථානේ හිටපු සමහර සහෝදරයෝ ඩේවිඩුයි, ලිදියායි එක්ක වීඩියෝ කොන්ෆරන්ස් හරහා කතා කළා. එයාලා රැස්වීමකදී අදහසක් දුන්නාම ඒ ගැන අගය කරලා මෙසේජ්
යැව්වා. මේ දේවල් නිසා ඒ දෙන්නාට දැනුණා සහෝදරයෝ එයාලා ළඟින්ම ඉන්නවා කියලා.අපේ කාලසටහනේ පොඩි පොඩි වෙනස්කම් කරගත්තොත් ගෙදරටම කොටු වුණ අය එක්ක සේවේ කරන්නත් අපිට පුළුවන්. ඒකෙන් අපි පෙන්නනවා අපිට එයාලව අමතක නැහැ කියලා. (හිතෝ. 3:27) අපිට පුළුවන්ද එයාලත් එක්ක එකතු වෙලා ෆෝන් එකෙන්, ලියුම්වලින් සාක්ෂි දරන්න? වැඩිමහල්ලන්ට පුළුවන් සේවේට කලින් තියෙන රැස්වීමට එයාලව වීඩියෝ කොන්ෆරන්ස් හරහා සම්බන්ධ කරගන්න සැලසුම් කරන්න. ඩේවිඩ් සහ ලිදියා ඒ සැලැස්ම ගොඩක් අගය කළා. ඩේවිඩ් මෙහෙම කියනවා. “සේවේ යන්න කලින් තියෙන පුංචි රැස්වීමයි, යාච්ඤාවයි අපිට ලොකු හයියක් වුණා.” ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ බයිබල් ශිෂ්‍යයෙක්ව ගෙදරටම කොටු වුණ කෙනෙක්ගේ ගෙදරට එක්ක ගිහින් එහෙදී පාඩම කරන්න. හැබැයි අමතක නොකර එහෙම එක්කන් ආවාට කමක් නැද්ද කියලා එයාගෙන් අහන්න.
ගෙදරටම කොටු වෙලා ඉන්න කෙනෙක් එක්ක ඒ විදිහට වැඩ කරද්දී එයාගේ ලස්සන ගුණාංග ඔයා දකින නිසා ඔයා එයාගේ හොඳ යාළුවෙක් වෙයි. ඒ වගේම ඒ වගේ කෙනෙක් එක්ක සේවේ කරද්දී එයා බයිබලේ පාවිච්චි කරලා කෙනෙක්ගේ හදවතටම කතා කරන විදිහ ඔයා දකිනකොට එයාට ඔයා තව ළං වෙයි. ඒ විදිහට නමස්කාරේ දේවල් කරන්න එයාලට උදව් කරද්දී ඔයාගේ යාළුවෝ ගාණත් තව වැඩි වෙයි.—2 කොරි. 6:13.
පාවුල්ටත් අමාරු අවස්ථා එද්දී එයාගේ යාළුවෙක් වුණ තීතස් එයා ළඟින්ම ඉඳලා උදව් කළා. (2 කොරි. 7:5-7) ඉතින් කෙනෙක් අමාරු දේකට මූණ දෙද්දී “අනේ පව්” කියලා විතරක් නවතින්න එපා. එයා ළඟින්ම ඉඳලා පුළුවන් විදිහට එයාට උදව් කරන්න.—1 යොහ. 3:18.
විරුද්ධවාදිකම් මැද
අනිත් අයට උදව් කරන එක පැත්තෙන් රුසියාවේ සහෝදර සහෝදරියෝ හොඳ ආදර්ශයක්. සර්ජේගෙයි, එයාගේ නෝනා ටට්යානාගෙයි අද්දැකීම බලන්න. පොලිසියෙන් එයාලාගේ ගේ සෝදිසි කළාට පස්සේ ප්‍රශ්න කරන්න එයාලව පොලිසියට ගෙනිච්චා. සර්ජේට කලින් ටට්යානා නිදහස් වෙලා ගෙදර ආවා. සර්ජේ මෙහෙම කියනවා. “ටට්යානා ගෙදර ආපු ගමන්ම ධෛර්යවන්ත සහෝදරියක් එයාව බලන්න අපේ ගෙදර ආවා. පොලිසිය ඇවිල්ලා ගේ සෝදිසි කරපු නිසා මුළු ගේම හැඩි වෙලා තිබුණේ. ඒවා පිළිවෙළක් කරන්නත් අපේ සභාවේ ගොඩක් යාළුවෝ අපිට උදව් කළා.”
සර්ජේ මෙහෙමත් කියනවා. “මං ගොඩක් ආස බයිබල් පදයක් තමයි හිතෝපදේශ 17:17. එතන කියනවා ‘අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා. එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්’ කියලා. විරුද්ධවාදිකම් තිබුණ කාලේ තමයි ඒ වචන කොච්චර ඇත්තක්ද කියලා මං හරියටම දැක්කේ. මොකද මට තනියෙන් කරගන්න බැරි වුණ ගොඩක් දේවල් කරගන්න උදව් කරන්න මගේ යාළුවෝ මං ළඟ හිටියා. යෙහෝවා මගේ උදව්වට ධෛර්යවන්ත යාළුවෝ ගොඩක් මට දුන්නා.”
අපිට තනි හයියෙන් ඇදගෙන යන්න බැරි ප්‍රශ්න එද්දී යාළුවෝ අපිට ඕනෙමයි. ඉස්සරහට මහත් පීඩාව කාලේදී මීටත් වඩා අපිට යාළුවෝ ඕන වෙයි. ඒ නිසා දැන්ම ඉඳන් හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් හැම දේම කරමු.—1 පේතෘ. 4:7, 8.