Skip to content

පටුනට යන්න

අරුම පුදුම කෘමී ලෝකය

අරුම පුදුම කෘමී ලෝකය

අරුම පුදුම කෘමී ලෝකය

ස්පාඤ්ඤයේ පිබිදෙව්! වාර්තාකරු විසින්

කෘමීන් අපට කරදරකාරයන් මිස ඉන් එහාට නම් උන්ගෙන් ඇති වැඩක් නැහැ කියාද ඔබ හිතන්නේ? ලෝකයෙන් මේ හිරිහැරකාරයන් තුරන් වෙනවාටද ඔබ කැමති? ඔබ කෘමීනාශක විදිනවාද? ඉලපතෙන් ගහනවාද? අහු වෙන හැම වෙලාවකම පාගා චප්ප කරනවාද? ඉතින් ඔබට අහු වෙන හැම කෘමියෙකුටම විරුද්ධව යුධ ප්‍රකාශ කරන්ට කලින්, ඔවුන්ගේ ලෝකය ගැනත් යමක් ඉගෙනගත්තොත් හොඳ නැද්ද? ඇරත්, ජනගහන අනුපාතයෙන් 1:2,00,000,000කින් මනුෂ්‍ය ජාතිය පරාජය කිරීමෙන්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ කෘමීන්ටත් මේ ලෝකයේ අයිතියක් තිබෙන බවයි!

මේ අරුම පුදුම ජීවීන්ට ඔබේ ගෞරවය හිමි විය යුතු බව උන් වෙත හෙළන ඉක්මන් බැල්මකින් ඔබට හෙළි වේවි.

පියාසර ශූරීන් බලන්න ලස්සනයි

කෘමීන් බොහෝමයක් පියාසර ශූරීන්ය. උදාහරණ කිහිපයක් සලකා බලන්න. මදුරුවාට උඩුබැලි අතට පියඹිය හැකිය. සමහර මදුරුවන්ට වැස්සේ නොතෙමී පියඹීමට පුළුවන. එසේ කරන්නේ වැහි බිඳුවලටද හොරාය! ඝර්ම කලාපයේ වෙසෙන සමහර දෙබරුන් හා මී මැස්සන් පැයට කිලෝමීටර 72ක වේගයෙන් පියාඹයි. උතුරු අමෙරිකාවේ සිටින එක් මොනාර්ක් සමනල වර්ගයක් උන්ගේ පදිංචිය අතහැර කිලෝමීටර 3,010ක් ඈතින් පිහිටි ප්‍රදේශයකට යන බව වාර්තා විය. තත්පරයට දහස් වරකටත් වඩා තටු ගැසීමට බමන මැස්සා නම් මැසි වර්ගයට හැකිය. එය ගුමන කුරුල්ලාවත් අභිභවා යෑමකි. කූරාට ආපස්සට පියඹීමට පුළුවන. මෙය පර්යේෂකයන්ගේ කුතුහලය මොනතරම් ඇවිස්සුවාද කිවහොත් උන් ඔවුන්ගේ තියුණු අධ්‍යයනයට පාත්‍ර විය.

මැස්සෙකුට ඔබ ඉලපතෙන් ගසන්ට උත්සාහ කර තිබෙනවා නම්, මේ කෘමියාට ඇති අසාමාන්‍ය තියුණු පෙනීමේ හැකියාව හා බැඳුණු, අපට වඩා දස ගුණයකින් ඉහළ සංවේදන හැකියාව ඔබ වටහාගන්ට ඇති. ස්වාධීනව ක්‍රියා කරන පැති හයේ කාච දහස් ගණනක් අඩංගු සංකීර්ණ ඇසක් මැස්සාට තිබීම කුහුල දනවන්නකි. ඒ නිසා උගේ දෘෂ්ටිය ඕනෑම කෝණයක් දැකිය හැකි වන පරිදි සමහරවිට ඉතා සියුම් කොටස්වලට බෙදී තිබිය හැකිය.

මිනිස් ඇසට අදිසි පාරජම්බූල කිරණ සමහර කෘමීන්ට දැකිය හැකිය. පාණ්ඩු පැහැති සමනලියට අපේ සිත ඇදී යන්නේ නැති වුණත් සමනලයාගේ සිත නම් නොඇදී තිබෙන්නේ නැත. ඇත්තෙන්ම පාරජම්බූල කිරණ තුළින් දුටු විට තමා කෙරෙහි උනන්දු වෙන පිරිමියාගේ අවධානය සොරාගැනීමට සමත් සිත් වසඟ කරවන රටාවන් සමනලිය මත ඇඳෙයි.

කෘමීන් බොහෝමයකගේ ඇස් දිශාදර්ශක හෝ මාලිමා යන්ත්‍ර සේ ක්‍රියා කරයි. උදාහරණයකට හිරු වලා අතරේ සැඟවී සිටියත් එහි පිහිටීම සොයාගැනීමට හැකි කරවමින් ධෘවිත ආලෝක ධාරා දකින්ට මී මැස්සන්ටත් දෙබරුන්ටත් පුළුවන. මේ හැකියාවට ස්තුතිවන්ත වන්ට උන්ගේ නවාතැනෙන් ඈතට ඈතට කෑම සොයා ගොස් ආපසු නොවැරදී ගේ දොර බලා එන්ට උන්ට හැකිය.

ප්‍රේමය ගුවන සිසාරා

කෘමී ලෝකයේ කලත්‍රයෙකු සොයාගැනීම සඳහා බොහෝවිට යොදාගැනෙන්නේ හඬ හා සුවඳය. උන්ගේ ජීවිත කාලය සති කිහිපයක් තරම් කෙටි නිසාත් සහකරුවන් එතරම්ම හිඟ නිසාත් සුදුස්සෙකු සොයාගැනීම විජයග්‍රහණයකි.

සමනල වර්ගයට අයත් සලබ රැජිණ සහකරුවෙකු සොයාගැනීම සඳහා සුවඳක් විහිදන්නීය. ඒ සුවඳ කොතරම් ප්‍රබලද කිවහොත් පිරිමි සතාට එම සුවඳ සොයා කිලෝමීටර් 11ක පමණ දුරක සිට පැමිණිය හැකිය. ඒ සුවඳේ සෑම අංශු මාත්‍රයක්ම ග්‍රහණය කරන්ට උගේ ඉතාම සංවේදී ස්පර්ශකවලට පුළුවන.

පළඟැටියන්, තණකොළ පෙත්තන් හා රැහැයියන් කෑගසන්ට රුසියන්. අනුරාගී රැහැයියන් උන්ගේ සිරුරු සංගීත පුවරුවක් බවට හරවාගනිද්දීයි උන්ගේ හඬ අප කන් වැකෙන්නේ. ගුවන් සරඹ මගින් නඟන හඬට ඉහළ නොනවතින හඬක් නිපදවන්ට පෙමින් බැඳුණු විශාල රැහැයි කණ්ඩායමකට පුළුවන! ඊට වෙනස්ව සමහර ගැහැනු රැහැයියන් කිසිම හඬක් නිපදවන්නේ නැත.

පිබිදීම හා උණුසුම් වීම

ශීතල දේශගුණයක ජීවත් වන මිනිසුන්ට උණුසුම ඉතා වැදගත්. චලතාපී කෘමීන්ටද එසේමය. උන් සෑම උදෑසනකම අවදි වන්නේ මුළුමනින්ම වාගේ මිදිලාය. හිරු උන්ගේ මිතුරාය. ඉන් උපරිම ප්‍රයෝජන ගන්ට උන් දක්ෂය.

හිමිදිරියේ මුල් පැය කිහිපය තුළ හිරු රැසින් නැහැවී එහි උණුසුම උරාගෙන තිබෙන මල් හා පත්‍ර වෙත මැස්සන් හා කුරුමිණියන් ඇදේ. අවට උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක් වන සෙන්ටිග්‍රේඩ් අංශක 20ක් රඳවමින් ඕස්ට්‍රේලියානු දියමානෙල් ඒවායේ පොහොට්ටු උණුසුම් කිරීමට උද්භිත උදුනක් සේ ක්‍රියා කරයි. සමහර කුරුමිණියන් ඊට නිතරම පාහේ ඇදේ. උන්ට වෙනස්ව සමනලුන්ට උන්ගේ සිරුර තුළම තාපක ක්‍රමයක් ඇත. උණුසුම අවශ්‍ය වූ විට පියාපත් දිගහරී. එවිට ඒවා කාර්යක්ෂම සූර්ය කෝෂ ලෙස ක්‍රියා කරමින් හිරු දෙසට හැරෙයි.

ඔබ හිතන ඕනෑම වැඩක්, ඌට හැකියි!

කෘමී ලෝකයේ සෑම වර්ගයකටම වගේ විවිධ භූමිකාවන් තිබේ. සමහරුන්ගේ ඒවා අසාමාන්‍යයය. නිදසුනක් ලෙස සමහර සලබයන් ජීවත් වීමට අවශ්‍ය ලුණු හා තෙතමනය සොයාගන්නේ මී හරකුන්ගේ ඇසෙන් වෑස්සෙන ස්‍රාවය උරා බීමෙනි. අනිත් සමහර කෘමීන් ප්‍රබල අධිශීත මර්දකයන්ගෙන් සන්නද්ධය. උන් හිමෙන් මිදුණු කඳු මුදුන්වල සැරිසරමින් ශීතට අසු වුණු කෘමීන්ව බුදිමින් දවස ගෙවයි.

අවුරුදු දහස් ගණනකට කලින් ඥානවන්ත සාලමොන් රජ නිරීක්ෂණය කළා සේ කුහුඹුවා කඩිසර සතෙකි. “අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥාණවන්ත වෙන්න. ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි” කියා සාලමොන් ලීවේය. (හිතෝපදේශ 6:6-8) සමහර ගුල්වල කුහුඹුවන් දශලක්ෂ 20ක් පමණ සිටීම ගැන සලකා බලද්දී, උන්ව පාලනය කිරීමට ආණ්ඩුකාරයෙක් නැතිවීම ගැන සිතාගැනීමටවත් නොහැකිය! ඒ වුණත් මේ කෘමී “රාජධානියේ” වැඩකටයුතු කිසිම අඩුවක් නැතුව ක්‍රියාත්මක වේ. මෙසේ මුළු ගුලටම කෑම, රැකවරණය හා නිවහනක් සපයමින් එක් එක් කුහුඹුවා තමන්ට පැවරුණු නිශ්චිත වැඩ කොටස ඉටු කරයි.

කෘමී නිවහනක් ගැන කතා කරද්දී බොහෝවිට අපේ මතකයට නැඟෙන්නේ වේ හුඹසයි. සමහර හුඹස් අඩි 25ක් (මීටර හතහමාරක්) පමණ උසය. a මේ පුදුමාකාර ගොඩනැඟීම සිදු වන්නේ කෘත්‍රිම වායු සමීකරණ පද්ධතියක් හා භූගත දිලීර උද්‍යානයක් බිහි කරමිනි. ඊට වඩා අරුම පුදුම දෙය වන්නේ මේ දැවැන්ත පිරමිඩ ඉදි කරන වේයන් අන්ධයන් වීමයි!

අපිට මොකටද කෘමීන්?

කෘමීන් අපේ දෛනික ජීවිතයේ වැදගත් භූමිකාවක් රඟයි. ඇත්තෙන්ම අපි ගන්නා ආහාරවලින් සියයට තිහක් පමණ මී මැසි පරාගනය මත රඳාපවතී. එහි වැඩි වගකීමක් දරන්නේ වන මී මැස්සන්ය. පරාග සංයෝගය ප්‍රයෝජනවත් කෘමී වැඩවලින් එකක් පමණි. කෘමීන් පොළොවද පිරිසිදුව තබාගනියි. එසේ කරන්නේ ශාක ලෝකයේ නවකයන්ගේ වැඩීම පහසු කිරීමට කාර්යක්ෂම ජීව චක්‍රයක් සංවිධානය කිරීම සඳහා දිරාගිය ශාක හා මළ සතුන්ව යොදාගැනීමෙන්. මෙසේ, පස සරු වේ. ඉන් නිපදවන පෝෂ්‍ය පදාර්ථයෙන් පැළෑටි සරුවට වැඩේ. “කෘමීන් නොසිටින්ට මළ සතුන් හා දිරාගිය ගස් අපේ ඉහටත් උඩින් තියේවි” කියා කීට විද්‍යාඥ ක්‍රිස්ටෆර් ඕටූල් ආගන්තුක අධිරාජ්‍යය (ඉංග්‍රීසියෙන්) නමැති ඔහුගේ පොතේ ලීවේය.

කෘමීන් උන්ගේ වැඩය නොකරන්ට උන්ගෙන් කිසිම ඵලක් නැත. ඕස්ට්‍රේලියාවේ සිදු වූ දෙයක් ගැන සලකා බලමු. එම රට ගවයන් දශලක්ෂ ගණනාවකට නිජ බිමකි. තැනක් නොතැනක් නැත. වැළැක්වීමටද නොහැක. ඒ කීවේ ගොම ගැනය. මේවා කැලෑ මැස්සන් බෝවීමට ඉඩ සැලසූ අතර මිනිසුන්ට මෙන්ම ගවයන්ටද ශාපයක් විය. මේ නිසා ගොම කුරුමිණියන්ව යුරෝපයෙන් හා අප්‍රිකාවෙන් ආනයනය කරන්ට ඕස්ට්‍රේලියාවට සිදු විය. මෙසේ ගැටලුවද විසඳිණ!

සතුරෙක්ද? මිතුරෙක්ද?

සමහර කෘමීන් බෝග පාළු කරන බවත් රෝග පතුරුවන බවත් පිළිගත යුතුයි. එහෙත් කරදරකාර කෘමීන් ලෙස සලකන්නේ ලෝකයේ සිටින කෘමීන්ගෙන් සියයට එකක් පමණි. අපිට උන්ගෙන් වැඩිමනත් හානි පැමිණෙන්නේ පරිසරය හා සම්බන්ධ මිනිසාගේම වරද නිසාය. උදාහරණයක් වශයෙන් මැලේරියාව පතුරුවාහරින මදුරුවා ගැන සලකා බලන්න. උන් ඝර්ම කලාපීය වනාන්තරවල වැසියන්ට වදයක් වන්නේ කලාතුරකිනි. කෙසේවෙතත් උන් කැලෑ ආශ්‍රිත අපිරිසිදු ජලය රැස් වූ ස්ථානවලින් ගහන ගම්මානවලින් විනාශකාරි ලෙස පළිගනී.

කෙසේවෙතත් බෝග පාළු කරන කරදරකාරි කෘමීන්ව ස්වභාවික ක්‍රමයකට මර්දනය කිරීමේ හැකියාව මිනිසාට ඇත. ඒ බෝග මාරුව මගින්, අලුත් බෝග සිටුවීමෙන් හෝ කෘමීන්ව ආහාරයට ගන්නා සතුන්ට ඉන්ට හැරීමෙනි. තුරු ලතාවල යුෂ උරා බොන කෘමී වර්ගයක් ඉතා ඵලදායි ලෙස මර්දනය කරන්ට ලස්සන පුංචි පාට පාට කුරුමිණියාට හා රේන්ද තටු කෘමියාට හැකිය. වතුර භාජනයක සිටින මදුරු කීටයන්ව නැති කර දමන්ට කූරාගේ පිළවුන් දෙදෙනෙකුට හැකි බව අග්නිදිග ආසියානු මහජන සෞඛ්‍යය නිලධාරීන් පවසයි.

මෙසේ කෘමීන්ගෙන් අපට යම් අවාසි ඇතත් අපි යැපෙන ස්වභාවික ලෝකයේ උන් අත්‍යවශ්‍ය අංගයකි. ක්‍රිස්ටෆර් ඕටූල් පවසන ආකාරයට අපි නැතුව කෘමීන්ට සිටිය හැකි වුණත් “උන් නැතුව නම් අපිට ඉන්ට නොහැකිය.”

[පාදසටහන]

a මිනිසා ඉදි කරයි කියා සිතිය හැකි කිලෝමීටර නවයකටත් වඩා උසැති අහසට නැඟුණු ගොඩනැඟිල්ලක් හා එය සැසඳිය හැකිය.

[16, 17වන පිටුවේ කොටුව⁄පින්තූර]

රූපාන්තරණය—අලුත් පෙනුමක්, අලුත් ජීවන රටාවක්

සමහර කෘමීන් රූපාන්තරණය නමැති ක්‍රියාවලිය මගින් උන්ගේ පෙනුම මුළුමනින්ම පුනර්නිර්මාණය කරගනී. රූපාන්තරණය යන්නෙහි පදානුගත අර්ථය “රූපයෙන් වෙනස් වීම” වේ. එමෙන්ම මෙම වෙනස් වීම සම්පූර්ණයෙන්ම එකිනෙකට පටහැනිද විය හැකිය. ඉහඳ පණුවා මැස්සෙක් බවටද, දළඹුවා සමනලයෙක් බවටද, දිය පිළවා ඉගිළෙන කූරෙක් බවටද පත් වේ. සියදහස් ගණන් කෘමීන් මේ ආකාරයට රූපාන්තරණයට භාජන වේ.

එවැනි සම්පූර්ණ විපර්යාසයකට ලක්වීමට, ඒ කියන්නේ දුම්රියක් ගුවන් යානයක් වනවා හා සමාන වීමට කෘමියාගේ සිරුර මහත් වෙනස්කම්වලට භාජන විය යුතුය. සමනලයාව සලකා බලන්න. කෝෂයේ සිටින දළඹුවා අක්‍රියාශීලීව සිටින අතර, කලින් තිබූ උගේ සියුම් පටල හා අවයව හැළේ. ඉන්පසු ඌට තටු, ඇස් හා ස්පර්ෂක වැනි වැඩිහිටි ඉන්ද්‍රීය යුගල් වැඩේ.

බොහෝවිට සම්පූර්ණ විපර්යාසය කීමෙන් අලුත් ජීවන රටාවකට හුරුවීමද අයත් වේ. උදාහරණයක් වශයෙන් පිළවෙකුගේ අවස්ථාවේ සිටින කූරා කුඩා මසුන් හෝ ඉස්ගෙඩි අල්ලා කයි. එහෙත් ඌ වැඩිවියට පත් ඉගිළෙන කූරෙක් බවට පත් වූ විට උගේ ආහාර රටාව වෙනස් කරමින් කෘමීන්ව කෑමට ගනී. මෙම සිද්ධිය මිනිසෙකු තම ජීවිතයේ මුල් විසි වසර මුහුදේ පිහිනමින් සිට ජීවිතයේ ඉතිරි කාලය කුරුල්ලෙකු සේ ඉගිළීමට පටන්ගැනීම හා සමාන කළ හැකිය.

මෙවන් පුදුමාකාර සම්පූර්ණ විපර්යාසයන් සංවිධානය කිරීමට පරිණාමයට හැකිද? සමනලයෙක් බවට සම්පූර්ණයෙන්ම වෙනස් වීම සඳහා ක්‍රමානුගත වූ දළඹුවෙක් ඉබේම පැමිණෙන්නේ කෙසේද? ඒ ගැන කතා කරද්දී මුලින්ම පැමිණියේ කුමක්ද? දළඹුවාද? සමනලයාද? බිත්තර උපද්දා බිජුලන්නේ සමනලයා බැවින් එකෙක් නැතුව තවකෙකුට ජීවත් විය නොහැක.

රූපාන්තරණය නමැති ක්‍රියාවලිය නිසැකවම අතිදක්ෂ නිර්මාණකරුවෙකු පිළිබඳ ඒත්තුගන්වනසුලු සාක්ෂි සපයයි. සියලු දේවල මැවුම්කරු සර්වපරාක්‍රම දෙවි බව බයිබලය කියයි.—ගීතාවලිය 104:24; එළිදරව් 4:11.

[පින්තූර]

අලුත කෝෂයෙන් මතු වූ සැළිලිහිණි තටු සමනලයා තටු දිගහරිමින්

[18වන පිටුවේ පින්තූර]

ඉහළ: පරාග-කන කුරුමිණියා

ඉහළ දකුණ: පින්නෙන් නැහැවුණු ශාක පත්‍ර කුරුමිණියා උණුසුම් වෙමින්

ඈත දකුණ: රයිනෝසිරස් කුරුමිණියා

[18වන පිටුවේ පින්තූරය]

අප්‍රිකානු කොට-අඟ තණකොළ පෙත්තා

[18වන පිටුවේ පින්තූරය]

ඇට මැස්සා