අලිගැටපේර—ඵල ප්‍රයෝජන බහුල පලතුරක්!
අලිගැටපේර—ඵල ප්‍රයෝජන බහුල පලතුරක්!
කොලොම්බියාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
දහසය වන සියවසේ සිටි, දේශ අත් කරගත් ස්පාඤ්ඤ ජයග්‍රහකයන් එවැනි දෙයක් කවදාවත් දැකල තිබුණේ නැහැ. ප්‍රමාණයෙන් හා හැඩයෙන් ලොකු පෙයාර්ස් ගෙඩියකට සමාන වුණත්, ඉදුණු ගෙඩි පවා කොළ පාටයි. කිරි රසයකින් යුත් එහි මදය මෙළෙක් මෙන්ම බටර් වගෙයි. පසු කලෙක මෙය අලිගැටපේර යන නමින් ප්‍රසිද්ධ වුණා. අලිගැටපේර හැඳින්වීමට යොදාගන්නා ඇවකාඩෝ නම් ඉංග්‍රීසි වචනය පැමිණ තිබෙන්නේ ආවාකාට් යන ඇස්ටික් වචනයෙනුයි.
අලිගැටපේර මුල්ම වතාවට යුරෝපීයයන්ට හඳුන්වා දෙනු ලැබුවේ මාර්ටින් ෆනැන්ඩස් දෙ අන්සිසෝ විසින් 1519දීයි. ස්පාඤ්ඤය විසින් දකුණු අමෙරිකාවේ සිදු කළ දේශ ගවේෂණයකදී දැන් කොලොම්බියාවේ සාන්තා මාර්තා කියා හඳුන්වන ප්‍රදේශයේදී අන්සිසෝ මේ පලතුරු දැක්කා. දේශ ගවේෂණයන් සිදු කළ වකවානුවේදී යුරෝපීයයන් අලිගැටපේර විතරක් නොවෙයි, චොකලට්, බඩ ඉරිඟු හා අර්තාපල් ඇතුළු ආහාර වර්ග ගණනාවක රස වින්දේ මුල්වතාවටයි.
ඇත්තෙන්ම මේ ආහාර වර්ග කිසිවක් අලුත් ඒවා නොවූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. සියවස් ගණනාවක් පුරා බටහිර අර්ධගෝලයේ සමශීතෝෂ්ණ ප්‍රදේශවල වාසය කළ ස්වදේශිකයන් ඒ සියල්ලම ආහාරයට ගනිමින් සිටියා. ඇතැම් ගෝත්‍රික වැසියන් අලිගැටපේර මොනතරම් වටිනා පලතුරක් ලෙස සැලකුවාද කියනවා නම්, විවාහ උත්සවවලදී මෙන්ම අමුත්තන්ව පිළිගැනීමේදී දෙන තෑග්ගක් හැටියට මෙම පලතුර යොදාගත්තා.
අලිගැටපේර වගා කිරීම
අද අලිගැටපේර ඕස්ට්‍රේලියාව, ඉශ්රායෙලය, කෙන්යාව, නවසීලන්තය, උතුරු හා දකුණු අමෙරිකාව මෙන්ම පිලිපීනය යන රටවල් ඇතුළු උණුසුම් හෝ සමශීතෝෂ්ණ දේශගුණයක් තිබෙන ප්‍රදේශ ගණනාවක වගා කරනවා. මෙම පලතුර වාණිජමය අතින් ලොව පුරා වැදගත් තැනක් ගන්න නිවර්තන කලාපීය පලතුරු වර්ග 20න් එකක් වෙනවා.
අමෙරිකානු මහද්වීපයේ නිවර්තන කලාපීය ප්‍රදේශවල විවිධ වර්ගවලින් යුත් අලිගැටපේර තිබෙනවා. සමහරක් ඒවා කුකුල් බිත්තරයක් තරම් කුඩාය. තවත් සමහරක් මධ්‍යම ප්‍රමාණයේ කොමඩු ගෙඩියක් තරම් වන අතර, කිලෝග්‍රෑම් දෙකක බරක් දක්වා වැඩෙනවා. සමහර වර්ගවල පාට කොළ පැහැති වන අතර තවත් සමහරක පාට තද
දම් පැහැතියි. සමහර වර්ගවල ගෙඩියේ ලෙල්ල ඝනකම් හා කැඩෙනසුලුයි. තවත් වර්ගවල ලෙල්ල ඝනකම් නැහැ; සිනිඳුයි. විශාල පලතුරු වතුවල ගුණයෙන් හා පෙනුමෙන් එකින් එකට සමාන වර්ග වගා කළ හැකියි.මල් හටගන්න කාලයේදී, අලිගැටපේර ගස් ලාකහ පැහැති මල්වලින් වැසී තියෙනවා. ඒ වුණත් ගෙඩියක් හටගන්නේ මේ මල් 5000කින් 1ක පමණයි. සෑම මලක්ම රේණුවක් නොහොත් පරාග නිපදවන ව්‍යූහයකින් හා ඡායාංග නොහොත් ඩිම්බ දරන ව්‍යූහයකින් සමන්විත වීම, සුවිශේෂ ලක්ෂණයක් වෙනවා. එකිනෙකට වෙනස් කාලයකදී මෙම ව්‍යූහයන් දෙක ක්‍රියාකාරි වීමට හැකි වන අයුරින් නිර්මාණය වී තිබෙන අලිගැටපේර ගසේ මවිතකර ක්‍රියාකාරිත්වය නිසා ස්ව-පරාගනයක් සිදු වන්නේ නැහැ.
මෙහි ප්‍රතිඵලයක් හැටියට, සමහර ගස්වල මල් හිරු උදාවීමත් සමඟ පරාග ලබාගැනීමට විවෘත වෙන අතර, දහවල් කාලයේදී වැසෙනවා. මෙම ක්‍රියාවලියට හවුල් වන මල්ම නැවතත් සන්ධ්‍යාවේදී පරාග නිපදවන්නන් හැටියට නැවත විවෘත වෙනවා. ඒ අවට තිබෙන අනිත් අලිගැටපේර ගස්වල සිදු වන්නේ මීට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. පරාගනය සිදු වන්නේ, පරාග නිපදවන ගසක් අසල, පරාග ලබාගන්න ගසක් තිබෙන විටයි. පරාගනය වීමට මේ ක්‍රියාවලි දෙකම එකම වේලාවේ සිදු විය යුතුයි. ඒ වගේම, මලින් මලට පරාග ගෙන යෑමේදී මීමැස්සන් හා වෙනත් කෘමීන් වැදගත් වැඩ කොටසක් සිදු කරනවා. මේ අනුව, අලිගැටපේර ගෙඩියක් හටගන්නේ හිරු එළිය, උෂ්ණත්වය, කෘමීන්, සුළඟ හා පිහිටීම යන දේවල සංකීර්ණ සාමූහික ක්‍රියාකාරිත්වය සිදු වුණොත් පමණයි.
පෝෂණය සහ ප්‍රයෝජන
අලිගැටපේරවල ප්‍රෝටීන්, විටමින් B2, නියසින්, පොටෑසියම් හා විටමින් සී බහුල නිසා එය පෝෂණ ගුණය අතින් ඉහළයි. අලිගැටපේරවල අඩුම තරමින් විටමින් වර්ග 11ක් හා ඛනිඡ වර්ග 14ක් අඩංගු වෙනවා. ටොර්ටීලා නමැති රොටි සමඟ අලිගැටපේර ආහාරයට ගැනීම සම්පූර්ණ ආහාර වේලක් හැටියට මධ්‍යම අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල සලකනවා. අලිගැටපේරවල මේදය බහුල වන අතර, එහි අඩංගු තෙල් ඒකීය අසන්තෘප්ත මේදය අඩංගු ඔලීව තෙල්වලට සමානයි. සබන් හා සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමේදී එම තෙල් යොදාගන්නවා.
අලිගැටපේර ගසේ සෑම කොටසක්ම වගේ ප්‍රයෝජනවත්. එහි දැව දර හැටියට පාවිච්චි කරනවා. මැකිය නොහැකි පැල්ලමක් ඇති කරන ද්‍රව්‍යයක් එහි බීජවල තිබෙන නිසා, ඇඳුම්වල ලකුණු දැමීම සඳහා එය දකුණු අමෙරිකාවේ භාවිත කරනවා. පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවල තේ සාදාගැනීමට එහි කොළ යොදාගන්නවා. සම් පදම් කිරීමට ගසේ පොත්ත යොදාගන්න බව වාර්තා වෙනවා.
අලිගැටපේර මිල දී ගැනීම හා කෑමට ගැනීම
ඔබ අලිගැටපේර මිල දී ගන්න විට, ඒවා ඉදී ඇද්ද කියා ලෙල්ලේ පාට පරීක්ෂා කර බැලීමෙන් තීරණය නොකරන්න; ඉදුණු විට ලෙල්ලේ පාට වර්ගයෙන් වර්ගයට වෙනස් වන නිසා මේ ක්‍රමය සැමවිටම යොදාගන්න බැහැ. අලිගැටපේර ගෙඩිය හෙමිහිට ඔබල බලන්න. ටිකක් මෙළෙක් නම්, ඒ ගෙඩිය ඉදිලා. අලිගැටපේර ගබඩා කර තැබිය යුත්තේ හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනකයි; පත්තර කොළවල එතීමෙන් ඉක්මනින් ඒවා ඉදවාගන්න පුළුවන්. අලිගැටපේර ගෙඩියක් කැපුවට පස්සේ වුණත් ශීතකරණයක තබන්න පුළුවන්. විවෘත කළ ගෙඩියේ මදයට දෙහි ඉස්ම ටිකක් ඉසීමෙන්, එය දුඹුරු පැහැගැන්වීම වළක්වාගත හැකියි.
බොහෝදෙනෙක් පැඟිරි කුලයට අයත් පලතුරු සහ තක්කාලි සමඟ අලිගැටපේර කෑමට ගන්නවා. ලුණු ඇඹුල් දමා සාදාගත් ද්‍රාවණයක් සමඟ මිශ්‍ර කිරීමෙන් එහි රසය වැඩි කරගත හැකියි. මීට අමතරව, අලිගැටපේර ඉස්සන්, කකුළුවන් හා පොකිරිස්සන් සමඟ හොඳට ගැළපෙනවා; ඒ වගේම අලිගැටපේර ඕනෑම වර්ගයේ සලාදයකට දාන්න පුළුවන්. සමහරුන් අලිගැටපේර සමඟ වෙනත් පලතුරු මිශ්‍ර කර රසවත් බීමක් සාදාගන්නවා.
අලිගැටපේර සමඟ කුළු බඩු හා යෝග්‍ය වෙනත් ද්‍රව්‍යයන් මිශ්‍ර කර සාදාගන්නා ප්‍රණීත පල්පය ක්‍රැකර් බිස්කට් මත තවරා කෑමට ගත හැකියි. අලිගැටපේර සමඟ තක්කාලි, ලූණු, මාලු මිරිස් හා කුළු බඩු මිශ්‍ර කර සාදාගන්න ගුවකමෝල්වල රසය මෙහිදී අමතක කරන්න බැහැ. අලිගැටපේර පිසින ලද ව්‍යාංඡන සමඟ සංග්‍රහ කළ හැකියි. මේ වගේ අවස්ථාවකදී, කෑම මේසයට මෙය යැවිය යුත්තේ අන්තිමටයි.
සමහරවිට ඔබ දැනටමත් අලිගැටපේර ඔබේ ආහාරවලට එක් කරගෙන තිබෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත්, අලිගැටපේර ලෝකයේ සමහර ප්‍රදේශවල දැකිය නොහැකි පලතුරක් වෙනවා. ඔබ කවදාවත් අලිගැටපේර ගෙඩියක රසබලා නැත්නම්, ඔබට අවස්ථාවක් ලැබුණොත් එහි රස බලන්න. ඵල ප්‍රයෝජන බහුල මෙම පලතුර ඉතාමත් ප්‍රණීත බව ඔබ තේරුම්ගනීවි!