Skip to content

පටුනට යන්න

ඔබ අලුත් භාෂාවක් ඉගෙනගන්න කැමතිද?

ඔබ අලුත් භාෂාවක් ඉගෙනගන්න කැමතිද?

ඔබ අලුත් භාෂාවක් ඉගෙනගන්න කැමතිද?

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

“ඒක කියන තරම් ලේසි නැහැ!” මෙය, වෙනත් භාෂාවක් ඉගෙනගැනීම පිළිබඳව බහුතරයක් දරන මතයයි. ඒ පිළිබඳ යම් අද්දැකීමක් තිබෙනවා නම් එම වචනවල සත්‍යතාව තවත් පැහැදිලි වෙනවා. වෙනත් භාෂාවක් ඉගෙනගැනීම ලොකු අභියෝගයක් වන බව අපි අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් එය සාර්ථක ලෙස ඉගෙනගෙන තිබෙන අය තමන් දැරූ වෑයම් ඇත්තෙන්ම වටින බව පිළිගන්නවා.

අලුත් භාෂාවක් ඉගෙනීමට විවිධ හේතු තිබෙනවා. අපි නිදසුන් කිහිපයක් සලකා බලමු. ඇන්ඩෘට ප්‍රංශයේ නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය වූ අතර, එහි වෙසෙන ජනයා සමඟ ඔවුන්ගේම බසින් කතා කිරීමට ඔහුට වුවමනා වුණා. ග්වීඩෝ ඉතාලි ජාතිකයෙක් වුණත් උපත ලැබුවේ එංගලන්තයේ. “මම ඉතාලි භාෂාව හරියටම දැනගෙන හිටියේ නැති හින්දා මට ඒක ඉගෙනගන්න ඕන වුණා” කියා ඔහු පවසනවා. ජොනතන්ගේ මල්ලි මෑතකදී ස්පාඤ්ඤ ජාතික තරුණියක් සමඟ විවාහ වී තම පදිංචිය වෙන රටකට මාරු කළා. “මල්ලිව බලන්න යද්දී එයාගේ නෑදෑයන් එකක් ඒගොල්ලන්ගේම භාෂාවෙන් කතා කරන්න මට ආශාවක් ඇති වුණා” කියා ජොනතන් පවසනවා.

කෙසේවෙතත්, අලුත් භාෂාවක් ඉගෙනගැනීමෙහි අමතර ප්‍රයෝජනද තිබිය හැකියි. “අනුන් ගැන වඩා සංවේදී වෙන්න මම ඉගෙනගත්තා” කියා ලුවීස් පවසනවා. “නොතේරෙන භාෂාවක් කතා කරන රටකට විදේශිකයන් පැමිණෙද්දී ඒගොල්ලන්ට හැඟෙන්නේ කොහොමද කියලා මට දැන් හොඳට තේරෙනවා” කියා ඇය පවසනවා. පැමලා අත් කරගත් ප්‍රයෝජන ඇගේ පෞද්ගලික ජීවිතයට බලපෑවා. එංගලන්තයේ හැදී වැඩුණු ඇයට, ඇගේ මව් බස වූ චීන භාෂාව ගැන තිබුණේ අල්ප අවබෝධයක්. ප්‍රතිඵලයක් වශයෙන් ඇයත් ඇගේ මවත් අතර විශාල පරතරයක් ඇති වුණා. “අපි දෙන්නා අතර එච්චර හොඳ අදහස් හුවමාරුවක් තිබුණේ නැහැ” කියා පැමලා පිළිගන්නවා. “හැබැයි දැන් මට චීන කතා කරන්න පුළුවන් නිසා අපි දෙන්න කලින් හිටියාට වඩා දැන් හුඟක් ළං වෙලා තියෙනවා කියලා මට තේරෙනවා.”

උපකාරවත් වන යෝජනා

වෙනත් භාෂාවක් සාර්ථක ලෙස ඉගෙනගැනීමට නම් අවශ්‍ය වන්නේ කුමක්ද? සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන ඇති බොහෝදෙනෙක් දී තිබෙන යෝජනා කිහිපයක් සැලකිල්ලට ගන්න.

පෙලඹීමක් ඇති කරගන්න. ඔබේ ඉලක්කයට යම් පරමාර්ථයක් තිබිය යුතුයි. එය අත් කරගැනීම සඳහා ඔබ උපරිම වෑයමක් දරන්න පෙලඹෙන්නේ එවිටයි. සාමාන්‍යයෙන් වැඩි සාර්ථකත්වයක් අත් කරගන්නේ දැඩි පෙලඹීමක් තිබෙන ශිෂ්‍යයන්ය.

නිහතමානී වන්න. ඔබෙන් වුවමනාවට වඩා බලාපොරොත්තු වන්න එපා. වැරදි සිදු නොකර භාෂාවක් ඉගෙනගන්න බැහැ. මුලදී අනිවාර්යයෙන්ම අපේ අතින් වැරදි සිදු වේවී. “විහිළු තේරුම්ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මොකද අපිට වැරදුණාම අනිත් අයට හිනා යන එක අපිට නවත්තන්න බැහැනේ, ඒක සාමාන්‍ය දෙයක්” කියා ඇලිසන් අදහස් දක්වනවා. වැලරි මේ අදහසට එකඟ වෙමින් මෙසේ පවසනවා: “භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ හරියට පොඩි බබෙක් වැටි වැටි ඇවිදින්න හදනවා වගේ වැඩක්. අපිට වැරදුණත් අපේ උත්සාහය අත්හරින්න හොඳ නැහැ.”

ඉවසීම වර්ධනය කරගන්න. “මට මුල් අවුරුදු දෙකේදී නම් හුඟක් අමාරු වුණා. අත්හරින්නත් හිතුණා. හැබැයි කාලයත් එක්ක ඒක හරි ගියා” කියා ඩේවිඩ් පිළිගන්නවා. ජිල්ටත් හැඟෙන්නේ ඒ ආකාරයටමයි. “අපි කොච්චර ඉගෙනගෙන තියෙනවාද කියලා අපිට තේරෙන්නේ නැවතිලා ඒ ගැන ටිකක් හිතලා බැලුවාමයි” කියා ඇය පවසනවා.

පුහුණු වන්න. ඔබ ඉගෙනගන්න භාෂාව හොඳින් හුරුවීම සඳහා නිතරම වාගේ පුහුණු වීම උපකාරයක්. පුහුණු වීම සඳහා දිනපතාම විනාඩි කිහිපයක් හෝ වෙන් කරගන්න. එක් අත් පොතක සඳහන් වන පරිදි, “ටික වෙලාවකට හැමදාම පුහුණු වීම, ඉඳලා හිටලා වැඩි වෙලාවක් පුහුණු වීමට වඩා හොඳයි.”

ආධාරක මෙවලම්

අලුත් භාෂාවක් ඉගෙනගැනීමේ අභියෝගය භාරගන්න ඔබ සූදානම්ද? එසේ නම්, ඔබට උපකාරවත් විය හැකි මෙවලම් කිහිපයක් සලකා බලන්න.

කාඩ්පත්. සෑම කාඩ්පතකම වචනයක් හෝ වාක්‍යයක් සඳහන් කර ඇත. කාඩ්පතේ පිටුපස එම වචනයෙහි හෝ වාක්‍යයෙහි පරිවර්තනය සොයාගත හැක. මෙවැනි කාඩ්පත් ඔබේ රටේ සොයාගත නොහැකි නම්, ඔබටම ඒවා සාදාගත හැක.

උපදේශාත්මක ශ්‍රව්‍ය හා වීඩියෝ කැසට් පට. මෙමගින් නියම ආකාරයට භාෂාව කතා කරන්න ඔබට ඉගෙනගත හැක. උදාහරණයක් වශයෙන්, ඩේවිඩ් ජපන් බසේ මූලික රීති ඉගෙනගත්තේ, කාර් එකේ ගමන් කරන විටයි. ඔහු මෙසේ කළේ භාෂාව ඉගෙනගැනීම සඳහා සංචාරකයන් වෙනුවෙන් සකස් කළ පොතක කැසට් පටයකට සවන් දීමෙනුයි.

ඔබට හවුල් විය හැකි පරිගණක වැඩසටහන්. ඇතැම් වැඩසටහන් මගින් ඔබගේ කටහඬ පටිගත කිරීමට පුළුවන්. පසුව, ඔබ වචන උච්චාරණය කරන ආකාරය හා ස්වදේශිකයෙක් එසේ කරන ආකාරය සසඳා බැලිය හැකිය.

ගුවන්විදුලිය හා රූපවාහිනිය. ඔබ අධ්‍යයනය කරමින් සිටින භාෂාවෙන් ඔබගේ ප්‍රදේශයේ ගුවන්විදුලි හෝ රූපවාහිනි වැඩසටහන් විකාශනය වෙනවා නම්, ඒවාට සවන් දී ඔබේ දැනුම මැන බැලීම හොඳ අදහසක් නොවේද?

සඟරා පොත් පත්. ඔබ අධ්‍යයනය කරන භාෂාවෙන් ප්‍රකාශයට පත් වූ පොත් පත් කියවන්න. ඔබ තෝරගන්නා ප්‍රකාශනවල භාෂා මට්ටම උවමනාවට වඩා උසස් හෝ උවමනාවට වඩා සරල නොවිය යුතුයි. a

නිපුණයෙක් වීම

කල්යත්ම, එම භාෂාව කතා කරන අය සමඟ ඔබට අදහස් හුවමාරු කිරීමට සිදු වේවී. මේ සඳහා ඈත රටකට ගමන් කිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ වෙනුවට, ඔබට ඔබේ රටේදීම වෙනත් භාෂාවක් භාවිත කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවකට යා හැකියි.

කොහොම වුණත්, අදහස් හුවමාරු කරද්දී ඔබේ මව් භාෂාවෙන් එන අදහස් වචනයෙන් වචනයට පරිවර්තනය නොකර, අලුත් භාෂාවෙන් සිතන්න ඉගෙනගන්න. එය ඔබේ ඉලක්කය විය යුතුයි. එම භාෂාව කතා කරන පුද්ගලයන්ගේ සිරිත් විරිත් ගැන අවබෝධයක් ලබාගැනීමත් උපකාරයක් විය හැකියි. රොබට් ලාඩෝ භාෂාව පිළිබඳ ප්‍රවීණයෙක්. ඔහු මෙසේ අදහස් දක්වනවා. “යම් භාෂාවක් ගැන නියම අවබෝධයක් ලබන්න නම් එය කතා කරන ජනයාගේ සිරිත් විරිත්, ගති පැවතුම් මෙන්ම එම සංස්කෘතියට ආවේණික වූ සාරධර්ම ගැනද යමක් ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි.”

අවසාන වශයෙන් දෙන අවවාදය මෙයයි: ඔබට ඉක්මනට දියුණු වෙන්න බැහැයි කියා අධෛර්යයට පත් වන්න එපා. භාෂාවක් ඉගෙනගැනීම නිරන්තර ක්‍රියාවලියක් බව අමතක නොකරන්න. අවුරුදු 20කට පෙර සංඥා භාෂාව ඉගෙනගත් ජිල් පවසන්නේ, “මං හැමදාම අලුත් දේවල් ඉගෙනගන්නවා. භාෂාවත් නිතරම වගේ වෙනස් වෙනවා” කියායි.

ඔබ දැන් අලුත් භාෂාවක් ඉගෙනගැනීමට තීරණය කර තිබෙනවාද? එසේ නම්, ඔබ සූදානම් වන්නේ, ඔබේ ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක මෙන්ම විපාකදායි ගමනෙහි නිරත වීමටයි.

[පාදසටහන]

a පිබිදෙව්! සඟරාව දැන් භාෂා 83කින් ප්‍රකාශයට පත් කර ඇති අතර, මුරටැඹ නමැති එහි සහායක සඟරාව භාෂා 132කින් මුද්‍රණය කෙරේ. සරල ශෛලියකින් ලියවුණු මෙම ප්‍රකාශන අලුත් භාෂාවක් ඉගෙනගැනීමට රුකුලක් බව බොහෝදෙනෙකුගේ අද්දැකීමයි.

[12, 13වන පිටුවේ පින්තූර]

ඔබේ වාග්මාලාව දියුණු කරගත හැක්කේ. . .

. . . ඔබ ඉගෙනගනිමින් සිටින භාෂාව ඔබේ මව් බස සමඟ සැසඳීමෙනි