Skip to content

පටුනට යන්න

කෝපි ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමනවාද?

කෝපි ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමනවාද?

කෝපි ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමනවාද?

බ්‍රසීලයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

පෙරන්නේ නැතුව සාදන කෝපි පානය කිරීමෙන් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන බව නෙදර්ලන්තයේ වාගනින්ගන් කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසනවා.

“පෙරන්නේ නැතුව” කියන වචනය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ ඇයි? කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට හේතු වන කැෆෙස්ටෝල් කියන ද්‍රව්‍යය කෝපි ඇටවල අඩංගු වෙනවා කියා නෙදර්ලන්තයේ විද්‍යාත්මක පර්යේෂණ ආයතනය මගින් පළ කරන පර්යේෂණ වාර්තාවල සඳහන් වෙනවා. කොටන ලද කෝපි කුඩුවලට උණු වතුර දමන විට කැෆෙස්ටෝල් දිය වෙනවා. තුර්කි කෝපි සාදනවා වගේ නැත්නම්, පෙරීම සඳහා භාවිත කරන විශේෂිත කඩදාසි යොදාගැනෙන උපකරණයක් වෙනුවට, ලෝහ පෙරනයකින් සමන්විත ෆ්‍රෙන්ච් ප්‍රෙස් වැනි උපකරණයක් යොදාගනිමින් කෝපි සාදන විට සිහින් වෙන්න කොටාගත් කෝපි කුඩු උණු වතුර සමඟ කිහිපවතාවක් මිශ්‍ර වන නිසා ඒ හා සමාන දෙයක් සිදු වෙනවා. පෙරීම සඳහා යොදාගැනෙන විශේෂ කඩදාසියක් පෙරනය මත තබන්නේ නැතුව සාදන කෝපිවල කැෆෙස්ටෝල් වැඩියි.

පෙරන්නේ නැතුව සෑදූ කෝපි කෝප්පයක, කැෆෙස්ටෝල් මිලිග්‍රෑම් හතරක් අඩංගු විය හැකියි. මෙය කොලෙස්ටරෝල් මට්ටම සියයට එකකින් වැඩිවීමට හේතු විය හැකියි. විශේෂිත කඩදාසිය තබා පෙරන්නේ නැතුව සාදන එස්ප්‍රෙසෝ කියා හඳුන්වන තද කළු පැහැති කෝපිවලද කැෆෙස්ටෝල් අඩංගුයි. ඒ වුණත්, ඔබ කෝපි ටිකක් පානය කළාට කොලෙස්ටරෝල් මට්ටම වැඩි වන්නේ නැහැ. එස්ප්‍රෙසෝ සෑදීමට යොදාගන්න කෝපි කුඩු භාවිතය අඩු වන තරමට ශරීරගත වන කැෆෙස්ටෝල් ප්‍රමාණයද අඩුයි. මෙසේ සාදන කෝපි කෝප්පයක තිබෙන කැෆෙස්ටෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් එකක් හෝ දෙකක් තරම් කුඩා ප්‍රමාණයක් විය හැකියි. දවසකට කෝපි කුඩු වැඩි පුර දමා සාදන සැර කෝපි කුඩා කෝප්ප පහක් පානය කළොත්, සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම සියයට 2කින් වැඩි විය හැකි බව පර්යේෂණ වාර්තාවල අනතුරු අඟවා තිබෙනවා.

මෙම තොරතුරුවල සාරය වන්නේ පෙරීමට සුදුසු කඩදාසියක් තබා පෙරාගන්නා කෝපිවල කැෆෙස්ටෝල් නොමැති බවයි.