Skip to content

පටුනට යන්න

ජනප්‍රිය සිරිත් විරිත් පිළිබඳව සමබර දෘෂ්ටියක්

ජනප්‍රිය සිරිත් විරිත් පිළිබඳව සමබර දෘෂ්ටියක්

බයිබලයේ දෘෂ්ටිකෝණය

ජනප්‍රිය සිරිත් විරිත් පිළිබඳව සමබර දෘෂ්ටියක්

“යම් කාලයකදී හෝ ප්‍රදේශයකදී හෙළා දුටු නමුත් තවත් කාලයකදී හෝ ප්‍රදේශයකදී යුතුකමක් වශයෙන් පිළිගැනීමට ලක් නොවූ සිරිතක් මෙලොවේ නොමැති තරම්ය.”

මිනිසාගේ වෙනස්වනසුලු ස්වභාවය ගැන අයර්ලන්ත ජාතික ඉතිහාසඥ විලියම් ලෙකී මෙලෙස අදහස් දැක්වීය. ඔහු පළ කළ මෙම අදහස, යුගයක් යුගයක් පාසා පැවත එන ඉපැරණි සිරිත් විරිත් හා සම්ප්‍රදායන්වලට අදාළ කළ හැක. කලක් දිනචර්යාවේ අනිවාර්යය අංගයක් වශයෙන් සැලකූ නමුත් පසු කලක හෙළා දුටු සිරිත් විරිත් අනන්ත අප්‍රමාණයි! මෙය පුදුමයට කාරණයක් නොවෙයි. මන්දයත්, ක්‍රිස්තියානිවරයෙක් වූ ප්‍රේරිත පාවුල් පැවසූ පරිදි, “මේ ලෝකයේ තත්වය වෙනස් වෙමින් පවතියි.”—1 කොරින්ති 7:31, NW.

ඔව්, අප ජීවත් වන සමාජය නිතරම විපර්යාසවලට ලක් වෙමින් පවතියි. මෙය සිරිත් විරිත්වල හා පොදු ජනයා දරන මතවල නිතරම පාහේ සිදු වන විශාල වෙනස්කම් මගින් හොඳින් පිළිබිඹු වේ. නමුත් ක්‍රිස්තියානීන් “ලෝකයේ කොටසක් නොවෙයි.” එයින් අදහස් වන්නේ, දෙවිගෙන් බැහැරව කටයුතු කරන්නාවූ මිනිස් සමාජයෙන් ඔවුන් වෙන් වී සිටින බවයි. කෙසේවෙතත්, බයිබලයෙහි ක්‍රිස්තියානීන් ‘ලෝකයෙහි සිටින’ බව සඳහන් කරන නිසා, ලෝකයෙන් හුදෙකලාව ජීවත් වීමට බයිබලය අණ නොකරන බව මින් පැහැදිලි වේ. එමනිසා, සිරිත් විරිත් පිළිබඳ සමබර දෘෂ්ටියක් ලබාගැනීම අත්‍යවශ්‍යයි.—යොහන් 17:11, 14-16, NW; 2 කොරින්ති 6:14-17; එපීස 4:17-19; 2 පේතෘස් 2:20.

සිරිත් විරිත් යනු කුමක්ද?

සිරිත් විරිත් යනු සමාජීය මට්ටමෙන් මිනිසුන් අනුගමනය කරන චාරිත්‍රයි. ඒවා සාමාන්‍යයෙන් යම් විශේෂිත ප්‍රදේශයක හෝ ජන පන්තියක දැකගත හැකි පොදු ලක්ෂණ වේ. ඇතැම් සිරිත් විරිත්, මිනිසාගේ සමාජීය ආශ්‍රය විධිමත් තත්වයකට ගෙන ඒමේ අවශ්‍යතාව නිසා පැනනැඟුණා විය හැක. ඒවා එකිනෙකාට ශිෂ්ට සම්පන්නව ගනු දෙනු කිරීමටත් අන්‍යොන්‍ය ගෞරවය රැකගැනීමටත් උපකාරවත් විය. කෑම මේසයේදී අනුගමනය කරන චාරිත්‍ර මෙන්ම වෙනත් ආචාර විධි මෙයට නිදසුන් වශයෙන් සඳහන් කළ හැක. මානව සබඳතා එන්ජිමකට සමාන කළොත්, සමාජීය මට්ටමෙන් පිළිපදින එම ආචාර විධි එන්ජිමේ පහසු ක්‍රියාකාරිත්වයට දායක වන තෙල්වලට සමාන කළ හැක.

ආගමද සිරිත් විරිත් මත මහත් බලපෑමක් ඇති කර තිබේ. ඇත්තෙන්ම, මෙම සිරිත් විරිත්වලින් බහුතරයක් මතු වී ඇත්තේ පැරණි මිථ්‍යා මතයන්ගෙන් හා බයිබලයෙන් නොවන ආගමික අදහස් තුළින්ය. උදාහරණයක් වශයෙන්, වියෝ දුකින් පෙළෙන අයට මල් දෙන සිරිතෙහි මූලාරම්භය මිථ්‍යාදෘෂ්ටික එකක් විය හැක. a එමෙන්ම, අදදින සාමාන්‍යයෙන් පිරිමි දරුවෙකුට ඇඳුම් මසද්දී පාවිච්චියට ගන්නා නිල් පාට, කලින් පාවිච්චි කළේ දුෂ්ට ආත්ම පලවාහැරීමටයි. තවද, ඇහි පිහාටුවල තවරන ආලේපය භාවිත කළේ ඇස්වහ වැනි දේවලින් ආරක්ෂාව ලබාගැනීමටය. තොල් ආලේපනය භාවිත කළේ ස්ත්‍රියකගේ මුඛයෙන් ශරීරයට ඇතුල් වී ඇයව ආවේශ කරනවායයි විශ්වාස කළ භූතයන්ව පලවාහැරීමටයි. ඈනුම් අරින විට කට වසාගැනීම වැනි යෝග්‍ය සිරිතක් පවා, කට අධික ලෙස ඇරීම නිසා ශරීරයෙන් ආත්මය පිට වේවී යන විශ්වාසය මත ගොඩනැඟුණා විය හැකිය. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන් මෙම සිරිත් විරිත් හා බැඳි විශ්වාසයන් මතකයෙන් බොඳ වී ගොස් ඇති අතර, අදදින ඒවායෙහි කිසිම ආගමික අරුතක් මුසු වී නැත.

ක්‍රිස්තියානියෙකුගේ සැලකිල්ලට භාජන වන දෑ

යම් චාරිත්‍රයක් හෝ සිරිතක් අනුගමනය කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට පෙර, ක්‍රිස්තියානියෙකුගේ ප්‍රධාන සැලකිල්ල යොමු විය යුත්තේ කුමකටද? දෙවි ඒ සම්බන්ධයෙන් බයිබලයෙහි සඳහන් කර ඇති දේ කෙරෙහියි. අතීතයේදී, ඇතැම් ප්‍රදේශවල ජනප්‍රිය වී තිබූ සිරිත් විරිත් දෙවි විසින් හෙළා දැක තිබිණ. දරුවන්ව පූජා කිරීම, රුධිරය අනිසි ලෙස භාවිත කිරීම සහ විවිධ ආකාරයේ ලිංගික ක්‍රියාවන්ද මෙයට ඇතුළත් විය. (ලෙවී කථාව 17:13, 14; 18:1-30; ද්විතීය 18:10, 11ආ) ඒ හා සමානව, අදදින පොදුවේ පිළිගනු ලබන ඇතැම් සිරිත් විරිත්ද බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි බව පැහැදිලියි. නත්තල් හා පාස්කු ඉරිදා වැනි ආගමික නිවාඩු දින හා බැඳි බයිබලයට පටහැනි සම්ප්‍රදායික සිරිත් විරිත්ද ආත්ම බන්ධනය හා බැඳි මිථ්‍යාදෘෂ්ටික සිරිත් විරිත්ද මෙයට අයත් වේ.

කෙසේවෙතත්, නුසුදුසු මූලාරම්භයක් තිබෙන නමුත් දැන් ආචාර විධි වශයෙන් සමාජයේ පොදුවේ පිළිගැනෙන සිරිත් විරිත් ගැන කුමක් කිව හැකිද? නිදසුනක් වශයෙන්, විවාහය හා බැඳි බොහෝ සිරිත් විරිත්වලට මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භයක් තිබුණා විය හැකිය. මුදු මාරු කිරීමද මංගල කේක් කෑමද මින් සමහරකි. ක්‍රිස්තියානීන් විසින් මෙවැනි සිරිත් විරිත් පිළිපැදිය නොයුතුයි කියා මින් අදහස් වේද? ක්‍රිස්තියානීන්, තමන්ගේ ප්‍රදේශයේ පවතින සෑම චාරිත්‍රයකටම යම් නුසුදුසු මූලාරම්භයක් තිබෙනවාදැයි අණ්වීක්ෂයකින් බලන්නාක් මෙන් ඒවා සෝදිසි කර බැලිය යුතුද?

“යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස්කම ඇත්තේය” කියා පාවුල් අපට කාරණා පැහැදිලි කර දෙයි. (2 කොරින්ති 3:17, NW; යාකොබ් 1:25) දෙවිට අවශ්‍ය වන්නේ, අපගේ වටහාගැනීමේ ශක්තිය යොදාගනිමින් හරි හා වැරැද්ද අතර තේරීමක් කිරීමට මෙම නිදහස යොදාගන්නවා දකින්න මිස එය අපගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉටු කරගැනීමට යොදාගන්නවා දකින්න නොවෙයි. (ගලාති 5:13; හෙබ්‍රෙව් 5:14, NW; 1 පේතෘස් 2:16) එමනිසා, යම් චාරිත්‍රයක් බයිබල් ප්‍රතිපත්ති කඩ නොකරන බව පැහැදිලි නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඒ පිළිබඳව දැඩි නීතියක් පනවන්නේ නැත. ඒ වෙනුවට, එක එක පුද්ගලයා තම තමන් මුහුණ දෙමින් සිටින තත්වය හොඳින් සලකා බැලීමෙන් පෞද්ගලික තීරණයකට එළඹිය යුතුයි.

අනුන්ගේ ශුභ සිද්ධිය තකා වැඩ කරන්න

යම් සිරිත් කෙළින්ම බයිබල් ප්‍රතිපත්ති කඩ නොකරන පමණින් එය පිළිපැදිය හැකියි කියා මින් අදහස් වේද? නැත. (ගලාති 5:13) ක්‍රිස්තියානියෙක් තමාගේ ශුභ සිද්ධිය පමණක්ම නොව, නමුත් “බොහෝදෙනෙකුගේ ශුභ සිද්ධිය තකා වැඩ කළ” යුතුයයි පාවුල් පැවසීය. ක්‍රිස්තියානියෙක් පැකිලීමට හේතුවක් නොදී ‘සියල්ලම දෙවිගේ ගෞරවය පිණිස’ කළ යුතුයි. (1 කොරින්ති 10:31-33, NW) එමනිසා දෙවිගේ අනුමැතිය සොයන තැනැත්තෙක් තමාගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. එනම්, ‘අනිත් අය මේ සිරිත ගැන දරන ආකල්පය මොකක්ද? ප්‍රදේශයේ අය එයට යම් නුසුදුසු අර්ථයක් දී තිබෙනවාද? එයට සහභාගි වීමෙන් මම දෙවි පිළිකුල් කරන සිරිතකට හෝ අදහස්වලට අනුග්‍රහය දක්වන බව අඟවයිද?’—1 කොරින්ති 9:19, 23; 10:23, 24.

පොදු වශයෙන් ගත් කල, ඇතැම් චාරිත්‍ර හිතකර විය හැකි නමුත්, ප්‍රාදේශීය වශයෙන් ඒවා පිළිපදින ආකාරය බයිබලයට පටහැනි විය හැක. නිදසුනක් වශයෙන්, යම් නිශ්චිත අවස්ථාවකදී මල් පිළිගැන්වීම යන සිරිතට, බයිබලයට පටහැනි වන විශේෂිත අරුතක් තිබෙනවා විය හැක. එසේ නම්, ක්‍රිස්තියානියෙකුගේ ප්‍රධාන සැලකිල්ල විය යුත්තේ කුමක්ද? යම් සිරිතක මූලාරම්භය ගැන සොයා බැලීමට හොඳ හේතු තිබුණත්, ඇතැම්විට ඔබ ජීවත් වන කාලය තුළදී ඔබේ ප්‍රදේශයේ සිටින ජනයාට එම සිරිතෙන් අදහස් වන්නේ කුමක්ද කියා සලකා බැලීම ඊට වඩා වැදගත්ය. යම් විශේෂිත කාලයක් තුළදී හෝ යම් විශේෂිත තත්වයන් යටතේදී, සිරිතක් තුළ යම් නොහොබිනා අර්ථයක් ගැබ් වී ඇත්නම් හෝ එය බයිබලයට එකඟ නොවේ නම්, ක්‍රිස්තියානියෙකු එයින් වැළකී සිටීම ඥානවන්ත ක්‍රියා මාර්ගය වේ.

ක්‍රිස්තියානීන්ට තම ප්‍රේමය ඒකාන්ත දැනුමෙන්ද සියලු ආකාර විචාර බුද්ධියෙන්ද වඩ වඩා වර්ධනය කරගන්න හැකි වන පිණිස පාවුල් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළේය. ජනප්‍රිය සිරිත් පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගැනීමෙන්, ක්‍රිස්තියානීහු ‘වඩාත් වැදගත් දේවල් ගැන ඒත්තුගෙන සිටිත්.’ මෙලෙස ‘අන්‍යයන්ව පැකිලීමට පත් නොකර ඔවුන්ට නිදොස්ව’ සිටිය හැක. (පිලිප්පි 1:10, 11, NW) ඒ අතරතුර, ඔවුහු තම “සාධාරණකම සියලු මනුෂ්‍යයන්ට දැන්ගන්ට” සලස්වති.—පිලිප්පි 4:5, NW.

[පාදසටහන]

a මානව විද්‍යාඥයන් කිහිපදෙනෙකුගේ මතයට අනුව, ඇතැම් අවස්ථාවලදී මිය ගිය අයට මල් පිදුවේ, ජීවත්ව සිටින අයට ඔවුන්ගෙන් යම් හිරිහැරයක් සිදු නොවන පිණිසයි.

[26වන පිටුවේ පින්තූර]

ඈනුම් අරින විට කට වසාගැනීම හා වියෝ දුකින් පෙළෙන අයට මල් දීම වැනි ඇතැම් ඉපැරණි සිරිත් විරිත්වල මුල් අර්ථය බොඳ වී ගොස් ඇත