Skip to content

පටුනට යන්න

මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?

මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?

යෞවන අය අසති . . .

මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?

“මට මුල්ම වරට ක්‍රෙඩිට් කාඩ් එකකට අයැදුම් පතක් ලැබුණේ වයස අවුරුදු 16දී. ඒක ආවේ තැපෑලෙන් . . . මට අවුරුදු 18ක් වෙද්දී ඩොලර් 60,000ක (රුපියල් 42,60,000ක) විතර ණයක් තිබුණා!”—ක්‍රිස්ටන්.

ක්‍රිස්ටන් මුලදී ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත්තේ හදිසි අවශ්‍යතාවකදී භාවිත කිරීමටයි. ඇගේ සිත්ගන්නා මිල අධික භාණ්ඩ ගැනීමට එය ඉඳලා හිටලා භාවිත කිරීමේ වරදක් නැහැයි කියාත් ඇය සිතුවා. නමුත් තත්වය එක පාරටම වෙනතකට හැරුණා. “මට මාවම පාලනය කරගන්න බැරි වුණා. හරියට පිස්සෙක් වගේ ඇණවුම් පොත්වල දකින දකින හැම දෙයක්ම මං ගන්න පටන්ගත්තා” කියා ක්‍රිස්ටන් පිළිගන්නවා. “පොඩ්ඩක්වත් මගේ හිතට ඇල්ලුවේ නැති දේවලුත් මම අරං තියෙනවා” කියා ඇය තවදුරට පවසනවා. දැන් ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධයෙන් ක්‍රිස්ටන් දරන ආකල්පය සෑහෙන වෙනස් වී තිබෙනවා. ඇගේ අදහස: “පුංචි ප්ලාස්ටික් කාඩ් එකක් හින්දා මගේ ජීවිතයේ මෙච්චර ලොකු අවුලක් ඇති වෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ.”—ටීන් සඟරාව.

මෙය ක්‍රිස්ටන්ට පමණක් සීමා වූ අද්දැකීමක් නොවෙයි. එම පුංචි ප්ලාස්ටික් කාඩ්පත භාවිත කරමින් තම ආර්ථික පරිහානියට මඟ සලස්වාගන්න යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව දැන් එන්න එන්නම වැඩි වෙනවා. ඇත්තෙන්ම, ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන ඇතැම් සමාගම් යෞවනයන්වම ඉලක්ක කරන අතර, ඔවුන්ව ආකර්ෂණය කිරීමට දැඩි ප්‍රයත්නයක් දරනවා. මෙසේ කරන්නේ, ඉවක් බවක් නැතුව මුදල් වැය කරන අය ක්‍රෙඩිට් කාඩ්පතට පහසුවෙන්ම ඇබ්බැහි වන බව ඔවුන් වටහාගෙන තිබෙන නිසා විය හැකියි. මූල්‍ය උපදේශකවරියක් වන ජේන් බ්‍රයන්ට් ක්වින් ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වන්නේ “වාණිජ්‍ය ලොවේ මත්ද්‍රව්‍යයක්” වශයෙනුයි. “එය පාවිච්චි කරන්න කරන්න, එය නතර කරන එක එන්න එන්නම අමාරු වෙනවා” කියා ඇය තවදුරටත් පැහැදිලි කරනවා.

කොහොම වුණත්, ක්‍රෙඩිට් කාඩ්පතක් තිබීම ප්‍රයෝජනවත් විය හැකි බව නොකිවමනාය. හදිසි අවශ්‍යතාවක් පැනනැඟෙන අවස්ථාවලදී හෝ අතේ මුදල් රැගෙන යෑම ඒ තරම් සුදුසු නැති අවස්ථාවලදී එය විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. මෙය එක්සත් ජනපදයේ මෙන්ම වෙනත් රටවල වැසියන් අතර ක්‍රෙඩිට් කාඩ්පත් ජනප්‍රිය වීමට එක් හේතුවක්. නමුත් ක්‍රෙඩිට් කාඩ්පත ඥානවන්තව භාවිත නොකළොත්, ආර්ථිකමය වශයෙන් ගොඩ ඒමට බැරි උගුලකට අප හසු විය හැකියි. ටොරොන්ටෝහි ග්ලෝබ් ඇන්ඩ් මේල් නමැති පුවත්පතේ පළ කළ වාර්තාවක් මෙය තහවුරු කරනවා. “ටොරොන්ටෝහි ණය මුදල් පිළිබඳ උපදෙස් සපයන සේවා ආයතනයක් වෙතට උපකාරය පතා පැමිණෙන වයස අවුරුදු 20ත් 23ත් අතර තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව” තෙගුණයකින් වැඩි වී ඇති බව එහි සඳහන් කර තිබුණා. “ඔවුන් එසේ පැමිණෙන්නේ තම ණය මුදල් පියවීමට නොහැකි වීම නිසයි.” බොහෝදෙනෙකුට ඩොලර් 25,000ක් (රුපියල් 12,12,500ක්) තරම් විශාල ණය මුදලක් පියවීමට සිදු වූ අතර, ඒවායින් වැඩි ප්‍රමාණයක් ක්‍රෙඩිට් කාඩ්පත් නිසා ඇති වූ බවත් එම වාර්තාවේ පවසා තිබුණා.

ඔබ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද? එය ඔබේ දෙමව්පියන් විසින් ගත යුතු තීරණයක්. ඔබට තව ටික කාලයක් ඉන්න කියා ඔවුන් පවසනවා නම් ඉවසන්න. ඔබ ඥානවන්ත ලෙස මුදල් භාවිත කරන්න ඉගෙනගන්නවා නම් වැඩි කල් නොගොස් මුදල් භාවිතය සම්බන්ධයෙන් වැඩි වගකීම් දරන්න ඔබට සුදුසුකම් තිබෙන බව ඔබේ දෙමව්පියන් තීරණය කරන බවට නිසැකයි. (ලූක් 16:10 සසඳන්න.) කොහොම වුණත්, ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය හරියට වාහනයක් එළවීම හා සමානයි කියා ඔබ වටහාගත යුතුයි. එයට වාසි මෙන්ම අවාසි තිබෙනවා.

වියදම ගණන් බැලීම

ක්‍රෙඩිට් කාඩ්පතකින් භාණ්ඩ ගැනීම හරියට මුදල් ණයට ගැනීම හා සමානයි. ණයට ගත් සෑම මුදලක්ම අප නැවත ගෙවිය යුතුයි කියා අමුතුවෙන්ම කිව යුතු නැහැ. ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධයෙන්ද එය සැබෑවකි. (හිතෝපදේශ 22:7) නමුත් ක්‍රෙඩිට් කාඩ්පතකින් මිල දී ගත් භාණ්ඩවලට ගෙවන්නේ කොහොමද?

සාමාන්‍යයෙන්, ඔබ ගත් භාණ්ඩවල ලැයිස්තුවක් හා ඔබ ගෙවිය යුතු මුළු මුදල සඳහන් ප්‍රකාශයක් ඔබට සෑම මසකම අවසානයේදී ලැබෙනවා. ඔබ එකවරම ගෙවා දැමිය යුතු මුදලත් එහි සඳහන් කර ඇත. එය සාමාන්‍යයෙන් එතරම් විශාල මුදලක් නොවේ. ‘මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි. හැම මාසකදීම ගෙවිය යුතු අවම මුදල ගෙවලා දැම්මොත් ටික කාලයක් ගියාම මුළු මුදලම ගෙවලා දාන්න පුළුවන්’ කියා ඔබ නිගමනය කළ හැකියි. නමුත් එය සිතන තරම් පහසු දෙයක් නොවේ. කාඩ්පතෙන් යම් භාණ්ඩයක් ගත් විට ඔබට කෙටි කාලපරිච්ඡේදයකට ගෙවීම් සම්බන්ධයෙන් යම් සහනයක් දී තිබුණත් එය අවසන් වූ විගසම ඔබේ ණයට, පොලී එකතු වෙන්න පටන්ගන්නවා. ක්‍රෙඩිට් කාඩ්පත්වලට සෑහෙන ලොකු පොලියක් එකතු වන බවත් අමතක කරන්න එපා. a

ජෝසෆ්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහුට ලැබුණු එක් මාසික ප්‍රකාශයක, ගෙවිය යුතු මුළු මුදල ඩොලර් 1,000ක් (රුපියල් 71,000ක්) වශයෙන් සඳහන් කර තිබුණා. ජෝසෆ්ට ගෙවීමට තිබුණු අවම මුදල නම් ඩොලර් 20ක් (රුපියල් 1,420ක්) පමණයි. නමුත් ඔහු ප්‍රකාශය දෙස හොඳින් බැලූ විට, එම මාසයට ඩොලර් 17ක (රුපියල් 1,207ක) පොලියකුත් එකතු වී තිබුණා! ඒ කියන්නේ, ජෝසෆ් ඩොලර් 20ක් (රුපියල් 1,420ක්) වන අවම මුදල ගෙවා දැමුවත්, ඩොලර් 1,000ක් (රුපියල් 71,000ක්) වන ඔහුගේ ණය මුදලෙන් ඔහු ගෙවා දමන්නේ ඩොලර් 3ක් (රුපියල් 213ක්) පමණයි!

අවම මුදල පමණක් ගෙවා දැමුවොත්, ක්‍රෙඩිට් කාඩ්පත් ණයක් සම්පූර්ණයෙන්ම පියවීමට කොච්චර කාලයක් ගත වෙනවාද? එයට පිළිතුරක් වශයෙන් ෆෙඩරල් ට්‍රේඩ් කමිෂන් (රාජ්‍ය වෙළඳ කොමිසම) හා අමෙරිකන් එක්ස්ප්‍රෙස් නමැති ක්‍රෙඩිටි කාඩ්පත් සමාගම් මගින් ප්‍රකාශිත පොත් පිංචයක සඳහන් උදාහරණය සලකා බලන්න. “ඔබට ඩොලර් 2,000ක (රුපියල් 1,42,000ක) ණයකුත් මාසිකව ගෙවිය යුතු අවම මුදල සමඟ සියයට 18.5%ක පොලියකුත් ගෙවීමට තිබෙනවා කියා උපකල්පනය කරන්න. එය සම්පූර්ණයෙන්ම පියවීමට අවුරුදු 11කටත් වැඩි කාලයක් ගත වන අතර, ඩොලර් 1,934ක (රුපියල් 1,37,314ක) පොලී මුදලක් ඔබට ගෙවීමට සිදු වෙනවා. එයින් අදහස් වන්නේ, කලින් ගත් භාණ්ඩවල මිල මෙන් දෙගුණයකට ආසන්න මුදලක් ඔබට ගෙවීමට සිදු වන බවයි.”

ක්‍රෙඩිට් කාඩ්පත පරෙස්සමින් භාවිත නොකළොත්, භයංකර උගුලකට හසු විය හැකි බව ඔබට මින් පැහැදිලි වන්න ඇති. “ගත්ත හැම දෙයකටම මට දෙගුණයක්ම වගේ ගෙවන්න වුණා. මට ණය බේරගන්න බැරුව ගියාම ණයට දඩ මුදලකුත් එකතු වෙන්න පටන්ගත්තා. මොනවා කරන්නද කියා මට තේරුණේ නෑ” කියා ක්‍රිස්ටන් ඇගේ අද්දැකීම විස්තර කරනවා.

ඥානවන්තව භාවිත කිරීම

“අද ගන්න හෙට ගෙවන්න” යන ආකල්පය කොයිතරම් භයානකද කියා ක්‍රිස්ටන් තම අද්දැකීමෙන් ඉගෙනගත්තා. පොඩි ණය මුදලක් එක රැයකින්ම විශාල එකක් බවට පත් විය හැකියි. වැඩි කල් නොගොස්, මාසිකව ඔබ ගෙවන අවම මුදල නිකම්ම පොලිය පියවීමක් බවට පත් වෙනවා. මෙවැනි මූල්‍යමය උගුලකට හසු නොවීම සඳහා ක්‍රෙඩිට් කාඩ්පත ඥානවන්තව භාවිත කරන අය ගන්නා පියවර මොනවාද?

● ක්‍රෙඩිට් කාඩ්පතෙන් ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් ඔවුන්ට හොඳ මතකයක් තිබෙනවා. මාසිකව ලැබෙන ප්‍රකාශය දෙස සුපරීක්ෂාකාරිව බලමින් එහි යම් නොගෙවිය යුතු මුදලක් වැටී ඇද්දයි ඔවුන් බලනවා.

● ඔවුන් හැකි විගස ණය පියවන්නේ ඒ සම්බන්ධයෙන් විශ්වසනීය වාර්තාවක් පවත්වාගැනීමේ වැදගත්කම ඔවුන් වටහාගෙන තිබෙන නිසයි. අනාගතයේදී ඔවුන්ට රක්ෂණ ඔප්පුවක් ලබාගැනීමට, රැකියාවක් සොයාගැනීමට එහෙම නැත්නම් නිවසක් හෝ වාහනයක් මිල දී ගැනීමට අවශ්‍යතාවක් පැනනැඟුණ විට එය ඇත්තෙන්ම ප්‍රයෝජනවත් විය හැකිය.

● ඔවුන් හැකි සෑම අවස්ථාවකදීම විශාල පොලියක් එකතු වීමට ඉඩ නොදී සම්පූර්ණ ණය මුදල එකවරම පියවන්න වෑයම් කරනවා.

● ඔවුන් දූරකථනයෙන් නාඳුනන කෙනෙක් හෝ සමාගමක් අමතන විට, ක්‍රෙඩිට් කාඩ්පත් අංකය හෝ එය ඉකුත් වන දිනය වැනි විස්තර සපයන්නේ නැත.

● ඔවුන් මිතුරෙකුට වුණත් තම ක්‍රෙඩිට් කාඩ්පත දෙන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ්පත අනිසි ලෙස භාවිත කළොත් අමාරුවේ වැටෙන්නේ අයිතිකරු මිසක් වෙන කිසිවෙක් නොවෙයි කියා ඔවුන් වටහාගෙන තිබෙනවා.

● ක්‍රෙඩිට් කාඩ්පත බැංකු කාඩ්පතක් මෙන් ඉක්මනින්ම මුදල් ලබාගැනීම සඳහා භාවිත කරන්නේ නැත. භාණ්ඩ ගැනීමෙන් වැටෙන පොලියට වඩා මුදල් ගැනීමෙන් වැටෙන පොලිය වැඩියි කියා ඔවුන් මතක තබාගන්නවා.

● ඔවුන්ට ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා ලැබෙන සෑම අයැදුම්පතක්ම පුරවා එවන්නේ නැහැ. බොහෝ යෞවනයන්ට එක කාඩ්පතක් සෑහෙයි.

● ක්‍රෙඩිට් කාඩ්පත ඔවුන් සුපරීක්ෂාකාරි ලෙස භාවිත කරනවා. එයින් යම් භාණ්ඩයක් ගත් විට, කාසි හා නෝට්ටු භාවිත නොකළත් ඔවුන් ඇත්තෙන්ම වැය කරන්නේ මුදල් බව ඔවුන් මතක තබාගන්නවා.

වාසි ප්‍රයෝජන භුක්ති විඳීම

ඔබට දැන් ක්‍රෙඩිට් කාඩ්පතක් තිබෙනවා නම්, එහෙමත් නැත්නම් ළඟදීම එකක් ලබාගැනීමට ඔබ තීරණය කර තිබෙනවා නම්, එයින් අත් කරගත හැකි ප්‍රයෝජන මෙන්ම එයින් ඇති විය හැකි අවාසි ගැනද හොඳ අවබෝධයක් ඇතුව සිටින්න. පහත සඳහන් ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න. මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගන්නේ ඇයි? මට හුඟක් භාණ්ඩ රැස් කරගන්න ඕනේ නිසාද? එහෙම නැත්නම්, අලුත්ම විලාසිතා ලබාගන්න හෝ මගේ මිතුරන් අතර කැපිලා පේන්න ඕනේ නිසාද? ක්‍රිස්තියානියෙකු වූ ප්‍රේරිත පාවුල් පැවසූ අයුරින් මම ජීවිතයේ අවශ්‍යතා වන ‘කෑමෙන් හා ඇඳීමෙන් සතුටු වීමට’ වැඩි ප්‍රයත්නයක් දැරිය යුතුද? (1 තිමෝති 6:8) ජීවිතයේ වඩා වැදගත් දේවල් අතපසු කිරීමට මඟ පෑදිය හැකි විශාල ණයක් ගෙවීමට මට සිදු වෙයිද?—මතෙව් 6:33; පිලිප්පි 1:8-11.

මෙම කාරණා හොඳින් මෙනෙහි කර, ඒවා ඔබගේ දෙමව්පියන් සමඟත් සාකච්ඡා කරන්න. එසේ කරනවා නම්, ඔබ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත්තත් නැතත් බොහෝදෙනෙකු හසු වී තිබෙන ආර්ථික උගුලෙන් ඔබට බේරිය හැකියි.—හිතෝපදේශ 22:3.

[පාදසටහන]

a යම් ක්‍රෙඩිට් කාඩ්පත් සමාගමක් විසින් අය කරන පොලිය දැනගැනීම සඳහා එය සපයන අයැදුම්පතේ හෝ මාසික ප්‍රකාශයෙහි සඳහන් වාර්ෂික ප්‍රතිශතක අනුපාතය (APR) බලන්න.

[30වන පිටුවේ කොටුව]

දෙමාපිය අනුමැතිය—එහි වටිනාකම

බොහෝ යෞවනයන්ට පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට මුලින්ම අවස්ථාව උදා වන්නේ ඒ සඳහා තැපෑලෙන් ඔවුන්ට අයැදුම් පතක් ලැබෙන විටයි. ඇත්තෙන්ම, කාලය ගත වෙද්දී ඔවුන්ට අයැදුම් පත් කිහිපයක්ම ලැබෙන්න ඉඩ තිබෙනවා. “සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් මුලදීම පාවිච්චි කරන්න ගන්න කාඩ්පත දිගටම පාවිච්චි කරන්න පෙලඹෙන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙන නිසා, කාඩ්පත් යෞවනයන්ගේ අතට පත් කිරීම සඳහා ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන සමාගම් අතර සෑහෙන තරඟයක් පවතිනවා” කියා ජේන් බ්‍රයන්ට් ක්වින් පැහැදිලි කරනවා.

සාමාන්‍යයෙන් දෙමව්පියෙක් හෝ වෙනත් වැඩිහිටියෙක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් අයැදුම් පත අත්සන් කරනවා. එසේ කරන්නේ කාඩ්පත් ණය පියවන බවට එය නිකුත් කරන සමාගමට සහතිකයක් සැපයීම සඳහායි. කනගාටුදායක ලෙස, මෙය මඟහැරීමට බොහෝ යෞවනයන් උපායන් යොදාගන්නවා. එක් යෞවනියක්, ඇගේ ආච්චිගේ නම පළමුවන අයැදුම්කරු වශයෙන්ද ඇගේ නම හවුල් අයැදුම්කරු වශයෙන්ද සඳහන් කර තිබුණා. ඇය මෙසේ කළේ ඇගේ ආච්චිගේ අනුදැනුම නැතුවයි. ඩොලර් දසදහස් ගණනක ණයක් තිබෙන බව දැනගත් ඇගේ ආච්චිට හැඟුණේ කෙසේද කියා අපට සිතාගත හැකියි.

ක්‍රෙඩිට් කාඩ්පතක, දෙමව්පියෙකුගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ හොර අත්සනක් තැබීම වංක ක්‍රියාවක්. දෙවි වංකකම හෙළා දකින බව මතක තබාගන්න. (හිතෝපදේශ 11:1; හෙබ්‍රෙව් 13:18) ඒ නිසා, ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක් අවශ්‍ය නම් ඒ ගැන ඔබගේ දෙමව්පියන් සමඟ කතා කරන්න. ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම ඔබට දිගු කාලීන ප්‍රයෝජන අත් කර දෙයි. ණය පියවීම ගැන ඔබේ දෙමව්පියන්ට අද්දැකීම් ඇති නිසා, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික උපදෙස් දිය හැකි බව මතක තබාගන්න. ඒ නිසා, ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට වංක ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව ඔබගේ දෙමව්පියන් සමඟ කතා කරන්න.

[29වන පිටුවේ පින්තූරය]

වගකීමකින් තොරව ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කිරීම ඔබව ආර්ථික පරිහානියට ලක් කරන්න පුළුවන්