Skip to content

පටුනට යන්න

රුධිර ප්‍රවේශන—මතභේදයෙන් පිරි දිගු ඉතිහාසයක්

රුධිර ප්‍රවේශන—මතභේදයෙන් පිරි දිගු ඉතිහාසයක්

රුධිර ප්‍රවේශන—මතභේදයෙන් පිරි දිගු ඉතිහාසයක්

“රතු රුධිරාණු අලුත් ඖෂධයක් ලෙස අද හඳුන්වා දීමට සිදු වුණා නම්, එයට අනුමැතියක් ලබාගැනීම සෑහෙන අසීරු කාර්යයක් වෙයි.”—වෛද්‍ය ජෙෆ්රි ම’කලෝ.

වසර 1667 සිසිරයේදී, ප්‍රංශයේ XIVවන ලුවී රජගේ නමගිය වෛද්‍ය ජොන් බප්ටීස්ට් ඩ’නී වෙතට ආන්ට්වන් මෝර්වා නමැති දරුණු උන්මත්තකයාව ගෙනයනු ලැබීය. මෝර්වාගේ උන්මාදයටම කියාපු “ප්‍රතිකාරය” ඩ’නී ළඟ තිබුණු බවක් සැල විය. එනම් වහු පැටවෙකුගෙන් ලද රුධිරය ප්‍රවේශනය කිරීමක්. ඔහුගේ විශ්වාසය වූයේ එයින් රෝගියාව සන්සුන් කරවාගත හැකි බවයි. එනමුත්, මෝර්වාට සුවයක් ලැබුණේ නැත. දෙවන වරටත් ප්‍රවේශනයක් දීමෙන් පසු ඔහුගේ තත්වය හොඳ අතට හැරුණු බව සැබෑයි. එනමුත් වැඩි කලක් යන්න මත්තෙන් ඔහුගේ උන්මත්තකභාවය යළි ඉස්මතු විය. කෙටි කලකට පසු ඔහු මරු දුටුවේය.

මෝර්වා, ආර්සනික් විෂ ශරීරගත වීමෙන් මියගිය බව පසුව පැහැදිලි වුවද, සත්ව ලේ සමඟ ඩ’නී කළ පරීක්ෂණ ප්‍රංශයේ තියුණු ලෙස මතභේදයට ලක් විය. අන්තිමේදී, 1670දී රුධිර ප්‍රවේශන තහනම් කරන ලදි. ඉංග්‍රීසි පාර්ලිමේන්තුව සහ පාප් පවා ඒ හා සමාන තහනම් නියෝග පැනවීමට වැඩි කලක් ගත වූයේ නැත. ඊළඟ වසර 150 පුරා රුධිර ප්‍රවේශන යටගියා කියා පැවසුවොත් නිවැරදිය.

මුල් උවදුරු

දහනවවන සියවසේදී රුධිර ප්‍රවේශන යළි හිස එසවීය. මෙයට පණ පෙව්වේ ජේම්ස් බ්ලන්ඩල් නමැති ඉංග්‍රීසි ජාතික ප්‍රසව වෛද්‍යවරයෙකි. ඔහු දියුණු ශිල්ප ක්‍රම සහ උපකරණ භාවිත කළා පමණක් නොව, භාවිත කළ යුත්තේ මිනිස් රුධිරය පමණක් බව තරයේ කියා සිටියේය. බ්ලන්ඩල්ගේ මෙම ප්‍රයත්නය හේතුවෙන් රුධිර ප්‍රවේශන නැවතත් මහජන ප්‍රසිද්ධියට පාත්‍ර විය.

කෙසේවෙතත්, 1873දී පෝලන්ත වෛද්‍යවරයෙක් වූ එෆ්. ජෙසෙලියස් බියගන්වන සාධකයක් ඉදිරිපත් කරමින් රුධිර ප්‍රවේශනයේ ඉදිරි ගමන අඩාල කළේය. ප්‍රවේශන ලැබූ අයගෙන් අඩකට වඩා වැඩි පිරිසක් මරුමුවට පත් වූ බව ඔහු පෙන්නුම් කළේය. ඒ ගැන දැනගත් ප්‍රසිද්ධ වෛද්‍යවරු නැවතත් රුධිර ප්‍රවේශන හෙළා දකින්න පටන්ගත්හ. ප්‍රවේශනවලට දැක්වූ උද්‍යෝගය යළිත් වරක් නිවී ගියේය.

ඊළඟට 1878දී, සේලයින් ද්‍රාවණයක් සෑදීමට ප්‍රංශ වෛද්‍ය ජෝර්ජ් අයෙම් විසින් දැරූ වෑයම සාර්ථක විය. එය රුධිරයට විකල්පයක් සේ භාවිත කළ හැකි බව ඔහු කියා සිටියේය. රුධිරයට වෙනස්ව, එම සේලයින් ද්‍රාවණයෙන් කිසිදු අතුරු ආබාධ හට නොගත් අතර, එය කැටි ගැසුණේද නැත. එය ප්‍රවාහණය කිරීමටත් පහසු විය. එසේ නම්, අයෙම්ගේ සේලයින් ද්‍රාවණය පුළුල්ව භාවිත කළේ හොඳ හේතු ඇතුවයි. කෙසේවෙතත්, ජනමතය නැවතත් කෙමෙන් කෙමෙන් රුධිරයට පක්ෂ විය. ඒ මන්ද?

වසර 1900දී, රුධිරයට විවිධ කාණ්ඩ තිබෙන බවත්, එක කාණ්ඩයක් හැමවිටම තවෙකකට ගැළපෙන්නේ නැති බවත්, ඕස්ට්‍රියානු ව්‍යාධිවිද්‍යාඥ කාර්ල් ලැන්ඩ්ස්ටයිනර්ගේ සොයාගැනීම්වලින් හෙළි විය. එසේ නම්, අතීතයේ රුධිර ප්‍රවේශන හේතුවෙන් මෙතරම් සංඛ්‍යාවක් මිය යෑම පුදුමයක්ද! රුධිරය දන් දෙන්නාගේ රුධිර කාණ්ඩය එය ලබන්නාගේ රුධිර කාණ්ඩයට ගළපාගැනීමෙන්, එම අන්තරාව මඟහරවා ගත හැකි විය. මෙම දැනුම අතකොළුවක් කරගත් වෛද්‍යවරු, ප්‍රවේශන කෙරෙහි තම විශ්වාසය යළි තහවුරු කිරීමට පටන්ගත්හ. එසේ කළේ පළමුවන ලෝක මහා සංග්‍රාමය පෙනි පෙනී තිබෙද්දීය.

රුධිර ප්‍රවේශන සහ යුද්ධ අතර සම්බන්ධය

පළමුවන ලෝක මහා සංග්‍රාමයේදී, තුවාල වූ සෙබළුන්ට රුධිරය බහුලව ප්‍රවේශනය කරන ලදි. රුධිරය ඉක්මනින් කැටිගැසෙන නිසා, අතීතයේදී යුද බිමට රුධිරය ප්‍රවාහණය කිරීම ගැටලුසහගත ප්‍රශ්නයක් විය. එනමුත් 20වන සියවසේ මුල, නියූ යෝක් නගරයේ මවුන්ට් සයිනයි රෝහලේ වෛද්‍ය රිචඩ් ලුවිසන්, සෝඩියම් සයිට්‍රේට් ලෙස හැඳින්වූ කැටිගැසීම වළක්වන ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය. මෙම සොයාගැනීමෙන් උද්‍යෝගයට පත් වෛද්‍යවරුන් සමහරෙක් එය හැඳින්වූයේ ආශ්චර්යයක් ලෙසයි. සුප්‍රසිද්ධ වෛද්‍ය බර්ට්‍රම් එම්. බර්න්හයිම් තම අදහස මෙසේ ලේඛනගත කළේය: “එය හරියටම හිරුගේ ගමන නතර වුණාක් මෙනි.”

දෙවන ලෝක මහා සංග්‍රාමයේදී රුධිර ඉල්ලුම තවත් වැඩි විය. “ජීවිතයක් ගළවමු! ලේ බිඳක් අදම දෙමු!” “ලේ බිඳක් දී ජීවිතයක් බේරාගන්න” සහ “ලේ වැගිරෙවූ ඔහු වෙනුවෙන් ලේ බිඳක් දන් දෙන්න” වැනි උද්‍යෝග පාඨවලින් යුත් පෝස්ටර් සෑමතැනම අලවන ලදි. රුධිරය සඳහා කළ මෙම ඉල්ලීමට පුළුල් ප්‍රතිචාරයක් ලැබිණ. දෙවන ලෝක මහා සංග්‍රාමයේදී, එක්සත් ජනපදයේ රුධිර ඒකක 1,30,00,000ක් දන් දෙනු ලැබීය. ලන්ඩනයෙහි ලීටර් 2,60,000කට වැඩි ප්‍රමාණයක් එකතු කර බෙදාහරිනු ලැබූ බවට ගණන් බලා ඇත. කෙසේවෙතත්, වැඩි කලක් ගතවීමට මත්තෙන්, රුධිර ප්‍රවේශන හා සම්බන්ධ සෞඛ්‍ය උවදුරු රැසක් තිබුණු බව පැහැදිලි විය.

රුධිරයෙන් බෝවන රෝග

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු, වෛද්‍ය ක්ෂේත්‍රය සෑහෙන දියුණුවක් ලැබූ හෙයින්, කලින් නොසිතූ විරූ ආකාරයේ සැත්කම් කිරීමට වෛද්‍යවරුන් එඩිතර විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, සැත්කම්වලට අවශ්‍යයි කියා සම්මතයක් සේ පිළිගත් ප්‍රවේශනවලට අවශ්‍ය රුධිරය සැපයීමේ මුවාවෙන් වසරකට ඩොලර් බිලියන ගණනක් උපයන සමස්ත ලෝක ව්‍යාපාරයක් බිහි විය.

කෙසේවෙතත්, ප්‍රවේශන හා සම්බන්ධ රෝග හටගත් හෙයින්, නැවතත් ඒ පිළිබඳව අවිනිශ්චිත වාතාවරණයක් මතු විය. නිදසුනකට, කොරියානු යුද්ධයේදී රුධිර ප්ලාස්මා ප්‍රවේශන ලැබූ අයගෙන් සියයට 22කට පමණ හෙපටයිටිස් වැළඳිණ. මෙය දෙවන ලෝක මහා සංග්‍රාමයේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකි. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වෙද්දී, එ.ජ. රෝග මර්දන මධ්‍යස්ථාන ආයතනයේ ගණන් බැලීම්වලට අනුව, ප්‍රවේශන හේතුවෙන් හටගත් හෙපටයිටිස් නිසා මරුමුවට පත් වූ අයගේ සංඛ්‍යාව වසරකට 3,500ක් විය. ඇත්තෙන්ම ඒ සංඛ්‍යාව දහ ගුණයකින් වැඩි විය යුතු බවට වෙනත් අය අතර මතයක්ද විය.

වඩාත් හොඳ පරීක්ෂණ ක්‍රම නිසාත්, දන් දෙන්නන්ව වඩාත් පරෙස්සමින් තෝරාගත් නිසාත්, රුධිරය මතට එල්ල වූ හෙපටයිටිස් B ප්‍රශ්නය සෑහෙන දුරට අඩු විය. එනමුත් අලුත් මාරයෙක් සෑහෙන දිවි සංඛ්‍යාවක් බිලිගත්තේය. එනම් හෙපටයිටිස් C වයිරසයය. එම වයිරසයට හසු වූ අමෙරිකානුවන් දශලක්ෂ සතරින්, දශලක්ෂ කිහිපයකටම එය වැළඳුණේ රුධිර ප්‍රවේශන මාර්ගයෙන් බවට ගණන් බලා ඇත. හෙපටයිටිස් Cහි විකාශනය දැඩි පරීක්ෂණ ක්‍රම මගින් කෙසේ හෝ සීමා කර ඇති බව සැබෑය. එනමුත් අලුත් අනතුරු ඉස්මතු වී, ඒවා තේරුම්ගැනීමට මත්තෙන් සෑහෙන විනාශයක් සිදු වෙයි කියා බියක් ඇතමුන් අතර පවතී.

HIVවලින් දූෂ්‍ය වූ රුධිරය: ඉමහත් ආන්දෝලනයකට හේතුවක්

එක්දහස් නවසිය අසූගණන්වලදී, ඒඩ්ස්වලට මඟ පාදන වයිරසය වන HIV මගින් රුධිරය ආසාදනය විය හැකි බව සොයාගන්නා ලදි. මුලින්ම, තම රුධිර සැපයුම දූෂිත වී ඇති බව පිළිගැනීමට පවා ලේ බැංකු කළමනාකරණය අකමැති විය. ඇත්තෙන්ම බොහෝදෙනා HIV තර්ජනය දෙස බැලුවේ උපහාසාත්මක නෙත්වලිනි. වෛද්‍ය බෲස් එවට් එය විස්තර කළේ මෙසේය. “කෙනෙක් කාන්තාරයක ඉඳලා ඇවිත්, ‘මම පිටසක්වලයෙක් දැක්කනේ’ කියා කියූ විට ලැබෙන ප්‍රතිචාරයට ඒ තත්වය සමාන කරන්න පුළුවන්. ඔවුන්ට කියපු දේ ඇහුණා. නමුත් එය විශ්වාස කරන්න ටිකක්වත් කැමති වුණේ නැහැ.”

රටක් රටක් පාසාම, HIVවලින් ආසාදනය වූ රුධිරය ඇති බව හෙළිවීමෙන් ඉමහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. උදාහරණ කිහිපයක් සලකා බලමු. ප්‍රංශයේ 1982 සිට 1985 දක්වා ප්‍රවේශනය කළ රුධිරය හේතුවෙන් 6,000ක සිට 8,000ක් දක්වා සංඛ්‍යාවකට HIV ආසාදනය වී ඇත. අප්‍රිකාවේ HIV ආසාදනවලින් සියයට 10කටම වගකිව යුත්තේ රුධිර ප්‍රවේශනයි. පකිස්ථානයෙහි ඒඩ්ස් රෝගීන්ගෙන් සියයට 40කට එය වැළඳී ඇත්තේ ඒ හේතුව නිසාමය. වර්තමානයෙහි පරීක්ෂා කිරීමේ සියුම් ක්‍රම දියුණු වී ඇති නිසා, දියුණු රටවල රුධිර ප්‍රවේශන හේතුවෙන් HIV බෝ වන්නේ කලාතුරකිනි. කෙසේවෙතත්, එවැනි ක්‍රම නොමැති දියුණු වෙමින් පවතින රටවල HIV ආසාදනය තවමත් ගැටලුවක්ව පවතී.

එසේ නම්, මෑතක සිට රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම් කෙරෙහි ඇති උනන්දුව එන්න එන්නම වැඩි වී ඇත්තේ හොඳ හේතු ඇතුවය. කෙසේවෙතත්, මෙය ආරක්ෂා සහිත විකල්පයක්ද?

[6වන පිටුවේ කොටුව]

රුධිර ප්‍රවේශන—සම්මත පිළිවෙතක් නැත

එක්සත් ජනපදයෙහි පමණක්, වසරකට රෝගීන් 30,00,000කට රතු රුධිරාණු ඒකක 1,10,00,000කට වැඩි සංඛ්‍යාවක් ශරීරගත කෙරේ. මෙතරම් විශාල සංඛ්‍යාවක් එවන් ප්‍රතිකාරයක් ලබන බැවින්, රුධිරය ශරීරගත කිරීමේදී වෛද්‍යවරුන් දැඩි පිළිවෙතක් රකිනු ලබන බව සිතීම සාධාරණය. කෙසේවෙතත්, නියූ ඉංලන්ඩ් මෙඩිකල් ජර්නලයෙහි සඳහන්ව ඇති පරිදි, “ප්‍රවේශනයක් දිය යුතුද නැද්ද කියා තීරණය කිරීමට” අවශ්‍ය මාර්ග දර්ශකයන් නොමැති වීම පුදුමයකි. ඇත්තෙන්ම, ප්‍රවේශනය කරන්නේ කුමක්ද සහ කොතරම් ප්‍රමාණයක්ද යන්න පිළිබඳව පමණක් නොව, ප්‍රවේශනයක් ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳව අනුගමනය කරන පිළිවෙත සම්බන්ධයෙනුත් ඉතා පුළුල් විෂමතාවක් පවතී. ඇක්ටා ඇනස්තීසියොලොජිකා බෙල්ජිකා නමැති වෛද්‍ය ජර්නලය මෙසේ පවසයි. “රුධිර ප්‍රවේශනයක් දීම තීරණය වන්නේ රෝගියාගේ තත්වය අනුව නොව, වෛද්‍යවරයා අනුවයි.” ඉහත සඳහන් තොරතුරු සැලකිල්ලට ගෙන, නියූ ඉංග්ලන්ඩ් මෙඩිකල් ජර්නලයෙහි පළ වූ අධ්‍යයනයක ප්‍රතිඵල කියවීම පුදුමයට හේතුවක් විය නොහැක. එම අධ්‍යයනයට අනුව, “ප්‍රවේශනවලින් සියයට 66ක්ම සෞඛ්‍යයට අහිතකර වාතාවරණයක් යටතේ ලබා දෙන බවට ගණන් බලා ඇත.”

[5වන පිටුවේ පින්තූර]

දෙවන ලෝක මහා සංග්‍රාමයේදී රුධිරය සඳහා ඉල්ලුම බෙහෙවින් වැඩි විය

[හිමිකම් විස්තර]

Imperial War Museum, London

ඡායාරූප, U.S. National Archives