Skip to content

පටුනට යන්න

රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම් සඳහා ඉල්ලුම වැඩි වේ

රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම් සඳහා ඉල්ලුම වැඩි වේ

රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම් සඳහා ඉල්ලුම වැඩි වේ

“රුධිර ක්ෂේත්‍රයට සම්බන්ධව සිටින, සැත්කම්වලට භාජන වූ රෝගීන්ට ප්‍රතිකාර කරන සැමදෙනාම, රුධිර රහිත සැත්කම් නමැති විකල්පය සලකා බැලිය යුතුමයි.”—වෛද්‍ය යෝආඛිම් බෝල්ට්, ජර්මනියේ ලුඩ්විග්ෂාෆන්හි නිර්වින්දනය පිළිබඳ මහාචාර්යවරයෙක්.

ශල්‍යාගාරය වඩාත් නිරුපද්‍රිත ස්ථානයක් කිරීමට විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් අමතර පියවර ගැනීමට පෙලඹී ඇත්තේ ඒඩ්ස් නමැති ඛේදවාචකය නිසාය. එමනිසා, රුධිරය පරීක්ෂා කිරීමට ඊටත් වඩා දැඩි පියවර අනුගමනය කර ඇත. කෙසේවෙතත්, මෙවන් ක්‍රියාමාර්ග ගත්තද, කිසිදු අවදානමක් නොමැති ප්‍රවේශන ලබා දිය හැකි බව මින් සහතික නොකෙරෙන බව ප්‍රවීණයන්ගේ මතය වේ. ප්‍රවේශන නමැති ඉංග්‍රීසි සඟරාව මෙසේ පවසයි: “රුධිර සැපයුම වඩාත් සුරක්ෂිත කිරීමට සමාජය ඉමහත් මුදලක් වැය කළද, රුධිර සැපයුම කිසිදාක සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිත වෙයි කියා අපේක්ෂා කළ නොහැකිය. එමනිසා, රෝගීන් [දන් දෙන්නන්ගෙන් ලැබෙන] ප්‍රවේශන ප්‍රතික්ෂේප කිරීමට උත්සාහයක් දරයි කියා විශ්වාස කිරීමට අපට හේතු ඇත.”

එසේ නම් රුධිරය ශරීරගත කිරීම ගැන බොහෝ වෛද්‍යවරුන් අකමැත්තක් දැක්වීම පුදුමයට හේතුවක් විය යුතු නැත. කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවල වෙසෙන වෛද්‍ය ඇලෙක්ස් සැපොලැන්ස්කි මෙසේ පවසයි: “සමස්තයක් වශයෙන් ගත්තොත් රුධිර ප්‍රවේශන කියන්නේ හොඳ නැති දෙයක්. එමනිසා ඒවා මඟහැරීමට අපි දැඩි උත්සාහයක් දරනවා.”

ප්‍රවේශන හා බැඳුණු අන්තරාවන් සම්බන්ධයෙන් දැන් පොදු ජනතාවටත් අවබෝධයක් තිබේ. ඇත්තෙන්ම 1996දී පැවැත්වූ ජනමත විමසුමකදී, කැනේඩියානුවන්ගෙන් සියයට 89ක්ම පැවසුවේ වෙනත් කෙනෙකුගේ රුධිර ප්‍රවේශනයක් වෙනුවට විකල්පයක් ලබාගැනීමට ඔවුන් මනාපයක් දක්වන බවය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනත් කෙනෙකුගෙන් ලබාගන්නා රුධිරය ප්‍රතික්ෂේප කරන්නාක් මෙන් සියලුම රෝගීන් තම විරෝධතාව පළ කරන්නේ නැත. කෙසේවෙතත්, අප ප්‍රතිකාර කරන හැම රෝගියෙකු සඳහාම විකල්ප ප්‍රතිකාරයක් සොයාගත යුතු බවට පැහැදිලි සාක්ෂි ලැබෙන්නේ ප්‍රවේශන හේතුවෙන් රෝග බෝ වන ආකාරය සහ ප්‍රතිශක්ති පද්ධතියට හානි පමුණුවනු ලබන ආකාරය සලකා බලන විටය.” එම අදහස පළ වූයේ වාහිනි සැත්කම් ජර්නලයෙහිය—ඉංග්‍රීසියෙන්.

මනාප ක්‍රමයකි

රුධිරයට විකල්පයක් එනම් රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම් තිබීම සතුටට කරුණකි. රෝගීන් බොහෝදෙනෙකු රුධිර රහිත ප්‍රතිකාර ක්‍රම තෝරාගන්නේ තමන්ට වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා නොව, නමුත් එය ඔවුන්ගේ මනාපය වන නිසාය. රුධිර රහිත සැත්කම්වලට භාජන වන අයගේ රෝගාතුර වීමේ අනුපාතය සහ මරණ අනුපාතය අඩුය. “රුධිරය ලබාගන්නා රෝගීන් හා සැසඳූ කල එය [ඇත්තෙන්ම] අඩුය එසේ නැතහොත් අඩුම වශයෙන් සමානය. බොහෝ අවස්ථාවලදී සැත්කමින් පසු රුධිරය හේතුවෙන් ඇති වන ආසාදන සහ වෙනත් අසීරුතාවලින් රුධිරය නොගන්නා අය නිදහස්ය.” එසේ අදහස් දැක්වූයේ බ්‍රිතාන්‍ය උපදේශක ශල්‍ය වෛද්‍ය ස්ටීවන් ජෙෆ්රි පොලඩ්ය.

එසේ නම්, රුධිර රහිත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම එළි දුටුවේ කෙසේද? රුධිර රහිත ප්‍රතිකාරවල ඉතිහාසය රුධිර භාවිතයේ ඉතිහාසයට වඩා පැරණිය. එමනිසා, එක් අතකින් ඉහත ප්‍රශ්නයට යම් අමුත්තක් ඇති බව කිව හැක. ඇත්තෙන්ම රුධිර ප්‍රවේශන පොදු දෙයක් බවට පත් කිරීමට ඉවහල් වූ ඒ හා සම්බන්ධ තාක්ෂණය දියුණු වූයේ 20වන සියවසේ මුල තරම් මෑත කාලයකදීයි. කෙසේවෙතත්, මෑත දශකයන්වලදී, රුධිර රහිත සැත්කම් ක්ෂේත්‍රය ජනප්‍රිය කිරීමට ඇතමුන් සමත් වී ඇත. නිදසුනකට, 1960ගණන්වලදී, නමගිය ශල්‍ය වෛද්‍යවරයෙක් වන ඩෙන්ටන් කූලි රුධිරය භාවිත නොකර මුල්ම විවෘත හෘද ශල්‍යකර්මවලින් කිහිපයක් සිදු කළේ ඉමහත් ප්‍රසිද්ධත්වයක් ලබමිනි.

එක්දහස් නවසිය හැත්තෑගණන්වල ප්‍රවේශනලාභීන් අතර හෙපටයිටිස් බෝවීම වැඩිවීමත් සමඟම, රුධිරයට විකල්ප වශයෙන් කුමක් යොදාගත හැකිද යන්න ගැන බොහෝ වෛද්‍යවරුන් තම අවධානය යොමු කරන්ට විය. එමනිසා, 1980ගණන් වෙද්දී, ප්‍රසිද්ධ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක්ම රුධිරය නොමැතිව සැත්කම් සිදු කරන බවක් පෙනෙන්ට තිබිණ. ඉන්පසුව, ඒඩ්ස් වසංගතය අවතීර්ණ වීමත් සමඟම, වෙනත් අය මෙම කණ්ඩායම්වලින් උපදෙස් පැතුවේ එම ශිල්ප ක්‍රම යොදාගැනීමට ඔවුන් තුළ උනන්දුවක් ඇති වූ නිසාය. එක්දහස් නවසිය අනූගණන්වලදී, රෝහල් බොහොමයක් රුධිරය භාවිත නොකර සැත්කම් කිරීමේ ප්‍රස්තාව තම රෝගීන්ට ලබා දෙන වැඩ පිළිවෙළක් දියත් කළේය.

කලින් රුධිර ප්‍රවේශන අවශ්‍යම බව පොදුවේ සැලකූ සැත්කම් හෝ හදිසි අවස්ථාවලදී රුධිර රහිත ශිල්ප ක්‍රම භාවිත කිරීමට වෛද්‍යවරු දැන් සමත්ව සිටිති. “රුධිරයවත් රුධිර නිෂ්පාදනවත් භාවිත කරන්නේ නැතුව, හෘද, වාහිනී, නාරීවේදී සහ ප්‍රසවවේදී, භග්නචිකිත්සක සහ මෞත්‍ර වැනි බරපතළ සැත්කම් උපද්‍රවයකින් තොරව සිදු කළ හැකි” බවට ඩී. එච්. ඩබ්. වොන් පළ කළ අදහස කැනේඩියානු නිර්වින්දන ජර්නලයෙහි (ඉංග්‍රීසියෙන්) පළ විය.

රුධිර රහිත සැත්කම්වල දක්නට ලැබෙන එක් වාසියක් වන්නේ, ඊටත් වඩා උසස් ගණයේ ප්‍රතිකාරයකට එය දායක වීමයි. ඔහායෝ ක්ලීව්ලන්ඩ්හි සැත්කම් අධ්‍යක්ෂකවරයෙක් වන වෛද්‍ය බෙන්ජමින් ජේ. රයික්ෂ්ටයින්ගෙන් ඒ සම්බන්ධයෙන් මෙම අදහස පළ විය. “රුධිරය අපතේ යෑම මඟහරවා ගැනීමට විශේෂයෙන්ම දායක වන්නේ ශල්‍ය වෛද්‍යවරයාගේ දක්ෂතාවයයි.” රුධිරය භාවිත නොකර සැත්කමක් කිරීම ඇතැම් අවස්ථාවලදී “වඩා වේගවත්, පිරිසිදු සහ වියදමින් අඩු” විය හැකි බව දකුණු අප්‍රිකානු නීතික ජර්නලයක පැවසේ. තවදුරටත් එහි මෙම අදහසද පළ විය: “බොහෝ අවස්ථාවන්හිදී, සැත්කමින් පසු ලබා දුන් ප්‍රතිකාරවලට වැය වූ මුදල අඩුය. තවද ඒ සඳහා වැය වූ කාලයද බෙහෙවින් අඩු විය.” අප දැන් සලකා බැලුවේ, ලෝවටා රෝහල් 180කට වඩා වැඩි ප්‍රමාණයක් විශේෂ රුධිර රහිත සැත්කම් සහ ඖෂධ වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට හේතු කිහිපයක් පමණි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ රුධිරය අතර සම්බන්ධය

යෙහෝවාගේ සාක්ෂිකරුවන් රුධිර ප්‍රවේශන එකහෙළා ප්‍රතික්ෂේප කරන්නේ බයිබලය මත පදනම් හේතු නිසාය. a කෙසේවෙතත්, රුධිරයට සම්බන්ධ නොවන වෛද්‍යමය විකල්පවලට ඔවුන් තම කැමැත්ත දෙනවා පමණක් නොව, ඒවා භාවිත කිරීමට ඔවුහු ඉමහත් උනන්දුවක්ද දක්වති. නියූ යෝක් රෝහලේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළ කාලයේදී වෛද්‍ය රිචඩ් කේ. ස්පෙන්ස් ඔවුන් ගැන මෙසේ කීවේය: “යෙහෝවාගේ සාක්ෂිකරුවන් හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට විශේෂ ප්‍රයත්නයක් දරනවා. කණ්ඩායමක් හැටියට ගත්තොත්, ඔවුන්ට වඩා හොඳ අවබෝධයක් ඇති ප්‍රතිකාරලාභීන්ව ශල්‍ය වෛද්‍යවරයෙකුට හමු වන්නේ නැහැ.”

රුධිර රහිත සැත්කම් ශිල්ප ක්‍රම බොහොමයක් උපරිම මට්ටමකට ගෙනෙන්න වෛද්‍යවරුන් සමත් වී ඇත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධව කළ සැත්කම් නිසාය. හෘද-වාහිනි ශල්‍යවෛද්‍ය ඩෙන්ටන් කූලිගේ අද්දැකීම් සලකා බලන්න. විසිහත් වසරක කාලපරිච්ඡේදයක් පුරා, ඔහුගේ කණ්ඩායම යෙහෝවාගේ සාක්ෂිකරුවන් 663දෙනෙකුට විවෘත හෘද සැත්කම් කිරීම සඳහා ඉදිරිපත් විය. ඔහු ලැබූ ප්‍රතිඵලවලින් මනාව පැහැදිලි වන්නේ හෘදයට සම්බන්ධ සැත්කම් රුධිරය භාවිතයෙන් තොරව සාර්ථකව සිදු කළ හැකි බවය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් රුධිරය ප්‍රතික්ෂේප කරන නිසා, ඔවුන්ව විවේචනයට ලක් කර ඇති බව සැබෑය. කෙසේවෙතත් සාක්ෂිකරුවන් ගන්නා ස්ථාවරය “ජීවිතයට දක්වන ගෞරවයේ ලක්ෂණයක්” ලෙස මහ බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ නිර්වින්දකවේදීන්ගේ සංගමය විසින් පළ කළ අත්පොතක පැවසේ. ඇත්තවශයෙන්ම, සාක්ෂිකරුවන්ගේ නොසැලෙන ස්ථාවරය, සෑමදෙනෙකුටම වඩාත් සුරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකිවීමට බෙහෙවින් දායක වී තිබේ. “සැත්කමක් ඉල්ලා ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන් නව ප්‍රතිකාර ක්‍රමයකට මඟ විවෘත කර ඇති අතර, නෝවීජියානු සෞඛ්‍ය සේවාවේ වැදගත් වූ අංගයක දියුණුව සඳහා ඔවුන්ගේ දායකත්වය විශේෂයෙන්ම සඳහන් කළ යුත්තකි.” එම අදහස පළ කළේ නෝවේහි ජාතික රෝහලේ මහාචාර්ය ස්ටේන් ඒ. එවන්සන්ය.

රුධිරය භාවිත නොකොට ප්‍රතිකාර සැපයීම සඳහා වෛද්‍යවරුන්ට උපකාරයක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රයෝජනවත් සබඳතා සේවාවක් පිහිටුවා ඇත. දැනට ලොව පුරා රෝහල් සබඳතා කමිටු 1,400ක් පමණ ක්‍රියාත්මක වේ. රුධිර රහිත ප්‍රතිකාර ක්‍රම සහ සැත්කම්වලට සම්බන්ධ ලිපි 3,000ක් ඉක්මවූ දත්ත සංචිතයකින් වෛද්‍යවරුන්ට සහ පර්යේෂකයන්ට වෛද්‍ය පොත් පත් ආදිය සැපයීමට එම කමිටුවලට හැකිය. බොස්ටන් විද්‍යා නීති පාසැලේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය චාල්ස් බැරන් පැවසුවේ මෙසේය. “සාක්ෂිකරුවන්ගේ රෝහල් සබඳතා කමිටුවලින් ඉටු වී ඇති සේවය හේතුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණක් නොව, නමුත් පොදුවේ ඕනෑම රෝගියෙකුට අනවශ්‍ය රුධිර ප්‍රවේශනයක් ලබා දීමේ අවස්ථාවන් අඩු වී තිබෙනවා.” b

රුධිර රහිත ප්‍රතිකාර ක්‍රම සහ සැත්කම් පිළිබඳව යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් එකතු කර ඇති තොරතුරු වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් වී තිබේ. නිදසුනකට, ස්වයංප්‍රවේශන: ප්‍රතිකාර හා බැඳි මූලධර්ම සහ ප්‍රවණතා (ඉංග්‍රීසියෙන්) යන මැයින් යුත් පොතකට තොරතුරු එක්රැස් කරද්දී එහි කර්තෲවරු, රුධිර ප්‍රවේශන වෙනුවට යොදාගත හැකි විකල්ප පිළිබඳව තොරතුරු සැපයීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් තොරතුරු ඉල්ලා සිටියහ. මෙම ඉල්ලීමට සාක්ෂිකරුවෝ පසුබට නොවී සහයෝගය දැක්වූහ. කෘතඥපූර්වක වූ කර්තෘවරුන්ගේ අදහස වූයේ, “මෙම විෂය ගැන අප මෙතෙක් කර ඇති පුළුල් හැදෑරීම්වලදී, රුධිරය ප්‍රවේශන කිරීමක් මඟහැරීමට මෙතරම් සංක්ෂිප්ත, සම්පූර්ණ ක්‍රියා පිළිවෙත් සමුදායක් අප මින් පෙර දැක නැති” බවයි.

වෛද්‍ය ක්ෂේත්‍රයෙහි දියුණුවක් දක්නට ලැබෙන හෙයින්, රුධිර රහිත ප්‍රතිකාර ක්‍රම නමැති විකල්පය සලකා බැලීමට බොහෝදෙනෙකුව පොලඹවා තිබේ. එසේ නම්, අනාගතය ගැන කුමක් කියමුද? ඒඩ්ස් වයිරසය සොයාගත් මහාචාර්ය ලූක් මොන්ටන්යේ පැවසුවේ මෙසේය: “මෙම ක්ෂේත්‍රය පිළිබඳව අපගේ දැනුම වර්ධනය වී තිබෙන ආකාරය සලකා බැලුවොත්, එයින් පෙනී යන්නේ කවදාහරි රුධිර ප්‍රවේශන නමැති ප්‍රතිකාර ක්‍රමය අත්හැරිය යුතු බවයි.” ඒ අතරතුර රුධිරය නොවන විකල්ප ප්‍රතිකාර මිනිස් ජීවිත බේරාගැනීමට සමත් වීම සතුටට කරුණකි.

[පාදසටහන්වල]

b රෝහල් සබඳතා කමිටුවලට ඇරයුම් කළොත්, එම කමිටු රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩල සමඟ සාකච්ඡා පවත්වයි. මීට අමතරව, විශේෂයෙන්ම ඔවුන්ගේ උපකාරය පතන අවස්ථාවන්හිදී, භාරව සිටින වෛද්‍යවරයා සමඟ කල් වේලා ඇතුව විවෘත සහ නිරන්තර අදහස් හුවමාරුවක් පවත්වාගැනීමට රෝගීන්ට කමිටු සාමාජිකයන්ගෙන් උපකාර ලැබේ.

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ අදහස්

‘රුධිර රහිත සැත්කම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පමණක් නොව, සියලුම රෝගීන් සඳහා ප්‍රයෝජනවත් දෙයක්. හැම වෛද්‍යවරයෙක්ම එම ක්‍රමය අනුගමනය කළ යුතුයි කියා මට හිතෙනවා.’—වෛද්‍ය යෝආඛිම් බෝල්ට්, ජර්මනියේ ලුඩ්විග්ෂාෆන්හි නිර්වින්දනය පිළිබඳ මහාචාර්ය.

“ඉස්සරට වඩා රුධිර ප්‍රවේශන ආරක්ෂා සහිත වුණාට, අවදානම් නැහැයි කියලා කියන්න බැහැ. ඒවායින් සමහරක් තමයි ප්‍රතිශක්තිකරණය තුළ අහිතකර ප්‍රතික්‍රියා, හෙපටයිටිස් වැළඳීම නැත්නම් ලිංගිකව බෝවන රෝග.”—වෛද්‍ය ටෙරන්ස් ජේ. සාකි, වෛද්‍ය විද්‍යා ඒකකයේ සහායක මහාචාර්ය.

“වෛද්‍යවරුන් වැඩිදෙනෙක් රුධිර ප්‍රවේශනයක් දෙන්නේ හිතුමතේට. ඒ නිසා, ඒවා ලබා දෙන්නේ වග විභාගයකින් තොරවයි, කිසිම ප්‍රමිතියක් රකින්නේ නැතුවයි. මම නම් එහෙම කරන්නේ නැහැ.”—වෛද්‍ය ඇලෙක්ස් සැපොලැන්ස්කි, සැන් ෆ්‍රැන්සිස්කෝ හෘද ආයතනයේ හෘත්-සැත්කම් ඒකකයේ අධ්‍යක්ෂක.

“උදරයේ සාමාන්‍ය සැත්කමකදී සාමාන්‍ය රෝගියෙකුට රුධිර ප්‍රවේශනයක් අවශ්‍යයි කියා කියන්න බැහැ.”—වෛද්‍ය යොහැනස් ෂේලර්, ජර්මනියේ ජෙනාහි සැත්කම් ඒකකයේ මහාචාර්ය.

[පින්තූර]

වෛද්‍ය යෝආඛිම් බෝල්ට්

වෛද්‍ය ටෙරන්ස් ජේ. සාකි

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]

රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම්වලදී

භාවිතයට ගන්නා ඇතැම් ක්‍රම

ද්‍රාවණ: රිඟර්ගේ ලැක්ටේට් ද්‍රාවණය, ඩෙක්ස්ට්‍රාන්, හයිඩ්‍රොක්සිඑතිල් ස්ටාර්ච් (පිෂ්ටය) සහ වෙනත් ද්‍රාවණ පැවතිය යුතු රුධිර පරිමාව රැකගැනීමට යොදාගැනේ. මෙයින් රුධිර පරිමාව අඩුවීමෙන් ඇති වන කම්පනය වළක්වාගත හැකිය. දැන් පරීක්ෂණවලට ලක් කෙරෙන ඇතැම් ද්‍රාවණවලට ඔක්සිජන් පවා පරිවහණය කළ හැකිය.

ඖෂධ: ජාන ඉන්ජිනේරු විද්‍යාව යොදාගනිමින් නිපදවා ඇති ප්‍රෝටීන මගින් රතු රුධිරාණු (එරිත්‍රෝපොයටින්), රුධිර පට්ටිකා (ඉන්ටර්ලියුකින්-11) සහ වෙනත් සුදු රුධිරාණු (GM-CSF, G-CSF) නිපදවීමේ ක්‍රියාවලිය උත්තේජනය කළ හැකිය. වෙනත් ඖෂධ සැත්කමක් කරන අතරවාරයේදී ලේ ගැලීම බෙහෙවින් අඩු කිරීමට (එප්‍රෝටිනින්, ඇන්ටිෆයිබ්‍රිනොලිටික්ස්) හෝ අධික ලේ ගැලීම අඩු කිරීමට (ඩෙස්මෝප්‍රෙසින්) උපකාරවත් වේ.

ඇලෙනසුලු ජෛව ද්‍රව්‍ය: ලේ ගැලීම නතර කර දැමීමට, කොලජන් සහ සෙලියුලෝස් ආලේපන කෙළින්ම ආලේප කරනු ලැබේ. ෆයිබ්‍රින් මැළියම් සහ කාන්දු වීම වළක්වන ද්‍රව්‍ය, විදීමෙන් ඇති වූ තුවාල වැසීමට හෝ අධික ලෙස ලේ ගලන පටක ආවරණය කිරීමට යොදාගත හැකිය.

රුධිරය බේරාගැනීම: සැත්කමකට ලක් වෙද්දී හෝ බරපතළ තුවාලවලට භාජන වෙද්දී අහිමි වන රුධිරය ආපසු ලබාගැනීමට බේරාගැනීමේ යන්ත්‍ර භාවිත කෙරේ. රුධිරය ශුද්ධ පවිත්‍ර කොට, කිසිදු ඇණහිටීමක් නොමැති අඛණ්ඩ ක්‍රියාවලියක අංගයක් වශයෙන් රෝගියා තුළට නැවතත් ඇතුළත් කළ හැකිය. ඉතා බරපතළ අවස්ථාවන්හිදී, මෙම ක්‍රමය භාවිත කරමින් රුධිර ලීටර ගණනක් වුවත් ආපසු ලබාගත හැකිය.

සැත් මෙවලම්: ඇතැම් උපකරණ එකම අවස්ථාවේදී රුධිර වාහිනි කපා සීල් කරයි. වෙනත් උපකරණවලින් පටක මත විශාල වශයෙන් සිදු වන ලේ ගැලීම සීල් කිරීමටද පුළුවන. උදරය පරීක්ෂා කිරීමට භාවිත කරන දෘෂ්ටික උපකරණ (laporoscopy) යොදාගන්නා නිසාත්, අවම කැපීම් සිදු කරන උපකරණ යොදාගන්නා නිසාත්, විශාල කැපීම් මඟහරවා ගත හැකිය. එමනිසා, විශාල කැපීම්වලදී ඇති වන බරපතළ ලේ ගැලීම වළක්වාගත හැකි අතර, සුරක්ෂිත සැත්කමක් කිරීමට අවකාශ සැලසේ.

ශල්‍යකර්මීය ශිල්ප ක්‍රම: අද්දැකීම් ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් පැතීම ඇතුළුව, සැත්කම සියුම් සැලැස්මක් අනුව සිදු කළොත්, අසීරු අවස්ථා මඟහරවා ගැනීමට සැත්කම කරන කණ්ඩායමට හැකි වේ. ලේ ගැලීම නතර කිරීමට වහාම ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය. එසේ කිරීම පැය 24කට වැඩිය ප්‍රමාද වූවොත්, මියයෑමට තිබෙන ඉඩ කඩ බෙහෙවින් වැඩි විය හැකිය. විශාල සැත්කම් කුඩා අදියර කිහිපයකට බෙදීමෙන්ද අහිමි වන රුධිර ප්‍රමාණය අඩු කරගත හැකිය.

[10වන පිටුවේ කොටුව⁄පින්තූර]

රුධිර රහිත ප්‍රතිකාර “සම්මත ක්‍රමය”?

පිබිදෙව්! සඟරාවේ වාර්තාකරුවෙක් රුධිර භාවිතයකින් තොරව කරන ප්‍රතිකාර සහ සැත්කම් කිරීමේ ප්‍රයෝජන ගැන වෛද්‍ය ක්ෂේත්‍රයෙහි විශේෂඥයන් ලෙස කටයුතු කරන වෛද්‍යවරුන් සිව්දෙනෙකු සමඟ සාකච්ඡා කළේය.

ආගමික හේතු මත රුධිර ප්‍රවේශන ප්‍රතික්ෂේප කරන රෝගීන්ට අමතරව, රුධිර රහිත ප්‍රතිකාර ක්‍රම තව කාගේ උනන්දුවට හේතුවක් විය හැකිද?

වෛද්‍ය ෂ්පාන්: අපගේ ප්‍රතිකාර ඒකකයට පැමිණ රුධිර රහිත ප්‍රතිකාර ඉල්ලා සිටින අය සාමාන්‍යයෙන් ඒ ක්ෂේත්‍රය ගැන මනා දැනුමක් ඇති රෝගීන්.

වෛද්‍ය ෂැන්ඩර්: 1998දී පෞද්ගලික හේතු මත රුධිරය ප්‍රතික්ෂේප කළ අයගේ සංඛ්‍යාව, ආගමික හේතු මත රුධිරය ප්‍රතික්ෂේප කළ අයගේ සංඛ්‍යාවට වඩා වැඩියි කියා කියන්න පුළුවන්.

වෛද්‍ය බොයිඩ්: පිළිකා රෝගීන් ඒකට උදාහරණයක්. ඔවුන්ට රුධිරය දෙන්නේ නැත්නම්, ඔවුන් වඩා ඉක්මන් සුවයක් ලබන බවත්, පිළිකාව ආපසු වැළඳීමේ ඉඩ කඩ සෑහෙන අඩු වන බවත් අපගේ අද්දැකීමෙන් පෙනී යනවා.

වෛද්‍ය ෂ්පාන්: බොහෝ අවස්ථාවලදී විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට අපි රුධිරය නැතුවයි ප්‍රතිකාර කරන්නේ. ශල්‍ය වෛද්‍යවරුන් පවා අපෙන් ඉල්ලා සිටින්නේ ප්‍රවේශන පාවිච්චියෙන් වැළකෙන්න කියායි! උදාහරණයක් කියනවා නම්, එක ශල්‍ය වෛද්‍යවරයෙක් අපි ළඟට ආවේ සැත්කමක් අවශ්‍ය වූ ඔහුගේ භාර්යාව ගැන කතා කරන්න. දන්නවාද ඔහු මොකක්ද කිව්වේ කියලා? “මොනවා කළත් ඇයට රුධිර ප්‍රවේශනයක් නම් දෙන්න එපා.”

වෛද්‍ය ෂැන්ඩර්: මගේ නිර්වින්දන අංශයේ සාමාජිකයන් මට මෙහෙම කියලා තිබෙනවා: ‘රුධිරය නුදුන් රෝගීන් ඉක්මනට සනීප වෙනවා. සමහරවිට රුධිරය ලබා දුන් අයටත් වඩා ඉක්මනින් සනීප වෙනවා. අපිට ප්‍රතිකාර සම්මත දෙකක් මොකටද? ලේ නොදීම හොඳම ප්‍රතිකාර ක්‍රමය නම්, ඒක සෑම දෙනෙකුටම අදාළ විය යුතුයි.’ ඒ හින්දා අපි කොහොම හරි රුධිර නොමැති ප්‍රතිකාරය සම්මත ක්‍රමය කරගන්නවා.

වෛද්‍ය අර්න්ෂෝ: රුධිර රහිත සැත්කම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වන බව ඇත්තයි. කොහොම වුණත්, හැමදෙනාටම එම ප්‍රතිකාරය ලබා දෙන්නයි අපිට ඕනේ.

රුධිර රහිතව ප්‍රතිකාර කිරීමට වැය වන මුදල අඩුද වැඩිද?

වෛද්‍ය අර්න්ෂෝ: සෑහෙන මුදලක් ඉතිරි කරගන්න පුළුවන්.

වෛද්‍ය ෂැන්ඩර්: රුධිරය නොමැතිව ප්‍රතිකාර කිරීම නිසා වියදම සියයට 25කින් අඩු කරගන්න පුළුවන්.

වෛද්‍ය බොයිඩ්: රුධිරය පාවිච්චි නොකිරීමෙන් ලැබෙන එකම ප්‍රයෝජනය වියදම අඩු කරගැනීම කියල කියමුකො. ඒ හේතුව විතරක්ම ඇතිනේ.

රුධිර රහිත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේදී වෛද්‍ය ක්ෂේත්‍රය කොතරම් දියුණුද?

වෛද්‍ය බොයිඩ්: මම නම් හිතන්නේ ඒක සෑහෙන දියුණුයි කියලා. ඒක ඉදිරියේදී තවත් දියුණු වෙයි කියලා හිතන්න හුඟාක් හේතු තිබෙනවා. නැවත නැවතත් අපිට තහවුරු වන දෙයක් තමයි, රුධිරය භාවිත නොකිරීමට තවත් හොඳ හේතු මතු වනවා කියන එක.

[පින්තූර]

වෛද්‍ය ඩෝනාට් ආර්. ෂ්පාන්, ස්විට්සර්ලන්තයේ සූරික්වල, නිර්වින්දනය පිළිබඳ මහාචාර්යවරයෙක්

වෛද්‍ය ආරියා ෂැන්ඩර් එක්සත් ජනපදයේ නිර්වින්දනය පිළිබඳ සහායක ශායනික මහාචාර්යවරයෙක්

වෛද්‍ය පීටර් අර්න්ෂෝ එක්සත් රාජධානියේ ලන්ඩන්හි උපදේශක භග්නචිකිත්සක ශල්‍ය වෛද්‍යවරයෙක්

වෛද්‍ය මාර්ක් ඊ. බොයිඩ් කැනඩාවේ ප්‍රසව වෛද්‍ය විද්‍යාවේ සහ නාරීයවේදය පිළිබඳ මහාචාර්යවරයෙක්

[11වන පිටුවේ කොටුව]

රෝගියාගේ කාර්යය

▪ ප්‍රතිකාර සඳහා අවශ්‍යතාව ඉස්මතු වීමට කලින්, රුධිර නොවන විකල්ප ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ ගැබිනි මව්වරුන්, කුඩා දරුවන් සිටින දෙමාපියන් සහ මහලු උදවිය සඳහාය.

▪ ඔබේ අභිමතය ලිඛිතව සඳහන් කරන්න. එසේ කිරීමට නීතික ලියවිල්ලක් ඇත්නම්, ඒ සඳහා ඔබ විශේෂයෙන්ම උත්සුක විය යුතුය.

▪ රුධිරය නොමැතිව ඔබට ප්‍රතිකාර කිරීමට ඔබේ වෛද්‍යවරයා කැමැත්තක් දක්වන්නේ නැත්නම්, ඔබේ අභිමතයට එකඟව කටයුතු කරන වෛද්‍යවරයෙකුව සොයන්න.

▪ රුධිරය වෙනුවට භාවිත කරන ඇතැම් විකල්පවලින් උචිත ප්‍රතිඵල නෙළාගැනීමට කාලය අවශ්‍ය නිසා, සැත්කමක් අවශ්‍ය බව ඔබ දන්නවා නම්, ප්‍රතිකාර ලබාගැනීම කල් දැමීමෙන් වළකින්න.