Skip to content

පටුනට යන්න

ලා බ’න්බූසරෙ—සැබෑ වූ සිහිනයක්

ලා බ’න්බූසරෙ—සැබෑ වූ සිහිනයක්

ලා බ’න්බූසරෙ—සැබෑ වූ සිහිනයක්

ප්‍රංශයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

දැනට වසර 150කට පමණ කලින් යූජෙන් මසෙල් නම් ආසියානු කුළු බඩු ආනයනය කරන්නෙක් දකුණු ප්‍රංශයේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කිරීමට තැත් කළේය. ඔහුගේ අභිලාෂය වූයේ ලෝකයේ විශාලම උණ තවාන නිම කර, එහි මෙම ශීඝ්‍රයෙන් වැඩෙන, නොයෙක් ප්‍රයෝජන ඇති තෘණ විශේෂයේ වර්ග 200ක් පමණ වැවීමයි. කෙසේවෙතත්, විශාල බාධකයක් ජයගැනීමට සිදු වූ නිසා, මසෙල්ගේ සිහිනය සැබෑවීමට 1855 තෙක් බලාසිටීමට සිදු විය. කුමක්ද ඒ බාධකය? එනම් ඒ කාලයේ උණ විශේෂ යුරෝපයේ හට නොගැනීමයි.

ආසියාවෙන් මේ තෘණ විශේෂය ආනයනය කිරීමට දැරූ උත්සාහය අසාර්ථක විය. උණ ඊට ආවේණික වූ පරිසරයෙහි ඉතා හොඳ ඔරොත්තු දීමේ හැකියාවකින් වැඩේ (ඇතැම් විශේෂයන්ට සෙල්සියස් අංශක -24ක උෂ්ණත්වයක් වුවත් දරාගත හැකිය. මීටර් 5,000ක් උසැති බිම්වල පවා හටගැනීමට ඒවාට හැකිය). කෙසේවෙතත්, මහද්වීප හරහා ඒවා ප්‍රවාහනය කිරීමට සෑහෙන කාලයක් ගත වූ නිසා, දිගු ගමනේදී එහි මුල් ආරක්ෂා කරගැනීම අසීරු විය. එනමුත් ක්‍රමක්‍රමයෙන් නැව් ගමනාගමනය වේගවත් වීමත් සමඟම, ඒවා 1827දී එංගලන්තයටත්, පසුව ප්‍රංශයටත් සාර්ථකව ආනයනය කළ හැකි විය. මසෙල්ගේ සිහිනය සැබෑවීමට ආසන්නය!

ඊළඟට මසෙල්ට එල්ල වූ අභියෝගය වූයේ ඔහුගේ තවානට යෝග්‍ය ස්ථානයක් සෙවීමයි. වසර 1855දී දකුණු ප්‍රංශයේ මධ්‍යධරණි දේශගුණයක් සහ යෝග්‍ය පසක් ඇති ආන්දූස් ගම අසල පිහිටි අක්කර 84ක වතුයායක් ඔහු මිල දී ගත්තේය. අසල පිහිටි ගංගාවකින් ජල සැපයුමක් ලබාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුවද, මසෙල් වෙහෙස මහන්සිය නොබලා ගත් උත්සාහයට නියම ඵලවිපාක ලැබිණ.

එනමුත්, 1890 වන විට මසෙල් බංකොලොත් වූ නිසා, ඔහුගේ අගනා උයන විකිණීමට සිදුවීම කනගාටුවට කරුණකි. කෙසේවෙතත්, ඔහුගෙන් ඉටු වූ සේවය වෙනත් අය විසින් දිගටම ඉදිරියට ගෙන යෑම සතුටට කරුණකි. එමනිසා, වර්තමානයේ 3,50,000ක තරම් ජනකායක් ලා බ’න්බූසරෙ උයන නැරඹීමට වාර්ෂිකව පැමිණෙන බව ගණන් බලා ඇත. ඇත්තෙන්ම මසෙල්ගේ සිහිනය සැබෑ වී ඇත.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

සියලුම ඡායාරූප: La Bambouseraie de Prafrance