Skip to content

පටුනට යන්න

වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමීන්

වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමීන්

වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමීන්

ජෝසේ, බෙල්ජියමේ ඌපේය නම් කුඩා ගමේ වැසියෙක්. තම 61වන වියට පා තබද්දී, අක්මා බද්ධ කිරීමේ සැත්කමකට ලක් වෙන්න සිදු වෙයි කියා ඔහුට පවසන ලදි. “මගේ ඇඟ සීතල වෙලා ගියා” කියා ඔහු පවසයි. දශක සතරක් තරම් සුළු කලකට කලින්, අක්මා බද්ධ කිරීමේ සැත්කම දෙස කොයි කවුරුත් බැලුවේ අවිශ්වාසයකිනි. එක්දහස් නවසිය හැත්තෑගණන්වල පවා, ඊට ලක් වූ අයගෙන් මිය නොගියේ සියයට 30ක් පමණි. කෙසේවෙතත්, අදදින තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. අක්මා බද්ධ කිරීමේ සැත්කම් සාමාන්‍ය දෙයක් ලෙස සිදු කරන අතර, සුවය ලබන සංඛ්‍යාව සෑහෙන ඉහළ ගොස් ඇත.

එනමුත් දැන් පවා සෑහෙන අවදානමක් පවතී. අක්මාවක් බද්ධ කරද්දී, සෑහෙන ලේ ගැලීමක් සිදු වන බැවින්, සැත්කම අතරතුරේදී රුධිර ප්‍රවේශනය කිරීම වෛද්‍යවරුන්ගේ සාමාන්‍ය සිරිතයි. ජෝසේගේ නොසැලෙන ආගමික ස්ථාවරය හේතුවෙන්, ඔහු රුධිරය එකහෙළා ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත්, අක්මාවක් බද්ධ කිරීමේ සැත්කමක් ඔහුට අවශ්‍ය විය. සෑහෙන උභතෝකෝටික ප්‍රශ්නයක්. ඇතමෙකුට එසේ හැඟිය හැක. එනමුත්, රුධිරය භාවිත නොකර, තමාට තම සගයන් සමඟ සාර්ථක සැත්කමක් කරන්න හැකි වෙයි කියා ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයාට හොඳ විශ්වාසයක් තිබිණ. ඒ විශ්වාසය ඇත්තෙන්ම සැබෑ විය! සැත්කමෙන් දින 25ක තරම් සුළු කලකට පසු, ජෝසේ නැවතත් තම බිරිඳත් දියණියත් සමඟ තම නිවහනට පය තැබීය. a

ටයිම් සඟරාවේ විස්තරයකට අනුව “වෛද්‍ය ක්ෂේත්‍රයේ විරුවන්ගේ” දස්කම්වලට ස්තුතිවන්ත වන්න, රුධිරය රහිත ප්‍රතිකාර සහ සැත්කම් දැන් පොදු පිළිවෙතක් බවට පත්ව ඇත. ඒ සඳහා එතරම් ඉල්ලුමක් ඇත්තේ මන්ද? මෙම පැනයට පිළිතුරු සෙවීම සඳහා රුධිර ප්‍රවේශනවල මතභේදයෙන් පිරුණු ඉතිහාසය පරීක්ෂා කර බලමු.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉන්ද්‍රියයක් බද්ධ කිරීම නමැති කාරණය හෘදය සාක්ෂිය මත පදනම්ව ගත යුතු පෞද්ගලික තීරණයක් හැටියට සලකයි.

[3වන පිටුවේ පින්තූරය]

දැනට ලොව පුරා රුධිරය නොදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ප්‍රතිකාර ලබා දීමට කැමැත්ත පළ කර ඇති වෛද්‍යවරු 90,000කට වැඩිය සිටිත්