Skip to content

පටුනට යන්න

අන්තර්ජාලයේ අනතුරුවලින් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?

අන්තර්ජාලයේ අනතුරුවලින් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

අන්තර්ජාලයේ අනතුරුවලින් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?

ඔබ ලෝකයේ විශාලතම පුස්තකාලයේ සිටිනවායයි සිතින් මවාගන්න. නොයෙක් මාදිලියේ පොත් පත්, ප්‍රවෘත්ති පත්‍ර, නාමාවලි, ඡායාරූප, පටිගත කිරීම් සතර වටේටම තිබෙනවා. සිතාගත හැකි ඕනෑම විෂයක් පිළිබඳව ඔබට තොරතුරු සොයාගත හැකියි. නවීනතම තොරතුරු පමණක් නොවෙයි ඈත අතීතයේ ලියවුණු පොත් පත්ද ක්ෂණයකින්ම ඔබ සතු විය හැකියි!

ඇත්තෙන්ම, අන්තර්ජාලය එවන් ස්ථානයක්. ලෝකයේ ඕනෑම ස්ථානයක පරිගණකය භාවිත කරන කෙනෙකු සමඟ හෝ පරිගණකයක් සමඟ තොරතුරු හුවමාරුවක් කිරීමට ඉන් මං සැලසේ. a අන්තර්ජාලයට සම්බන්ධ වී, ඔබේ නිවසේ සිටම භාණ්ඩ විකුණන්න හෝ මිල දී ගන්න, බැංකු ගනුදෙනු කරන්න, වෙනත් කෙනෙකු සමඟ කතා බහ කරන්න හා අලුත්ම සංගීත පටිගත කිරීම්වලට සවන් දෙන්න ඔබට පුළුවන්.

වසර 2000 අවසානය වන විට මිලියන 320කට වැඩිදෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ වී සිටියි කියා ඇතැම් ප්‍රවීණයන් පුරෝකථනය කරයි. අන්තර්ජාලය දැන් ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය වෙමින් පවතින බව මෙයින් පැහැදිලියි. පාසැල්වල මෙන්ම පුස්තකාලවල අන්තර්ජාල භාවිතයට සෑහෙන දිරි දෙන නිසා දැන් බොහෝ යෞවන යෞවනියන්ට එයට සම්බන්ධ විය හැකියි. එක්සත් ජනපදයේ පමණක් වයස අවුරුදු 12ත් 19ත් අතර යෞවනයන්ගෙන් සියයට 65ක්ම යම් අන්දමකින් අන්තර්ජාලීය සේවාවන් ප්‍රයෝජනයට ගෙන හෝ ඊට දායක වී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ අපට කාලගුණය, ගමනාගමනය හා වෙනත් විෂයන් පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. ඔව්, අන්තර්ජාලය නිසි ලෙස භාවිත කළොත් එය ප්‍රයෝජනවත් තොරතුරු ගබඩාවක් වශයෙන් සලකන්න පුළුවන්. එමඟින් පොත් පත්, වාහන අමතර කොටස් හා වෙනත් බොහෝ දේවල් මිල දී ගත හැකි අතර බොහෝදෙනෙක් එය පාසැල් වැඩ කටයුතු සඳහාත් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.

අන්තර්ජාලයෙන් අපට ප්‍රයෝජන අත් කරගත හැකි නමුත්, එය අධීක්ෂණය කිරීමට කිසිවෙක් නොමැති පුස්තකාලයකට සමාන කළ හැකියි. අන්තර්ජාලය පිරික්සද්දී කිසිවෙක් අප දෙස බලා නොසිටින බව අපට හැඟෙන්න පුළුවන්. නමුත් මෙම කාරණය නිසාම අපි ලොකු අනතුරුවලට හසු විය හැකියි. ඒ ඇයි? වෙබ් අඩවි (වෙබ් සයිට්) ගණනාවක ඉදිරිපත් කරන තොරතුරු සදාචාරමය වශයෙන්ද ආත්මික වශයෙන්ද දූෂිත කරවන නිසාය. එමනිසා අන්තර්ජාලය භාවිත කරන යෞවන ක්‍රිස්තියානීන්ට නොයෙක් පරීක්ෂාවලට මුහුණ දීමට සිදු වෙන බව පැහැදිලියි. අපි සාමාන්‍යයෙන් ඕනෑම කාරණයක් දෙස කුතුහලයෙන් බැලීමට නැඹුරුවාවක් දක්වනවා. සාතන් නමැති යක්ෂයා පුරාණයේ සිටම මෙය අතකොළුවක් කරගෙන තිබෙන බව අප අමතක නොකළ යුතුයි. සාතන් ඒවගේ කුතුහලයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන ‘ඇයව ප්‍රයෝගයෙන් රැවටූ’ බවට කිසිම සැකයක් නැහැ.—2 කොරින්ති 11:3.

ඒ හා සමානව, ආත්මිකත්වය රැකගැනීමට පූර්ණ අධිෂ්ඨානයකින් නොසිටින යෞවන ක්‍රිස්තියානියෙක් දූෂිත තොරතුරුවලින් පහසුවෙන්ම නොමඟ යන්න පුළුවන්. බටර් හෝම්ස් ඇන්ඩ් ගාඩන්ස් නමැති සඟරාවේ ලිපියක මෙසේ පැහැදිලි කර දුන්නා. “අන්තර්ජාලයෙන් අප සිත් ඇදගන්නාසුලු ලොවකට පිවිසෙනවා. නිර්මාණශීලී අදහස් ඇති දක්ෂ පුද්ගලයන් නවීනතම තොරතුරු එහි ඉදිරිපත් කළත්, ළමුන්ව ලිංගික අතවරයට ලක් කරන, වංචනික ක්‍රියාවල යෙදෙන, තමන්ගේම මතයේ එල්බගෙන සිටින පුද්ගලයන් හා අප්‍රසන්න ගතිගුණ ඇති වෙනත් පුද්ගලයනුත් අන්තර්ජාලයේ සැරිසරමින් ගොදුරු සොයන බව අපි අමතක නොකළ යුතුයි.”

“සමහර වෙබ් අඩවි දැක්කාම ඇඟේ මයිල් කෙළින් වෙනවා! අපි බලාපොරොත්තු නොවන විදිහට ඒවා එක පාරටම මතු වෙන්න පුළුවන්. ඒගොල්ලන් අපිව ඇදගන්න හදනවා. අපිව රවට්ටලා අපේ සල්ලි ගන්න හදනවා” කියා තරුණයෙක් වන හාවියේ b පවසනවා. තරුණ ක්‍රිස්තියානියෙක් වන ජෝන් මෙසේ පිළිගන්නවා. “නරක දේවල් දිහා බලන්න පටන්ගත්තාම අපිවම නවත්තගන්න බැරි වෙනවා. ඒක නිකම් කුඩු ගහනවා වගේ වැඩක්.” නුසුදුසු වෙබ් අඩවිවලට සම්බන්ධ වීමෙන් ඇතැම් ක්‍රිස්තියානි යෞවනයන් භයානක ප්‍රතිඵල අද්දැක තිබෙනවා. ඇතමෙක්, යෙහෝවා සමඟ ඔවුන්ට තිබෙන සබඳතාවත් නැති කරගෙන තිබෙනවා. මෙවැනි තත්වයකට පත්වීමෙන් අපි වැළකෙන්නේ කොහොමද?

“නිෂ්ඵල දේ බැලීම”

ඇතැම් අවස්ථාවලදී වෙබ් අඩවි ලිපිනයෙහිම එහි නුසුදුසු දේවල් අඩංගු බව සඳහන් කර තිබෙනවා. c හිතෝපදේශ 22:3හි අපට මෙසේ අනතුරු අඟවනවා. “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.”

කොහොම වුණත්, වැඩියෙන්ම ප්‍රශ්න ඉස්මතු වන්නේ නුසුදුසු අඩවියකට කැමැත්තෙන්ම පිවිසීම නිසා නොව, ඒ වෙත නොදැනුවත්වම පිවිසීම නිසායි. සූක්ෂ්ම අන්දමින් ඔබව ඇදගැනීමට නිර්මාණය කර ඇති තැතිගන්වනසුලු පිංතූරු නිවහන් පිටුවේ (හෝම් පේජ්) තිබෙන්න පුළුවන්. එය තව තවත් පරීක්ෂා කර බැලීමට පවා ඔබව පෙලඹෙන්න පුළුවන්! d

කෙවින් තමාගේ මිත්‍රයෙකුගේ අද්දැකීම විස්තර කරයි. “එයාට ඇති තරම් කාලය තිබ්බා. ලොකු කුතුහලයකුත් තිබුණා. කාලයක් ගියාම, කාමුක දර්ශන පෙන්වන අඩවි නරඹන එක පුරුද්දක් බවට පත් වුණා.” මෙම යෞවනයා පසුව ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් උපකාර පැතුව එක සතුටට කාරණයක්.

එවැනි අඩවියක් මතු වුණොත් කරන්නේ කුමක්ද කියා ඔබ තීරණය කර තිබෙනවාද? එවැනි අඩවියක් ඉස්මතු වුණොත් ක්‍රිස්තියානිවරයෙක් වශයෙන් ඔබ කළ යුතු දේ පැහැදිලියි. ඔව්, වහාම අඩවියෙන් ඉවත් වෙන්න. එහෙම නැත්නම් අන්තර්ජාලය පිරික්සීම පවා එතනින්ම නතර කර දමන්න! ‘නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් [වෙනතකට, NW] හරවන්න’ කියා යාච්ඤා කළ ගීතිකාකරු මෙන් වීමට අදිටන් කරගන්න. (ගීතාවලිය 119:37; සසඳන්න යෝබ් 31:1.) වෙන කිසිම මනුෂ්‍යයෙක් අප දෙස බලා නොසිටියත් අපේ ක්‍රියාවන් සැඟවී නැති බව අමතක නොකරන්න. ‘දෙවිගේ ඇස් ඉදිරියේ සියල්ල වැස්මක් නැතුව විවෘත වී තිබේ. අප ගණන් දිය යුත්තේ ඔහුටය’ කියා බයිබලය මතක් කර දෙයි.—හෙබ්‍රෙව් 4:13, නව අනුවාදය.

නුසුදුසු අඩවිවලට සම්බන්ධ නොවීම සඳහා ඔබගේ අධිෂ්ඨානය අත් නොහැරීමට දෙමව්පියන් හා වෙනත් මේරූ ක්‍රිස්තියානීන් සමඟ කතා කරන්න. එය උපකාරයක් විය හැකියි. ඇත්තෙන්ම, ඔබ ගැඹුරු මඩ වගුරක එරෙනවා නම්, උපකාරය පැතීම සඳහා බෙල්ල දක්වාම මඩෙහි එරෙන තෙක් ඔබ බලා සිටින්න යනවාද?

අන්තර්ජාල ඔස්සේ ඔබේ ආශ්‍රිතයන්?

කතා බහ කුටි (චැට් රූම්ස්) කියන්නේ, වෙබ් අඩවියකට සම්බන්ධ වී ඇති කෙනෙකුට ලෝකයේ ඕනෑම රටක සිටින ඕනෑම කෙනෙකු සමඟ සම්බන්ධ වී ඒ මොහොතෙම කතා කිරීම හැකි කරවන පහසුකමක්. ව්‍යාපාරිකයන් එය සම්මන්ත්‍රණ පැවැත්වීමටත් ගනුදෙනුකරුවන්ට නොයෙකුත් සේවාවන් සැපයීමටත් භාවිත කරනවා. සමහර අඩවිවල සපයන කතා බහ පහසුකම්වලින් පරිගණක ක්‍රමලේඛය හා වාහන අලුත්වැඩියා කිරීම වැනි කාර්මික තොරතුරු හුවමාරු කළ හැකියි. දූරකථනය මාර්ගයෙන් සාමාන්‍යයෙන් කරන දුරස්ථ ඇමතුමකට වඩා අඩු වියදමකින් තම නෑදෑ හිත මිතුරන් සමඟ කතා කිරීම හැකි කරවන කතා බහ කුටිද තිබෙනවා. මෙම පහසුකම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් විය හැකියි. කෙසේවෙතත්, එයින් යම් අනතුරු සිදු විය හැකිද?

ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි කතා බහ කුටි ගැන අපි ඇත්තෙන්ම පරෙස්සම් විය යුතුයි. ලියා රෝසන් නමැති ලේඛිකාව මෙසේ පවසා තිබුණා. “තාක්ෂණික දැනුම ඇති නහඹරයන් අන්තර්ජාලයට සම්බන්ධ වී එක එක ප්‍රදේශවල සමහරවිට වෙනත් රටවල සිටින නාඳුනන මිනිසුන් සමඟ පැය ගණන් කතා කරනවා. කනගාටුදායක ලෙස, මෙම පුද්ගලයන්ගෙන් සමහරදෙනෙක් බාලයන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමේ අටියෙන් කතා කරන වනචර වැඩිහිටියන් විය හැකියි.” පොප්‍යූල මිකැනික්ස් යන ප්‍රකාශයේ අනතුරු අඟවා තිබුණේ, පොදු කතා බහ කුටි භාවිත කරන විට “ඔබ හුඟක් පරෙස්සම් විය යුතුයි” කියායි. එමෙන්ම නාඳුනන කෙනෙකුට ඔබගේ නමයි ලිපිනයයි දීමෙන් ඔබ ලොකු උගුලකට හසු වෙන්න පුළුවන්! එවැනි අනතුරුවලින් ආරක්ෂා වීම හොඳ දෙයක් නොවෙයිද?

කොහොම වුණත්, වඩාත් සූක්ෂ්ම අන්දමකින් අපව ඇදගන්නා ක්‍රමයක් තිබෙනවා. එනම් බයිබල් ප්‍රතිපත්තිවලට ගරු නොකරන නාඳුනන පුද්ගලයන් සමඟ ආශ්‍රය කිරීමයි. e කතා බහ කුටිවල යෞවනයන් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරන්නේ ලිංගික කාරණා බව පර්යේෂකයන් සොයාගෙන තිබේ. එමනිසා 1 කොරින්ති 15:33හි අපට යෝග්‍ය ලෙස මෙසේ උපදෙස් දෙයි. “නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” අන්තර්ජාලය ඔස්සේ පවත්වන නපුරු සමාගම ඇත්තෙන්ම අනතුරු සහිතයි. එවැනි අවදානම් තත්වයකට පත්වීමට දේවභයක් ඇති යෞවනයෙක් තමාට ඉඩ දිය යුතුද?

ආරක්ෂක පියවර

අන්තර්ජාලය හා බැඳි අන්තරාවන් සලකා බලද්දී එය පරෙස්සමින් භාවිත කළ යුතු බව නොකිවමනාය. ඇතැම් නිවෙස්වල, සාලය වැනි හොඳින් පෙනෙන ස්ථානයක පරිගණකය තබනවා. ඇතැම් පවුල්වල, අන්තර්ජාලය භාවිත කරන්න නම් අඩුම තරමින් නිවසේ දෙදෙනෙක්වත් සිටිය යුතුයි යන නීතිය පනවා තිබෙනවා. ඔබේ දෙමව්පියන් එවැනි තහංචියක් පනවා ඇත්නම් ඔවුන්ට කීකරු වන්න. (හිතෝපදේශ 1:8) මෙසේ සපයන නිශ්චිත මඟ පෙන්වීම් ඔවුන්ගේ ප්‍රේමයේ ප්‍රකාශයක්.

පාසැල් වැඩ කටයුතුවලට අන්තර්ජාලය භාවිත කරන්න වෙනවා නම්, ඔබ අන්තර්ජාලයේ කොතරම් කාලයක් ගත කරනවාද යන්න ගැන සුපරීක්ෂාකාරි වීම හොඳ අදහසක් නොවේද? කොතරම් කාලය ගත කරනවාද කියා කලින්ම තීරණය කරගන්න. ඒ සඳහා එලාම් ඔරලෝසුවක් භාවිත කරන්න. ටොම් අපට යෝජනා කරන්නේ, “ගවේෂණය කරන්න ඕනේ මොකද්ද කියලා කලින්ම තීරණය කරන්න” කියායි. “ඒ තීරණය කරගත් විෂය විතරක් ගවේෂණය කරන්න. වෙනත් දේවල්වලට අවධානය යොමු වෙන්න ඉඩ දෙන්න එපා.”

යෞවන ක්‍රිස්තියානීන් පරෙස්සම් විය යුතු තවත් කාරණයක් වන්නේ, ඊ-මේල් (විද්‍යුත් තැපෑල) භාවිතයයි. එවැනි පණිවිඩ විශාල සංඛ්‍යාවක් කියවීමට කාලය වැය කිරීම ඥානවන්ත දෙයක් නොවෙයි. වැදගැම්මකට නැති හෝ අසත්‍ය තොරතුරු සපයන පණිවිඩ සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සැබෑවක්. ඥානවන්තව භාවිත නොකළොත් ඊ-මේල් කාලය කා දමන දෙයක් බවට පත් විය හැකියි. ඒ නිසා, අපි පාසැල් වැඩ කටයුතු හා ආත්මික ක්‍රියාකාරකම්වල නිරත වී සිටිනවා වෙනුවට අපේ වටිනා කාලය ඊ-මේල් යැවීම සඳහා යොදවනවාද කියා සලකා බැලීම නුවණට හුරුයි.

සාලමොන් රජ මෙසේ පැවසුවා. “බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය.” (දේශනාකාරයා 12:12) මෙම වචන අන්තර්ජාලයට අදාළ කරන්න පුළුවන්. එක එක කාරණා සම්බන්ධයෙන් ගවේෂණය කරමින් පෞද්ගලික පාඩම හා ක්‍රිස්තියානි දේවසේවයට සහභාගි වීම අතපසු කරන්න එපා. (මතෙව් 24:14; යොහන් 17:3; එපීස 5:15, 16, න.අ.) අන්තර්ජාලය මාර්ගයෙන් සෙසු ක්‍රිස්තියානීන් සමඟ අදහස් හුවමාරු කිරීම හොඳ දෙයක් විය හැකි නමුත්, ඔවුන්ව පෞද්ගලිකව හමු වී කතා කිරීම තරම් හොඳ දෙයක් නැති බව මතක තබාගන්න. ඔබට ඇත්තෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් එය නැණවත්ව භාවිත කිරීමට අදිටන් කරගන්න. අනතුරුදායක අඩවිවලට සම්බන්ධ වීමෙන් වැළකෙන්න. එමෙන්ම එය කාලය අපතේ නොහරින ආකාරයකට භාවිත කරන්න. අන්තර්ජාලයට වහල් නොවී ඔබගේ “හෘදය ආරක්ෂා කරගන්න.”—හිතෝපදේශ 4:23, NW.

[පාදසටහන්වල]

a 1997 ජූලි 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) කලාපයේ “අන්තර්ජාලය—එය ඔබ සඳහාද?” යන ලිපි මාලාව බලන්න.

b සමහර නම් වෙනස් කර තිබේ.

c වෙබ් අඩවි ලිපිනය කියන්නේ ඒ වෙත පිවිසීමට යොදාගන්නා අකුරු වැළටයි. එම අඩවිය සකස් කර තිබෙන්නේ කුමන පරමාර්ථයක් සඳහාද කියා ඇතැම් ලිපිනවල සඳහන් කර තිබෙනවා.

d නිවහන් පිටුව කියන්නේ වෙබ් අඩවියක් ගැන තොරතුරු සපයන මුල් පිටුවයි. එම අඩවියේ අඩංගු වන්නේ කුමක්ද, එය නිර්මාණය කර ඇත්තේ කවුද යනාදිය එහි පැහැදිලි කරයි.

e ඇතැම් ක්‍රිස්තියානීන් ආත්මික කාරණා සාකච්ඡා කිරීමේ අදහසින් කතා බහ කුටි සකස් කර තිබේ. හොඳ චේතනාවෙන් කළත් මෙවැනි කුටිවලින් අවදානම් තත්වයක් ඇති විය හැකියි. ඇදහිල්ල ඇත්හැර ගිය වංක මිනිස්සු මෙවැනි සාකච්ඡාවලට හවුල් වී තිබෙන අතර ශුද්ධ ලියවිල්ලට පටහැනි අදහස් පිළිගැනීමට ඔවුන් අනුන්ට ඒත්තුගන්වා තිබෙනවා.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සමහර වෙබ් අඩවි දැක්කාම ඇඟේ මයිල් කෙළින් වෙනවා! අපි බලාපොරොත්තු නොවන විදිහට ඒවා එක පාරටම මතු වෙන්න පුළුවන්”

[15වන පිටුවේ පින්තූරය]

ඇතැම් නිවස්වල හොඳින් පෙනෙන ස්ථානයක පරිගණකය තබනවා