Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

බර “යෞවන අය අසති . . . මගේ බර වැඩි වෙනවට තියෙන බය කොහොමද මම ජයගන්නේ?” යන ලිපිය වෙනුවෙන් හද පත්ලෙන්ම ඔබට ස්තුති කරන්න මම කැමතියි. (1999 ජූනි 8) මම කල්පනා කරන්න පුරුදු වෙලා තිබුණේ මගේ රුව ගැනයි මගේ බර ගැනයි විතරයි. ඇත්තෙන්ම, කණ්ණාඩියෙන් බැලුවහම මං ගැන මටම ලැජ්ජා හිතුණා. බර කිරලා බලන්නත් මම හොරයි. නමුත් මේ ලිපිය කියෙව්වට පස්සේ මට වැටහුණා වඩා වැදගත් වෙන්නේ ඇතුළාන්ත පුද්ගලයා කියන එක.

එල්. ආර්., ප්‍රංශය

ආබාධයන් මම මගේ කාලයෙන් වැඩි හරියක් ගත කරන්නේ රෝද පුටුවකයි. මගේ භාර්යාව දිගටම පවතින අධික වෙහෙස දැනීමේ රෝගයෙන් හා නිදන්ගත විෂාදයෙන් පෙළෙනවා. විශාල පාඩුවක් සිදු වුණහම සාමාන්‍ය ප්‍රතික්‍රියාව වන්නේ හුඟක් ශෝකවීමයි කියා “ආබාධිතයන් සඳහා බලාපොරොත්තුව” (1999 ජූනි 8) යන ලිපිවල සඳහන් කරලා තියෙනවා. ඒ වගේම, “සියලු ආබාධයන් තුරන් වූ කල්හි” නම් ලිපියේ පිංතූරු අනාගතයේදී ආබාධයන් නැතුව යනවා කියන එක සැබෑවක් හැටියට විශ්වාස කරන්න මට උපකාරවත් වුණා.

සී. ඩබ්ලියූ., එක්සත් ජනපදය

මට වයස හතරේදී හදිසි අනතුරකින් මගේ වම් කකුළේ පහළ කොටස මට අහිමි වුණා. මට නිතර ඇති වුණ විෂාදය සම්බන්ධයෙන් යමක් කරන්න ඔබේ ලිපි මට උපකාරවත් වුණා. බොහෝදෙනාට තිබෙන වැරදි ආකල්ප පලවාහැරීම සඳහා කරන මේ යහපත් වැඩය දිගටම කරගෙන යන්න.

ඒ.ජේ.ටී.පී., බ්‍රසීලය

අනිත් අයට වගේම ආබාධිතයන්ටත් හැඟීම් හා චිත්තවේගයන් තියෙන බවත්, අපිටත් වේදනාව දැනෙන්න පුළුවන් මෙන්ම දැනෙන බවත් ජනයා දැනගත යුතුයි. මිනිස්සු ආබාධිත කෙනෙක් දිහා බලන්නේ හරියට අසාමාන්‍ය කෙනෙක්ව දකින විදිහටයි. ඒ වගේම ඔවුන් අපහාසාත්මක දේවල් කියනවා. එහෙමත් නැත්නම් ඒ තැනැත්තාව සම්පූර්ණයෙන්ම මඟහරිනවා. ආබාධිතයන් මෝඩ, කම්මැළි අසරණ අය නෙවෙයි. අවස්ථාවක් දුන්නොත් අපෙන් වැඩිදෙනෙකුට උයන්න, පිරිසිදු කරන්න, සාප්පු යන්න, පවුල් ගොඩනඟාගන්න, රැකියාවක් කරන්න සහ වාහනයක් පවා පදවන්න හැකියාවක් තියෙනවා. අධෛර්යය නොවී දිගටම මගේ ජීවිතය ගෙන යන්න මට උපකාර වෙලා තියෙන එක දෙයක් තමයි, යෙහෝවා ගැනත්, ඔහුගේ ප්‍රේමනීය, මෘදු මාර්ග ගැනත් ඉගෙනගැනීම. මම තාම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙලා නැති වුණත් අනාගතයේදී එහෙම වෙන්න බලාපොරොත්තු වෙනවා.

ඒ. ජී., එක්සත් ජනපදය

දෙවිගේ නෙත් හමුවේ වටිනාකම මං එච්චර හොඳට වෑයම් කරන්නේ නැති නිසා පූර්ණ කාලීන සේවකයෙකුව ඉඳලා වැඩක් නෑ කියලා සමහරවිට මට හිතෙන නිසා හුඟක් වෙලාවට කලකිරීමක් හා නොවටිනාබවේ හැඟීමක් ඇති වෙනවා. “බයිබලයේ දෘෂ්ටිකෝණය: දෙවිගේ නෙත් හමුවේ ඔබ වටියි!” (1999 ජූනි 8) යන ලිපිය මා තුළ හුඟක් හොඳ හැඟීමක් ඇති කළා. යෙහෝවාට සේවය කිරීමෙන් අපව වැළැක්වීම සඳහා එලෙස හැඟීමට සලස්වන්න සාතන් සෑහෙන්න වෑයම් කරන බව දකින්න ඒක මට උපකාර කළා.

එල්. ඩබ්ලියූ., කැනඩාව

මේ ලිපියෙන් මට ඉමහත් සැනසීමක් ලැබුණා. මේ වෙන තුරු, මට හැඟිලා තියෙන්නේ යෙහෝවා මගේ යාච්ඤාවලට සවන් දීලා නැහැ කියලයි. නමුත් ඔබේ ලිපිය කියෙවූ දා පටන් යෙහෝවා ගැනත්, මා ගැනත් මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ වගේ සැනසීමේ ලිපි දිගටම මුද්‍රණය කරන්න.

ආර්.වී.ටී., බෙල්ජියම

මගේ අතින් අතීතයේ සෑහෙන වැරදි සිදු වෙලා තියෙනවා. ඒවා මගේ ආත්ම-ගරුත්වයට සෑහෙන පහරක් වී තිබෙනවා. ඒ ගැන හිතනකොට මට තවමත් වේදනාවක් ඇති වෙනවා. අදදින යෙහෝවා සමඟ මගේ සම්බන්ධතාවත්, ඔහුගේ ප්‍රේමය මනුෂ්‍ය අවබෝධ ඉක්මවා යන්නක් බව දැනගැනීමත් මට සන්තෝෂයේ හා සුරක්ෂිතභාවයේ හැඟීමක් ලබා දෙනවා.

වී.එස්.සී., බ්‍රසීලය

මේ ලිපිය පටිගත කළ කැසට් පටයට මම සවන් දීලා ඉවර වුණේ මේ දැන්. මම අන්ධ වෙලා දැනට අවුරුදු 44ක් වෙනවා. ක්‍රිස්තියානියෙකු වශයෙන් බව්තීස්ම වුණාට පස්සෙවත් මම හුඟාක් වටිනවා කියලා මට කවදාවත් හිතිලා නැහැ. මේ ලිපිය මට ඉමහත් බලපෑමක් වුණා. අපි අප දිහා බලන ආකාරයට දෙවි අප දිහා බලන්නේ නැති එක ගැන මම දෙවිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.

ඒ. කේ., ඉතාලිය

මාව ගොඩක් පහත දමන හැඟීම්වලින් මම සෑහෙන කාලයක් පීඩා විඳ තියෙනවා. නමුත් මේ ලිපිය කියවගෙන යද්දී හරියට යෙහෝවා මෘදු ලෙස මට කතා කරනවා වගෙයි මට දැනුණේ. හිතන විදිහ වෙනස් කරන්න හරි අමාරුයි. ඒත් ‘ප්‍රේමනීය දෙමාපියෙක් වගේ යෙහෝවා ඉමහත් සෝදිසියෙන්, සවන් දෙමින්, උපකාර කිරීමට සූදානම්ව අපට ‘ළං’ වී සිටිනවා (ගීතාවලිය 147:1, 3)’ කියා ලිපියේ පැවසූ දේ අමතක නොකරන්න මම උත්සාහ කරන්නම්.

කේ. එෆ්., ජපානය