Skip to content

පටුනට යන්න

ක්වෙට්සල්—දීප්තියෙන් බබළන කුරුල්ලෙක්

ක්වෙට්සල්—දීප්තියෙන් බබළන කුරුල්ලෙක්

ක්වෙට්සල්—දීප්තියෙන් බබළන කුරුල්ලෙක්

කොස්ටා රිකාහි පිබිදෙව්! වාර්තාකරු විසින්

පෘථිවියේ මුළු බිම් ප්‍රමාණයෙන් කොස්ටා රිකාවට අයත් වන්නේ සියයට 0.03ක තරම් සුළු ප්‍රමාණයක් පමණි. එසේ වුවත් එය කුරුලු විශේෂ 875කට රජදහනකි. එක් ආරංචි මාර්ගයක් පැවසුවේ මෙහි දක්නට ලැබෙන කුරුලු විශේෂ ප්‍රමාණය, අමෙරිකාවේ සහ කැනඩාවේ වෙසෙන කුරුලු විශේෂ සියල්ලේ එකතුවට වඩා වැඩි බවයි. එසේ නම්, පක්ෂි නිරීක්ෂකයන්ට කොස්ටා රිකාව කදිම තෝතැන්නක් වීම පුදුමයට හේතුවක් නොවේ. මෙම කුරුලු විශේෂ අතුරින් එක් විශේෂයක් වන සිත්කලු දීප්තියෙන් බබළන ක්වෙට්සල්ව නැරඹීමට යන ගමනට ඔබත් හවුල් වන්න.

එක්දහස් පන්සියගණන්වල මුල් කාලයේදී, ස්පාඤ්ඤ ජාතික සෙන්පතියෙක් වූ එර්නාන් කෝර්ටේස් මෙක්සිකෝවට පැමිණි අවස්ථාවේදී ඔහුට ඇස්ටෙක්වරුන්ගෙන් ලැබුණ තෑග්ග කුමක්ද කියා ඔබ දන්නවාද? එය ක්වෙට්සල් කුරුල්ලාගේ පිහාටුවලින් සෑදූ අලංකාර හිස් පළඳනාවකි. අලංකාරවත්ම දෙයක් හැටියට සැලකූ එය පැළඳීමට හැකියාවක් ලැබුණේ ඇස්ටෙක් රාජකීයන්ට පමණි. තද කොළ පැහැති ක්වෙට්සල් කුරුල්ලාගේ පිහාටු රත්තරන්වලට වඩා වටිනා යමක් සේ සැලකුවා විය හැක.

අතිශයින් ශෝභන වූ මෙම පක්ෂියාගේ වර්තමාන වාස භූමිය වී ඇත්තේ මෙක්සිකෝවේ සිට පැනමා දක්වා ඇති ප්‍රදේශයි. මුහුදු මට්ටමේ සිට අඩි 4,000ත් 10,000ත් අතර උසක පවතින වැසි වනාන්තරවල ක්වෙට්සල් කුරුල්ලන්ව දැකගැනීමට පුළුවන්. ඉහළ යන උණුසුම් වාතය ඝනීභවනය වී වලාකුළු සෑදෙන නිසා එයින් ලැබෙන පෝෂණය හේතුවෙන් අවුරුද්ද පුරාම නීල වර්ණයෙන් යුත් ගස් වැල් සහ අහස් කුස දක්වා දිවයන අඩි සිය ගණනක් උස දැවැන්ත ගස් ඇත්තෙන්ම මෙම වනාන්තරවල සුන්දරත්වය තවත් වැඩි කරයි.

සැන් හොසේහි කි.මී. 200ක් පමණ උතුරට වෙන්න පිහිටි සාන්ත එලේනා රක්ෂිත වනාන්තරය ඇත්තෙන්ම ක්වෙට්සල් කුරුල්ලන්ව ස්වාභාවික පරිසරයේදීම දැකබලා ගැනීමට හැකි කදිම ස්ථානයකි. අපේ මාර්ග උපදේශකගේ උපකාරය ඇතුව දිදුලන ක්වෙට්සල්ව නැරඹීම සඳහා අපගේ ගමන අරඹමු. උන් කොළ පැහැති නිසා කැලෑවේ කොළ අතු අතරින් උන්ව බලාගැනීම හරිම අමාරුයි. අපේ මාර්ග උපදේශක හරියට උගේ නාදයට සමාන නාදයක් නිකුත් කරයි. ඒ හඬ පුංචි බලු පැටියෙකුගේ කෙඳිරිලි හඬකට සමානය. ඊට ප්‍රතිචාරය දක්වමින් ක්වෙට්සල් නැඟු නාදය ඇසූ අපේ කණ්ඩායමේ සිටි කාන්තාවක් සිතුවේ ඇත්තටම බල්ලෙකු කැලේ අතරමං වී ඇතැයි කියාය!

හදිසියේම කුරුල්ලෙක් ටිකක් භයෙන් මෙන් විපරම් කිරීමට අඩි 50ක් පමණ උස ගසක අත්තක් මත වසයි. ඇත්තෙන්ම දූරදක්නයකින් බලන විට උගේ දිදුලන පාට සිතුවාටත් වඩා චමත්කාරජනකය. උගේ ළය පෙදෙස තදම තද රතුපාටය. තද කොළපාට පිහාටු සහ උගේ පෙඳයේ ඇති සුදුපාට පිහාටු මෙන්ම දේදුනු කොළපාට පිහාටු නිසා අලංකාරය තවත් ඔපවත් වේ. රැහැනක් මෙන් ඇති උගේ පෙඳය අඟල් 24ක් පමණ දිගයි. උස අත්තක් මත වසා සිටින ක්වෙට්සල්ගේ රැහැන් බඳු දිග පෙඳය සුළඟට ලෙළ දෙන විට ඇත්තෙන්ම පුදුම සුන්දරත්වයක් මැවේ.

ක්වෙට්සල් කුරුල්ලන් දැකගන්න ලැබීම දුර්ලභ අද්දැකීමකි. උන්ව බලාගැනීමට එක් වතාවකට වඩා කැලේට එන්න සිදු වෙනවා කියා අපේ මාර්ග උපදේශක පැවසීය. ක්වෙට්සල්ව බලාගන්න පුළුවන් හොඳම කාලය උන් කැදලි හදන කාලයයි. මාර්තු සිට ජූනි දක්වා දිවෙන මෙම කාලයේදී කැදලි දෙකක බිත්තර දෙක බැගින් දමයි.

ආපසු වන සංරක්ෂණ කාර්යාලයට එන විට තව කුවෙට්සල් කුරුල්ලෙක් දැකුම්කලු ආකාරයට පියාඹනවා අපි දුටුවෙමු. ඌ පියාඹන්නේ හරියට උගේ කොළපාට රැහැන් පෙඳය ඇදගෙන යන්නාක් මෙනි. ඉන්පසු ඌ අප සිටින ස්ථානයේ සිට අඩි 16ක් තරම්වත් උස නැති අත්තක වැසීය. අපේ උපදේශක කිව්වේ උගේ කැදැල්ලෙන් පැටියෙකු නැති වී ඇතැයි කියාය. මේ කුරුලු පියා ගහෙන් ගහට යන්නේ උගේ පැටියාව සොයමිනුයි. උන්ගේ බිත්තරවලින් සියයට 25ක් පමණයි පරිණත තත්වය දක්වා රැකෙන්නේ කියා අපට දැනගන්න ලැබිණ. ඉතුරු බිත්තර ලේන්නු, දුඹුරු කිරළා, මුගටින් වැනි කැලෑ සතුන්ගේ ගොදුරු බවට පත් වේ. ක්වෙට්සල්ගේ පැවැත්මට බලපාන තවත් තර්ජනයක් වන්නේ උන් කැදලි සාදන ස්ථානයයි. පොළොවේ සිට අඩි 10ත් 60ත් අතර උස දිරාගිය ගස් කඳන්වල කෑරලාගේ බෙනයට සමාන ගුලක් සාදයි. අධික වර්ෂා කාලයට ගුලට වතුර පිරී හෝ ගස් කඩාගෙන වැටීමෙන් බිත්තර විනාශ වේ.

තවත් අපි දැනගත්තා ක්වෙට්සල්ගේ ප්‍රියතම ආහාරය වන්නේ වල් අලිගැට පේර බව. ඌ අත්තක් උඩට වී ළඟ තිබෙන වල් අලිගැට පේර ගහේ එල්ලෙන ගෙඩිය ඉලක්ක කරගෙන එක පාරටම තටු ගසාගෙන ගොස් උගේ හොටෙන් කඩාගෙන ලැඟුම්පොළට යයි. ඉන්පසුව ඌ ගෙඩිය එක පාරටම ගිල දමා විනාඩි විස්සකට හෝ තිහකට පසු අලිගැට පේර ගෙඩියේ ඇටය වමාරයි.

ක්වෙට්සල් වල් අලිගැට පේරවලට කොතරම් ප්‍රිය කරනවාද කිවහොත් ඌ ඒවා සොයාගැනීමේ අටියෙන් කඳුවැටි බෑවුමේ සිට කඳුවැටිය හරහා අනික් බෑවුම දක්වා සංක්‍රමණය කරයි. උදාහරණයකට, ජූලි සිට සැප්තැම්බර් වෙන තුරු උගේ වාසස්ථානය කඳුවැටියේ පැසිෆික් පැත්තටත්, ඊට පසු ඔක්තෝබර්වල සරුවට සෑදී තිබෙන අලිගැට පේර කෑමට කඳුවැටියේ කැරිබියන් පැත්තටත් යයි.

අපි පොළොවේ සිට අඩි 100ක් පමණ උස දම්වැල් පාලමකින් යන විට ක්වෙට්සල් කුරුල්ලෙක් අපේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට පියඹාගෙන ගියා! ඌ දවල් කෑම සොයාගෙන යන විටයි අපට ඌව මුණගැසුණේ. අපේ පැමිණීම උන්ට කරදරයක් කියා කියන්න වගේ අපට ඉහළින් හිටිය කිරිල්ලි අමුතු බැල්මක් හෙළුවා.

කටු පඳුරුවල වැවෙන කළු දං උන් ප්‍රිය කරන තවත් පලතුරක් කියා අපිට දැනගන්න ලැබුණා. ක්වෙට්සල් පලතුරු අහුලගන්න පහතට එන විට උන්ගේ රැහැන් පෙඳය කටුවල පැටලී කැඩේ. එනමුත් කාලයක් යන විට නැවතත් පෙඳයේ පිහාටු වැඩේ.

මේ විදිහට එම කුරුල්ලාට තම නමට උචිත ආකාරයට ජීවත් වෙන්න පුළුවන්. “ක්වෙට්සල්” යන වචනය ගෙන තිබෙන්නේ “ක්වෙට්සාලි” යන ඇස්ටෙක් වචනයෙනි. එහි තේරුම “අනර්ඝ” හෝ “ශෝභන” යන්නයි. අවාසනාවකට, ක්වෙට්සල් කුරුල්ලන්ගේ පැවැත්මට උගේ ශෝභනත්වයම තර්ජනයක් වී ඇත. ඒ හේතුවෙන් ක්වෙට්සල් කුරුල්ලන්ව වඳ වීගෙන යන විශේෂයක් හැටියට නම් කර තිබේ. උන්ව මරා උන්ගේ සම සිහිවටන හැටියටත්, සමහරක් පණපිටින් අල්ලා සුරතල් සතුන් හැටියටත් විකුණණු ලැබේ. කෙසේනමුත්, අපේ මාර්ග උපදේශක පැවසුවේ එවැනි නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ක්වෙට්සල්ට යම් දුරකට නීතියේ පිහිට ලැබී තිබෙන බවයි.

උන්ගේ පැවැත්මට බලපාන තවත් තර්ජනයකි කැලෑ එළි පෙහෙළි කිරීම. එමගින් උන්ගේ වාසභූමිය උන්ට අහිමි වේ. මෙම දිදුලන කුරුල්ලාව සහ වෙනත් වන සතුන්ව ආරක්ෂා කිරීමට කොස්ටා රිකා භූමියෙන් සියයට 27ක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

ක්වෙට්සල් කුරුල්ලන්ව නැරඹීමට ගිය ගමන ඇත්තෙන්ම සුන්දර අද්දැකීමකි. ඔබට ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගොස් එර්නාන් කෝර්ටේස්ට දුන් හිස් පළඳනාව දැකගත හැකි බව සැබෑය. ඒ වුණත් වනයේ සැරිසරන ජීවමාන කුරුල්ලාගේ තිබෙන ක්වෙට්සල් පිහාටු දක්නට ලැබීම ඊටත් වඩා දැකුම්කලුයි. අඩුම තරමින් දැනට ක්වෙට්සල් කුරුල්ලා මධ්‍යම අමෙරිකාවේ වැසි වනාන්තරවල යම් දුරකට නිදහසක් සහ ආරක්ෂාවක් භුක්ති විඳීම සතුටට කරුණකි.