Skip to content

පටුනට යන්න

පියෙකු නොමැති කල—පිළියමක් සොයා

පියෙකු නොමැති කල—පිළියමක් සොයා

පියෙකු නොමැති කල—පිළියමක් සොයා

දැනට පවතින ප්‍රවණතාව දිගටම පැවතුණොත්, මුළු සමාජයම පියෙකු නොමැති පවුල්වලින් සකස් වෙයි කියා විශ්වාස කිරීමට පදනමක් ඇත. එක්සත් ජනපදයේ සෞඛ්‍යය සහ මානව සේවා අංශයේ වාර්තාවක පැවසූ දේ සලකා බලන්න. “එක මාපියෙකු පමණක් සිටින දරුවන් පාසැලේදී අසමත් වන අවස්ථා වැඩිය. අසංවර හැසිරීමට යොමුවීම සඳහා ඇති ඉඩ කඩද වැඩිය. ඔවුහු නිදන්ගත සෞඛ්‍ය ගැටලු සහ මානසික ගැටලුවලට වැඩියෙන් හසු වෙති. මවකගේ මඟ පෙන්වීම යටතේ පමණක් වැඩෙන දරුවන් සිටින පවුල්වල සාමාන්‍යයෙන් නහඹරයන් ගැබ්ගැනීමට, අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීමට [සහ] සිරගත වීමට තිබෙන ඉඩ කඩ වැඩිය.”

මෙම බරපතළ ප්‍රවණතාවට හරස් වීමේ අදහසින් සමාජ විද්‍යාඥයන්, පවුල් උපදේශකයන්, අධ්‍යාපනවේදීන් සහ දේශපාලනඥයන් පවා විසඳුම් සෙවීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීම පුදුමයට හේතුවක් නොවිය යුතුය. පියෙකු වීම භාග්‍යයක් යන්න ඒත්තුගැන්වීමටත්, පුරුෂයා තම පවුල් බර කරට ගත යුතු බව ඒත්තුගැන්වීමටත් මහ පරිමාණයේ පෙළපාළි පවා සංවිධානය කර ඇත. පොත්හල්වල පියෙකුගේ කාර්යභාරය ගැන ලියවුණු පොත් ඕනෑ තරම් දක්නට තිබේ. පියවරුන්ව අවදි කිරීමට දරා ඇති වෑයම කොතරම් දුරදිග ගොස් ඇද්ද කිවහොත්, තම වගකීම් ඉටු කිරීමට ඔවුන්ට බල කිරීමට පවා ප්‍රයත්න දරා ඇත. උදාහරණයකට එක්සත් ජනපදයේ, “කර අරින පියවරුන්” විනිසුරුවන් විසින් දැඩි විවේචනයට ලක් කර ඇත. රූපවාහිනී පිළිසඳරවලදී ඔවුහු ප්‍රබල වාග් ප්‍රහාරවලට ලක් වෙති. ප්‍රසිද්ධියේ පවා අවමානයට ලක් කර ඇත. කෙසේවෙතත්, මෙවැනි ප්‍රයත්නවලින් එතරම් ප්‍රතිඵල ලැබී නැත.

ක්ෂණික නමුත් ඵලක් නැති පිළියම්

ක්ෂණික පිළියම්වලින් ඵලක් නැති බවද පැහැදිලිය. නිදසුනක් සලකා බලමු. දික්කසාද වූ කාන්තාවක්, තම දරුවන්ට අලුත් පියෙකු ලබා දීමේ අදහසින් හදිස්සියේ යළි විවාහ වීමට තීරණයක් ගත හැක. යළි විවාහයකින් ඇතැම් ප්‍රයෝජන නෙළාගත හැකි වුවත්, ගැටලුද උද්ගත විය හැක. සාමාන්‍යයෙන් දරුවෙක් අලුත් පුරුෂයෙකු තම පියා හැටියට භාරගැනීමට සෑහෙන විරෝධතාවක් දක්වයි. ඇතැම් අය ඒ අලුත් තැනැත්තාව පිළිගන්නේම නැත. එක් අධ්‍යයනයකට අනුව, “දෙමාපියන් දෙදෙනාම සිටි පවුල්වල යෞවනියන්ගෙන් සියයට 50ක් වයස අවුරුදු 19ට කලින් නිවස හැර ගියෝය. කෙසේවෙතත්, දෙවන විවාහයකදී අලුත් දෙමාපියෙක් සමඟ ජීවත් වූ යෞවනියන්ගෙන් වයස අවුරුදු 19ට කලින් නිවස හැරගිය අයගේ ගණන සියයට 66කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වැඩි වී ඇත.” දෙවන විවාහයක් සාර්ථක වුවත්, දරුවන් විසින් සුළු පියාව පිළිගැනීමට ඇතැම්විට අවුරුදු කිහිපයක් ගත විය හැක. a

නහඹර වියේ යෞවනියක් ගැබ්ගත් අවස්ථාවකදී ක්ෂණික පිළියම් නොමැති බව පැහැදිලිය. නිදසුනකට ගබ්සාව සලකා බලමු. මෙයින් දෙවිගේ නීතිය උල්ලංගනය වනවා පමණක් නොව, ගර්භාශයේ දිනෙන් දින වර්ධනය වන ඒ කුඩා ජීවිතය සඳහා ඒ මව තුළ ස්වාභාවිකවම වර්ධනය වන ආදරය මර්දනය කිරීමටද හේතුවක් වේ. (නික්මයාම 20:13; 21:22, 23; ගීතාවලිය 139:14-16; සසඳන්න 1 යොහන් 3:17.) මෙවන් දෙයක් කිරීම මවකට චිත්තවේගීයව බලපාන්නේ නැතැයි කියා පැවසීම අමූලික බොරුවකි. තවත් විකල්පයක් නම් දරුවෙකුව දරුකමට හදාගැනීමට දීමය. එය මනුස්සකම වැඩියෙන් රැකෙන පිළියමක් හැටියට සැලකේ. කෙසේවෙතත්, මෙයද මවට මෙන්ම දරුවාට චිත්තවේගීයව බලපෑ හැක.

ඉක්මන් පිළියම් පසුපස හඹායෑම පියෙකු නොමැති පවුල්වලට සැබෑ පිළියමක් නොවන බව මෙයින් පැහැදිලි වේ. පුද්ගලයන් වශයෙන් මිනිසුන් සිතන, හැසිරෙන ආකාරය සම්බන්ධයෙන්ද, ඔවුන්ගේ ආකල්ප සහ සදාචාරමය ප්‍රමිති සම්බන්ධයෙන්ද ප්‍රබල වෙනස්කම් කළ යුතුය. දැනට පවුලේ දක්නට ලැබෙන විනාශකාරි ප්‍රවණතා නතර කර දැමිය හැක්කේ එවිට පමණි. මෙවැනි ප්‍රබල වෙනස්කම් කිරීමට ජනයාට උපකාර කරන්න පණ්ඩිත කතා හෝ කිසිදු හරයක් නොමැති මතිමතාන්තර ඉදිරිපත් කිරීම පිළියම නොවේ. අමතර උපකාරයක් අවශ්‍යය. ඒ “අමතර උපකාරය” ලැබෙන්නේ දෙවිගේ වචනය වන බයිබලයෙනි. මෙය පුදුමයට හේතුවක් විය යුතු නැත. මන්ද පවුල් විධිවිධානය ස්ථාපිත කළ තැනැත්තා දෙවිය. (එපීස 3:14, 15, නව අනුවාදය) දෙවි තරම් දරුවන්ගේ අවශ්‍යතා වඩාත් හොඳින් දන්නා වෙන කිසිවෙක් නැත.

බයිබල් ප්‍රතිපත්ති උපකාරයකි

එනමුත් දෙමාපියෙකු නැති දරුවෙකුට බයිබලයෙන් ඇත්තටම උපකාර තිබේද? මේ දරුවන් ගොඩගත නොහැකි තත්වයකද සිටින්නේ? නැත, මේ දරුවන්ව ගොඩගත හැකිය. මෙම ලිපියේ මුල, මෙවැනි දරුවන්ට මුහුණ දීමට සිදු වන අන්තරාවන් රැසක් ලැයිස්තුගත කළ එක්සත් ජනපද රජයේ වාර්තාවක පළ වූ අදහස් උපුටා දක්වන ලදි. මෙම වාර්තාවෙන් සිත් ඇද නොගන්නා පින්තූරයක් ඇන්දත්, අවසාන වශයෙන් මෙම අදහස පළ කෙරිණ. “මෙවන් දරුවන් වැඩි අවදානමක සිටින බවට සාක්ෂි රැසක් තිබුණද, එක දෙමාපියෙකු සිටින පවුල්වල වුවද දරුවන් බහුතරයකට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි බව කළ පර්යේෂණවලින් පැහැදිලි විය.” ඔව්, පියෙකු නොමැතිව විඳීමට සිදු වන ප්‍රතිවිපාක තුරන් කළ හැක. එසේ නැතහොත් අඩුම තරමින් අවම කළ හැක. මෙවන් දෙයකට විශේෂයෙන්ම ඉවහල් වන්නේ දරුවන් ඇති දැඩි කිරීමේදී බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන විටදීය.

ඉසිලීමට නොහැකි තරම් විශාල වගකීමක්ද? තනි දෙමාපියෙකු වශයෙන් ඔබෙන් සෑහෙන වැඩ කොටසක් ඉටු විය යුතු බව පිළිගත යුතුය. එනමුත් ඔබ තනිව සිටිනවා නොවේ. යෙහෝවා මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමට ඔබට ඉගෙනගත හැකිය. (හිතෝපදේශ 3:1, 2) බයිබල් කාලවල, ඇතැම් ස්ත්‍රීහු ඉතා කටුක අද්දැකීම්වලට මුහුණ දුන්හ. සමහරු වැන්දඹුවන් බවට පත් වූහ. අසරණ වූ එවැන්නන් සම්බන්ධයෙන් බයිබලයෙහි මෙසේ පැවසේ: “ඇත්තටම අසරණව සිටින වැන්දඹු තැනැත්තී [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවෙමින් රෑ දාවල් කන්නලව්වලද යාච්ඤාවලද පවතින්නීය.” (1 තිමෝති 5:5) යෙහෝවා තමාව “පියා නැත්තන්ට පියෙක්” වශයෙන් සලකන බව මතක තබාගන්න. (ගීතාවලිය 68:5) දේවභයකින් වැඩ කරන ස්ත්‍රියක දරන වෑයම්වලට ඔහුගෙන් පූර්ණ සහයෝගයක් ලැබෙන බවට කිසිදු සැකයක් නැත.

දරුවන්ට සමබර, මේරූ වැඩිහිටියන් දක්වා වැඩීමට උපකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය මාර්ගයකි, ඔවුන් සමඟ නිතිපතා නිවාස බයිබල් පාඩමක් පැවැත්වීම. (ද්විතීය කථාව 6:6-9) යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින තනි දෙමාපියන් බොහෝදෙනෙක් යෞවන යෞවනියන් සඳහා විශේෂයෙන්ම පිළියෙළ කර ඇති බයිබලය මත පදනම් වූ ප්‍රකාශන යොදාගනිති. යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු මීට උදාහරණයකි. b එහි අන්තර්ගත තොරතුරු තම දෙමාපියන්ගේ වැරදි මඟහැර හොඳ සදාචාර ප්‍රමිති වර්ධනය කරගැනීමට යෞවනයන්ට මහෝපකාරි වේ. යෙහෝවා දෙවිව දැනහඳුනා ගැනීමෙන්, තමන්ට ගැඹුරු සැලකිල්ලක් දක්වන ස්වර්ගික පියෙකු සිටින බවට වූ කාරණය තේරුම්ගැනීමට ඔවුන්ට පුළුවන. (ගීතාවලිය 27:10) ඔවුන්ව අත්හැර ඇති බවට වූ හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට මෙය උපකාරයක් විය හැක. තම දෙමාපියන්ගේ විවාහය දෙකඩ වූ බ්‍රිතාන්‍ය යෞවනියක් ඇගේ අද්දැකීම මෙසේ සිහිගන්වයි. “දරාගන්න බැරිම වෙලාවට යාච්ඤා කිරීමෙත් යෙහෝවා මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමෙත් අවශ්‍යතාව අම්මි මට කාවැද්දුවා. ඒ හින්දා මට පුළුවන් වුණා ඒ අමාරු අද්දැකීමට සාර්ථකව මුහුණ දෙන්න.”

දරු-මාපිය සම්බන්ධය පවත්වාගැනීම

දරුවෙකු තම පියා සහ මව යන දෙදෙනාටම ගරු කළ යුතු බව බයිබලයෙහි පැහැදිලි කර ඇත. (නික්මයාම 20:12) එමනිසා දික්කසාදයක් සිදු වූ පළියට පියා සහ දරුවා අතර සම්බන්ධය බිඳෙන්නේ නැත. දික්කසාද කළ පුරුෂයා නිවසෙහි ජීවත් නොවුවත්, ඔහු සමඟ උණුසුම් සම්බන්ධතාවක් පවත්වාගැනීමෙන් දරුවන්ට දිගටම ප්‍රයෝජන අත් විය හැක. c කෙසේවෙතත්, මව තවමත් ඔහු කෙරෙහි කෝපයෙන් සිටිය හැක. දරුවන් සමඟ ඔහු සම්බන්ධ වෙනවාට දැඩි අකමැත්තක් දක්වනවාද විය හැක. මෙය ගැටලුවකි. එමනිසා මවට මෙම හැඟීම් සමඟ කටයුතු කළ හැක්කේ කෙසේද?

මේ සම්බන්ධයෙන් බයිබලයෙහි හොඳ උපදෙසක් දී ඇත. “කෝපය නිසා කුඩුකේඩු ක්‍රියාවලට නොපෙලඹීමට වගබලාගන්න . . . හිංසාකාරි දේවලට යොමුවීමට එරෙහිව පරෙස්සම් වන්න” යන අවවාදය එහි ඇත. (යෝබ් 36:18-21, NW) ඔබට වේදනාවක් දී ඇති, ඔබව අත්හැර ගොස් ඇති කෙනෙකු ගැන කාරුණික යමක් කීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එනමුත් ඔබෙන් මෙසේ අසන්න. ‘නිතරම වාගේ ඇගේ තාත්තා කොතරම් නරක පුද්ගලයෙක්ද යන වග ගැහැනු ළමයෙකුට කියනවා නම්, පුරුෂයන් කෙරෙහි විශ්වාසයක් තබන්න ඇයට හැකි වෙයිද? පිරිමි ළමයෙකුට හික්මවීමක් දෙද්දී, “ඇරපු අතක් නෑ, ඔයා නම් ඔයාගේ තාත්තමයි” කියා පැවසුවොත් ඔහුට ස්ථාවර පෞරුෂත්වයක් වර්ධනය කරගත හැකිද? තම පියාව පිළිකුල් කරන්න දරුවන්ට කියා දෙනවා නම් හෝ ඔහුව බැහැදැකීමට යෑමෙන් ඔවුන්ව අධෛර්යය කරනවා නම්, අධිකාරය ගැන හොඳ ආකල්පයක් ඔවුන් තුළ ඇති වේද?’ ඔබේ දරුවන් ඔවුන්ගේ පියා සමඟ ඇති සම්බන්ධයට මෙසේ පහර ගැසීම හානිකරය.

ධර්මිෂ්ඨ කෝපයක් ඇතිවීම වැරදි දෙයක් නොවන බව බයිබලයෙහි සඳහන්ව තිබීම ඔබේ පුදුමයට හේතුවක් විය හැක. බයිබලයෙහි පවසන්නේ “කෝපවුණත් පව් නොකරන්න” කියාය. (එපීස 4:26) පාපය, කෝපවීම නොවේ. එනමුත් “කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය” වැනි දේවලින් තම පෞද්ගලිකත්වය මෙහෙයවීම පාපයකි. (කොලොස්සි 3:8) එමනිසා, ඔබේ දරුවන් ඉදිරියෙහි පියා ගැන සරදම්ශීලීව කතා කිරීමෙන් වැළකිය යුතුය. දරුවන්ගේ පියා ගැන ඔබ තුළ ඇති වී තිබෙන කලකිරීම පිට කිරීමට අවශ්‍යතාවක් දැනෙනවා නම්, ඒ සම්බන්ධයෙන් බයිබලයෙහි යෝජනාව අනුගමනය කරන්න. ඔබේ “සිත්තැවුල” යමෙකු සමඟ, ඔබේ දරුවන් නොව, විශ්වාසවන්ත මිතුරෙකු සමඟ බෙදාගන්න. (හිතෝපදේශ 12:25, න.අ.) එමෙන්ම ඒකාන්ත ආකල්පයක් තබාගැනීමටත්, අතීතයේ දේවල් ගැන සිත සිතා සිටීමෙන් වැළකී සිටීමටත් උත්සාහ දැරිය යුතුය. (දේශනාකාරයා 7:10) එසේ කිරීම ඔබේ කෝපය තුනී කිරීමට මහෝපකාරි විය හැක.

දරුවෙකු තම පියාට ගෞරව කළ යුතු බවට වූ බයිබලයෙහි ආඥාවද මතක තබාගත යුතුය. පියා එතරම් හොඳ ආදර්ශයක් තබා නැතත් මෙය අදාළ වේ. (එපීස 6:2, 3) එමනිසා තම පියාගේ අඩුපාඩුකම් දෙස සාධාරණ ඇසකින් බැලීමට ඔබේ දරුවන්ට උපකාර කළ යුතුය. දෙකඩ වූ නිවහනක වැඩුණු තරුණියක් මෙසේ පවසයි. “අපි ඔක්කොමලම වැරදි කරනවා. මගේ තාත්තත් ඒ වගෙයි. එයා දිහා එහෙම සාධාරණ විදිහට බැලුව හින්දා, මට කොහොම හරි පුළුවන් වුණා කෝප නොවී එයාව සන්සුන්ව පිළිගන්න.” තම පියාට ගෞරව කරන්න ඔබේ දරුවන්ට උපකාර කිරීමෙන් ඔවුන්ට දෙමාපියෙකු වශයෙන් ඔබට තිබෙන අධිකාරය කෙරෙහි හොඳ ආකල්පයක් වර්ධනය කරගැනීමට උපකාරවත් වේ.

දෙමාපියෙකු වශයෙන් ඔබට හිමි තනතුරු රැකගැනීම වැදගත්ය. ඔබ සහ දරුවන් අතර තිබෙන ඒ වෙනස බොඳ නොකිරීම මින් අදහස් කෙරේ. ඔවුන් තවමත් තම “මවුගේ උපදෙස්” යටතේ සිටින බව මතක තබාගත යුතුය. (හිතෝපදේශ 1:8) පුතෙකුගෙන් පියාගේ කොටස ඉටු කිරීම බලාපොරොත්තු වීම හෝ දුවකගෙන් මවගේ විශ්වාසවන්තිය ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කිරීම ඔවුන් දෙදෙනාටම බරක්ය. දෙමාපියා වශයෙන් ඔබ දරුවන්ව රැකබලා ගැනීමට සිටින බව ඔවුන්ට බියක් සැකක් නොමැතිව දැනිය යුතුය. එවිට ඔබ සම්බන්ධයෙන් ඔවුන්ට වැඩි බරක් නොදැනීමට එය දායක වේ. (2 කොරින්ති 12:14 සසඳන්න.) මෙලෙස ඔවුන්ට දැනෙනවා නම්, පවුලේ තත්වය අංග සම්පූර්ණ නොවුවත් ඔවුන්ට සුරක්ෂිත ගතියක් දැනේ.

ආදේශක පියවරුන්

පියා සමඟ කිසිදු සම්බන්ධයක් නැති විටක කුමක් සිදු වේද? වෙනත් පුරුෂයන් සමඟ ඇසුරු කිරීම දරුවන්ට ප්‍රයෝජනයක් විය හැකි බව ප්‍රවීණයන්ගේ මතයයි. මාමා කෙනෙකු හෝ අසල්වැසියෙකු දක්වන කාරුණික සැලකිල්ලෙන් යහපතක් සිදු වුවද, ක්‍රිස්තියානි සභාවේ සිටින පුරුෂයන් සමඟ හිතකර ආශ්‍රයක නිරත වීම ඔහුට විශේෂයෙන් උපකාරවත් වේ. සභාව අත හිත දෙන පවුලකට සමාන වන බව යේසුස් පෙන්නුම් කළා.—මාර්ක් 10:29, 30.

උදාහරණයකට බයිබල් කාලවල විසූ තරුණ තිමෝතිව සලකා බලන්න. ඔහු ඉතා කැපීපෙනෙන දේවභක්තික පුරුෂයෙකු බවට පත් වූයේ ඇදහිලිවන්ත පියෙකුගේ උපකාරය නොමැතිවය. ඔහුගේ ප්‍රේමනීය මව සහ ආච්චි ඔහුගේ දියුණුවට බෙහෙවින් දායක වූ බව ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලි කර ඇත. (ක්‍රියා 16:1; 2 තිමෝති 1:1-5) කෙසේවෙතත්, ක්‍රිස්තියානි පුරුෂයෙකු වූ ප්‍රේරිත පාවුල් සමඟ ඇසුරු කිරීමෙන්ද ඔහු ප්‍රයෝජන නෙළාගත් බවට සැකයක් නැත. පාවුල් තිමෝතිව හැඳින්වූයේ “[ස්වාමීන්] තුළ මාගේ ප්‍රියවූ විශ්වාස දරුවා” ලෙසයි. (1 කොරින්ති 4:17) අදදිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දිරිගන්වා ඇත්තේ “මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද” බලාගැනීමට වූ බයිබල් උපදෙසට අවනත වන්න කියාය. (යාකොබ් 1:27) ‘පියා නැත්තන් ගැළවීමට’ ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා ඇත. එසේ කළ හැක්කේ එවන් අය වෙනුවෙන් අවංක, සමබර උනන්දුවක් දැක්වීමෙනි. (යෝබ් 29:12) ඇනට් නම් තරුණිය ඇගේ කුඩා කාලයේ සිට ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු දැක්වූ අව්‍යාජ උනන්දුව ගැන මෙසේ පවසයි. “තාත්තා කෙනෙක් වගේ මට හිටියේ එයා විතරයි.”

පිළියම

ඉහත දැක්වූ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම පියෙකු නොමැති දරුවන්ට උපකාරවත් විය හැක. ඔවුන් යම් අවාසි මධ්‍යයෙහි වැඩුණත්, සමබර, සාර්ථක වැඩිහිටියන්ද, ප්‍රේමනීය, විශ්වාසවන්ත සහ කැපවීමකින් කටයුතු කරන දෙමාපියන්ද වීමට ඔවුන්ට පුළුවන. ලෙඩක් සුව කරනවාට වඩා එය වැළැක්වීම හොඳ බවට කියමනක් ඇත. එමනිසා, පියෙකු නොමැතිව වැඩීමේ ගැටලුවට පිළියම වන්නේ පුරුෂයන් සහ ස්ත්‍රීන් ඔවුන්ගේ ජීවිතවලට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට අදිටන් කරගැනීමයි. එසේ කළ හැක්කේ බයිබලයේ උපදෙස්වලට එකඟව විවාහයට පෙර ලිංගික සම්බන්ධකම්වලින් වැළකී සිටීමෙන් සහ පුරුෂයන් සහ භාර්යාවන් සඳහා බයිබලයෙහි සඳහන් ප්‍රමිතීන් අනුගමනය කිරීමෙනි.—1 කොරින්ති 6:9; එපීස 5:21-33.

වර්තමානයේ ඇතැම් දරුවන්ට පියෙකු සිටියත්, ඔවුන් වැඩෙන්නේ පියෙකු නොමැති දරුවන් හා සමානවයි. පවුලේ ඇති වන ප්‍රශ්න ගැන විශේෂඥයෙක් මෙසේ අදහස් දක්වයි. “අද දරුවන්ට මුහුණ දීමට සිදු වන ලොකුම ප්‍රශ්නය නම්, ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ප්‍රමාණවත් කාලයක් සහ අවධානයක් නොලැබීමයි.” මේ සඳහා පිළියම දෙවිගේ වචනයෙහි ඉතා පැහැදිලි ලෙස දක්වා ඇත. එහි දරුවන් සම්බන්ධයෙන් පියවරුන්ට මෙම ආඥාව සඳහන් කරයි. “ඔවුන් ක්‍රිස්තියානි විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.” (එපීස 6:4, න.අ.; හිතෝපදේශ 24:27) පියවරුන් බයිබලයෙහි මඟ පෙන්වීම අනුගමනය කිරීමට වෑයම් කරන විට, තමුන්ව අත්හරින බවට බියක් දරුවන් තුළ පහළ වන්නේ නැත.

අපගේ සමාජය බයිබලයෙහි උපදෙස් අනුගමනය කිරීමට සාමූහිකව වෑයමක් දරයි කියා විශ්වාස කිරීමට පදනමක් ඇද්ද? නැත. (මතෙව් 7:14) එනමුත්, නිවසේම පවත්වන බයිබල් පාඩම් වැඩසටහන මගින්, ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දශලක්ෂ ගණනාවකට උපකාර සපයා ඇත. d විවාහක වූ සෑමදෙනාටම අසම්පූර්ණත්වය හේතුවෙන් “මාංසයෙහි දුක්” අද්දැකීමට සිදු වන බව බයිබලයෙහි අනතුරු අඟවා ඇත. (1 කොරින්ති 7:28) එනමුත් දෙවිගේ වචනයට සැබෑ ගෞරවයක් දක්වන අය ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ ප්‍රශ්නයක් ඇති බවට ලකුණු පහළ වූ වහාම දික්කසාද වීමෙන් නොව, නමුත් ඒවාට විසඳුම් සෙවීමට අවංක උත්සාහයක් දැරීමෙනි. කෙසේවෙතත්, ඇතැම් උග්‍ර තත්වයන්වලදී වෙන්වීමට හෝ දික්කසාද වීමට පවා නිර්දෝෂ ක්‍රිස්තියානියෙකුට හේතු තිබිය හැක. (මතෙව් 5:32) මෙවැනි වෙන්වීමක් හෝ දික්කසාදයක් දරුවන්ට සෑහෙන දුරට බලපාන බව දන්නා නිසා, ක්‍රිස්තියානියෙකු හැමවිටම උත්සාහ කරන්නේ විවාහය කෙසේ හෝ රැකගැනීමටය.

බයිබලයෙහි උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබේ පවුල ලබන ප්‍රයෝජන වර්තමානයට සීමා වී නැත. එය සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාවටද දොර විවෘත කරයි! යේසුස් පැවසූ දේ සිහියට ගන්න. “සදාකාල ජීවනයට මඟ මෙයයි: එනම් එකම සැබෑ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) එසේ නම්, දෙවිගේ වචනයෙහි අන්තර්ගත උපදෙස් කියවා අදාළ කරගැනීම ඔබේ පවුලට සදාකාලික ආශීර්වාද ලබා දීමට ප්‍රස්තාව විවෘත කර දෙන දොරටුවකි. එයින් ඇතුල් වීමට ඔබත් ඔබේ පවුලත් උත්සුක වීම අපගේ බලාපොරොත්තුවයි.

[පාදසටහන්වල]

a සුළු මාපියන්ට උපකාරවත් වන තොරතුරු අපගේ සහායක සඟරාව වන මුරටැඹෙහි 1999 මාර්තු 1 කලාපයෙහි පළ විය.

b Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිතය.

c දරුවෙකු පියා අතින් කායිකව පහර ලැබීමේ හෝ ලිංගිකව අතවරයට ලක්වීමේ අවදානමක් ඇත්නම් මෙම මඟ පෙන්වීම අදාළ නොවේ.

d පවුල්වලට උපකාරවත් වන බයිබල් උපදෙස් රැසක් පවුලේ සන්තෝෂයට රහස (Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිතය.) නමැති පොතෙහි අන්තර්ගතය. ප්‍රදේශයේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසීමෙන් එය ලබාගත හැක.

[8, 9වන පිටුවේ පින්තූරය]

බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන්, දරුවන්ව සාර්ථකව ඇති දැඩි කිරීමට තනි දෙමාපියෙකුට හැක

[10වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි පුරුෂයන් ‘පියා නැත්තා ගැළවීමට’ ඉදිරිපත් වන්නේ ඔවුන් කෙරෙහි අව්‍යාජ මෙන්ම හිතකර උනන්දුවක් දැක්වීමෙනි