Skip to content

පටුනට යන්න

මධ්‍යකාලීන යුරෝපයට මරු කැඳවූ මහාමාරිය

මධ්‍යකාලීන යුරෝපයට මරු කැඳවූ මහාමාරිය

මධ්‍යකාලීන යුරෝපයට මරු කැඳවූ මහාමාරිය

ප්‍රංශයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

එය 1347වන වසරයි. මේ වන විට, ඈත පෙරදිග රටවල් මහාමාරියෙන් මැරුම් කා තිබිණ. දැන් වසංගතය ළඟා වෙමින් තිබුණේ නැඟෙනහිර යුරෝපයේ මායිම්වලටයි.

මේ කාලය වන විට, මොංගෝලියානු ජාතිකයන් විසින් ජෙනෝවා වැසියන් බලකොටු බැඳ තිබූ කාෆා නමැති වෙළඳ මධ්‍යස්ථානයක් වටලමිනුයි සිටියේ. වර්තමානයේ මේ නගරය හඳුන්වන්නේ ක්‍රිමියාවේ ෆයොඩෝෂියා නමිනි. මේ භයානක වසංගත රෝගයෙන් තම භට සමූහයන්ගෙන් විශාල ගණනක් වැනසී තිබුණු හෙයින් මොංගෝලියානු ජාතිකයෝ පහර නොදීමට තීරණය කළහ. එහෙත්, තම භටයන්ව ඉවත් කරගැනීමට පෙර ඔවුහු මාරාන්තික පහරක් එල්ල කළෝය. යෝධ කැටපොලු භාවිත කොට, අලුතෙන් වසංගතයට ගොදුරු වූවන්ගේ මළ සිරුරු නුවරට හෙළන ලදි. එවිට නගරය තුළ වසංගතය සීඝ්‍රයෙන් පැතිරිණ. ඒ හෙයින් මෙතෙක් නුවරෙහි ආරක්ෂාව තකා එහි පදිංචිව සිටි ජෙනෝවා ජාතිකයන් තම යුධ නැව්වලට ගොඩ වී එයින් පලාගිය විට, ඔවුන් ගොඩබැස්ස සෑම වරායකම ජනතාවට මේ වසංගතය බෝ කළේය.

මාස කිහිපයකින් මුළු යුරෝපයටම මරු කැඳවා තිබිණ. උතුරු අප්‍රිකාවට, ඉතාලියට, ස්පාඤ්ඤයට, එංගලන්තයට, ප්‍රංශයට, ඕස්ට්‍රියාවට, හංගේරියාවට, ස්විට්සර්ලන්තයට, ජර්මනියට, ස්කැන්ඩිනේවියාවට සහ බෝල්ටික් ජනපදවලට ක්ෂණිකව පැමිණි මාරයා තම අණසක පතුරුවාහැරියේය. යුරෝපයේ එදා සිටි ජනගහනයෙන් සියයට විසිපහකට පමණ, එනම් මිලියන 25කට පමණ මියයෑමට ගත වූයේ අවුරුදු දෙකක් තරම් සුළු කාලයක් පමණි. “බිලිගත් ජීවිත ප්‍රමාණය සහ එහි පැතිරීම ගත් කල,” මොවුන් ගොදුරු වී තිබුණේ “මිනිස් පවුල මෙතෙක් විඳ තිබෙන දරුණුතම ඛේදවාචකයටයි.” එනම් මහාමාරිය වසංගතයටයි. a

ව්‍යසනයේ පසුබිම

මහාමාරිය රෝ උවදුරින් අත් වූ ඛේදවාචකයට තුඩු දුන්නේ රෝගය වැළඳීම පමණක්ම නොවේ. ඇවිළෙන ව්‍යසනයේ ගින්දරට පිදුරු මෙන් සාධක කිහිපයක්ම එයට දායක විය. එක සාධකයක් වූයේ බලවත් ආගමික ලැදිකමයි. මීට එක උදාහරණයක් ශුද්ධගිනිස්ථානය සම්බන්ධයෙන් පැවතුණ මතයයි. ප්‍රංශ ජාතික ඉතිහාසඥ ජාක් ල ගොෆ් පවසන්නේ “13වන සියවසේ අවසානය වන විට ශුද්ධගිනිස්ථානය කෙරෙහි විශ්වාසය දසත පැතිරී තිබුණු” බවයි. දහසතර වන සියවසේ මුල් කාලයේ ජනකාය කෙරෙහි බලපෑමක් ඇති කළ අලුත් මඟක් බිහි විය. ඩාන්ටෙගේ ද ඩිවයින් කොමඩි (දිව්‍යමය වෘත්තාන්තය) නමැති කලා කෘතියෙන් නිරයත් ශුද්ධගිනිස්ථානයත් සවිස්තරාත්මකව දක්වා තිබිණ. මෙවැනි බලපෑම් හේතුකොටගෙන පොදු ජනතාවගේ දෘෂ්ටිය වූයේ මේ රෝ උවදුර දෙවිගෙන් ලත් දඬුවමක් යන වගයි. මේ නිසා ඔවුන් මහාමාරිය රෝගය පිළිගත්තේ කිසිම විරෝධතාවක් නොදක්වමින් පුදුම උදාසීනකමකිනුයි. ඇත්තෙන්ම, මෙවැනි සර්වශුභවාදී ආකල්පයක් මේ උවදුර තව තවත් පැතිරීමට ඉවහල් විය. ද බ්ලැක් ඩෙත් (මහාමාරිය) යන මැයින් යුත් සිය කෘතියේ ෆිලිප් සීග්ලර් පවසන්නේ “වසංගතය පැතිරීමට ඉතා යෝග්‍ය වාතාවරණයක් සැපයීමට මෙය බෙහෙවින් දායක වූ” බවයි.

ඉස්මතු වූ තවත් ගැටලුවක් වන්නේ යුරෝපයේ බෝග වගාව අවස්ථා කිහිපයකදීම නිසරු වීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ යුරෝපා මහද්වීපය පුරා වර්ධනය වෙමින් සිටි ජන සංඛ්‍යාව මන්දපෝෂණයෙන් පෙළීමයි. ඉන් අදහස් කළේ රෝගවලට ඔරොත්තු දීමේ ඔවුන් සතු ශක්තිය හීන වූ බවයි.

වසංගතය පැතිරෙයි

ගයි ද ෂෝලියැක් නම් VIවන ක්ලෙමන්ට් පාප්ගේ පෞද්ගලික වෛද්‍යවරයාගේ මතයට අනුව, යුරෝපයට පහර දුන් වසංගතයට ස්වරූප දෙකක් තිබිණ. එකක් නියුමෝනි මහාමාරිය සහ අනික ග්‍රන්ථි මහාමාරියයි. මේ සම්බන්ධයෙන් ඔහු සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරයි. “නියුමෝනි හෙවත් පෙණහැල්ල ඉදිමීමෙන් ඇති වන මහාමාරිය, වසංගත කාලයෙන් මාස දෙකක කාලපරිච්ඡේදයක් පුරා පැවතීය. මේ අවස්ථාවේදී ඉස්මතු වූ රෝග ලක්ෂණ නම් අඩු නොවන උණ සහ ලේ වමනය කිරීමයි. මීට ගොදුරු වූ කෙනෙක්ට දින තුනකින් සිය දිවිය අහිමි විය. ග්‍රන්ථි මහාමාරිය, වසංගතයේ ඉතිරි කාලය තුළ පැවතිණ. මේ අවස්ථාවෙහිදීත් අඩු නොවන උණ රෝග ලක්ෂණයක් වූ අතර, බාහිර අංගයන්හි, විශේෂයෙන් කිහිල්ලේ සහ ඉකිලිවල සාරේ සහිත ගෙඩි සහ ලොකු බිබිලි හටගැනිණ. මින් පෙළුණු යමෙක් දින පහකින් මිය ගියේය.” දිනෙන් දින වර්ධනය වූ මෙම වසංගතය හමුවේ එකල වෛද්‍යවරු අසරණ වූහ.

ඇති වූ නොසන්සුන් තත්වය හේතුකොටගෙන බොහෝදෙනෙක් රෝගය වැළඳුණු දහස් ගණන්දෙනා හා ගේ දොර අත්හැර පලාගියහ. පලායෑමට මුල පිරූ අයගෙන් සමහරදෙනෙක් ධනවත් වංශාධිපතිවරු සහ එවකට වෘත්තීය දස්කම් පෙන්වූ අය වූහ. පූජක පක්ෂයට අයත් බොහෝදෙනෙක් පලාගියත් අනෙකුත් ආගමික නිකායන්වල සාමාජිකයන්ගෙන් බහුතරයක් ආරක්ෂාව බලාපොරොත්තුවෙන් තම පැවිදි ආශ්‍රමවල සැඟවී සිටියහ.

මේ කලබලකාරි සමය අතරතුරේදී, 1350වන වසර ‘ශුද්ධ වූ වසරක්’ යනුවෙන් පාප් නම් තැබීය. මෙකල රෝමය බලා ආ වන්දනාකරුවන්හට ශුද්ධගිනිස්ථානය කෙරෙන් මිදී කෙළින්ම පාරාදීසයට යා හැකි ගමන් මඟක් විවෘත වන බවට සැල විය! වන්දනාකරුවන් ලක්ෂ ගණනාවක්ම මේ ආරාධනය පිළිගත්හ. ගමන් ගද්දී ඔවුන් වසංගතයද බෝ කළ බව අමුතුවෙන් කිව යුතු නැත.

නිෂ්ඵල වෑයම්

මහාමාරි විෂ බීජය බෝ වූ ආකාරය පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබුණු හෙයින්, එහි පැතිරීම පාලනය කිරීමට දැරූ වෑයම් නිෂ්ඵල විය. වසංගතයෙන් පෙළෙන්නෙකුව ස්පර්ශ කිරීමෙන්, ඔහුගේ වස්ත්‍ර ස්පර්ශ කිරීමෙන් පවා තමුන්ව අනතුරුදායක තත්වයකට නිරාවරණය වන වග බොහෝදෙනෙකු වටහාගෙන තිබිණ. ඉන් පෙළෙන්නෙකු දෙස බැලීමෙන් පවා වැළකී සිටීමට සමහරු වෙර දැරූහ! කෙසේවුවත්, ඉතාලියේ ෆ්ලොරන්ස් නගර වැසියන් වසංගතය පැතිරවීම සම්බන්ධයෙන් චෝදනා ලැබිය යුත්තන් ලෙස නම් කළේ තම බළලන්ව හා බල්ලන්වය. එමනිසා ඔවුහු මේ සතුන්ව මරා දැමීමට උත්සුක වූහ. මේ පියවර ගැනීම හේතුවෙන්, රෝගය බෝවීමට ඇත්තෙන්ම දායක වූ මීයන්ට දැන් අනතුරකින් තොරව ගැවසීමට ඉඩ සැලැස්වූ වග ඔවුන්ට කල්පනා නොවුණ කාරණයකි.

දිනෙන් දින මැරුම් කෑ අයගේ සංඛ්‍යාව ඉහළ නඟිද්දී, සමහරු දෙවියන්ගේ පිහිට පැතූහ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම තමුන් සන්තක සියල්ල පල්ලියට දන් දුන්නේ දෙවි ඔවුන්ට සනීපාරක්ෂාව සපයාවී යන අපේක්ෂාවෙනි. නැතහොත් අවම වශයෙන් යම් අවස්ථාවකදී හෝ ඔවුන්ගේ ජීවිත අහිමි වුවහොත් ඔවුන්හට ස්වර්ගික ජීවිතය ප්‍රදානය කරාවී යන බලාපොරොත්තුවෙනි. මින් පල්ලියේ අතට පත් වූ ධන සම්භාරය කියා නිම කළ නොහැකි තරම්ය. ආරක්ෂාවක් ලබා දීමට යන්ත්‍ර මන්ත්‍ර සහ ක්‍රිස්තුස්ගේ පිළිරූ භාවිත කිරීම ජනප්‍රිය විය. තවත් අය සුවය පතා මිථ්‍යා විශ්වාස, ඉන්ද්‍රජාලය සහ ව්‍යාජ වෛද්‍ය උපදෙස්වල පිහිට පැතූහ. සුවඳ විලවුන්, විනාකිරි සහ විශේෂ ද්‍රව්‍යයන් මුසු කොට තනාගත් පාන වර්ගවලින් ආරක්ෂාවක් තිබුණු බවට විශ්වාසයක්ද විය. ජනයා ප්‍රිය කළ තව සිරිතක් වූයේ ලේ ගැලීමට සැලැස්වීමයි. පැරිස්හි සරසවියේ වෛද්‍ය පීඨයේ උගත් සාමාජිකයන් දැරූ මතය නම් මහාමාරිය වැළඳීමට හේතු වී තිබුණේ ග්‍රහයන්ගේ පිහිටීම කියායි. එහෙත් මරු කැඳවූ මහාමාරිය නතර කර දැමීමට මෙවැනි පදනම් විරහිත විස්තර කිරීම්වලටවත් “ප්‍රතිකාරයන්ටවත්” බලයක් තිබුණේ නැත.

දිගු කල් පවතින බලපෑම්

වසර පහක් ඇතුළත මහාමාරිය තම මාරාන්තික ගමන අවසන් කළ බවට ලකුණු පහළ විය. එහෙත් එම සියවස සමුගන්න පෙර, අවම වශයෙන් සතර වරක් පමණ එය නැවත හිස එසවීය. මහාමාරියෙන් අත් වූ බලපෑම් පළවන ලෝක මහා සංග්‍රාමයෙන් අත් වූ බලපෑම් සමඟ සම සේ සලකා තිබේ. වර්ෂ 1996දී පළ වූ මහාමාරියෙන් එංගලන්තයට අත් වූ බලපෑම් (ඉංග්‍රීසියෙන්) යන මැයින් යුත් පොතෙහි මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කරයි. “වර්ෂ 1348ට පසු, එහි හටගත් මහාමාරිය හේතුකොටගෙන ආර්ථිකයටත් සමාජයටත් බරපතළ බලපෑම් ඇති වූ බව නූතන දින ඉතිහාසඥයන් සාමූහිකව පිළිගන්නා කරුණකි.” මහාමාරිය හේතුවෙන් විශාල ජන පිරිසක් මරු වැලඳගත් හෙයින් සමහර ජනාවාස නැවත යථා තත්වයට පැමිණියේ සියවස් ගණනාවක් ගතවීමෙන් පසුවයි. ශ්‍රම බලකාය අඩු වූ හෙයින්, ශ්‍රමය කුලියට ගැනීම සඳහා ගිය වියදම අධික විය. කලින් ධනවත්ව සිටි ඉඩම් හිමියන් බංකොලොත් වූ අතර, මධ්‍යකාලීන යුගයේ අංග ලක්ෂණයක් වූ වැඩවසම් ක්‍රමයත් සුන් විය.

ඉහත සඳහන් සාධක සැලකිල්ලට ගත් කල, මහාමාරිය දේශපාලනික, ආගමික සහ සමාජීය අතින් ප්‍රතිසංස්කරණයකට මඟ පෑදීය. මහාමාරියෙන් බැට කෑමට කලින්, එංගලන්තයේ විසූ උගත් පෙළැන්තිවල අය අතර ප්‍රංශ බස භාවිත කෙරිණ. එහෙත් ප්‍රංශ ගුරුවරුන්ගෙන් කිහිපදෙනෙකු මරුමුවට පත් වූ හෙයින් බ්‍රිතාන්‍යයෙහි ප්‍රංශ බසට වඩා ඉංග්‍රීසි බස ප්‍රචලිත විය. ආගමික ක්ෂේත්‍රයෙහිත් වෙනස්කම් සිදු විය. පැවිදි පක්ෂයට ඇතුල් වීමට ඉල්ලුම් කරන්නන්ගේ හිඟය නිසා “පල්ලියට බඳවාගන්න සිදු වූයේ නූගත්, ආගමික ලැදිකමින් උදාසීන වූ පුද්ගලයන්වයි” කියා ප්‍රංශ ජාතික ඉතිහාසඥ ජාක්ලීන් බ්‍රොසොලේ පවසයි. “[පල්ලිය යටතේ පැවති] අධ්‍යාපන හා ආගමික මධ්‍යස්ථානයන්හි සිදු වූ පරිහානිය ප්‍රතිසංස්කරණයට තුඩු දුන් එක හේතුවක්” බව බ්‍රොසොලේ කියා සිටියි.

මහාමාරිය, කලා ක්ෂේත්‍රය කෙරෙහිත් මහත් බලපෑමක් ඇති කළ බව කිව හැක. මරණය, කලා කෘතිවල පොදුවේ භාවිත වූ විෂයක් බවට පත් විය. මරණය ජනයාගේ ජීවිතයට ප්‍රබල ලෙස බලපෑ ආකාරය දැක්වීමට නාට්‍ය කලාවද යොදාගන්නා ලදි. විශේෂයෙන්ම ඇටසැකිලි සහ මළ සිරුරු ලෙස රඟ දැක්වූ නළු නිළියන් ඇතුළත් නැටුම් විශේෂයක් ජනප්‍රිය විය. මහාමාරියේ ග්‍රහණයෙන් බේරුණු බොහෝදෙනෙක් තම අනාගතය පිළිබඳව සැක සහිත දෘෂ්ටියක් දැරූ හෙයින් සදාචාරමය සංයමයක් නොමැතිව ක්‍රියා කළහ. මේ නිසා සදාචාරමය අතින් එදා පැවතියේ අධික ලෙස පිරිහුණු සමාජයකි. පල්ලි ක්‍රමය මහාමාරිය වැළඳීම වැළැක්වීමට අපොහොසත් වූ හෙයින් “පල්ලිය කෙරෙහි මධ්‍යකාලීන යුගයේ විසූ ජනයා තැබූ බලාපොරොත්තු කඩ විය.” (මහාමාරිය, ඉංග්‍රීසියෙන්) මහාමාරි උවදුරේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ සමාජීය වෙනස්කම් හේතුවෙන්, පෞද්ගලික වෑයමට සහ උත්සාහයට දිරියක් ලැබුණු අතර, සමාජීය සහ ආර්ථික වශයෙන් වැඩි නිදහසක්ද දක්නට ලැබිණ. මෙය ධනවාදයේ බිහිවීමටද කදිම අඩිතාලමක් වූ බව ඉතිහාසඥයන් පවසයි.

මහාමාරි උවදුර හේතුකොටගෙන ආණ්ඩු අධිකාරීන් සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් දියත් කිරීමට උත්සුක විය. මහාමාරිය මර්දනය වූ කල, වීථි පිරිසිදු කිරීමෙහිලා නිරත වීමට වෙනීසිය පියවර ගත්තේය. වසංගත රෝගයක් වැළඳීමේ හැකියාවෙන් එල්ල වූ තර්ජනය මැඩපැවැත්වීමට, යහපතා නමින් හැඳින්වූ ප්‍රංශයේ llවන ජුවාම් රජුද වීථි පිරිසිදු කිරීම සඳහා අණ දුන්නේය. ඔහු මේ පියවර ගත්තේ, වීථි පිරිසිදු කිරීමෙන් හා සේදීමෙන් අතීනස නගරය වසංගතයෙන් බේරූ ඉපැරණි ග්‍රීක ජාතික වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් දැනගත් පසුවයි. මධ්‍යකාලීන යුගයේ තනන ලද ප්‍රධාන වීථි, කුණු කසළ, මළමුත්‍ර යනාදිය ප්‍රවාහණය කිරීමේ කානු ලෙසද භාවිත විය. මේවා පිරිසිදු කරන ලදි.

අතීතයට සීමා වූ යමක් පමණද?

ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ විශේෂඥයෙකු වූ අලෙක්සෝන්ද්‍ර යර්සැන් මහාමාරි උවදුරට හේතුකාරක වූ බැසිලසය සොයාගත්තේ 1894දී පමණය. ඔහුව සිහි කිරීම සඳහා එයට නම් තැබුවේ යර්සැනියා පෙස්ටිස් යනුවෙනි. මීට වසර හතරකට පසුව, පෝල්-ලුවී සීමොන් නමැති තවත් ප්‍රංශ ජාතිකයෙකු රෝගය පැතිරවීමට (මීයන් වැනි ලෑටිගාන සතුන් පිට වෙසෙන) මැක්කන්ද හවුල් වන ආකාරය සොයාගත්තේය. සුදුසු එන්නතක් වැඩි දියුණු වූ අතර, සීමිත ආකාරයකින් වූ නමුත් යම්කිසි සාර්ථකත්වයක් ඉන් අත් විය.

එසේනම්, මහාමාරිය යනු අතීතයට සීමා වූ යමක් පමණද? කොහෙත්ම නැත. වර්ෂ 1910දී ශීත සෘතු කාලයේදී මැන්චූරියාවේ මේ හේතුවෙන් ජීවිත 50,000ක් බිලිගනු ලැබීය. සෑම වසරකම පාහේ රෝගයට අලුතෙන් ගොදුරුවූවන් දහස් ගණන් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වාර්තා වේ. දිනෙන් දිනම මේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. මේ රෝගයේ තවත් විශේෂද සොයාගෙන තිබෙන අතර, කිසිම ප්‍රතිකාරයකින් ප්‍රතිඵල අත් නොවේ. ඇත්තෙන්ම පෙනී යන්නේ මූලික සෞඛ්‍ය ප්‍රමිතීන් ක්‍රියාවට නොනැංවීමෙන් මනුෂ්‍ය පවුලට මහාමාරි උවදුරෙන් සැමදාම තර්ජනයක් එල්ල විය හැකි බවයි. “මධ්‍යකාලීන යුගයේ යුරෝපයට සීමා වූ රෝගයක් වනවා වෙනුවට මහාමාරිය යනු අනාගතයේ ඇති විය හැකි රෝගයකි” කියා ජාක්ලීන් බ්‍රොසොලේ සහ ආන්රි මොලරේ විසින් සකස් කරන ලද මහාමාරියට හේතුව කුමක්ද? මීයා, මැක්කා සහ බ්‍යූ’බො (ප්‍රංශ බසින්) මැයින් යුත් පොත නිගමනය කරයි.

[පාදසටහන]

a එකල ජීවත් වූ ජනයා එය හැඳින්වූයේ මහා වසංගත රෝගය යනුවෙනි.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම තමුන් සන්තක සියල්ල පල්ලියට දන් දුන්නේ දෙවි ඔවුන්ට සනීපාරක්ෂාව සපයාවී යන අපේක්ෂාවෙනි

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ෆ්ලැජලන්ට්වරුන්ගේ නිකාය

මහාමාරිය දෙවිගෙන් ලත් දඬුවමක් යන මතය දැරූ සමහරුන් දෙවිව පසසන්න වෑයම් කළේ තමන්වම කසෙන් හෝ ඉපලෙන් තළාගැනීමෙනි. මේ අනුව ෆ්ලැජලන්ට්වරුන්ගේ සහෝදරත්වය, මහාමාරිය පැතිරුණු කාලපරිච්ඡේදයේදී විශේෂ ජනප්‍රියත්වයක් ලබාගත් අතර, එහි සාමාජිකයන් 8,00,000ක් පමණ සිටි බවට වාර්තා වී තිබේ. එම නිකාය විසින් පැනවූ නීති මාලාවට අනුව, ස්ත්‍රීන් සමඟ කතා කිරීම, ඇඟපත සේදීම සහ ඇඳුම් මාරු කිරීම වැනි දේ තහනම් කරන ලදි. දවසකට දෙවතාවක් එහි බැතිමතුන්ව ප්‍රසිද්ධියේ තළන ලදි.

“බියෙන් සිහිවිකල් වූ ජනතාවකට යම් සීමා සහිත තෘප්තියක් හෝ සහනයක් ලැබීමට තිබුණු ක්‍රමවලින් එකක් වූයේ මෙලෙස තමන්වම තළාගැනීමයි” කියා මධ්‍යකාලීන අධර්මය (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි සඳහන් වේ. පල්ලි ක්‍රමය තුළ පදවි දැරීම සහ කොමිසන් දීමේදී ලාභ උපයාගන්නා ක්‍රියාවලිය හෙළා දැකීමට ෆ්ලැජලන්ට්වරුන් පසුබට වූයේ නැත. මෙනිසා 1349 වසරේදී පාප් මේ නිකාය හෙළා දැකීම පුදුමයක් නොවේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මහාමාරි උවදුර මර්දනය වූවාට පසුව මේ නිකාය, කිසිදු පිටස්තර බලපෑමකින් තොරව කෙමෙන් කෙමෙන් පිරිහීමකට ලක් විය.

[පින්තූරය]

ෆ්ලැජලන්ට්වරුන් දෙවිව පසසන්න වෑයම් කළා

[හිමිකම් විස්තර]

© Bibliothèque Royale de Belgique, Bruxelles

[21වන පිටුවේ පින්තූරය]

ප්‍රංශයේ මාර්සෙයි නගරයේ මහාමාරි රෝ උවදුර

[හිමිකම් විස්තර]

© Cliché Bibliothèque Nationale de France, Paris

[21වන පිටුවේ පින්තූරය]

අලෙක්සෝන්ද්‍ර යර්සැන් මහාමාරි උවදුරට හේතුකාරක වූ බැසිලසය සොයාගත්තේය

[හිමිකම් විස්තර]

Culver Pictures