අංගවිකල වුවත් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්
අංගවිකල වුවත් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්
කන්ස්ටන්ටීන් මරෝසෝෆ්ගේ කතාව
වර්ෂ 1936 ජූලි 20වෙනිදා මම ඉපදෙන කොට මගේ හිස් කබල සහ කොඳු ඇටය හැරෙන්න මගේ ශරීරයේ අනිත් ඇටකටු වැඩිලා තිබුණේ නැහැ. මගේ මුළු ශරීර කූඩුවම හැදිලා තිබුණේ වැඩිහිටි මනුස්සයෙකුගේ කනේ තියෙන කෝමලාස්ථි වගේ දුර්වල කෝමලාස්ථිවලිනුයි. මගේ බර කිලෝ භාගයකටත් වඩා අඩුවයි තිබුණේ. දුර්වල හෘද ස්පන්දනයත්, හෙමින් හෙමින් හුස්ම ගැනීමත්, යන්තම් සෙලවීමත් විතරයි පණ තියෙන බවට එකම සාක්ෂිය වුණේ.
රුසියාවේ හරි මැද පිහිටි උල්යානස්ක් ඕබ්ලස්ට්හි සාරා ගම්මානයේ ජීවත් වුණ, දරුවන් නමදෙනෙකුගෙන් යුත් පවුලක මම හත්වෙනියයි. මම ඉපදිලා සති තුනකට පස්සේ මගේ දෙමාපියන් මාව බව්තීස්ම කරන්න පල්ලියට අරගෙන ගියා. පැය කීපයකින් මම මැරෙයි කියලා පූජකයා හිතුව නිසා, ඔහු ඉක්මනින්ම වතුර ඉහලා, පුළුවන් තරම් ඉක්මනට මාව ගෙදර ගෙනියන්න කියලා මගේ දෙමාපියන්ට කිව්වා.
වර්ෂ 1937 ජනවාරියේදී, රුසියානු ජනරජයක් වූ ටාටර්ස්ටාන්හි අගනුවරේ විසූ විශේෂඥයන් කීපදෙනෙකුට පෙන්වන්න මගේ දෙමාපියන් මාව කශාන් නගරයට අරගෙන ගියා. එතකොට මට “අම්මා,” “තාත්තා” සහ “බබූෂ්ක” (ආච්චි) කියන්න පුළුවන්කම තිබුණා; මගේ සහෝදරයන්ගේ නමුත් මම දැනගෙන හිටියා. වෛද්‍යවරුන් මාව පරීක්ෂා කරලා බලලා, අවුරුද්දක් යන්න කලින් මම මැරෙයි කියලා මගේ දෙමාපියන්ට කිව්වා. මගේ ජීවිතය නැති කරලා, වෛද්‍ය ශිෂ්‍යයන්ට බලන්න පුළුවන් වෙන විදිහට බීකරයක දාලා තියන්න කියලා ඔවුන් කියා සිටියා. මගේ ආදරණීය දෙමාපියන් එහෙම නොකරන්න ස්ථිර අධිෂ්ඨානයක් ගත්ත එක ගැන මම මොනතරම් ස්තුතිවන්ත වෙනවද!
වේදනා විඳි ළමා කාලයක්
මගේ මතකයේ හැටියට, මම සෑහෙන කාලයක් ඇඟපතේ වේදනාවෙන් දුක් වින්දා. ඒත්, පොඩි කාලේ ඉඳන්ම, හොඳ මානසික තත්වයක් පවත්වගන්න මම උත්සාහ කළ අතර නිතරම සිනාමුසුව ප්‍රීතියෙන් ජීවත් වෙන්න වෑයම් කළා. මම පවත්වගත්ත ස්වභාවය ඒකයි. මගේ ශරීර කූඩුව ටිකෙන් ටික ශක්තිමත් වෙන්න පටන්ගත් අතර ඉඳගන්නත්, ටිකක් බඩගාන්නත් පුළුවන් වුණා. සාමාන්‍ය දරුවන් මෙන් මම වැඩුණේ නැති නිසා හුඟක් විරූපිවයි හිටියේ. ඒත් මම දක්ෂ ශිෂ්‍යයෙක් වුණා. වයස අවුරුදු පහ වෙද්දී මට කියවන්නත්, ලියන්නත් පුළුවන්කම තිබුණා.
වර්ෂ 1941 මැයිවලදී මගේ අම්මා මාව ආපහු පල්ලියට අරගෙන ගියා. හුඟදෙනෙක් එතැනට ඇවිත් දණගහගෙන යාච්ඤා කර කර හිටියා. සේවිකාවක් ඇවිත් අම්මා දණගහන්නේ නැත්තේ ඇයි කියලා ඇහැව්වා. අම්මා මාව ඇයට පෙන්නුවහම, පූජකයා එක්ක ඒ ගැන කතා කරන්න ඇය ගියා. සේවිකාව ආපහු ඇවිත් අපිව දොරටුව ළඟට එක්කගෙන ගිහින්, අම්මට කිව්වා මාව එළියෙන් තියලා අම්මට විතරක් ඇතුලට එන්න කියලා. ඇය පවසා සිටියේ මගේ දෙමාපියන්ගේ පව් නිසා “අපවිත්‍ර තැනැත්තා” මාව ඔවුන්ට දී ඇති බවයි. කඳුළු පිරි දෙනෙතින් අම්මා ආපහු ගෙදර ආවා. මම හුඟ වෙලාවක් යනකං හිතුවා ‘කවුද මේ “අපවිත්‍ර තැනැත්තා”’ කියලා.
වර්ෂ 1948දී මට අවුරුදු 12ක් වෙද්දී, අපේ නිවසේ ඉඳලා කිලෝමීටර් 80ක්
දුරින් වූ චූවාෂ් ජනරජයේ මෙරන්කි ගම්මානයට අම්මා මාව අරගෙන ගියා. එහෙ ඖෂධීය ගුණයෙන් යුත් වතුර උල්පතක් තිබුණා. අම්මා හිතුවා ඒ වතුරෙන් මාව සුව වෙයි කියලා. සුවය ලබන්න නම් කළ යුතු දේවල් කීපයක් තිබුණා. දවස් තුනක් මම නොකා ඉන්නත්, පල්ලියේදී සත්ප්‍රසාද ලබන්නත් අවශ්‍යයි කියලා පූජකයන් පැවසුවා. පල්ලිය කෙරෙහි මගේ ඒ තරම් විශ්වාසයක් තිබුණේ නැතත්, ඒ දේවල් කරන්න මම එකඟ වුණා. ඒ ගමන මට දීර්ඝ, දුෂ්කර එකක් වුණත්, භූදර්ශනයේ අලංකාරය දිහා බලාගෙන ඉන්න උත්සාහ කරමින් මම විඳදරාගත්තා.පල්ලියේ සෙනඟ පිරිලා හිටියා. අම්මා මාව සෙනඟ මැද්දෙ වඩාගෙන යද්දී මහලු කාන්තාවක් මට ටොපියක් දුන්නා. මම ඒක අරගෙන මගේ සාක්කුවේ දාගත්තා. සත්ප්‍රසාද ලබන්න මගේ වාරය පැමිණි විට, “පියතුමනි, එයාට සත්ප්‍රසාද දෙන්න එපා! මේ දැන් එයා ටොපියක් කෑවා!” කියලා මහලු කාන්තාව හයියෙන් කිව්වා. ටොපිය මගේ සාක්කුවේ තියෙනවා කියලා මම කිව්වත්, “උද්දච්ච කොල්ලා! තව මෙතන බොරුත් කියන්න එනවද? මේකව පල්ලියෙන් එළියට දාන්න!” කියලා පූජකයා කෑගහලා කිව්වා. කොහොමනමුත්, ඊළඟ දවසේදී වෙන පූජකයෙක් සත්ප්‍රසාදය පැවැත්වූ අතර මාව “ආශ්චර්ය” වතුරෙන් හේදුවා. ඒත්, කිසිම ආශ්චර්යයක් නම් සිද්ධ වුණේ නැහැ.
බුද්ධි වර්ධනයන්
ශාරීරික වශයෙන් මම සෑහෙන්න දුබලව හිටියත්, මගේ නහඹර වියේදී මම අධ්‍යාපනික හා බුද්ධිමය ඉලක්ක බොහෝමයක් අත් කරගත්තා. වර්ෂ 1956දී, මම කම්සමෝල් සංගමයට (යොවුන් කොමියුනිස්ට් සංගමයට) බැඳුණු අතර කල් යත්ම, තරුණයන්ට කම්සමෝල් ඉතිහාසය ඉගැන්නුවා. මම ආබාධිතයන්ගේ නිවාසයක මෙන්ම නිවාස හා සංස්කෘතික කොමිසමේ සාමාජිකයෙකුව සිටි අතර එහි ගුවන්විදුලි අධ්‍යක්ෂක හා නිවේදක වශයෙනුත් සේවය කළා.
ඊට අමතරව, මම අන්ධයන් සඳහා කැසට්පට තිබුණු ජංගම පුස්තකාලයක පුස්තකාලාධිපතියෙකු හැටියටත් කටයුතු කළා. මත්පැන් මර්දන ව්‍යාපාරයේ විනිසුරු කොමිසමේ සාමාජිකයෙක් හැටියටත් මාව තෝරාගෙන තිබුණා. මම කලා නිකේතනයකටත් සහභාගි වී සිංදු කිව්වා; සංගීත භාණ්ඩ කීපයක් වාදනය කළා.
ආබාධිතයන්ගේ නිවාසයේදී
වර්ෂ 1957දී, මට අවුරුදු 21ක් වුණහම, මගේ ශාරීරික දුබලතා නිසා මට ආබාධිතයන්ගේ නිවාසයට ඇතුල් වෙන්න සිද්ධ වුණා. ඒත්, මම අධෛර්යයට පත් වුණේ නැහැ. වර්ෂ 1963 ඔක්තෝබර්වලදී, මම මොස්කව්හි ශරීරාබාධ ප්‍රකෘතිමත් කිරීමේ විද්‍යා පර්යේෂණායතනයට ගියා. අන්තිමේදී එහිදී මගේ පාද කෙළින් කරන්න ශල්‍යකර්මයන් 18ක් සිදු කළා.
මුලින්ම, මගේ පාද දිගහැර තැබුවා. ඊට දවස් අටකට පස්සේ, ශල්‍යකර්මයක් සිදු කළා. පසුව, මගේ ඊළඟ ශල්‍යකර්මය වෙනකම් මගේ පාදවලට අච්චුවක් දාලා තිබ්බා. මම දරාගන්න බැරි වේදනාවකින් ඉන්න හැටි දැකලා හෙදිය ඇඬුවා.
ඊළඟ මාස හතරෙදී, මම කිහිලිකරුවලින් ඇවිදින්න ඉගෙනගත්තා. කිහිලිකරුවල ආධාරයෙන් මට අඩි තුනහමාරකට කිට්ටු උසකට මාව කෙළින් කරගන්න පුළුවන්. මගේ බර කිලෝග්‍රෑම් 25කට වඩා ටිකක් වැඩියි. මට කිහිලිකරුවලින් හොඳට ඇවිදින්න පුළුවන් වුණහම, 1964දී මම ආබාධිතයන්ගේ නිවාසයට ආපහු ගියා. අභාග්‍යයකට මෙන්, මගේ ඇඟේ බර නිසා දුර්වල පාදවල අස්ථිවලට බර දරන්න බැරුව ගිය නිසා, වැඩි කල් යන්න මත්තෙන්ම මට ආපහු එහෙ මෙහෙ යන්න සිද්ධ වුණේ බිම ඇදි ඇදී නැත්නම් රෝද පුටුවක ආධාරයෙනුයි. අද වෙනකම්ම මම වැඩියෙන්ම යන්නෙ එන්නෙ රෝද පුටුවෙනුයි.
මම ආපහු කවදාවත් පල්ලියට ගියේ නැහැ. මම ඉපදුණේ ‘අපවිත්‍ර තැනැත්තාගෙන්’ කියලා කිව්ව එක මගේ හිතේ ලොකු වේදනාවක් ඇති කරලා තිබුණා. නමුත් මගේ අම්මටයි තාත්තටයි මම හුඟක් ආදරේ කළා. ඉතින් මගේ තත්වයට ඔවුන්වත්, දෙවිවත් වැරදිකරුවන් කියන එකනම් මට කොහොමටවත් පිළිගන්න පුළුවන් වුණේ නැහැ. විරුද්ධතා මැද්දේ ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්න මම උත්සාහ කළා. අන්‍යයන්ට හොඳ දේවල් කරන්නත් විශේෂයෙන්ම, එසේ කිරීමට මට හැකියාවක් තිබෙන බව මටම ඔප්පු කරන්නත් මට වුවමනා වුණා.
ස්වාධීන ජීවිතයක් ගත කිරීම
වර්ෂ 1970දී, මම ලිඩියාව විවාහ කරගත්තා. ළමා කාලේ ඉඳලා ඇගේ එක පැත්තක් පණ නැති වෙලයි තිබුණේ. අපි පුංචි ගෙයක් අරගෙන එහි වසර 15ක් ජීවත් වුණා. ඒ කාලේදී ජීවිකාව රැකගන්න අපි දෙන්නම වැඩ කළා. මම ඔරලෝසු හා වෙනත් සියුම් උපකරණ අලුත්වැඩියා කරන්න ඉගෙනගත්තා.
වටිනා සේවාවන් රැසක් ඉටු කරගැනීමට පුහුණු කළ බල්ලෙක්ව මම යොදාගත්තා. ඇත්තවශයෙන්ම, බල්ලන් පුහුණුකරන්නෙකුයි මමයි එකතු
වෙලා බල්ලන් සඳහා විශේෂ ඇඳුමක් නිර්මාණය කළා. මට වල්කාන් හා පල්ම කියලා බල්ලෝ දෙන්නෙක් හිටියා. පල්ම අවුරුදු ගණනාවක්ම විශ්වාසවන්තව සේවයක් කළා. වෙළඳසැලේදී ඌ මා වෙනුවෙන් බඩු අරගත්තත්, ඌ කරන්න අකමැති වුණ එකම දේ තමයි මුදල් ගෙවන පෝළිමේ ඉන්න එක. දත්වලින් මගේ මුදල් පසුම්බිය ගෙනියන පල්මගේ කර පටියේ මගේ සාප්පු මල්ල සඳහා පුංචි කොක්කක් සවි කර තිබුණා.වර්ෂ 1973දී මගේ අම්මා හුඟාක් අසනීප වුණා. මම හැම තිස්සෙම ගෙදර හිටිය නිසා, මගේ භාර්යාවත්, මමත් තීරණය කළා අපි එක්ක නවතින්න ඇයව රැගෙන ඒමට. ඒ වෙනකොට මගේ තාත්තයි, මගේ සහෝදරයන් පස්දෙනෙකුයි මියගිහින් තිබුණු අතර, අනිත් අය ජීවත් වුණේ රුසියාවේ වෙනත් ප්‍රදේශවලයි. අම්මා අපි එක්ක ඉන්නකොට මට පුළුවන් උපරිමයෙන් ඇයට සැලකීමට මම උත්සාහ කළා. අන්තිමේදී වයස 85ක්ව සිටියදී ඇය මියගියා.
වර්ෂ 1978දී, මටම කියලා රථයක් හදාගන්න මම තීරණය කළා. වාහන කීපයක් හදමින් අත්හදා බැලීම් කළාට පස්සේ අවශ්‍ය විදිහට හොඳ එකක් හදාගන්න පුළුවන් වුණා. රජයේ මෝටර් රථ පරීක්ෂක මණ්ඩලය, රියැදුරු පරීක්ෂණයකට පෙනී සිටින්නත්, මගේ වාහනය ලියාපදිංචි කරන්නත් මට ඉඩ දුන්නා. මම ඒකට ඔසා (දෙබරා) කියලයි නම තිබ්බේ. මගේ භාර්යාවයි මමයි ඒකට හයි කරන්න පුළුවන් පොඩි ට්‍රේලර් රථයකුත් හැදුවා. ඒකේ කිලෝග්‍රෑම් 300ක බරක් ගෙනියන්න පුළුවන්. අපි දෙන්නට ඒකෙ නැඟලා යන්නත්, බඩු අරගෙන යන්නත් පුළුවන් වුණා. මෝටර් රථයක් බඳු මෙම වාහනයෙන් අපි 1985 වෙන තුරුම ප්‍රයෝජන ගත්තා.
ඒ වෙනකොට මගේ වම් ඇහැ සම්පූර්ණයෙන්මත්, දකුණු ඇහැ යන්තමිනුත් පෙනෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ ලිඩියා හෘදයාබාධයකින් පෙළුණා. වර්ෂ 1985 මැයිවලදී, අපේ ආබාධයන් නිසා, ඩිමිට්‍රෆ්‍රට් නගරයේ තිබුණු ආබාධිතයන්ගේ නිවාසයේ පදිංචියට යන්න සිද්ධ වුණා.
මම දැන් හුඟක් සතුටින් ඉන්න හේතුව
වර්ෂ 1990 ගිම්හානයේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපේ නිවාසයට ආවා. ඔවුන් ඉගැන්නුව දේ මගේ සිතට තදින් කාවැදුණා. අන්ධව උපන් මිනිසෙකු සම්බන්ධව යොහන්ගේ සුවිශේෂයේ තිබුණු කොටස ඔවුන් මට පෙන්නුවා. ඔහු සම්බන්ධයෙන්, යේසුස් මෙසේ පැවසුවා: ‘මොහුවත් මොහුගේ මව්පියන්වත් පව් කළේ නැහැ.’ (යොහන් 9:1-3) අපේ මුතුන්මිත්තෙකු වූ ආදම්ගෙන් අපි පාපය හා අසනීප උරුම කරගෙන තිබෙන බවත් ඔවුන් පැහැදිලි කළා.—රෝම 5:12.
කොහොමනමුත්, හැම දේටම වඩා මගේ සිත ගත්තේ, දෙවි ආපහු පොළොවේ පාරාදීසය පිහිටුවන විට, ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍ය පාලනය යටතේ ජීවත් වෙන්න ලැබෙන හැම කෙනෙකුගේම ලෙඩ සුව වෙනවා කියන එකයි. (ගීතාවලිය 37:11, 29; ලූක් 23:43; එළිදරව් 21:3-4) මගේ කම්මුල් දිගේ සතුටු කඳුළු රූරා වැටෙද්දී, “මට සත්‍යය හම්බ වුණා, මේක තමයි සත්‍යය!” කියලා මම සෙමින් මිමුණුවා. වසරක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරලා, යෙහෝවා දෙවිට මගේ කැපවීම සංකේතවත් කිරීමට 1991දී බව්තීස්ම වුණා.
යෙහෝවාට සේවය කරන්නත්, ඔහුගේ මවිතාකාර අරමුණු ගැන දේශනා කරන්නත් දැඩි ආශාවක් මා තුළ තිබුණත්, බාධක ගණනාවකටම මූණ දෙන්න මට සිද්ධ වුණා. කලින් මට වැඩිය එහෙට මෙහෙට යන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී මගේ විශ්වාසයන් අනිත් අයට කියා දෙන්න පිටට යන්න සිද්ධ වුණා. මගේ මුල්ම
දේශනා ක්ෂේත්‍රය වුණේ 300කට වඩා වැඩිදෙනෙකු සිටි ආබාධිතයන්ගේ නිවාසයයි. මට බොහෝදෙනෙකුව හමු වෙන්න පුළුවන් වෙන නිසා, ගෙදර දොරේ වැඩකටයුතු සඳහා වෙන් කර තිබූ කාමරයේ වැඩ කරන්න මට පවරන්න කියා මම ඉල්ලා සිටියා.හැම උදෑසනකම මම මගේ වැඩ කරන ස්ථානයේ ඉඳගෙන මට පවරලා තිබෙන වැඩ කොටස කරගෙන ගියා. මගේ වැඩ කරගෙන යද්දී, මම අලුත් යාළුවෝ ගොඩක් ඇති කරගත්තා. ඔවුන් සමඟ බයිබල් විෂයන් සම්බන්ධයෙන් මම හොඳ සාකච්ඡාවන් පවත්වලා තියෙනවා. බයිබලය තේරුම්ගන්න උපකාර වෙන පොත් හා සඟරාත් ඔවුන්ගෙන් හුඟදෙනෙක් ලබාගත්තා. පැමිණෙන අමුත්තන් මට කියලා බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන කියවගන්නවා. කෑම වෙලාවෙදී, හුඟක් වෙලාවට මගේ භාර්යාවයි, මමයි ඉන්න කාමරයට කට්ටිය පිරෙන නිසා තවත් කාටවත් ඇතුල් වෙන්න විදිහක් නැහැ.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවෙන් එන ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්, දේශනා වැඩයේ යෙදීමට මට හුඟක් උපකාර කරලා තියෙනවා විතරක් නෙවෙයි මට බයිබල් පොත් පත් ගෙනත් දීලා, මායි මගේ භාර්යාවයි එක්ක කාලයත් ගත කරනවා. රාජ්‍ය ශාලාවල සභා රැස්වීම්වලට යන්නත් ඔවුන් මට උපකාර කරනවා. එක සාක්ෂිකරුවෙක් මාව එහෙ මෙහෙ ගෙනියන්න ඕන නිසාම පැත්තකින් රථයක් සවි කර තිබෙන මෝටර් සයිකලයක් අරගත්තා. ශීත කාලයේදී මෝටර් රථ තිබෙන වෙනත් අය අදිමදි කරන්නේ නැතුව මාව එක්කරගෙන යන්න ඉදිරිපත් වෙනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළු, එහෙමත් නැත්නම් අධ්‍යාපනික දේශන දොළහකට වඩා සහභාගි වෙන්න මට පුළුවන් වෙලා තියෙන්නේ එවැනි ප්‍රේමනීය සැලකිල්ලක් ඔවුන් දක්වන නිසයි. මම මුලින්ම ගියේ 1993 ජූලිවලදී මොස්කව්හි පැවැත්වූ විශාල ජාත්‍යන්තර සමුළුවටයි. එහි රටවල් 30කට වැඩි ගණනකින් 23,743දෙනෙකුගෙන් යුත් ඉහළ සංඛ්‍යාවක් ඇවිත් හිටියා. එම එක්රැස්වීමට යන්න මට කිලෝමීටර් 1,000ක දුරක් යන්න සිද්ධ වුණා. එදා ඉඳලා මම කවදාවත් යෙහෝවාගේ ජනයාගේ සමුළුවක් අතපසු කරලා නැහැ.
ආබාධිතයන්ගේ නිවාසයේ පාලකයන් මට ලොකු ගෞරවයක් දක්වන එක ගැන මම හුඟක් ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 30ක් පුරා සමඟියෙන් එකට ජීවත් වෙන මගේ භාර්යාව ලිඩියා, මගේ ආගමේ නොසිටියත් මට අවශ්‍ය සහයෝගය දෙනවා. නමුත් ඒ සියල්ලටමත් වඩා, යෙහෝවා, ඔහුගේ බලවත් හස්තයෙන් මට සහයෝගය දෙන අතර ඔහුගේ මහිමාන්විත ආශීර්වාදවලින් මාව නහවනවා. කලකට ඉස්සෙල්ලා, 1997 සැප්තැම්බර් 1වෙනිදා මාව පුරෝගාමියෙක් හැටියට පත් කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන සේවකයන්ව හඳුන්වන්නේ ඒ නමින්.
මගේ හෘද ස්පන්දනය නැවතිලා, මාව මැරෙන්න ගිය අවස්ථා කීපයක්ම මගේ ජීවිතයේ තිබෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ නූණ එක ගැනත්, ජීවනයේ උල්පත වන යෙහෝවා දෙවිව දැනගන්නත්, ඔහුට ප්‍රේම කරන්නත් මට අවස්ථාව ලැබුණ එක ගැනත් මම දැන් මොනතරම් සතුටු වෙනවද! මට පණ තියෙනකම්ම ලොව පුරා සිටින මගේ ආත්මික සහෝදර සහෝදරියන් එක්ක දිගටම ඔහුට සේවය කරන්නයි මට ඕනෙ.
[23වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව ලිඩියා එක්ක
[24වන පිටුවේ පින්තූරය]
අපේ ආබාධිත නිවාසයෙහි ශිෂ්‍යයෙකුට උගන්වමින්