Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අහිතකර ජීවන-රටා ගත වූ මාස කීපයේදී මගේ සෞඛ්‍යය හොඳටම දුර්වල වෙලා තිබුණත්, අපේ ජීවන-රටාව වෙනස් කිරීමෙන් අපේ සෞඛ්‍යය යථා තත්වයට පත් කරගත හැකි බව දැනගන්න ලැබීම දිරිගන්වන්නක්. “ඔබේ ජීවන-රටාව ඔබට මරු කැඳවයිද?” (1999 ජූලි 8, ඉංග්‍රීසියෙන්) යන ලිපි මාලාව කියවීමෙන් සමහර ආහාර ගැනීම අඩු කිරීම අවශ්‍ය බව මා දැනගත්තා. ඒ වගේම පලතුරු හා එළවළු වැඩියෙන් ඇතුළත් වඩාත් සමබර ආහාර වේලක් ගැනීම අවශ්‍ය බවත් මා දැනගත්තා.

ඊ. පී. එම්., බ්‍රසීලය

ප්‍රමාද වූ ප්‍රතිචාරය “අවුරුදු ගණනාවකට පසුව ඵල දැරූ බීජ” යන ලිපියෙන් මා දිරිගැන්වීමක් ලැබුවා. (1999 ජූලි 8) මම පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරියක් වශයෙන් සේවය කරන තුන්වෙනි වසරයි මේ. ඉතින් මම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල මට නොලැබෙන විට මට කලකිරීමක් ඇති වෙනවා විතරක් නෙවෙයි සේවය නවත්වලා දාන්නත් හිතෙනවා. මේ ලිපිය කියවීමෙන් මට පුළුවන් විදිහට මගේ උපරිමය කරන්නත්, ප්‍රතිඵල ලබා දීම යෙහෝවාට භාර කරන්නත් මට හැකි වෙලා තියෙනවා.

ටී. එන්., ජපානය

සමච්චල් කර “යෞවන අය අසති . . . කොහොමද මම සමච්චල් කිරීමට හොඳින් මුහුණ දෙන්නේ?” යන 1999 ජූලි 8 ලිපිය කියවීමෙන් මම සතුටක් ලැබුවා. ළදරු පාසැලට ගිය කාලයේ ඉඳන්ම පාසැල් මිතුරන් මගේ විශ්වාසයන් ගැන මගෙන් ප්‍රශ්න කළා. සමහර අවස්ථාවලදී ඔවුන් ඒවා අහපු විදිහට මට වේදනාවක් ඇති වුණා. හුඟක් අවස්ථාවලදී මට කේන්ති ගිහින් තියෙනවා. මේවා ඇදහිල්ල පරීක්ෂාවට ලක් කරන බව දැන් මට වැටහෙනවා. ඊට අමතරව, මම පාසැලේ වෙනත් අයට සාර්ථකව සාක්ෂි දරලා තියෙනවා.

එල්. සී., එක්සත් ජනපදය

සමහර නිවාඩු දිනයන් පැවැත්වීම හෝ දේශප්‍රේමී උත්සවවල හවුල් වීම ප්‍රතික්ෂේප කළ නිසා මට සරදම් කරලා තියෙනවා. අවංක වීම හා බයිබලයේ තියෙන සදාචාර ප්‍රමිති පිළිපැදීම නිසාත් මට හිරිහැර කරලා තියෙනවා. නිවැරදි දැනුම ලබාගැනීම, මාවම ආරක්ෂා කරගැනීමට මට උපකාරයක් වෙලා තියෙනවා. ලැජ්ජා නොවී මගේ විශ්වාසයන් හෙළි කරන්න මෙය මට උපකාර වෙනවා.

එච්. සී., සැම්බියාව

වයස අවුරුදු 50 පැනලා ඉන්න මම නහඹර විය පහු කරලා හුඟ කලක් ගත වෙලා තිබුණත් මම මේ ලිපිය අගය කරනවා. දේවසේවයේදී අපට මූණ දෙන්න සිදු වන විරුද්ධවාදිකම් නිසා අපට පසුබෑමක් ඇති වෙන්න පුළුවන් වගේම එකටෙක කිරීමේ චේතනාවක් ඇති වෙන්න පුළුවන් අවස්ථාත් තිබෙනවා. “සමච්චලයට පවසන දේට විරුද්ධව කොතෙක් දක්ෂ ලෙස ප්‍රතිඋත්තරයක් දුන්නත්, එයින් සිදු වන්නේ ගින්නට පිදුරු දැමීමක් පමණක් වන අතර, තවදුරටත් සරදම් කිරීමට එය දිරිගැන්වීමක් පවා විය හැකියි” යන සිහිගැන්වීම මම අගය කරන්නේ ඒ නිසයි. එකටෙක කරනවා වෙනුවට මම මාව ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන අතර, එය දිගටම කරමින් සිටීම අවශ්‍ය බව මේ සිහිගැන්වීම මට ඒත්තුගැන්නුවා.

ඒ. එෆ්., එක්සත් ජනපදය

දිගු කල් ජීවත් වීම “දිගු කල් ජීවත් වෙමින් සතුටු වන අයුරු” (1999 ජූලි 22, ඉංග්‍රීසියෙන්) යන තේමාවෙන් පළ වූ ඔබේ කදිම ලිපි මාලාව සම්බන්ධයෙන් යමක් ලිවිය යුතුයයි මට හැඟුණා. සාමාන්‍ය ජීවිත කාලය හා ආයු අපේක්ෂාව අතර වෙනස තේරුම්ගන්න පුළුවන් වන විදිහේ පැහැදිලි කිරීමක් දැන් මට ලැබී තිබෙනවා. ඒ වගේම, වයසට යෑමේදී සිදු වන දුර්වලකම් වළක්වාගත හැකි ආකාරය සම්බන්ධයෙන් එහි ඇති හොඳ උපදෙස්, ආත්ම අනුකම්පාවේ හැඟීම්වලින් පීඩා විඳින 88-හැවිරිදි මගේ සීයාට උපායශීලීව උපකාර කිරීමට මට යොදාගත හැකි සිහිගැන්වීම් වෙනවා.

ටී. එන්., එක්සත් ජනපදය

සවන් දෙන බල්ලා “මගේ බල්ලා මා වෙනුවෙන් සවන් දෙනවා” (1999 ජූලි 22, ඉංග්‍රීසියෙන්) යන ලිපිය වෙනුවෙන් ඔබට ස්තුති කරන්න මම කැමතියි. ඇසීමේ දෝෂ ඇති අයට බරපතළ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වන බව දැන සිටීම, ඔවුන්ව වඩාත් හොඳින් තේරුම්ගැනීමට මට උපකාරයක් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මම බල්ලන්ට ආදරෙයි. ඒ වගේම බොහෝදෙනෙකුට උපකාර කරන්න හා සහයෝගය දෙන්න උන්ට පුළුවන් විදිහ දැනගැනීමට ලැබීමෙනුත් මම සතුටක් ලැබුවා.

එල්. බී., ඉතාලිය

මටත් උපකාරවත් බල්ලෙක් ඉන්නවා. මට කොන්දේ පණ නැති ගතියක් සහ ෆයිබ්‍රෝමයල්ජියාව තිබෙන නිසා මගේ කාලයෙන් වැඩිහරියක් ගත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ රෝද පුටුවකයි. ඌ මං වෙනුවෙන් කරන දේවල් ගැන විස්තර කරන්න ඇත්තෙන්ම මට වචන නැහැ. මම සාප්පු යන විටත්, නිවස පිරිසිදු කරන විටත් ඌ මට උපකාර කරනවා. වෙන එකක් තියා ක්‍රිස්තියානි දේවසේවයේ යද්දී මගේ පොත් බෑගය උස්සගෙන යන්නෙත් ඌයි.

කේ. ඩබ්ලියු., එක්සත් ජනපදය