Skip to content

පටුනට යන්න

ඇයි මගේ මිතුරිය මාව රිදෙව්වේ?

ඇයි මගේ මිතුරිය මාව රිදෙව්වේ?

යෞවන අය අසති . . .

ඇයි මගේ මිතුරිය මාව රිදෙව්වේ?

“මට හිටියා මිතුරියන් කීපදෙනෙක් . . . එයාලා තවත් ගැහැනු ළමයෙක් එක්ක මිතුරු වුණාට පස්සේ හැමෝම කතා කරන වේලාවට මම ගියාම, කතාව නතර කරනවා. . . . එයාලාගේ මොනම දෙයකටවත් මාව හවුල් කරගත්තේ නෑ. ඒකට මගේ හිත හොඳටම පෑරුණා.”—කැරන්. a

එය හොඳම මිතුරන්ටද සිදු වෙන්න පුළුවන්. එක දවසක දෙන්නව වෙන් කරන්න බැරි තරමට මිත්‍රත්වයෙන් වෙළිලා. අනික් දවසේ දෙන්නාට දෙන්නා කතා කරන්නේවත් නෑ. “මිතුරියක් කියන්නේ විශ්වාස කළ හැකි සහ රඳා පවතින්න පුළුවන්, ඒ වගේම ඕනෑම අවස්ථාවක උපකාරයක් පැතිය හැකි කෙනෙකුට” කියා 17 හැවිරිදි නෝරා පවසනවා. සමහර අවස්ථාවල ඔබේ හොඳම මිතුරිය වුණත් සතුරෙක් විදිහට කටයුතු කරන්න පටන්ගන්න පුළුවන්.

මිතුදම් පලුදු වන අවස්ථා

මිතුරුකමක් හතුරුකමක් වීමට හේතු වන්නේ මොකක්ද? සැන්ඩ්‍රාගේ ප්‍රශ්නය පටන්ගත්තේ ඇගේ මිතුරිය මෙගන් ඇගේ ආසම ඇඳුම අඳින්න ඉල්ලගත්තට පස්සෙයි. සැන්ඩ්‍රා මෙසේ පවසයි: “එයා ආපහු ඇඳුම ගෙනත් දුන්නේ හොඳටම කිලුටු කරලා. අතත් ටිකක් ඉරිලා තිබුණා. මම දකින එකක් නෑ කියලා වෙන්න ඇති ඒ ගැන කිසි දෙයක් කිව්වේ නැත්තේ.” මෙගන්ගේ නොසැලකිලිමත්කම ගැන සැන්ඩ්‍රාට කෙසේ හැඟෙන්න ඇද්ද? ඇය මෙසේ පැවසුවා: “මගේ ඉවසීම නැතිව ගියා. මට හිතුණේ මගේ දේවල්වලටවත් . . . මං ගැනවත් එයාට කිසිම සැලකිල්ලක් තිබුණේ නෑ කියලයි.”

හොඳම මිතුරිය කියන හෝ කරන දෙයකින් ඔබව ලැජ්ජාවට පත්වීම නිසාද සිත් රිදවීම් ඇති විය හැකියි. මෙය සින්ඩිට අද්දකින්න සිදු වුණා. ඇය ඇගේ රචනාව ලිවීම සඳහා ඊට අදාළ පොතක්වත් තවම බැලුවේ නෑ කියා පාසැල් මිතුරන් කණ්ඩායමකට පවසන කොට එකපාරටම ඇගේ මිතුරිය කේට් ඇයට බනින්න පටන්ගත්තා. සින්ඩි එය සිහි කරමින්, “ඇය මිතුරියන් කට්ටියම ඉස්සරහ මාව ලැජ්ජ කළා. එයත් එක්ක මට පුදුම කේන්තියක් ඇති වුණේ. ඊට පස්සේ තමයි හැම දෙයක්ම වෙනස් වුණේ.”

සමහරක් අවස්ථාවල ඔබේ මිතුරිය තවත් අලුත් මිතුරියක් එක්ක කාලය ගත කරන විටද භේදයක් හටගන්නවා. දහතුන් හැවිරිදි බොනී මෙසේ පැවසුවා. “මට හිටියා හොඳ මිතුරියක්, එයා එක ක්ලික් එකකට එකතු වුණාට පස්සේ මාව ගණන් ගත්තේ නෑ.” සමහර අවස්ථාවල මිතුරුකමේ යටි අදහස් දැනගත් විටත් සිත රිදෙනවා. දහතුන් හැවිරිදි ජෝ පවසන්නේ “මමයි බොබියි හොඳ මිත්‍රයෝ. මම හිතුවේ ඇත්තටම ඔහු මගේ පෞද්ගලිකත්වයට ප්‍රිය කරනවා කියලා. බලාගෙන ගියාම එයා මට නෙමෙයි කැමති වෙලා ඉඳලා තියෙන්නේ මගේ තාත්ති වැඩ කරන ප්‍රචාරක ආයතනයෙන් නොමිලේ ලැබෙන ටිකට්පත්වලට. මොකද ඒගොල්ලන්ට ක්‍රීඩා තරඟවලටයි සන්දර්ශනවලටයි හොඳ ගානකට ටිකට් ලැබෙනවානේ.” දැන් ජෝට හැඟෙන්නේ කෙසේද? ඔහු පවසන්නේ, “මම ආයෙත් බොබිව නම් විශ්වාස කරන්නේ නෑ.”

සමහර අවස්ථාවල ඔබට රහසිගතව තබාගත යුතු කාරණයක් ඔබේ මිතුරිය අනික් අයට හෙළි කිරීම නිසාද ගැටලු ඇති විය හැක. උදාහරණයකට ඇලිසන්ගේ සිද්ධිය සලකා බලන්න. ඇය සාරා සමඟ කාර්යාලයේ තමන් සමඟ වැඩ කරන මිතුරියක් සමඟ තිබූ පෞද්ගලික ප්‍රශ්නයක් ගැන කතා කළා. ඊළඟ දවසේ සාරා එම කාර්යාල මිතුරිය ඉදිරියේම ප්‍රශ්නය ඇදලා ගත්තා. “මම කවමදාකවත් හිතුවේ නෑ ඇයට ඒ වගේ වාචාල කටක් තියෙනවා කියලා! මට ඉවසුම් නැතුව ගියා” කියා ඇලිසන් පවසනවා. දහසය හැවිරිදි රේචල්ටත් මේ දේම සිදු වුණා. ඇගේ හොඳම මිතුරිය, දෙදෙනා පෞද්ගලිකව කතා කළ සිද්ධියක් හෙළි කළා. රේචල් පැවසුවේ “මට ලැජ්ජාවක් වගේම මාව පාවා දුන්නා කියලා හැඟුණා. ආයෙත් ඇයව විශ්වාස කරන්නේ කොහොමද කියලා මටම හිතුණා.”

මිතුදමක් මානසික සහනයක් සපයනවා. විශේෂයෙන්ම වෙනත් කෙනෙකු සමඟ සුහදතාවක්, විශ්වාසය හා ගෞරවය ලැබීමට අවශ්‍යතාවක් ඇති විටකදී ඇත්තෙන්ම මිතුදම දායාදයකි. එහෙත්, හොඳ මිතුදමකට ඇතැම් පීඩනද එල්ල විය හැකියි. බයිබලය පැහැදිලිවම පවසන්නේ, “එකිනෙකාව කැබලි කරන්ට නැඹුරු වන මිත්‍රයෝද සිටිති” කියායි. (හිතෝපදේශ 18:24, NW) හේතුව කුමක් වුවත්, මිතුරියක් විසින් ඔබව පාවා දෙනු ලැබුවා යන හැඟීම මහා විනාශයක් ඇති කළ හැකියි. මෙවැනි දෙයක් සිදු වන්නේ ඇයි?

මිතුදම් කැඩෙන්නේ ඇයි?

තරුණයන් හෝ වැඩිහිටියන් අතර වේවා කිසිම මිනිස් සබඳතාවක් ගැටලුවලින් නම් නිදහස් නෑ. ක්‍රිස්තියානි ශ්‍රාවක යාකොබ් ඊට හේතුව මනාව පැහැදිලි කළා. “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පුර්ණ මනුෂ්‍යයෙක්ය.” (යාකොබ් 3:2; 1 යොහන් 1:8) හැමෝම වැරදි කිරීමට නැඹුරුවාවක් දක්වනවා. ඒ නිසා යම් දිනක මිතුරියක් ඔබව රිදවීම සඳහා යම් දෙයක් කිරීමට හෝ පැවසීමට හැකියි කියා බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහරවිට ඔබත් එම පුද්ගලයාව යම් අවස්ථාවල රිදවා තිබෙනවා කියා ඔබට මතක් වෙන්නේ නැද්ද? (දේශනාකාරයා 7:22) “අපි හැමෝම අසම්පූර්ණයි, ඒ නිසා ඉඳහිට අපි වැරදි විදියට එකිනෙකා සමඟ කටයුතු කරනවා” කියා 20 හැවිරිදි ලීසා පවසනවා.

මිනිස් අසම්පූර්ණකමට අමතරව වෙනත් හේතූන්ද දායක වෙන්න පුළුවන්. මතක තියාගන්න, ඔබ වර්ධනය වෙමින් මේරූකමට පත් වන විට ඔබේ ආශාවන් වගේම ඔබේ මිතුරන්ගේ ආශාවන්ද වෙනස් විය හැකියි. ඒ නිසා, එක් කාලයකදී දෙදෙනාටම තිබූ සමාන සිතුම් පැතුම් දැන් ටිකෙන් ටික වෙනස් වෙනවා. එක් පහළොස් හැවිරිදි යෞවනියක් ඇගේ හොඳම මිතුරිය ගැන මෙසේ දුක් වුණා. “දැන් අපි නිතරම දුරකථනයෙන් කතා කරන්නේ නෑ. කතා කළත් එක දෙයක් ගැන දෙදෙනාම කලාතුරකින්වත් එකඟතාවයකට ආවේ නෑ.”

ඇත්තෙන්ම, මෙසේ එකිනෙකාගෙන් ඈත්වීම එක දෙයක්. එහෙත් සමහර අය තම මිතුරන්ව රිදවන්නේ ඇයි? ඒ ඊර්ෂ්‍යාව නිසයි. උදාහරණයකට, සමහරවිට ඔබේ හැකියාවන් සහ කුසලතාවන් නිසාත් ඔබේ මිතුරිය ඔබ සමඟ අමනාප වෙන්න පුළුවන්. (සසඳන්න උත්පත්ති 37:4; 1 සාමුවෙල් 18:7-9.) බයිබලය පවසන්නේ, “ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය” කියායි. (හිතෝපදේශ 14:30) මෙයින් ඇති වන ප්‍රතිඵලය වෙන්නේ කුඩුකේඩුකම සහ ඩබරයයි. හේතුව කුමක් වුවත්, මිතුරියක් සිත රිදෙව්වා නම් ඔබට කුමක් කළ හැකිද?

පිළියම් යෙදීම

“මුල්ම දෙය” හැටියට “මම කරන්නේ ඔහු හෝ ඇය එය කළේ හිතාමතාමද නැද්ද කියා දැනගන්න පුද්ගලයාව හොඳින් නිරීක්ෂණය කරන එකයි” කියා රේචල් පවසනවා. ඔබට ලැජ්ජා වන ආකාරයට යමක් පැවසුවොත් හෝ කළොත්, ඒ අවස්ථාවේ ඇති වන ආවේගයට අනුව ක්‍රියා කරන්න එපා. ඒ වෙනුවට, ඉවසීමෙන් ප්‍රශ්නය ගැන හොඳින් කල්පනා කරන්න. (හිතෝපදේශ 14:29) දුරදිග නොබලා කටයුතු කිරීමෙන්, සිදු වුණ ලැජ්ජාව අඩු වෙනවද නැතිනම් ලැජ්ජාව තවත් වැඩි කරනවද කියා සිතන්න. කාරණාව හොඳින් සිතා බලා ගීතාවලිය 4:4හි ඇති උපදේශ ඔබට අනුගමනය කළ හැකියි. එහි පවසන්නේ, “[හිත කැලඹුණත්, NW] පව් නොකරව්. යහනේදී නුඹලාගේම සිතින් විමසා නිශ්චලවව්” කියායි. ඒ වගේම ‘ප්‍රේමයෙන් පව් රාශියක් වසන්න’ යන උපදේශයද ඔබට අනුගමනය කළ හැකියි.—1 පේතෘස් 4:8.

ඔබට එම සිද්ධිය පහසුවෙන් අමතක කරන්න බෑ කියා සිතෙනවා නම් තත්වය මොකක්ද? හොඳම දේ වන්නේ අදාළ පුද්ගලයා සමඟ කතා කිරීමයි. “සිදු වුණ දේ ගැන ඔබ දෙදෙනා පමණක් එකට එකතු වී කතා කරන්න” කියා දහතුන් හැවිරිදි ෆ්‍රෑන්ක් පවසනවා. “නැත්නම් අමනාපය දිගින් දිගටම තියේවි.” දහසය හැවිරිදි සූසන්ද එයට එකඟ වෙනවා. “කිරීමට ඇති හොඳම දේ එයයි. ඔබට තිබූ විශ්වාසය ඔවුන් කඩ කළ ආකාරය කියන්න” කියා ඇය පවසනවා. ජැකලින් පවසන්නේ ඇයත් ගැටලුව පෞද්ගලිකව විසඳාගැනීමට වැඩි කැමැත්තක් දක්වන බවයි. “මම කාරණය කෙළින්ම කතා කරනවා” කියා ඇය පවසනවා. “සාමාන්‍යයෙන් එම පුද්ගලයා ඔබත් සමඟ අවංකව කතා කරනවා නම් ප්‍රශ්නය එම අවස්ථාවේදීම විසඳගන්න පුළුවන්.”

හැබැයි, කේන්තිය හිතේ තියාගෙන නම් මිතුරිය සමඟ කතා කරන්න එපා. “තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි” කියා බයිබලය පවසනවා. (හිතෝපදේශ 15:18) එමනිසා, ගැටලුව විසඳගන්න යෑමට පෙර ඔබ සන්සුන් වෙන්න. “සිද්ධිය වුණු හැටියේම ඔබව පාලනය කරගන්න බැරි වේවි” කියා ලීසා පිළිගන්නවා. “එහෙත්, ඔබ සන්සුන් විය යුතුයි. එම පුද්ගලයා සමඟ ඔබේ හිතේ තියෙන කේන්තිය නිවුණාට පස්සේ සමාදානයෙන් කාරණය ගැන සාකච්ඡා කරන්න.”

මෙහිදී වැදගත්ම වචනය ‘සමාදානයයි.’ ඔබේ අරමුණ ඔබේ මිතුරියට හොඳවායින් දෙක තුනක් කීම නොවන වග මතක තියාගන්න. අපට උවමනා කරන්නේ ගැටලුව විසඳාගෙන හැකි නම් මිත්‍රත්වය බේරාගැනීමයි. (ගීතාවලිය 34:14) එමනිසා, හිතට එකඟව කතා කරන්න. ඔබට මෙසේ පැවසිය හැකියි, “අපි හොඳ මිතුරියන්, එහෙත් ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා මට දැනගන්න ඕනේ” කියා ලීසා යෝජනා කරනවා. “සිද්ධියට මුල් වූ හේතුව ඔබ දැනගන්න අවශ්‍යයි. එසේ කළාම කටයුතු කිරීම පහසුයි.”

සමහරවිට ඔබ වරද කළ පුද්ගලයාගේ වැරදි අනිත් අය සමඟ කතා කිරීම සහ අනිත් අයව ඔබේ පැත්තට හරවාගැනීම වැනි දේ සුදුසු නෑ. මන්ද එකට එක කිරීම වැරදි ක්‍රියාවක්. ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් රෝමවරුන්ට ලිව්වේ, “කාටවත් නපුරට නපුර නොකරන්න” කියායි. (රෝම 12:17) එමනිසා ගැටලුව කෙතරම් දරුණු වුණත් එකට එක කිරීමෙන් සිදු වෙන්නේ ගැටලුව තවත් උග්‍රවීමයි. “පළිගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ” කියා නෝරා පවසනවා. “ඒකෙන් වෙන්නේ මිතුරුකම කැඩෙන එකයි.” ඒ වෙනුවට ඇය පවසන්නේ, නැවත මිත්‍රත්වය ගොඩනැඟීමට ඔබට පුළුවන් දේ කිරීමෙන් “ඔබ තුළ හොඳ හැඟීමක් ඇති වෙනවා” කියායි.

එහෙත් නැවත මිත්‍රත්වය ඇති කරගැනීමට ඔබ ගන්නා උත්සාහයට මිතුරිය කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම්? මෙවැනි අවස්ථාවක, මිතුරන් අතර ඇති වන බැඳීම විවිධයි කියා මතක තියාගන්න. “හැම මිතුරියක්ම කිට්ටු මිතුරියක් නොවෙයි” කියා පවුල් උපදේශිකාවක් වන ජූඩිත් මැක්ලීස් පවසනවා. “ඔබට විවිධ මට්ටමේ සම්බන්ධකම් ඇති කරගත හැකියි.” එසේවුවත්, නැවත සමාදානය ඇති කිරීමට ඔබේ කොටස කළ නිසා සන්තෝෂ වෙන්න පුළුවන්. ප්‍රේරිත පාවුල් ලියූ දේ බලන්න. “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:18, ඇල අකුරු අපගේය.

හොඳ මිත්‍ර සබඳතාවලදී පවා ගැටලු ඇති විය හැකියි. එම ගැටලුව ඔබ අනිත් අය දෙස බලන ආකාරයට සහ ඔබේ ආත්මගෞරවයට හානියක් නොවන ලෙස මඟහරින්න පුළුවන් නම් එයින් නිරූපණය වන්නේ ඔබ දැන් මේරූ වැඩිහිටියෙක් වීමට ආසන්න බවයි. සමහර අය ‘එකිනෙකාව කැබලි කරන්ට නැඹුරු වුවත්’ “සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය” කියාද බයිබලය අපට සහතික කරනවා.—හිතෝපදේශ 18:24.

[පාදසටහන]

a මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

[15වන පිටුවේ පින්තූර]

සිදු වුණ දේ ගැන කතා කිරීමෙන් නැවත මිතුදම ඇති කරගත හැකියි