Skip to content

පටුනට යන්න

කාටත් හොරා සිදු වන අපරාධයක්

කාටත් හොරා සිදු වන අපරාධයක්

කාටත් හොරා සිදු වන අපරාධයක්

“කිසිම කෙනෙකුව වහලෙකු ලෙස හෝ මෙහෙකාරයෙකු ලෙස සිර කර නොතැබිය යුතුය. මෙහෙකාරකම සහ වහල් වෙළඳාම සහමුලින්ම තහනම් කළ යුතුය.”—මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය.

ඔබේ තේ එකට සීනි හැන්දක් දමන ඊළඟ අවස්ථාවේදී, ප්‍රේවෝ ගැන මදක් සිතන්න. ඔහු හේටි රටෙනි. වෙනත් බටහිර ඉන්දීය කොදෙව් රටක හොඳ රැකියාවක් ලබා දෙන බවට ඔහුට පොරොන්දු කරන ලදි. එනමුත් ඔහුව ඩොලර් අටකට විකුණනු ලැබීය.

ප්‍රේවෝට එකතු වීමට සිදු වූයේ ඔහුගේම රටින් එලෙස මෙහෙකාරකමට ගෙනගිය අසරණයන් දහස් ගණනකටය. ඔවුන්ට මුදල් නොලැබෙන තරම්ය. මාස හයක් හතක් පුරා දහ දුක් විඳිමින් උක් කැපීම ඔවුන්ගේ රාජකාරියයි. නවාතැන් ගන්නා ස්ථානය අතුරු සිදුරු නොමැතිව පිරිලාය. එය ඉතා අපිරිසිදුය. ඔවුන් සතු සියල්ල ඔවුන්ගෙන් පැහැරගෙන ඇත. ඔවුන්ට දෙනු ලබන්නේ මන්නයක් පමණි. කෑම ටිකක් දැකගන්න ඕනෑ නම් ඔවුන් අනිවාර්යයෙන්ම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. පලා යෑමට තැත් කළොත්, කස පහර කෑමට සිදු වේ.

ගිනිකොන දිග ආසියාවේ ලින්-ලින්ට අත් වූ ඉරණම කෙබඳු එකක්ද? ඇගේ මව මියයද්දී ඇය 13වන වියේ පසු වූවාය. හොඳ රැකියාවක් ලබා දෙන පොරොන්දුව පිට, රැකියා ඒජන්සියක් විසින් ඇගේ පියාට ඩොලර් 480ක් ගෙවා ඇයව මිල දී ගත්තේය. දුන් මුදල ඇය උපයන මුදලට “ඇඩ්වාන්ස් එකක්” ලෙස සලකන ලදි. එසේ නම් ඇගේ අලුත් ස්වාමිවරුන්ගෙන් මිදෙන්න නම්, ඇගේ ඉපයීම්වලින් එම මුදල පියවිය යුතුය. එහෙත්, ලින්-ලින්ට හොඳ රැකියාවක් ලැබුණේ නැත. ඇයව ගෙන ගියේ ගණිකා මඩමකටය. එහිදී, ඇගේ අහිංසක සිරුරෙන් තම මන දොළ සන්සිඳුවාගන්නෝ ඇගේ අයිතිකාරයාට පැයකට ඩොලර් 4ක් ගෙවති. ලින්-ලින් ඇත්තටම සිරකාරියක බඳුය. ඇගේ ණය ගෙවන තෙක් ඇයට එම මඩමින් නිදහසක් ලැබිය නොහැක. අයිතිකාරයාත් නඩත්තුව, පොලිය ආදි නොයෙකුත් දේවල් සඳහා යන විය හියදම් ඇගෙන් අය කරයි. ඇගේ අයිතිකරුගේ අභිප්‍රායන්ට නතුවීමට ලින්-ලින් අකමැති වුණොත්, ඇය නොයෙකුත් අමානුෂික වධ හිංසාවලට ලක් විය හැක. පලා යන්න තැත් කළොත්, අල්ලා මරා දැමීමට පවා ඉඩ ඇත.

වහල් මෙහෙකාරකම තවමත්

වහල් මෙහෙකාරකම පිටු දැකීමේ අරමුණින් බොහෝ සමුළු සාකච්ඡා පවත්වා ඇත. එයට එරෙහිව නොයෙකුත් ප්‍රකාශයන් සහ නීති රෙගුලාසිද ස්ථාපිත කර ඇත. බොහෝ රටවල එය තුරන් කර ඇති බවටත් ප්‍රසිද්ධ කර තිබේ. ඇත්තෙන්ම, මෙවන් මෙහෙකාරකම්වලට හැම තැනකම පාහේ මුවින් ඉතා දැඩි විරුද්ධතාවක් පළ කෙරේ. ජාතික ව්‍යවස්ථා පනත්වල එය එකහෙළා තහනම් කර තිබේ. උදාහරණයකට, 1948දී ස්ථාපිත කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයෙහි 4වන වගන්තියෙහිද එම තහනම සටහන් කර ඇත. එමනිසා, බොහෝදෙනා සිතන්නේ මෙවන් මෙහෙකාරකම් තවදුරටත් නොපවතින බවය.

එනමුත්, වහල් මෙහෙකාරකම පිටු දැක ඇති බව පැවසීම මුසාවකි. ඇත්තටම එය ප්‍රචලිත වෙමින් පවතින්නේ කාටත් හොරාය. ප්නොම් පෙන්, පැරීසිය, මුම්බායි, බ්‍රසීලියා මෙන්ම ලෝකයේ කොතැනක බැලුවත් අප හා සමාන පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරු දැරියන් මෙහෙකාරකමේ ග්‍රහණයට හසුව සිටින බවට සාක්ෂි ඇත. අනිසි මෙහෙකාරකම් ගණනය කරන ලොවේ පැරණිතම ආයතනය වන ලන්ඩනයේ පිහිටි ඇන්ටි-ස්ලේවරි ඉන්ටර්නැෂනල් නමැති සංවිධානය විසින් දශලක්ෂ සිය ගණනක් මෙලෙස මෙහෙකාරකම් කරන බව ගණන් බලා ඇත. ඇත්තෙන්ම පෙර නොවූ විරූ අන්දමකින් මෙය වැඩි වී ඇති බව පැවසුවොත් නිවැරදිය.

අතීතයේදී වහලුන්ට විලංගු දමා ඔවුන්ව වෙන්දේසි කරන ලදි. ඔවුහු කස පහරවල් කෑහ. වර්තමානයේ මෙවන් දෙයක් අනිවාර්යයෙන්ම දක්නට නොලැබුණද, ශ්‍රමය සූරාකෑම, මෙහෙකාරකමට විවාහ කර දීම, ණය දී මෙහෙකාරකමට යොදාගැනීම, දරුවන්ව වැඩකාරකමට යොදාගැනීම සහ සමහරවිට ගණිකා වෘත්තියට පවා යෙදවීම අදදින දක්නට ලැබේ. ඔවුන්ව උප-භාර්යාවන්, ඔටුවන් පදින්නන්, උක් කපන්නන්, පලස් වියන්නන් හෝ මහාමාර්ග තනන්නන් හැටියට යොදාගැනේ. ප්‍රසිද්ධ වෙන්දේසියකදී මොවුන්ව විකුණනු නොලැබුවත්, අතීත වහලුන්ට සමාන ඉරණමක් ඔවුන්ට අත් වී ඇති බව පැහැදිලිය. ඇත්තෙන්ම සමහර අවස්ථාවන්හිදී ඔවුහු ඊටත් වඩා දරුණු වධ හිංසාවලට ලක් වෙති.

වහල් මෙහෙකාරයන් බවට පත් වන්නේ කවුද? එවන් ඉරණමකට ඔවුන් අසු වන්නේ කෙසේද? ඔවුන් වෙනුවෙන් කුමක් කළ හැකිද? වහල් මෙහෙකාරකම සම්පූර්ණයෙන්ම තුරන් වේවියයි අපට අපේක්ෂා කළ හැකිද?

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වහල් මෙහෙකාරකම යනු කුමක්ද?

වසර කිහිපයක උත්සාහයකින් පසුව වුවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා පිළිතුරු දීමට අසීරු වී ඇති ප්‍රශ්නයකි මෙය. වසර 1926දී පැවැත්වූ වහල් මෙහෙකාරකම් පිළිබඳ සමුළුවේදී ස්ථාපිත කළ එක් නිර්වචනයක මෙසේ කියවේ. “වහල් මෙහෙකාරකම යනු කිසිදු අයිතිවාසිකමක් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයකි. මෙවැනි තත්වයක සිටින පුද්ගලයෙකුව අයිති කරගෙන සිටින්නේ වෙනත් කෙනෙකි.” කෙසේවෙතත්, තමන් කැමති ආකාරයෙන් වුවත් කෙනෙකුට මෙහෙකාරකම යන වචනය අර්ථ දැක්විය හැක. මාධ්‍යවේදී බාබරා ක්‍රොසෙට්ගේ අදහස සලකා බලමු. ඇය කියන්නේ මෙසේය. “මෙහෙකාරකම යන වචනය, ඇඟලුම් සහ ක්‍රීඩා ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල සහ අමෙරිකානු නගරවල දක්නට ලැබෙන කිසිදු පහසුකමක් නොමැති කර්මාන්ත ශාලාවල ඉතා අඩු වැටුපක් ලබන සේවක සේවිකාවන් සඳහා යොදාගත හැකිය. ගණිකා වෘත්තිය සහ බන්ධනාගාර ශ්‍රම සූරාකෑම හෙළා දැකීමටද එය පාවිච්චි කෙරේ.”

“මෙහෙකාරකම යන වචනයෙහි අරුත දිනෙන් දින වෙනස් වේ. එම වචනය විවිධ අලුත් තත්වයන්වලට අදාළ කරත්ම, එහි නියම අරුත බාල වී හෝ හීන වී යා හැකියි යන අනතුරද පවතී.” මෙය ඇන්ටි-ස්ලේවරි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අධ්‍යක්ෂක මයික් ඩොට්රිජ්ගේ විශ්වාසයයි. ඔහු සිතන්නේ “යමෙකුගේ ජීවිතය පාලනය කරනු ලබන විට හෝ වෙනත් කෙනෙකුට අයිති වන විට, එය වහල් මෙහෙකාරකමක් හැටියට සැලකිය හැකි” බවය. එවැනි කෙනෙකු කෙරෙහි යම් බලපැවැත්වීමක්, කෙනෙකුගේ නිදහස සීමා කිරීමක් ඊට ඇතුළත්ය. එනම්, “තම කැමැත්ත පරිදි තම සේවය හා ස්වාමියාව අත්හැරීමට නිදහසක් නැත්නම්, එය වහල් මෙහෙකාරකමකි.”

නියූ යෝක් ටයිම්ස් පුවත්පතට ලියමින් ඒ. එම්. රෝසන්ටාල් මෙසේ පැවසීය. “වහල් මෙහෙකාරකමට හසු වූ කෙනෙක් ඉතා දරුණු, වහල් ජීවිතයක් ගත කරයි. ඔහු හෝ ඈ දහ දුක් විඳිමින් ශ්‍රමය පුද කරයි. එවැන්නන් ලිංගික දූෂණයටද ලක් විය හැක. කුසගින්න හා වධ හිංසා ඔවුන්ට සාමාන්‍ය දේවල්ය. ඇත්තෙන්ම එය ඉතා කටුක දිවි පෙවෙතකි. ඩොලර් පනහකින් මෙහෙකාරකමට කෙනෙකුව මිල දී ගත හැකි” බව ඔහු පවසයි. “ඒ නිසා ඔවුන් කොපමණ කලක් ජීවත් වේද යන්න [අයිතිකාරයන්ට] ප්‍රශ්නයක් නොවේ. මෙහෙකාරයා මැරුණොත් ළඟපාත ගඟකට විසි කර තව කෙනෙකුව මිල දී ගනියි.”

[හිමිකම් විස්තර]

Ricardo Funari