Skip to content

පටුනට යන්න

ග්ලැඩියෝලස්—විශිෂ්ට ගණයේ ලස්සන සියුමැළි මලක්

ග්ලැඩියෝලස්—විශිෂ්ට ගණයේ ලස්සන සියුමැළි මලක්

ග්ලැඩියෝලස්—විශිෂ්ට ගණයේ ලස්සන සියුමැළි මලක්

මල් පිරී තිබෙන මෙම සියුමැළි පැළයේ ලස්සන දැක සැවොම පුදුම වෙති. මෙම ග්ලැඩියෝලස් පැළය විශිෂ්ට ගණයේ මල් පැළයකි. ග්ලැඩියෝලස් මොනතරම් ජනප්‍රියද කියනවා නම්, ඉශ්‍රායෙලය හා නෙදර්ලන්තය ඇතුළු රටවල් කීපයක වෙළඳ බෝගයක් ලෙස ඒවා වවයි. ලොව පුරා සිටින, මල් වවන්න ආශාවක් දක්වන අයට තමන්ගේ නිෂ්පාදනයන් යැවීමට එක්සත් ජනපදයේ ග්ලැඩියෝලස් ගොවිපොළවල්ද තිබේ.

ප්‍රභේද 2,000කට වඩා ඇතුළත් මෙම පුදුමාකාර ග්ලැඩියෝලස් පවුල පුළුල් වී ඇති අතර, එය සිතාගත හැකි සෑම පාටකින්ම, සෑම වර්ණ සංකලනයකින්ම හා සෑම වයනයකින්ම (මූලික සංඝටක බැඳී හෝ විහිදී හෝ ඇති ආකාරය) සෑදී ඇත. මල් වවන්නන් විසින් අසීමිත ප්‍රභේද ගණනකින් යුත් මේ මල් බිහි කර තිබෙන්නේ කෙසේද?

අලුත් ප්‍රභේද බිහි කිරීම

වවන තැනැත්තා, ඔටු-රෝම පින්සලක් වැනි උපකරණයක් භාවිත කර පුමංගී පුෂ්පයක රේණුවෙන් පරාග ඉවත් කර ඒවා ජායංගී පුෂ්පයක කලංකය මත තවරනු ලබයි. ග්‍රාහක පැළයේ පහතින්ම තිබෙන මල් හෝ පිපීගෙන එන මල් මතයි සාමාන්‍යයෙන්ම පරාග තවරන්නේ. මෙසේ කළ පසු එම මල හොඳින් ආවරණය කර ගැටගසා තැබිය යුතුයි. එවිට ස්වාභාවික පරාගනය සිදු කරන මීමැස්සන්ගෙන්, මැස්සන්ගෙන් හෝ පුංචි පවන් රැල්ලකින් පවා එහි වෙනසක් සිදුවීම වළක්වාගත හැකි වෙයි. විශේෂිත වර්ණයක් හෝ පෙනුමක් ලබාගැනීම සඳහා එක් ග්ලැඩියෝලස් වර්ගයක් තමන්ට කැමති ආකාරයක වෙනස් එකක් සමඟ දෙමුහුන් කළ හැකියි.

අලුත් ප්‍රභේදය නැත්නම් දෙමුහුන් මල අලුත්ම ජාතියක මලක්යයි මින් අදහස් නොවේ. ග්ලැඩියෝලස්හි සංකීර්ණ ජාන සැකැස්ම තුළ එවැනි නානාවිධ ජාති බිහිවීමේ හැකියාව පිහිටා තිබේ. තෝරා බේරා බෝ කිරීම මගින් දීප්තිමත් සුදු පැහැයේ සිට කුණු ලේ පැහැති රතු හෝ තද දම් පාට යන විවිධ වර්ණවලින් ග්ලැඩියෝලියා ලබාගත හැකියි. පැල්ලම්, තිත්, රැලි හා ද්වි පුෂ්ප සහිත ග්ලැඩියෝලියාද තිබේ. සමහර ඒවාවල පුංචි සුවඳක් පවා ඇත.

සියුමැළි මලේ අසිරිය

මෙහි දක්නට ඇති මල් දෙස හොඳින් බැලුවොත් ග්ලැඩියෝලියාවල ප්‍රභේද බොහෝමයක් දැකිය හැකියි. මෙහි දක්නට ඇති පල්ක්‍රිටියුඩ් (සුන්දරිය) ලෙසින් හැඳින්වෙන මල මොනතරම් ලස්සනද! එහි පෙති දිගහැරෙද්දී ඒවා මෘදු, රැලි වැටුණු පෙති බවට හැරෙන අතර පෙත්ත වටේට ලා දම් පැහැයක්ද, එහි කොන් තද දම් පැහැයක්ද ගනී. සෑම පුෂ්පයකම ඇතුළේ කුඩා මලක් තිබේ. එහි පුංචි පෙතිවල අලංකාර ලෙස තද රෝස හා දම් පැහැයක් විහිදෙයි.

එමෙන්ම මෙහි දක්නට ලැබෙන ඕකිඩ් ලේස් නම් තවත් ප්‍රභේදයක් කෙතරම් පහසුවෙන් කැඩී බිඳී යනවාද කිවහොත්, පුංචි තට්ටු කිරීමකින් පවා එය තැළී යයි. මල ඇතුලේ වර්ණවත් කේන්ද්‍රයෙන් දිග රේණු පැනනඟින අතරතුරේදී, එතුළ වූ පුංචි මල් පෙති නාරටිය තුළටම විහිදී යයි. ග්ලිටරිං ස්ටා, ඩ්‍රීම්ස් එන්ඩ්, ෆැන්ටේසියා, රෙඩ් එලට් හා පියලස් සිල්වර් මූන් වැනි සිත්ගන්නා නම් දරන වෙනත් ප්‍රභේද වේ.

ග්ලැඩියෝලියා වැවීම

ග්ලැඩියෝලස් වවන අය මල්වලින් ඇට ලබාගන්නවාට අමතරව, මල් පිහිටි නාරටියේ යට කොටස වන බල්බ කොටස, එනම් එහි අල එකතු කරගනිති. ප්‍රධාන අලවලින් මතු වන කුඩා මොරෙයියන්වද ඔවුහු එකතු කරගනිති.

වගා කළ ග්ලැඩියෝලියා වැඩිහරියක් බිහි වී තිබෙන්නේ අප්‍රිකාවේ විශේෂවලිනි. මෙබැවින්, ඒවායේ මූලාරම්භය උෂ්ණ කලාපිකයයි කිව හැකියි. එමෙන්ම ඒවා දේශගුණයට බෙහෙවින් සංවේදීය. සමහර රටවල ශීත කාලයේදී ඔරොත්තු දීමට ඒවාට නොහැකි නමුත් උණුසුම් ග්‍රීෂ්ම මාසවලදී ඒවා හොඳින් වැඩේ.

ශීත දේශගුණයන්වලදී, එනම් හොඳින් වැවී ඇති සමය අවසානයේදී අල හාරා පරෙස්සමින් පිරිසිදු කළ යුතුයි. එවිට අලුත් අලයක් සෑදී තිබෙන අතර පරණ, නාරටියේ අග තිබෙන මැරී ඇති අලය ඉවත් කිරීම අලුත් අලයේ මුල් ඇදීමට පහසු කරවයි. ඊට අමතරව, සෑම අලයකම මෑ ඇට වැනි පොකුරට සෑදී තිබෙන උපඅල ඉවත් කළ යුතුයි. ශීත කාලගුණයක් ඇති සමයේදී අයිස් මිදෙන උෂ්ණත්වයට වඩා ඉහළ නමුත් සිසිල් වියළි ස්ථානයක උපඅල හා ප්‍රධාන අල තැබිය යුතුයි.

පැළ කළ විට මේ සෑම මොරෙයියෙකුගෙන්ම කොළ හටගන්නා අතර වවන සමය අවසානයේදී මොරෙයියා මේරූ අලයක් බවට පත් වෙයි. ඊළඟ කන්නයේදී මෙම අල සිටුවන විට, ඒවා මලින් බර සාරවත් මේරූ පැළ දක්වා වැඩේ.

සෞම්‍ය දේශගුණයන්වල, වසන්තයේ මුල්භාගයේදී පැළ සිටුවීමට පටන්ගත හැකියි. තරමක උෂ්ණත්වයක් ඇති දේශගුණයක් පවතින විට පැළ සිටුවීමට අපහසුවක් නැත. යන්තම් ආම්ලික, තෙත් පසක් මොරෙයියන් හා අල සිටුවීමට කදිම පසකි. ග්ලැඩියෝලියා සෙවනෙහි හොඳින් නොවැඩෙන නිසා, ඒවා වගා කළ යුත්තේ හොඳින් හිරු එළිය පතිත වන තැන්වලය.

අඟල් තුනක් ගැඹුරු අගලක් කපා මොරෙයියන්ව ඉස පස්වලින් වසා දැමිය හැකියි. නමුත් අල සිටුවිය යුත්තේ අඟල් පහක ගැඹුරකයි. ගෙවත්ත වදුලක් වීමෙන් වළක්වාගැනීමට, අඟල් තුනක පරතරයක් තබා මධ්‍යම ප්‍රමාණයේ අල සිටුවිය යුතු අතර ලොකු අල සිටුවිය යුත්තේ අඟල් පහක පරතරයක් ඇතුවය. ඔබේ ග්ලැඩියෝලස් අල පරෙස්සමින් පිරිසිදු කර සිටෙව්වොත්, මාස කීපයකට පසුව ඔබට කියා නිම කළ නොහැකි විපාක ලැබේවි. වර්ණවත්, ලස්සන සියුමැළි ග්ලැඩියෝලියා පිරි වත්තක් දක්නට ලැබේවි.

[16වන පිටුවේ පින්තූරය]

ඕකිඩ් ලේස්

[16, 17වන පිටුවේ පින්තූරය]

කොරල් ඩ්‍රීම්

මොනෙ

ඩ්‍රීම්ස් එන්ඩ්

සන්ස්පෝට්

[17වන පිටුවේ පින්තූරය]

පල්ක්‍රිටියුඩ්