Skip to content

පටුනට යන්න

“මකුළු දැල් රේන්ද”—පැරග්වේහි මනබඳින අත්කමක්

“මකුළු දැල් රේන්ද”—පැරග්වේහි මනබඳින අත්කමක්

“මකුළු දැල් රේන්ද”—පැරග්වේහි මනබඳින අත්කමක්

පැරග්වේහි පිබිදෙව්! වාර්තාකරුවෙකුගෙන්

පැරග්වේහි ආෂුන්සිඔන්වලදී අපේ ගමන් මලු බාන තෙක් ගුවන් තොටුපොළ අවට නරඹන්න අපිට ටික වෙලාවක් තිබුණා. එතකොටම මගේ බිරිඳ බිත්ති සැරසිල්ලක් පෙන්නලා “අරක හරි ලස්සනයි නේද” කියලා ඇහැව්වේ ඉතා සියුම් ලෙස රේන්දවලින් නිමවා තිබූ ලස්සන මේස රෙද්දක් පෙන්වමිනුයි. මේක කොහොම ගොතන්න ඇද්ද කියලා එවෙලේම ඈ කල්පනා කරන්න පටන්ගත්තා.

මකුළු දැල් රේන්දයේ නිජබිම අරාබියයි. පැරග්වේහි සංචාරක හා පොදු තොරතුරු (ඉංග්‍රීසියෙන්) නම් පොතේ පවසන පරිදි “එය කනේරි දූපත්වලට හා ස්පාඤ්ඤයටත්, 17වන හා 18වන සියවස්වලදී පැරග්වේවලටත් රැගෙන ආවා. කනේරි දූපතක් වන ටෙන්එරිෆ්වලදී සූර්ය රේන්ද නමින් හැඳින්වූ එය මෙහිදී පැරග්වේ රේන්ද නැත්නම් නියාන්ඩූටි බවට පත් වුණා.” පැරග්වේහිදී රේන්ද ගොතන්නන් අතින් විශිෂ්ට ලෙස ගෙතෙන මේ මටසිලුටු රේන්දයට යොදා තිබෙන්නේ දේශීය ශාක හා සත්ව රූප මෝස්තරයි. රේන්දය බිහි වුණේ මෙහිදී නොවුණත් පැරග්වේ වැසියන් අලුත් ගෙතුම්වලින් හැඩ වැඩ දමා ඒවා ලස්සන කළා. රේන්ද ගෙතීම මෙහි බොහෝදෙනෙකුගේ ජීවිකාව බවට පත් වී තිබෙනවා.

මකුළු දැලක් බඳු මෙම සංකීර්ණ රේන්ද ඔවුන් නිපදවන්නේ කොහොමද? පිළිතුර දැනගැනීමට උපකාර කරන්න, අපේ මඟ පෙන්වන්නා අපව ආෂුන්සිඔන්වල සිට කිලෝමීටර් 30ක් නැඟෙනහිරෙන් පිහිටි ඉටෞග්වා නම් කුඩා නගරයට කැටුව ගියා. පැරග්වේහි මකුළු දැල් රේන්දවලින් වැඩිහරියක් නිපදවන්නේ මේ ප්‍රදේශයේදී බව ඔහු අපට පැවසුවා. ඇත්තවශයෙන්ම, ගෙත්තම් බොහොමයක් කෙළින් වීදියේ වෙළඳ සැල්වල ප්‍රදර්ශනය කර තිබුණා.

එක් වෙළඳ සැලක අයිතිකාරියක් උණුසුම් ලෙස අපට ආචාර කර සිත ඇදී යන ගෙත්තම් කීපයක් පෙන්නුවා. “අතින් ගොතපු රේන්ද, ඒවා හදලා තියෙන විදිහ අනුවයි වර්ග කරන්නේ. මකුළු දැල් රේන්ද නූල් අතරින් ඉඳිකටුව යවා ගොතන රේන්දයක්. පැරග්වේහි සමහරු මෝස්තරය ඇඳගෙන ඒ අනුව ගෙතුවත් එහි වැඩිදෙනෙක් ඔවුන්ගේ මෝස්තරය ගොතන්නේ මතකයෙන්. ඔවුන් හැමෝම ලී රාමුවක් තුළ සවි කළ කපු රෙදි කෑල්ලක් ආධාර කරගෙන, ඉඳිකටුව හා නූලෙන් රේන්දය ගොතනවා. ඔවුන් බාල වියේදීම තම මව්වරුන්ගෙන් මේ අත්කම ඉගෙනගෙන, ඊට පස්සේ ඔවුන්ගේ දරුවන්ටත් උගන්වනවා” කියා ඇය පැහැදිලි කළා.

වටේට දැල වියන මකුළුවෙකුට දැලක් වියන්න ගත වන්නේ පැය දෙකක් නැත්නම් තුනක් පමණයි. “අටදෙනෙකුට ඉඳගන්න පුළුවන් මේසයකට ගොරෝසු නූලෙන් මේස රෙද්දක් ගොතන්න මාස දෙකක් හෝ තුනක් ගත වෙනවා. හීනි නූලකින් ඒ වගේම එකක් ගොතන්න මාස හයත් අටත් අතර කාලයක් ගත වෙනවා. නූල හීනි වෙන තරමටම රේන්දයේ ලස්සනත් වැඩි වෙනවා” කියා එම සේවිකාව අපිට පැවසුවා.

සුදු රේන්දවලින් ගෙතූ විසිතුරු මේස දරණුවක් අතට ගෙන ඇය මෙසේ විස්තර කරයි: “මේකෙ තියෙන්නේ පේර මලක මෝස්තරයක්. මේක ගොතන කොට මේ නූල් ගණින්න ඕනෙ. මේ මෝස්තරය ගොතන්න හුඟක් අමාරු නිසා හීනි නූලකින් ගොතන්න සති දෙකක් ගත වෙනවා. මුලින් රේන්ද ගොතන්නන් යොදාගත්තේ හීනි නූල විතරක් නිසා රේන්ද හරි ගණන්. ඒ නිසා, රේන්ද ගොතන්නන් හුඟදෙනෙක් ඉක්මනටත්, අඩු වියදමකිනුත් ගොතන්න ගොරෝසු නූල යොදාගන්න පටන්ගත්තා.”

විවිධ වර්ණයෙන් සහ සුදු පැහැයෙන් පිඟන් දරණු, මේස රෙදි, විසිතුරු මේස දරණු, කෝප්ප හා වීදුරු තබන දරණු සහ වෙනත් ගෘහභාණ්ඩ ගෙත්තම් ප්‍රදර්ශනය කර තිබුණා. අපි ඇඳුම් ගැන ඇහැව්වහම එහි සේවය කළ තැනැත්තිය ඉක්මනින් අපිට එම රේන්දයෙන් නිම කළ ඇඳුමක් පෙන්නුවා. ඒක ඇගේ දුවගේ ඇඳුමක්. එහි නිමාව ගැන ඇයට ලොකු ආඩම්බරයක් දැනුණ බවට සැකයක් නැහැ. ඒක හොඳට රැලි දැමූ දේදුනු වර්ණයෙන් යුත් ලස්සන ඇඳුමක්. තවත් වෙළඳ සැල්වල කදිම රේන්ද යෙදූ හොඳට සකස් කළ තැපැල් පත් කීපයකුත් දක්නට තිබුණා. පැරග්වේහි වැඩිම ප්‍රසිද්ධියක් ලබා තිබෙන්නේ මකුළු දැල් රේන්ද වීම පුදුමයක් නොවෙයි.

[26වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]