Skip to content

පටුනට යන්න

යෝධ සුදු මෝරා ප්‍රහාරයට ලක් වෙයි

යෝධ සුදු මෝරා ප්‍රහාරයට ලක් වෙයි

යෝධ සුදු මෝරා ප්‍රහාරයට ලක් වෙයි

මිනිසා බොහෝ සේ බිය වන සත්වයන් අතර පළමුවැන්නා ලෝකයේ සිටින විශාලතම මාංශභක්ෂක මත්ස්‍යයා වන යෝධ සුදු මෝරා විය හැක. එහෙත් මෙම මත්ස්‍ය විශේෂය ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, නැමීබියාව, දකුණු අප්‍රිකාව හා එක්සත් ජනපදය යන රටවල් අවට තිබෙන මුළු මහත් සාගරයේම හෝ ඇතැම් ස්ථානවල මෙන්ම මධ්‍යධරණි මුහුදේද අද ආරක්ෂා කරනු ලබයි. වෙනත් රටවල්ද මේ ගැන සලකා බලමින් සිටියි. එහෙත් සුප්‍රසිද්ධ මිනීමරුවෙකුව ආරක්ෂා කරන්නේ ඇයි? මේ ප්‍රශ්නය විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු එකක් බව අප මේ මත්ස්‍යයා ගැන සලකා බලන විට ඔබට තේරුම් යා හැක. සුදු මෝරා ගැන මිනිසුන් දැන සිටින දේවල් බොහෝ අවස්ථාවලදී සත්‍ය තොරතුරු මත පදනම් වී නැත.

කළු තල්මසා හා කිරි තල්මසා වගේම යෝධ සුදු මෝරාද a මුහුදු ජීවින්ගේ ආහාර දාමයේ අවසාන පුරුකයි. මෝරුන්ගේ පවුලේ සිටින සුපිරි බලවතා මේ සුදු මෝරාය. ඌ මාළු, ඩොල්ෆින් ඇතුළු ඕනෑම දෙයක් ආහාරයට ගනියි. වෙනත් මෝරුන්ව පවා ගිල දමයි. එහෙත් ඌ තරබාරු වී වයසට ගොස් වේගයෙන් පීනා යා නොහැකි තත්වයට පත් වූ විට, සීල් මත්ස්‍යයන්, පෙන්ගුවින් හා මළ කුණු, විශේෂයෙන්ම මිය ගිය තල්මසුන්ගේ මාංශ ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි.

තමන්ගේ ආහාර වේල සොයාගැනීමේදී, මෝරුන් හුඟදෙනෙකු උන් සතු තියුණු දෘෂ්ටි හැකියාව ඇතුළු උන්ගේ සියලුම ඉන්ද්‍රීය ශක්තීන් යොදාගනියි. උන්ගේ ආඝ්‍රාණ හැකියාව ඉතාමත් තියුණුයි. ඒ විතරක් නොවෙයි, උන්ගේ කන්වලට ඉතා සියුම් හඬක් පවා ඇසෙයි.

ඌගේ කන්වලට සියුම් ශබ්ද පවා ඇසෙන්නේ පීඩන සංවේදී සෛල ඌගේ සිරුර දිගේ පිහිටා තිබෙන නිසයි. ඌගේ කනට නොවැටෙන කිසිවක් නැත. උදාහරණයක් හැටියට, මාළුවෙකු යම් උලකට හසු වී දඟලන විට, නිකුත් වන කම්පනය දුර සිටම හඳුනාගැනීමේ හැකියාව ඌට තිබේ. මේ නිසා උල් ආයුධයක් වැනි යමක් පාවිච්චි කරමින් ජලය යට කිමිදී මසුන් මරන්නෙකු, තමාගේ උලට හසු වූ ලේ ගලමින් දඟලන මාළුවෙකුව හැකි විගස ගොඩට ගෙන ඒම නුවණට හුරුයි.

මෝරුන්ට දැනීමේ හයවන ඉන්ද්‍රියක්ද තිබේ. ලොරෙන්සිනී කුම්භිකාව කියා හඳුන්වන ඉතා කුඩා සංවේදක නාල උන්ගේ නාසය වටේ තැනින් තැන පිහිටා ඇත. එනිසා තවත් සතෙකුගේ හෘද ස්පන්දනය, කරමල්වල හා මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය මගින් නික්මෙන දුර්වල විද්‍යුත් ධාරා පවා නිකුත් වන ස්ථානය ඌට සොයාගත හැකියි. ඇත්තෙන්ම, මෙම හයවන දැනීමේ ඉන්ද්‍රීය ශක්තිය මොනතරම් තියුණුද කියනවා නම්, පොළොවේ චුම්බක ක්ෂේත්‍රය මගින් සාගරය කෙරෙහි ඇති කරන බලපෑම පවා මෝරුන්ට දැනිය හැකියයි සමහරු විශ්වාස කරති. මේ නිසා, උතුරු දිශාව කුමක්ද දකුණු දිශාව කුමක්ද කියා දැනගැනීමේ හැකියාව පවා උන්ට තිබිය හැකියි.

සුදු මෝරාව හඳුනාගැනීම

යෝධ සුදු මෝරා කියා ඌව හැඳින්වුවත්, සුදු පැහැයක් හෝ සුදුමැලි පෙනුමක් ගන්නේ ඌගේ බඩ පෙදෙස පමණයි. සාමාන්‍යයෙන් ඌගේ පිට පැත්ත අළු පැහැයෙන් යුත් අඳුරු පෙනුමක් ගනියි. මේ වර්ණ දෙක මේ මාළුවාගේ සිරුර දිගේ හරි කෙළින් පිහිටා නොමැති රේඛාවකින් වෙන් වී තිබේ. මෙම රේඛාව එක සුදු මෝරෙකුගෙන් තවත් එකෙකුට වෙනස් වන නිසා විවිධ සුදු මෝරුන්ව වෙන් කර හඳුනාගැනීමට එම ලක්ෂණය විද්‍යාඥයන්ට උපකාරවත් වෙයි.

සුදු මෝරුන් කොතරම් විශාලද? “හරියටම දිග ප්‍රමාණය මැන තිබෙන විශාලතම සුදු මෝරුන් අඩි 19ත් 21ත් අතර දිගකින් යුක්තයි” කියා යෝධ සුදු මෝරා (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ සඳහන් වේ. මේ ප්‍රමාණයේ දිගකින් යුත් මෝරෙකුගේ බර කිලෝග්‍රෑම් 2,000කට වඩා වැඩි විය හැකියි. බොහෝවිට මෙතරම් බරකින් යුක්ත වූවත්, මුහුදු මිසයිලයක් බඳු උන්ගේ විශාල සිරුරේ පිහිටි පිටුපස දෙසට නැමී තිබෙන ත්‍රිකෝණාකාර වරල්වල ආධාරයෙන් මේ දැවැන්ත යෝධයන් මිසයිල වගේ ජලය කපාගෙන වේගයෙන් ඇදී යයි. උන්ට විශාල ශක්තියක් ලබා දෙන උන්ගේ වල්ගය බොහෝදුරට සමමිතික හැඩයෙන් යුක්තයි. සමමිතික හැඩයෙන් යුත් වල්ගයක් තිබෙන්නේ සුදු මෝරුන්ට පමණක් වන අතර, මෝරුන්ගේ පවුලට අයත් සෙසු මත්ස්‍යයන්ට තිබෙන්නේ පැහැදිලිව හඳුනාගත හැකි අසමමිතික හැඩයෙන් යුත් වල්ගයකි.

සුදු මෝරුන්ට බිහිසුණු පෙනුමක් ලබා දෙමින් ඔවුන්ව වෙනත් මෝරුන්ගෙන් වෙන් කර දක්වන විශේෂ ලක්ෂණ අතර, කේතුවක හැඩය ගන්න විශාල හිස, රෞද්‍ර පෙනුමක් ගන්න කළු පැහැති ඇස්, ඌගේ මුඛයේ පිහිටි ත්‍රිකෝණාකාර මුවහත් උල් දත් දැකිය හැක. උන්ගේ මේ දෙපැත්ත කැපෙන “පිහි” කැඩුණු විට හෝ වැටුණු විට, හරියට දැති සහිත කරකැවෙන පටියක දැති ඉදිරියට තල්ලු වෙන්නාක් මෙන් තවත් දතක් එතැනට හිමිහිට තල්ලු වෙයි.

උණුසුම් රුධිරයෙන් ශක්තිමත් වී

සුදු මෝරා හා යක් මෝරා ඇතුළු ලැම්නඩි කුලයට අයත් මෝරුන්ගේ රුධිර සංසරණ පද්ධතිය වෙනත් වර්ගයේ මෝරුන්ට වඩා බෙහෙවින් වෙනස් වේ. මේ මත්ස්‍යයන්ගේ රුධිරයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3 සිට 5 දක්වා ප්‍රමාණයකින් වැඩිය. උන්ගේ මේ උණුසුම් රුධිරය මගින් ආහාර දිරවීම වේගවත් කරන අතර, උන්ට අමතර ශක්තියක්ද ලබා දෙයි. වේගයෙන් පීනා යන කෙලවල්ලන් වැනි මසුන්ව ඩැහැගැනීමට සමත් යක් මෝරුන්ට එක පිම්මට පැයට කිලෝමීටර 100ක වේගයකින් ජලය කපාගෙන ගමන් කළ හැකියි!

මෝරුන් පීනන විට, ළය වරල් දෙක ආධාරයෙන් උන් ඉහළට එසවෙයි. උන්ට පීනිය හැකි අවම වේගයක් ඇත. පීනන වේගය ඊට වඩා අඩු වූ විට, උන් හදිසියේ නතර වී ගුවන් යානයක් කඩා වැටෙන්නාක් මෙන් ගැඹුරට ඇදී යයි. උන්ට පාවීමට උපකාර කරන විශේෂ මේදයක් උන්ගේ අක්මාවේ තිබුණත් එසේ සිදු වෙයි. මෙම අක්මාව මොනතරම් විශාලද කියනවා නම්, එය උන්ගේ බරින් හතරෙන් එකකට සමානයි! මේ හැර, බොහෝ වර්ගවලට අයත් මෝරුන් හුස්ම ගැනීමට හැකි වන පරිදි නොනැවතී පීනා යා යුතුයි. මෙසේ කිරීමෙන් උන් ඔක්සිජන් අඩංගු ජලය උන්ගේ මුඛය හා කරමල් අතරින් ගමන් කිරීමට සලස්වයි. උන් හැම තිස්සේම බිහිසුණු විදිහට විරිත්තාගෙන සිටින්නේ මේ නිසයි!

මිනි මස් කන්නෙක්ද?

දැනට හඳුනාගෙන තිබෙන මෝරුන් වර්ග 368න් අනතුරුදායක වන්නේ වර්ග 20ක් පමණයි. සෑම වසරකම ලොව දස දෙසින් වාර්තා වන මෝරුන් විසින් මිනිසුන්ට එල්ල කරනු ලබන ප්‍රහාර 100ක පමණ ප්‍රමාණයෙන් වැඩි ගණනකට වගකිව යුත්තේ මින් වර්ග හතරකට අයත් මෝරුන්ය. මේ ප්‍රහාරවලින් 30ක් පමණ මාරාන්තික ඒවා වී තිබේ. මේ ප්‍රහාරවලට වගකිව යුතු වර්ග අතර බල මෝරා, ව්‍යාඝ්‍ර මෝරා, පොල් කොළ මෝරා හා සුදු මෝරා සිටියි. මිනිස් ජීවිත වැඩි ගණනක් බිලිගෙන තිබෙන්නේ බල මෝරාය.

සුදු මෝරාගේ ප්‍රහාරයට ලක් වූ අයගෙන් අඩුම තරමින් සියයට 55ක් හෝ ලෝකයේ ඇතැම් ප්‍රදේශවල සියයට 80ක් පමණ දෙනෙක් තමන්ගේ පණ බේරාගෙන ඇත. මේ වගේ දරුණු දඩයක්කරුවෙකුගේ ප්‍රහාරයකට ලක් වූවත්, බොහෝදෙනෙකුගේ දිවි බේරීමට හේතුව කුමක්ද?

සපා විසි කරයි

මුලින්ම තමාගේ ගොදුර තුවාල වෙන තරමට හයියෙන් සපා විසි කිරීම සම්බන්ධයෙන් සුදු මෝරුන් ප්‍රසිද්ධයි. ඌ ගොදුරට ලක් වූ සතාව අනුභව කරන්නේ එම සතා මිය ගිය පසුවයි. එනිසා ඌ සපා විසි කර ගොදුර මිය යන තෙක් බලා සිටියි. ඌගේ මෙම හැසිරීම් රටාව නිසා ගොදුරු බවට පත් වන මිනිසුන්ට බේරී පලා යෑමට අවස්ථාව ලැබේ. ඇතැම් අවස්ථාවලදී මෙසේ බේරී පලා යෑමට සමහරුන්ට හැකි වී තිබෙන්නේ තම සගයන් එඩිතරව තමන්ට පිහිට වීම නිසයි. තනියම මුහුදේ පිහිනන්න එපා යන අවවාදයෙහි සත්‍යතාව මෙයින් තහවුරු වෙයි.

කෙසේවෙතත්, සුදු මෝරාගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙකුව බේරාගැනීමට දරන උත්සාහය බොහෝවිට සාර්ථක වන්නේ සුදු මෝරාට ආවේණික වූ තවත් හැසිරීම් රටාවක් නිසායි. වෙනත් වර්ගයේ මෝරුන් මෙන් නොව සුදු මෝරුන් තමන්ගේ ගොදුර බවට පත් වූ සතාගේ ලේ සුවඳට ඇදී ගොස්, ඒ සතාව තමන්ගේ කුස තුළට දමාගැනීමට හදිසි වන්නේ නැත. කෙසේවෙතත්, සුදු මෝරුන් සපා විසි කිරීමේ උපක්‍රමය යොදාගන්නේ ඇයි?

එයට හේතුව උන්ගේ ඇස් කියා එක් විද්‍යාඥයෙක් අනුමාන කරයි. වෙනත් වර්ගයේ මෝරුන් වගේ නොවෙයි, සුදු මෝරුන්ට උන්ගේ ඇස් ආරක්ෂා කරගැනීම සඳහා ඇසිපිය නැත. එනිසා උන් කරන්නේ, උන්ගේ ඇස්වලට යමක් ගැටෙන්න ආසන්නව තිබෙන විට, ඇස් කුහර තුළ කරකවා සඟවාගැනීමයි. ගැටීම සිදු වන මොහොතේ උගේ ඇස් තුවාල වීමේ අවදානම ඇත. නිදසුනකට සීල් මත්ස්‍යයෙකුව අල්ලාගැනීමට දරන ප්‍රයත්නයේදී උගේ නියපොතු සුදු මෝරාගේ ඇසේ වැදිය හැක. එනිසා, ක්ෂණිකව තම ගොදුරට මාරාන්තික පහරක් දී මුදාහැරීම සුදු මෝරුන්ගේ චර්යා රටාවේ දැකිය හැකි පොදු ලක්ෂණයකි.

බොහෝවිට සුදු මෝරුන්ගේ හැසිරීම පොඩි ළමයින්ගේ හැසිරීමට බෙහෙවින් සමාන බවද මතක තබාගන්න. උන් පොඩි ළමයි වගේ හැම දෙයක්ම දැක්ක ගමන් කටේ දමාගනියි! “ඒත් දැවැන්ත සුදු මෝරෙකු සෙල්ලමට හැපුවත් හරිම භයානකයි” කියා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන ජෝන් වෙස්ට් පවසයි.

සුදු මෝරා භයානක සත්වයෙකු වූවත්, ඌ පන්න පන්න මිනිසුන්ට පහර දෙමින් මිනි මස් කන්න ලොල් බවක් දක්වන සතෙකු නොවෙයි. පැය 6,000ක් මුහුදේ ගත කර තිබෙන මුහුදු බෙල්ලන් අල්ලන එක් කිමිදුම්කරුවෙකුට දැකගත හැකි වූයේ සුදු මෝරුන් දෙදෙනෙකු පමණයි. උන්ගෙන් එකෙකුවත් ඔහුට කරදරයක් කළේ නැත. ඇත්තෙන්ම, සුදු මෝරුන් මිනිසුන්ව දැක පලා ගොස් ඇති අවස්ථාද බොහෝය.

මුහුදු ගවේෂකයෙකු වන ජාක්ඊව් කොස්තො හා ඔහුගේ සගයෙකු දකුණු අප්‍රිකාව අවට සාගරයේ කිමිදෙමින් සිටියදී අහම්බෙන් වගේ දැවැන්ත සුදු මෝරෙක් ඔවුන් ආසන්නයට පැමිණ ඇත. “[ඌ] හැසුරුණේ කොහෙත්ම හිතපු නැති විදිහකටයි” කියා ඔහු වාර්තා කර තිබේ. “බියට පත් වූ බිහිසුණු පෙනුමක් තිබෙන මේ දැවැන්තයා අශූචි ගොඩක් පහ කර, විදුලි වේගයෙන් පැන ගියා.” කොස්තො මෙසේ නිගමනය කළේය: “මේ මත්ස්‍යයා ගැන මිනිසුන් සිතන දෙයත්, අපි අපේම ඇස් දෙකට දැක්ක දෙයත් අතර මොනතරම් වෙනසක් තිබෙනවාද කියා හිතද්දී අපිට හරිම පුදුමයි.”

සුදු මෝරා ගොදුරක් වෙයි

වර්ෂ 1970 පළ කරන ලද ජෝස් නමැති ඉංග්‍රීසි නවකතාව මත පදනම් වූ චිත්‍රපටිය මගින් සුදු මෝරා ගැන මිනිසුන් දැරූ ආකල්පයට ඉමහත් බලපෑමක් ඇති විය. මේ නිසා සුදු මෝරා කෙටි කලක් ඇතුළත මිනිසුන්ගේ සතුරෙකු බවට පත් වූ අතර, “මේ මිනි මස් කන්නාගේ හිස හෝ හකු මුලින්ම ගොඩට ගෙන ඒමේ ජයග්‍රාහකයා වීමේ අරමුණින් දඩයක්කරුවන් විශාල පිරිසක් උන්ව සොයා දිය යට කිමිදුණා” කියා යෝධ සුදු මෝරා නමැති පොතේ සඳහන් වේ. යම් ආභරණයකට ඇල්ලීම සඳහා සකස් කළ සුදු මෝරෙකුගේ දතක් ඩොලර් 1,000කට (ඕස්ට්‍රේලියාවේ) අළෙවි විය. සම්පූර්ණ හක්කම ඩොලර් 20,000ක් ඉක්මවා ගියේය.

කෙසේවෙතත්, සුදු මෝරුන් විශාල ප්‍රමාණයක් මිය යන්නේ මාළු දැල්වලට හසුවීම නිසාය. මේ හැර, මෝරුන්ගේ සිරුරේ කොටස් යොදාගනිමින් සාදන නිෂ්පාදන, විශේෂයෙන්ම උන්ගේ වරල් විකිණීමෙන් මහත් ලාභ ලබාගත හැකි නිසා, සුදු මෝරුන් ඇතුළු වෙනත් වර්ගයේ මෝරුන් දශලක්ෂ ගණනක් වාර්ෂිකව අල්ලයි. මෝරුන්ගේ ගහනය අඩුවීමට පටන්ගෙන තිබෙන නිසා, මෑතක සිට ලොව පුරා මෝරුන් විශේෂයෙන්ම සුදු මෝරුන් වඳ වී යෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් තිබේ.

දැනුවත් කිරීමට යයි

මෝරුන් සාගරය පීරා යමින් ලෙඩ වී සිටින, දුර්වල හා මියගොස් සිටින මසුන්ව ගිලදමමින් සාගරය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. එනිසා නිරෝගී මෝරුන් රැසක් සිටීම, මුහුදු ජීවින්ට හිතකර පිරිසිදු සාගර ඇතිවීමට උපකාරවත් වේ.

මෝරුන්ව ආරක්ෂා කිරීමේදී මුහුණ දීමට සිදු වන තර්ජන හඳුනාගෙන සිටින සොබාදහම සංරක්ෂණය කිරීමේ අරමුණින් ස්ථාපිත කර තිබෙන සත්ව විශේෂ සුරැකීමේ ජාත්‍යන්තර සංගමය මගින්, සියලුම මෝරුන් මුහුණ දෙන ගැටලු අධ්‍යයනය කිරීම සඳහා මෝරුන් පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් පිහිටුවා තිබේ. කෙසේවෙතත්, සුදු මෝරා ගැන අධ්‍යයනය කිරීම එතරම් ලෙහෙසි පහසු දෙයක් වන්නේ නැත. උන් විශාල වශයෙන් බෝ වෙන ජාතියක් නොවෙයි. එමෙන්ම උන්ව ජලාශවල හිර කරගෙන සිටියොත් උන් මිය යයි. එනිසා එම කණ්ඩායමට උන්ගේ ස්වාභාවික වාසභූමිවලට ගොස් උන්ව නිරීක්ෂණය කිරීමට සිදු වේ.

මිනිසුන් මෝරුන් ගැන වඩ වඩා දැනුවත් වී තිබෙන නිසා මේ සිත්ගන්නාසුලු මත්ස්‍යයන් කෙරෙහි ඔවුන් දරන ආකල්පයද වෙනස් වී තිබේ. නමුත් යෝධ සුදු මෝරා වෙනස් වී නැත. ඌ ලේ පිපාසිත සතෙකු නොවේ. කෙසේවෙතත්, මෙම භයානක සත්වයාව කල්පනාකාරි ලෙස හා ගරුත්වයකින් යුතුව සැලකිය යුතුයි. කිසිවිටෙකත් ඌව අවතක්සේරු නොකළ යුතුයි!

[පාදසටහන]

a යෝධ සුදු මෝරාව පොදුවේ හැඳින්වීමට විවිධ නම් භාවිත කෙරේ. උදාහරණයක් හැටියට, ඕස්ට්‍රේලියාවේ මේ මත්ස්‍යයාව සුදු උල් ඇත්තා කියා ඇතැම් අවස්ථාවලදී හඳුන්වනු ලබන අතර, දකුණු අප්‍රිකාවේ මේ මත්ස්‍යයාව හඳුන්වන්නේ නිල් උල් ඇත්තා කියාය.

[19වන පිටුවේ පින්තූරය]

මේ මෝරුන්ට භයංකාර පෙනුමක් ඇති විශාල කටවල් තිබේ

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඡායාරූප රොඩ්නි ෆොක්ස් විසිනි

දකුණු අප්‍රිකාවේ සුදු මෝරුන් පිළිබඳ පර්යේෂණ ආයතනය