Skip to content

පටුනට යන්න

වත්මන් වහල් මෙහෙකාරයෝ

වත්මන් වහල් මෙහෙකාරයෝ

වත්මන් වහල් මෙහෙකාරයෝ

ඔබ ඉදිරියෙහි දැන් සංඛ්‍යා ලේඛන කිහිපයක් තබමු. වයසින් අවුරුදු 15ට අඩු දරුවන් දශලක්ෂ 200ත් 250ත් අතර සංඛ්‍යාවක් දවසින් වැඩි හරියක් දරුකමට නොව වැඩකාරකමට යොදාගැනේ. එක්දහස් නවසිය අනූපහ සහ 1996 යන වසරවලදී පමණක්, අවුරුදු සතක් තරම් ළාබාල දරුවන් ඇතුළු දරුවන් ලක්ෂ දෙකහමාරක්ව යුද්ධ කටයුතු සඳහා යොදාගනු ලැබීය. ඔවුන් වහලුන් වූයේ යුද්ධයට බව පැවසුවොත් නිවැරදිය. වසරක් වසරක් පාසා වහල් මෙහෙකාරකමට විකුණනු ලබන ස්ත්‍රීන් සහ දරුවන්ගේ සංඛ්‍යාව දශලක්ෂයකට වැඩි බවත් ගණන් බලා ඇත.

එනමුත් සංඛ්‍යා ලේඛන සලකා බැලූ පමණින් මොවුන් විඳින වධ හිංසා ගැන අපට පැහැදිලි පින්තූරයක් ලබාගත නොහැක. උදාහරණයකට එලිනෝර් බර්කෙට් නමැති ලේඛිකාවගේ අද්දැකීම සලකා බලන්න. ඇයට උතුරු අප්‍රිකානු රටකදී ෆට්මා නමැති තරුණ කාන්තාව හමු විය. ෆට්මා ඉතා අමාරුවෙන් තම කෲර ස්වාමියාගේ ග්‍රහණයෙන් මිදුණු තැනැත්තියකි. ෆට්මා සමඟ කතා කළ බර්කෙට් තේරුම්ගත්තේ මෙම කාන්තාව මනසින් “සදහටම මෙහෙකාරකමේ ග්‍රහණයට හසුව සිටින” බවය. ෆට්මාට වඩා සුවබර අනාගතයක් ගැන සිහින මැවිය හැකිද? බර්කෙට් මෙසේ පවසයි. “ඇයට අනාගතයක් නැහැ. ඇය දකින්නේ එදා දවස විතරයි. අනාගතය ගැන කල්පනා කරන්න, එය තේරුම්ගන්න ඇයට බැරිය.”

ඔව්, මෙම මොහොතේදීත්, අප වගේ මනුෂ්‍යයන් සෑහෙනදෙනෙක් වහල් මෙහෙකාරකමේ දැඩි ග්‍රහණයට හසුව සිටිත්. මොවුන් මෙහෙකාරකමට හසු වන්නේ මන්ද? කෙසේද? තවද කුමනාකාරයේ මෙහෙකාරකම්වලටද?

මාංස වෙළඳාම

එක්සත් ජනපදයෙහි සංචාරක විවරණිකාවක් කාරණයට බසින්නේ කිසිදු චකිතයකින් තොරවය. “තායිලන්තයට යමු කම් සැප විඳින්න. නියම කෙල්ලෝ. නියම වින්දනයක්. ඉතා අඩු මිලකට. . . . ළපටි කන්‍යාවකට ඩොලර් 200ක් විතරයි!” එනමුත් මෙම විවරණිකාව හෙළි නොකරන පැත්තක්ද තිබේ. මේ “කන්‍යාවන්” පැමිණියේ කොහෙන්ද? බොහෝදුරට ඔවුන්ව බලහත්කාරයෙන් පැහැරගෙන ඇවිත් ඇත. එසේ නැතහොත් ගණිකා මඩම්වලට විකුණා තිබේ. දවසකට මන දොළ සන්සිඳුවාගැනීමට පැමිණෙන 10දෙනෙකුට හෝ 20දෙනෙකුට තම සිරුර පුද කරන්න ඔවුන්ට සිදු වේ. මෙම ලිංගික හැසිරීමේ යෙදීමට ඔවුන් මැළි වේ නම්, ගුටි බැට ලබනවා නිසැකය. දකුණු තායිලන්තයේ සංචාරක නිකේතනයක් වන ෆූකෙට් දූපතේ ගණිකා මඩමක් ගිනිගත් විට, ගණිකාවෝ පස්දෙනෙක් ඒත් සමඟ පිලිස්සී මියගියහ. හේතුව? ඔවුන්ගේ මෙහෙකාරකමින් පලා යෑම වැළැක්වීමට උපක්‍රමයක් වශයෙන්, අයිතිකාරයන් ඔවුන්ට විලංගු දමා ඇඳන්වල බැඳ තැබූ නිසාය.

මෙම තරුණ කාන්තාවන් පැමිණියේ කොහෙන්ද? ගණිකා ව්‍යාපාරයේ අවශ්‍යතා පිරිමැසීමට කාන්තාවන් සහ දැරියන් දශලක්ෂ ගණනාවක්ව ලොව පුරාම යොදාගැනේ. සමහරෙකුව බලහත්කාරයෙන් පැහැරගෙන එනු ලැබේ. තවත් සමහරුන්ව මිල දී ගනු ලැබේ. එසේ නැතහොත් මෙහෙකාරකමට බලෙන් බඳවාගනු ලැබේ. ඇත්තෙන්ම දියුණු වෙමින් පවතින රටවල දුගීකම, ධනවත් රටවල ධනය සහ මෙහෙකාර වෙළඳාම මෙන්ම මෙහෙකාරකම නීතියෙන් ගණනකට නොගැනීම යන හේතු තුන නිසා, ජාත්‍යන්තර ගණිකා ව්‍යාපාරය සරුවට වැඩේ.

ගිනිකොන දිග ආසියාවේ පවතින කාන්තා සංවිධාන මගින් කර ඇති ගණන් බැලීම්වලට අනුව, 1970ගණන්වල මැද භාගයේ සිට 1990ගණන්වල මුල් භාගය වන තෙක්, ලොව පුරා කාන්තාවන් දශලක්ෂ 30ක් වහල් මෙහෙකාරකමට විකුණනු ලැබීය. ගණිකා වෘත්තියට නැවුම් සිරුරු සොයන “වෙළෙන්දු” පහසුවෙන් ගොදුරු කරගත හැකියයි පෙනෙන ගැහැනු ළමුන් සහ කාන්තාවන් සොයමින්, දුම්රියපොළවල්වල, දුප්පත් ගම්මානවල සහ නගරයේ වීථිවල සැරිසරති. සාමාන්‍යයෙන් ඔවුන් ගොදුරු කරගන්නේ නූගත්, අනාථ වූ, කිසිම හව්හරණක් නොමැති ළඳුන්වය. රැකියා ලබා දෙන බවට බොරු පොරොන්දු දී, දේශ සීමා පසු කර යමින් ගණිකා මඩම්වලට විකුණනු ලැබීම ඔවුන්ගේ ඛේදනීය ඉරණමයි.

වර්ෂ 1991දී කොමියුනිස්ට් අධිරාජ්‍යයේ බිඳවැටීමත් සමඟ, කිසිදු හව්හරණක් නැති දුගී ගැහැනු ළමුන් සහ කාන්තා පරපුරක් බිහි විය. දැන් එම රටවල නෛතික සීමා තහංචි බොහොමයක් ඉවත් කර ඇත. පෞද්ගලිකරණයටද වැඩි තැනක් තිබේ. එමෙන්ම පංති භේදය වඩාත් ප්‍රබලව දැකගත හැක. මේ සියල්ල හේතුවෙන්, අපරාධ, දුගීකම සහ රැකියා හිඟයක් පවතී. එමනිසා, රුසියානු සහ නැඟෙනහිර යුරෝපීය කතුන් සහ ගැහැනු ළමුන් ජාත්‍යන්තර ගණිකා ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කය වී තිබේ. හිටපු යුරෝපීය යුක්ති කොමිසාරිස් ඇනිටා ග්‍රඩින් පැවසූ දේ සලකා බලන්න. “මත්ද්‍රව්‍ය වෙළඳාම තරම් කාම වෙළඳාමේ අවදානමක් නැත.”

දරුකමට නොව වැඩකාරකමට

ආසියාවේ කුඩා පලස් කර්මාන්ත ශාලාවක, පාන්දර 4 සිට රාත්‍රි 11 දක්වා කුඩා දරුවෝ වැඩ කරති. ඔවුන්ගෙන් සමහරෙක් අවුරුදු පහක් තරම් ළාබාල අය වෙත්. ඔවුන්ගේ ශ්‍රමයට ගෙවීමක් කරන්නේ නැත. මෙවැනි සිඟිති සේවකයෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හානි වන නොයෙකුත් උවදුරුවලට මුහුණ දෙති. පාවිච්චි කරන යන්ත්‍රෝපකරණ ආරක්ෂා සහිත නැත. වැඩ කරන පරිසරයේ නිසි ආලෝකයක් සහ නිසි වාතාශ්‍රයක් නැත. තවද එවැනි පරිසරයක පැය ගණනාවක්ම වැඩ කිරීමට සිදු වේ. නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිත කරන අන්තරා සහිත රසායනික ද්‍රව්‍යවලින් එල්ල වන අන්තරාවද අමතක කළ නොහැක. a

වැඩකාරකමට දරුවන් යොදාගැනීම සඳහා ඉමහත් ඉල්ලුමක් ඇත්තේ මන්ද? ස්වභාවයෙන්ම දරුවන් කීකරුය. හික්මවීමටත් පහසුය. කැරලි ගැසීමට භයය. ඔවුන්ගේ නඩත්තුව සඳහා වියදමත් අඩුය. එමෙන්ම ඔවුන් කුඩාය. අතැඟිලි භාවිතය කඩිසරය. සිත් පිත් නැති ව්‍යාපාරිකයෝ එවැනි දේවල් ඇතැම් වැඩ කරවාගැනීමට, උදාහරණයකට බුමුතුරුණු විවීමට ඉතා යෝග්‍ය බව දකිති. බොහෝදුරට මෙවැනි දරුවන්ට රැකියා ලැබෙද්දී, ඔවුන්ගේ දෙමාපියෝ රැකියා නොමැතිව නිකරුණේ කාලය කා දමති.

මෙලෙස වැඩකාරකමට ගන්නා දරුවන්ගේ ඉරණම තවත් දරුණු වන බව පැහැදිලි වන්නේ, ඔවුන් නොයෙකුත් ලිංගික සහ ශාරීරික අතවරවලට ලක් වන ආකාරය සලකා බලද්දීය. දරුවන් වැඩිදෙනෙකුව බලහත්කාරයෙන් පැහැරගෙන එනු ලැබේ. ඉන්පසුව පාළු කඳවුරුවල ඔවුන්ව රඳවනු ලැබේ. පලා යෑම වැළැක්වීමට ඔවුන්ව විලංගුවලින්ද බැඳ තබයි. ඔවුන්ගේ මුළු දවසම ගෙවෙන්නේ පාරවල් තැනීමට හෝ ගල්වළක වැඩ කිරීමටය.

දරුකම වනසා දමන තවත් ක්‍රමයකි මෙහෙකාරකමට විවාහ කර දීම. ඇන්ටි-ස්ලේවරි ඉන්ටර්නැෂනල් සංවිධානය අප ඉදිරියෙහි උදාහරණයක් තබයි. “ඇගේ පවුලේ සාමාජිකයන් ඇයව අවුරුදු 60ක් වයසැති පුරුෂයෙකුට විවාහ කර දෙන බව දොළොස් වියේ පසු වන දැරියකට පවසනු ලැබීය. එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ඇයට අයිතියක් ඇති බව අප සිතුවත්, එසේ කිරීමට ඇයට ප්‍රස්තාවක් නැත. එවැනි අයිතියක් ඇයට ඇති බව ඇය දන්නේවත් නැත.”

ණය දී වහල් කරගැනීම

ඇතැම් සේව්‍යයන් ණය දීම අතකොළුවක් කරගන්නේ ඔවුන් යටතේ සේවය කරන අයව තම ග්‍රහණයේ දිගටම තබාගැනීමටය. ඇතැම්විට එවන් ණය එම සේවකයන්ට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට දුන් ඒවා විය හැක. සාමාන්‍යයෙන් මෙය බොහෝදුරට දක්නට ලැබෙන්නේ කෘෂිකාර්මික ප්‍රදේශවලයි. එහිදී ශ්‍රමිකයෝ කුලී සේවකයන් හෝ ගොවිතැන් කරන්නන් හැටියට වැඩ කරති. ඇතැම් අවස්ථාවලදී, ණයගැතිබව එක පරම්පරාවකින් තව පරම්පරාවකට හිමි වේ. එමනිසා, එම පවුලේ සාමාජිකයන්ට ණය බරින් කිසිදා නිදහස් විය නොහැක. වෙනයම් අවස්ථාවලදී, සේව්‍යයෝ තමන් ලැබිය යුතු ණය අලුත් සේව්‍යයෙකුට පවරති. ඉතා දරුණු තත්වයන් අද්දකිමින් සිටින ඇතැම් සේවකයන්ට ඔවුන් කරන මෙහෙකාරකමට කිසිදු ගෙවීමක් කරනු නොලැබේ. එසේ නැතහොත් මෙහෙකාරයන්ට තම අවශ්‍යතා පිරිමසා ගැනීමට නිතරම ඇඩ්වාන්ස් එකක් නොහොත් අත්තිකාරමක් ගැනීමට සිදු වේ. වැටුප ඉතා අඩු නිසා, එම ණය මුදල ආපසු ගෙවීම අසීරු වන අතර, ඔවුහු සදහටම තම සේව්‍යයාගේ ග්‍රහණයට හසුව සිටිත්.

චාරිත්‍රානුකූල මෙහෙකාරකම

බටහිර අප්‍රිකාවේ බින්ටිගේ කතාව අසමු. ඇය දොළොස් වියේ පසු වන දැරියකි. දැන් ඇය ට්‍රොකෝසි කෙනෙක් හැටියට සේවය කරයි. ඒවේ භාෂාවෙන් එහි තේරුම “දෙයියන්ගේ මෙහෙකාරියක්” යන්නයි. ඇය මුහුණ පා ඇති ඉරණමටම ඇය වැනි දහස් ගණනක් හසු වෙති. ඒ මන්ද? ඇය සිදු නොකළ පාපයකට වන්දි ගෙවීමක් වශයෙන් මෙහෙකාර ජීවිතයක් ඇයට නියම වී ඇත. කුමක් නිසාද? අම්මාව දූෂණයට ලක්වීම හේතුවෙන්, ඇයව පිළිසිඳ ගැනිණ. ඇය සේවය කරන්නේ කට්ටාඬියෙකු ළඟය. දැනට ඇගේ රාජකාරිය ඔහුගේ ගෙදර දොරේ වැඩ කටයුතු කිරීමට සීමා වී තිබේ. පසුව වයසින් වැඩෙද්දී, ඇගේ අයිතිකාරයා වූ මෙම කට්ටාඬියාගේ ලිංගික අවශ්‍යතාවන් පිරිමැසීමටද බින්ටිට සිදු වේ. බින්ටි මැදි වියට පා තබන විට, ඇයව අත්හැර දමන බවට සැකයක් නැත. එවිට කට්ටාඬියා තවත් රූමත් දැරියක්ව තම ග්‍රහණයට හසු කරගනියි.

බින්ටි හා සමාන දැරියන් දහස් ගණනක් මෙම චාරිත්‍රානුකූල මෙහෙකාරකමට හසු වෙති. එවන් මෙහෙකාරකමකට ඔවුන්ව පූජා කරන්නේ ඔවුන්ගේම පවුලේ සාමාජිකයන් විසිනි. මන්ද? ඔවුන් එසේ කරන්නේ, පාපයක් සේ සලකන ක්‍රියාවකට හෝ ශුද්ධ වූ ආඥාවකට එරෙහිව කළ වරදකට වන්දි ගෙවීමක් වශයෙනි. මෙවන් දැරියන් හෝ කාන්තාවන් යම් දෙවියෙකුට විවාහ කර දී ඇති බවටත් විශ්වාස කෙරේ. එමනිසා, කට්ටාඬියන්, පූජකයන් හෝ වෙනත් අය වෙනුවෙන් ආගමික හෝ ලිංගික සේවාවන් ඉටු කිරීමට ඔවුහු බැඳී සිටිති. ඔවුන් කරන වෙනත් සේවාවන්වලට බොහෝ අවස්ථාවලදී කිසිදු ගෙවීමක් නොකරයි. ඔවුන්ගේ වාසස්ථානය වෙනස් කිරීමටවත්, කරන වැඩෙන් ඉවත් වීමටවත් කිසිදු නිදහසක් නැත. ඇතැම් අවස්ථාවලදී, වසර ගණනාවකට ඔවුහු මෙවන් මෙහෙකාරකමකට ගොදුරු වී සිටිත්.

වහල්කම

වහල් මෙහෙකාරකම නීතිය මාර්ගයෙන් ඉවත් කර ඇති බව බොහෝ රටවල් ප්‍රකාශ කර සිටියත්, ඇතැම් ප්‍රදේශවල මෙම අපරාධය යළි හිස ඔසවන බවට ලකුණු ඇත. බොහෝදුරට මෙය දක්නට ලැබෙන්නේ සිවිල් ගැටුම් හෝ යුද්ධ ඇති ප්‍රදේශවලය. “අවි සන්නද්ධ ගැටුම් සිදු වන ප්‍රදේශවල බොහෝදුරට නීතිය රැකෙන්නේ නැත. එමනිසා සෙබළුන් හෝ අවි සන්නද්ධ කණ්ඩායම් තුවක්කු බලය යොදා ජනයාව භය ගන්වමින් කිසිදු ගෙවීමක් නොකර ඔවුන්ව වැඩකාරකමට බඳවාගනිති. . . . එවන් අපරාධවලට දඬුවම් ලැබීම පිළිබඳ බියද ඔවුන්ට නැත. මෙවන් ක්‍රියාමාර්ගයන් විශේෂයෙන් දක්නට ලැබෙන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා නැති අවි සන්නද්ධ කණ්ඩායම් තම අණසක පතුරුවන ප්‍රදේශවලය.” එම වාර්තාව ලැබුණේ ඇන්ටි-ස්ලේවරි ඉන්ටර්නැෂනල් සංවිධානයෙනි. කෙසේවෙතත් එම ආයතනය සපයන මෙම තොරතුරුද සලකා බලන්න. “ආණ්ඩුවේ සෙබළුන් පවා, නීතියේ කිසිදු අනුග්‍රහයකින් තොරව සාමාන්‍ය ජනතාව වහල් මෙහෙකාරකමට බලහත්කාරයෙන් යොදාගන්නා බවට මෑතකදී වාර්තා ලැබී ඇත. මෙවැනි සෙබළු සහ වෙනත් අවි සන්නද්ධ කණ්ඩායම් වහල් මෙහෙකාරකම වෙළඳාමක් ලෙස කරති. ඔවුහු අල්ලාගෙන ඇති අයව වහල් මෙහෙකාරකම සඳහා වෙනත් අයට විකුණති.”

ඇත්තෙන්ම විවිධ මූණත්වලින් යුත් මෙහෙකාරකම නමැති ශාපය මිනිස් සංහතියට තවමත් පීඩා ගෙන එයි. ඊට ගොදුරු වී ඇත්තේ කොතරම් විශාල සංඛ්‍යාවක්දැයි මදකට කල්පනා කර බලන්න. ඇත්තෙන්ම ලොව පුරා දශලක්ෂ ගණනාවක්ම මෙහෙකාරකමෙන් මිරිකී සිටිති. ලින්-ලින් නැතහොත් බින්ටි වැනි අයවත් අමතක නොකරන්න. වහල් මෙහෙකාරකම නමැති අපරාධය පිටු දැකීම ඔබගේ ආශාවද? එවැනි දෙයක් යථාර්ථයක් බවට පත් වේවිද? මුලින්ම, සෑහෙන පෙරළියක් සිදු විය යුතුය. ඒ සම්බන්ධයෙන් ඊළඟ ලිපිය කියවීමට ඇරයුම් කරමු.

[පාදසටහන]

a පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 1999 මැයි 22 කලාපයේ “දරුවන් වැඩකාරකමට ගැනීම—එහි නිමාව අතළඟය!” යන ලිපිය බලන්න.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

විසඳුම් සොයා

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ජගත් කම්කරු සංවිධානය වැනි නිල ලත් ආයතන කිහිපයක්, වහල් මෙහෙකාරකම ඉවත් කර දැමීමට විවිධාකාර යෝජනා සහ වැඩ පිළිවෙළවල් දියත් කරමින් සිටියි. ඒත් සමඟම, රජයට අයත් නොවන සංවිධාන රැසකගේ ප්‍රයත්නය වී තිබෙන්නේ වහල් මෙහෙකාරකම සම්බන්ධයෙන් මහජනයාව දැනුවත් කර, ඊට ගොදුරු වූවන්ට සහනයක් ලබා දීමය. ඇන්ටි-ස්ලේවරි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් වැනි සංවිධාන ඒ අතර වේ. මෙම සංවිධානවලින් සමහරකගේ ප්‍රයත්නවලට, අළෙවි වන භාණ්ඩවල ඇලවීමට විශේෂ ලේබල් හඳුන්වා දීම ඇතුළත් වේ. අදාළ භාණ්ඩය වහල් මෙහෙකාරකමකින් හෝ දරුවන්ව මෙහෙකාරකමට යොදාගැනීමෙන් බිහි වූ නිෂ්පාදනයක් නොවන බවට එය සහතිකයක් වේ. “කාම සංචාර” සංවිධානය කරන රටවල විශේෂ නීති පැනවිය යුතු බව වෙනත් ආයතනවලින් ඉල්ලා සිටී. එසේ කිරීමෙන්, එවැනි සංචාරවල නිරත වී දරු දැරියන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන අය නැවත සිය මව් රටට පැමිණි විට, ඔවුන්ට විරුද්ධව නීතික පියවර ගත හැකි වේ. මානව අයිතිවාසිකම් උදෙසා සටන් කරන ඇතැම් අය, හැකි තරම් මෙහෙකාරකම් කරන්නන් සංඛ්‍යාවක් මිදීමේ අදහසින් ඔවුන්ගේ ස්වාමිවරුන්ට සහ මෙහෙකරුවන් විකුණන අයට විශාල මුදලක් ගෙවීමට පවා ඉදිරිපත් වී ඇත. කෙසේවෙතත්, මෙමගින් මෙහෙකාරකම් කරන්නන්ට ගෙවන මුදල වැඩි වී ඔවුන් සඳහා ලාභදායී වෙළඳපොළක් ඇති විය හැකි නිසා, මෙවන් ක්‍රියාමාර්ගයක් ගැනීම මතභේදයට තුඩු දී ඇත.

[7වන පිටුවේ පින්තූරය]

දැරියන් බොහෝදෙනෙකුව බලහත්කාරයෙන්ම විවාහ කර දෙයි

[හිමිකම් විස්තර]

UNITED NATIONS/J.P. LAFFONT

[8වන පිටුවේ පින්තූරය]

මෙහෙකාරයන් ආහාර ලබාගැනීමට පෝලිමක

[හිමිකම් විස්තර]

Ricardo Funari

[8වන පිටුවේ පින්තූරය]

ඇතැම් දරුවන්ව බලෙන්ම හමුදා සේවයට බඳවාගනු ලැබේ

[හිමිකම් විස්තර]

UNITED NATIONS/J.P. LAFFONT