Skip to content

පටුනට යන්න

වහල් මෙහෙකාරකමට නිමාවක් අතළඟය!

වහල් මෙහෙකාරකමට නිමාවක් අතළඟය!

වහල් මෙහෙකාරකමට නිමාවක් අතළඟය!

“සර්ව ලෝක නිදහසක් අත් කරගැනීමට නම්, තනි තනි පුද්ගලයාගේ නිදහස සහතික කරගත යුතුය. මේ දෙකෙන් එකකට හානියක් කළොත් අනිවාර්යයෙන්ම අනිකට හානියක් සිදු වේ.”—වික්ටෝර් ෂොලර්, ප්‍රංශ මාධ්‍යවේදියෙක් සහ දේශපාලනඥයෙක්, 1848.

“සෙසු ජනයාට නිග්‍රහ කිරීමටත්, පීඩා කිරීමටත් අවමන් කිරීමටත් හේතු වී ඇත්තේ කුමක්ද?” දි UNESCO කුරියර් සඟරාවේ සංස්කාරකයෝ එම ප්‍රශ්නය ඉස්මතු කළහ. ඔවුහු තවත් ප්‍රශ්නයක්ද නැඟූහ. “මානව හිමිකම් රැකගැනීමට මෑතක සිට සෑහෙන ප්‍රයත්නයක් දරා තිබුණත්, මිනිස් සංහතියට විරුද්ධව සිදු කර ඇති මෙවන් අපරාධවලට දඬුවම් දී නැත්තේ මන්ද?”

මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු දීම එතරම් පහසු කාර්යයක් නොවේ. දරුවන්ව අඩු මිලකට මෙහෙකාරකම සඳහා යොදාගැනීම හා ණය දී මෙහෙකාරකමට යොදාගැනීම පිටුපස ඇති එකම චේතනාව ගිජුකමය. ගැහැනු ළමුන්ව ගණිකා මඩම්වලට හෝ මෙහෙකාරකමට විවාහ කර දීම සඳහා විකිණීම සම්බන්ධයෙන් දුගීකම සහ නූගත්කම මත වරද පටවනු ලැබේ. චාරිත්‍රානුකූල මෙහෙකාරකම පිටුපස ආගමික වතාවත් සහ සංස්කෘතික බලපෑම් ඇතැයි කියවේ. එසේ නම්, ඒඩ්ස් වැළඳී නැති ළපටි දරු දැරියන් පසුපස හඹා යමින්, බැංකොක් හෝ මැනිලා බලා ගමන් ගන්නා කාමාතුරයන්ගේ චේතනාව කුමක්ද? කාම රාගයෙන් මත් වූ ඔවුන් ඕනෑම නීච දෙයකට යොමු වන්න කැමැත්තෙන් සිටින නීච සල්ලාලයන් බව පැහැදිලිය. අප ජීවත් වන්නේ එවැනි ලෝකයකයි. එනම්, ‘මනුෂ්‍යයන් තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, ජන්ම ස්නේහය නොමැති, තෘෂ්ණාව මැඩපවත්වාගන්නේ නැති, කෲර’ ලෝකයකයි. අපගේ ලෝකය එලෙස විස්තර කළේ පළමු සියවසේ විසූ නීතිඥයෙක් වූ ප්‍රේරිත පාවුල්ය. (2 තිමෝති 3:1-5) පුරාණයෙහි විසූ සාලමොන් නමැති පාලකයාගේ වදන්වලට අනුව, අප දිවි ගෙවන්නේ “ඇද දේ කෙළින්කරන්ට බැරි” ලොවකයි. “නැති දේ ගණින්ටද නොහැකිය.”—දේශනාකාරයා 1:15.

චින්තනය වෙනස් කළ යුතුය

එසේ නම් විවිධාකාර මූණත්වලින් යුත් මෙහෙකාරකම නමැති අපරාධය සදහටම පිටු දැකීමට කිසිවක් කළ නොහැකි බව මින් අදහස් කෙරේද? කිසිසේත් නැත.

මානව හිමිකම් පිළිබඳ තානාපතිගේ UN කාර්යාලය දක්වන (OHCHR) ආකාරයට, මෙහෙකාරකම යනු “මානසික තත්වයකි.” එමනිසා “එය මර්දනය කළද, මෙහෙකාරකමේ බලපෑම දිගටම පවතී. එය තුරන් වී සෑහෙන කාලයක් ගත වූවායින් පසුව වුවත්, ඊට ගොදුරු වූවන්ගේ, ඔවුන්ගේ පැවතෙන්නන්ගේ සහ එම අපරාධය සිදු කළ අයගේ උරුමක්කාරයන්ගේ මනස්වල එය නොමැකී පැවතිය හැක.”

එබැවින් මෙහෙකාරකම තුරන් කිරීමට නම්, මිනිසා සිතන ආකාරය, එනම් ඔවුන්ගේ චින්තනය ජාත්‍යන්තර පරිමාණයකින් වෙනස් කළ යුතුය. එසේ නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුය. එකිනෙකාගේ ආත්ම-ගරුත්වයට පහර නොදී ඊට ගෞරවය දැක්විය යුතු ආකාරයද එකිනෙකාට ප්‍රේම කළ යුතු ආකාරයද ඉගැන්විය යුතුය. හදවත්වලින් ගිජුකම උදුරා දැමීමට උපකාර අවශ්‍යය. උසස් සදාචාර ප්‍රමිති අනුව ජීවත් වීමට ජනයාව පුහුණු කළ යුතුය. එවැනි අධ්‍යාපනයක් ලබා දිය හැක්කේ කාටද? OHCHR කාර්යාලයේ මතයට අනුව, “මින් මත්තට, අමානුෂික අපයෝජන නුරුස්සන ලෝක පිළිවෙළක් බිහි කිරීමට සියලුදෙනාම එක්සත් විය යුතුය.”

ක්‍රිස්තියානි කණ්ඩායමක් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ඔබ අසා තිබිය හැක. ඔවුන් ලොව පුරා සිදු කරන අධ්‍යාපනික වැඩසටහන සලකා බැලීම යෝග්‍යය. ඔවුන්ගේ වැඩසටහනෙන්, අවංක සිත් ඇත්තන් අමානුෂික අපයෝජන නොඉවසිය යුතු බවත්, එය හෙළා දැකිය යුතු බවත් සාර්ථක ලෙස උගන්වා ඇත. තවද රටවල් 230කටත් වඩා වැඩි ගණනක වෙසෙන දශලක්ෂ ගණන් ජනකායකට සෙසු ජනයාගේ ආත්ම-ගරුත්වයට ගරු කිරීමටත් උගන්වා ඇත. මෙම වැඩසටහන එතරම් සාර්ථක වී ඇත්තේ මන්ද?

එහි පදනම බයිබලය වන නිසාය. බයිබලය මිනිසාගේ මැවුම්කරුගේ මඟ පෙන්වීමෙන් ලියන ලද පොතකි. එය මිනිසාගේ ආත්ම-ගරුත්වයට පක්ෂව කතා කරන පොතකි. එමනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපන වැඩසටහන තුළින් දැනුම ලබන ජනයා, අපගේ මැවුම්කාර යෙහෝවා ගෞරවය හිමි විය යුතු දෙවිකෙනෙකු බව ඉගෙනගනිති. (1 ලේකම් 16:27) එමනිසා ඔහුගේ සියලුම මැවිලිවලටද ඔහු ගෞරවය පිරිනමයි. සියලු ජාතීන්ට, සමාජීය සහ ආර්ථික පසුබිම්වලට අයත් පුරුෂයන් සහ ස්ත්‍රීන් මීට ඇතුළත්ය.—“මිනිසාට නිදහස සහ ගෞරවය—කොහෙන්ද?” යන කොටුව බලන්න.

සමානාත්මතාව සහ ආත්ම-ගරුත්වය අගය කිරීම

දෙවි ‘මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් සියලු මනුෂ්‍ය ජාතීන් මැවූ’ බව බයිබලයෙහි උගන්වා ඇත. (ක්‍රියා 17:26, ඇල අකුරු අපගේය.) එසේ නම්, තමාගේ ජාතිය වෙනත් ජාතියකට වඩා උසස් බව කීමටවත්, සෙසු මනුෂ්‍යයන්ට පීඩා කිරීමට හෝ ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමටවත් කිසිවෙකුට පදනමක් නැත. අලුත් යමක් ඉගෙනගැනීමට කැමැත්තක් දක්වන අය ‘දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙකු බවත්, සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතුව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තා ඔහුට ප්‍රසන්න බවත්’ ක්‍රමක්‍රමයෙන් තේරුම්ගනිති. (ක්‍රියා 10:34, 35, ඇල අකුරු අපගේය.) දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වාගැනීමේ වරප්‍රසාදය සියලුම ජනයාට විවෘත වී ඇති නිසා, සියලුදෙනාටම දෙවිගේ ප්‍රේමය ලැබිය හැකි බව ඔවුහු අවබෝධ කරගනිති. මීට එකඟව බයිබලයෙහි මෙසේ පැවසේ. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරේ අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’—යොහන් 3:16, ඇල අකුරු අපගේය.

එසේ නම්, බයිබලය මත පදනම් වූ මෙම අධ්‍යාපනය අනිවාර්යයෙන්ම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට ගැඹුරින් බලපායි. එතුළින් පුද්ගලයන්ගේ මනස් සහ හදවත් “සම්පූර්ණයෙන්ම අලුත් කළ” හැකිය. (එපීස 4:22-24, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්) සෙසු ජනයාට ගෞරව කිරීමට මෙය ඉවහල් වේ. එවිට ඔවුන්ගේ අධිෂ්ඨානය ‘සියල්ලන්ටම යහපත්කම් කිරීම’ වේ. (ගලාති 6:10, ඇල අකුරු අපගේය.) යමෙකුට සැබෑ ක්‍රිස්තියානියෙකු වී, සෙසු ජනයාව අමානුෂික ලෙස අපයෝජනයට හෝ අතවරයට සහ පීඩාවට ලක් කිරීමට නොහැකිය. ඒ දෙක එකට මිශ්‍ර වන්නේ නැත. මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ විශිෂ්ට සමඟියක් පැවතිණ. එහෙයින්, ‘සියල්ලන් ක්‍රිස්තුස් යේසුස් තුළ එක්කෙනෙක්ව සිටි නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක්’ කියා වෙන් කිරීමක් තිබුණේ නැත. අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එම ආදර්ශයම අනුකරණය කිරීමට සතුටු වෙති.—ගලාති 3:28.

ආණ්ඩු ක්‍රමයේ වෙනසක්

කෙසේවෙතත්, මූණත් රාශියකින් යුත් මෙහෙකාරකම සහමුලින්ම ඉවත් කර දැමීමට නම්, මිනිස් සමාජයෙහි සෑහෙන පෙරළියක් සිදු විය යුතුය. ජගත් කම්කරු සංවිධානයට අනුව, මනුෂ්‍යයන්ගේ ශ්‍රමය සූරාකෑම නතර කර දැමීමට නම්, මෙවැනි දේවලට “අවකාශ සලසන වාතාවරණය වෙනස් කළ යුතුය.” එම ආයතනය මීට අමතර යෝජනාද ඉදිරිපත් කළේය. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමකින් ප්‍රයත්නයක් දැරිය යුතුය, සහයෝගය දැක්විය යුතුය. තවද ලෝකයේ සියලුම රටවල් එකතු වී එය මර්දනය කිරීමට අදිටන් කරගත යුතුය යන්න මින් සමහරකි.

එවන් දෙයක් කිරීමට නම්, මුළු පෘථිවි ග්‍රහයා කෙරෙහිම බලය පෑ හැකි, සර්වලෝක නිදහසක් ගෙන දිය හැකි බලවේගයක් අවශ්‍ය වේ. අපගේ පෘථිවි ග්‍රහයා මත පවතින ගැටලු “සමස්ත-ලෝක මට්ටමකින්” විසඳිය යුතු බව එක්සත් ජාතීන්ගේ හිටපු මහා ලේකම් බූට්‍රොස් බූට්‍රොස් ඝාලි පැවසීය. කෙසේවෙතත්, එවැනි දෙයක් සිදු වෙයි කියා සෑම කෙනෙකුටම ස්ථිරත්වයක් නැත. අතීත අද්දැකීම්වලින් පෙනී යන්නේ ජාත්‍යන්තර මට්ටමින් එවැනි සහයෝගයක් දැක්වීමට බලයේ සිටින මිනිසුන්ගේ අධික ආත්මාර්ථකාමිත්වය බාධකයක් වන බවය. මෙය විශේෂයෙන් ඔවුන් ලුහුබඳින ඉලක්කයන් හා අරමුණුවලට බලපාන බවක් පෙනේ.

කෙසේවෙතත්, සෙසු මනුෂ්‍යයාගේ ආත්ම-ගරුත්වයට ගෞරවය කළ යුතු බව දශලක්ෂ ගණනාවකට උගන්වා ඇති බයිබලය, එවන් ලෝක ආණ්ඩුවක් පිහිටුවීම දෙවිගේ අරමුණ බව පෙන්නුම් කරයි. ඇත්තෙන්ම ධර්මිෂ්ඨකමින් යුත් නව ලොවක් පිළිබඳව පොරොන්දු රැසක් බයිබලයෙහි අන්තර්ගතය. (යෙසායා 65:17; 2 පේතෘස් 3:13) දෙවිගේ අරමුණ වන්නේ දෙවිටවත් තම අසල්වාසියාටවත් ප්‍රේමය නොදක්වන සියලුදෙනාවම මේ පොළොවෙන් ඉවත් කිරීමය. අනතුරුව පොළොවේ ජනයාට ධර්මිෂ්ඨ පාලනයක් ලබා දෙන ලෝක ආණ්ඩුවක් පත් කිරීම තම අරමුණ බව දෙවි හෙළි කර ඇත. ස්වාමීන්ගේ යාච්ඤාව නොහොත් පරමණ්ඩලයේ යාච්ඤාව ලෙස ප්‍රචලිත වී ඇති යාච්ඤාව ඉදිරිපත් කරද්දී, එම ආණ්ඩුව සඳහා යාච්ඤා කළ යුතු බවත් යේසුස් පැවසීය.—මතෙව් 6:9, 10.

රජ වශයෙන් කටයුතු කරන ක්‍රිස්තුස් “යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද” පාලනය කරන්න යන නිසා, මෙම පාලන ක්‍රමය යටතේ මිනිස් සූරාකෑම, වහල්කම සහ මෙහෙකාරකම සහමුලින්ම ඉවත් කරනු ලබනවා ඇත. (යෙසායා 9:7) යේසුස්ගේ යුක්තිසහගත පාලනය යටතේ පීඩිතවූවන්ට නිදහසක් ලැබේ. බයිබලයට අනුව, ‘ඔහු මොරගසන දිළින්දාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණ ගළවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය.’—ගීතාවලිය 72:12-14.

මෙහෙකාරකම සහමුලින්ම පිටු දැකීම ඔබගේ හෘදයාංගම ආශාව නම්, විමුක්තිය ලබා දෙන මෙම ලෝක ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් දෙවි අරමුණු කර ඇති දේ ගැන වැඩි වැඩියෙන් ඉගෙනගැනීමට අපි ඔබට ඇරයුම් කරමු. ඔබගේ ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටියි. ඔබව දැනුවත් කිරීමට ඔවුන් සතුටින් සිටින බව මතක තබාගන්න.

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මිනිසාට නිදහස සහ ගෞරවය—කොහෙන්ද?

අප සැම ඉපදෙන්නේ නිදහස සහ ගෞරවය සඳහා සහජ ආශාවක් ඇතුවය. “භය, වධ හිංසා සහ අගතියෙන් තොර ජීවිතයක් ගත කිරීමට අප සැමෝම උත්සාහ කරන බව පිළිගත නොහැක්කේ කාටද? . . . නිදහස භුක්ති විඳින කිසිවෙක් නිදහස පාගා දැමිය යුතුයි කියා මොරගසයිද? මෙහෙකාරකම් කරන්නෙක් මෙහෙකාරකමට පක්ෂව කතා කරයිද?” එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කෝෆි අන්නන් මෙවන් ප්‍රශ්න ඉස්මතු කළ විට ඔහු අප කාගෙත් හැඟීම් ප්‍රතිරාවය කළ බවට සැකයක් නැත.

නිදහස ගැන මෙවන් අදහස් අලුත් ඒවා නොවේ. “වහලෙකු කියා ඔබ හඳුන්වන මේ මනුෂ්‍යයා ඔබ හා සමානව බිහි වූ බවත්, එකම අහස් තලය යටතේ එකම වාතය ආඝ්‍රාණය කරමින්, ඔබ මෙන් දිවි ගෙවා මෙලොවින් සමුගන්නා බවත් මතක තබාගනු!” ලුසිලියස් වෙත හසුන් යන තම කෘතියෙහි එම අදහස පළ කළ මුල් සියවසේ රෝම දාර්ශනික සෙනෙකා, ඇතමුන් ඉපද ඇත්තේ වහලුන් ලෙස මෙහෙකාරකම් කිරීමටය යන මතය නිෂ්ප්‍රභ කළේය.

මහම්මත්ගෙන් පසු සිව්වන කලිෆ් ධුරය දැරූ බවට ගෞරවයෙන් සලකන ඉමාම් අලි පැවසුවේ සියලුම ජනයා “එක සමාන මැවිලි” බවය. දහතුන්වන සියවසේ විසූ පර්සියානු ජාතික කවියෙක් වූ සාඩි අදහස් දැක්වූයේ මෙසේය. “ආදම්ගේ දරුවන් එකම ගසේ අතු වැනිය. ඔවුන් බිහිව ඇත්තෙත් එකම ද්‍රව්‍යයෙනි. එක්කෙනෙකු ලෝකයාගෙන් හිංසාවට ලක් වේ නම්, සෙස්සන්ට සහනයක් නැත.”

දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියන ලද බයිබලයෙහි අන්තර්ගත ඓතිහාසික වාර්තාවද සියලු මනුෂ්‍යයන්ට හිමි විය යුතු ගෞරවය අවධාරණය කරයි. නිදසුනකට මිනිසා මැවූ අවස්ථාව විස්තර කරන උත්පත්ති 1:27හි මෙසේ පවසා ඇත. ‘දෙවි තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවීය. දෙවිගේ ස්වරූපයෙන් ඔහු මැවීය. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවීය.’ යෙහෝවා තම ස්වරූපයෙන් හා සමානත්වයෙන් මිනිසා මැවූ නිසා, මනුෂ්‍යයන් යම් ආත්ම-ගරුත්වයක්, ගෞරවයක් සහ වටිනාකමේ හැඟීමක් ඇතුවයි සිටින්නේ. තවද අපගේ මැවුම්කාර යෙහෝවා නිදහසේ දෙවි කෙනෙකි. එමනිසා ප්‍රේරිත පාවුල්ට අනුව ‘යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස්කම ඇත්තේය.’ (2 කොරින්ති 3:17) එබැවින් තම මැවිල්ල “ජරාවේ වහල්කමින්” නිදහස් කිරීමෙන්, මිනිස් සංහතියට නිදහස සහ ගෞරවය සදහටම භුක්ති විඳීමේ ප්‍රස්තාව යෙහෝවා සහතිකවම ලබා දෙනවා ඇත.—රෝම 8:20.

[9වන පිටුවේ පින්තූරය]

ගෞරවය සහ නිදහස සෑම කෙනෙකුගේම අයිතිවාසිකමකි

[10වන පිටුවේ පින්තූර]

බයිබල් අධ්‍යාපනය අනාගතය සඳහා බලාපොරොත්තුවක් ලබා දෙන අතරම, මිනිසාගේ ආත්ම-ගරුත්වයට ගරු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි

බෙනින්හි බයිබල් පාඩමක්

ඉතියෝපියාවේ ඇද හැළෙන නීල නයිල් දිය ඇල්ලේ සුන්දරත්වය. අලුත් පාරාදීසයේ තත්වය කොහොම වෙයිද?