Skip to content

පටුනට යන්න

සැබෑ ඇදහිල්ල යනු කුමක්ද?

සැබෑ ඇදහිල්ල යනු කුමක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

සැබෑ ඇදහිල්ල යනු කුමක්ද?

‘ඇදහිල්ල නැතුව ඔහුව ප්‍රසන්න කරන්ට නුපුළුවන. මක්නිසාද දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහු විද්‍යමාන බවත්, ඔහුව [උනන්දුවෙන්, NW] සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය.’—හෙබ්‍රෙව් 11:6.

ඇදහිල්ල යනු කුමක්ද? සමහරෙකු එය පැහැදිලි කර ඇත්තේ දෙවිගේ පැවැත්ම පිළිබඳ ස්ථිර සාක්ෂි නොමැතිව ඔහු කෙරෙහි ඇති කරගන්නා ආගමික විශ්වාසය ලෙසය. එක් අමෙරිකානු පත්‍රකලාවේදියෙකු වූ එච්. එල්. මෙන්කන් ඇදහිල්ල නිර්වචනය කළේ, “සැබෑ නොවන සිදුවීමක් පිළිබඳ පදනම් විරහිත විශ්වාසයක්” යනුවෙනි. මෙය සැබෑ ඇදහිල්ල පිළිබඳ බයිබලයේ ඇති විස්තරයට එකඟද? ඉහත සඳහන් ආකාරයට ‘ඇදහිල්ල නැතුව දෙවිව ප්‍රසන්න කරන්ට නොහැකි නිසා’ ඇදහිල්ල පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

බයිබලයේ පවසන්නේ, “ඇදහිල්ල යනු අප බලාපොරොත්තු වන දේ ගැන ස්ථිර වීම” කියාය. (හෙබ්‍රෙව් 11:1, ද නිව් ටෙස්ටමන්ට් ඉන් ද ලැන්වෙජ් ඔෆ් ටුඩේ) ඒ නිසා, නිවැරදි දැනුම සහ සත්‍ය තොරතුරු මත පදනම්ව ගත් නිවැරදි තීරණ ඇදහිල්ලේ පදනම විය යුතුයි. එය හුදෙක් විශ්වාසයක් පමණක් නොවෙයි. එම විශ්වාසයට සාධාරණ හේතූන්ද අඩංගු විය යුතුයි.

එය මෙසේ නිදර්ශනය කරමු. සමහර විට ඔබේ මිත්‍රයෙකු ගැන ඔබ මෙසේ පැවසිය හැක. “ඔහු හරි විශ්වාසවන්ත කෙනෙක්. ඔහු කියන ඕනෑම දෙයක් විශ්වාස කරන්න පුළුවන්, මාව අමාරුවක වැටුණ වේලාවක වුණත් ඔහු උපකාර කරන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.” ඔබ මෙවැනි දෙයක් දවසක් දෙකක් මුණගැසුණ කෙනෙකුට පවසයිද? ඇත්තෙන්ම ඔබ එවැනි දෙයක් පවසන්නේ කාලාන්තරයක් පුරා ඔබත් සමඟ ඔහුගේ විශ්වාසනීයභාවය ඔප්පු කළ කෙනෙකුට පමණයි. මෙය ආගමික පදනමක් ඇති ඇදහිල්ලකටත් අදාළ වේ. මන්ද බලාපොරොත්තුවක්, ස්ථිර විශ්වාසයක් ඇති වන්නේ ශක්තිමත් සහ නොවරදින සාක්ෂි මත ඇදහිල්ල පදනම් වූ විටදීය.

ඇදහිල්ලද නැතිනම් ක්ෂණික විශ්වාසයද?

අදදින බොහෝදෙනෙකු ඇදහිල්ල ලෙස සලකන්නේ ක්ෂණික විශ්වාසයයි. එනම් කිසිම වලංගු පදනමක් හෝ හේතූන් නොමැතිව විශ්වාස කිරීම ලෙස එය හැඳින්විය හැක. ක්ෂණික විශ්වාසය ගොඩනැඟී ඇත්තේ වෙනස් වනසුලු චිත්තවේගයන් සහ මිථ්‍යා විශ්වාස මතයි. විශ්වාස කිරීමට ශක්තිමත් පදනමක් නොමැති නිසා එය හොඳින් ගොඩනැඟූ ඇදහිල්ලක් නොවේ.

ක්ෂණික විශ්වාසය, කෙනෙකුව බයිබල් සත්‍යයට පටහැනි දෙයක් පිළිගැනීමට පවා පෙලඹවිය හැක. එවැනි පදනම් විරහිත ඇදහිල්ල ගැන බයිබලයේ අනතුරු අඟවා ඇත. “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” (හිතෝපදේශ 14:15) ප්‍රේරිත පාවුල් ලියූ පරිදි, “සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න.” (1 තෙසලෝනික 5:21) බයිබලය කිසිවිටකත් ක්ෂණික විශ්වාසයට අනුබල නොදෙයි. එය දිරිගන්වන්නේ ඇදහිල්ල සාක්ෂි මත පදනම් කිරීමටය.

ඇත්තෙන්ම සැබෑ ඇදහිල්ල ක්ෂණික විශ්වාසයෙන් වෙන් කර හඳුනාගැනීම බැරෑරුම් කාරණයකි. යම්කිසි පුද්ගලයෙකු භක්තිමත් වුණත් ඔහුට සැබෑ ඇදහිල්ල නොතිබෙන්න පුළුවන. පාවුල් සඳහන් කළේ, ‘සියල්ලන්ටම ඇදහිල්ල නැත’ කියාය. (2 තෙසලෝනික 3:2) නමුත් බයිබලයට අනුකූල සැබෑ ඇදහිල්ල සමහරදෙනෙකුට තිබෙන අතර එය ඔවුන්ගේ ජීවිතයටද බලපායි.

සැබෑ ඇදහිල්ල මිනිසාව දෙවි වෙතට ළං කරයි

නිසැකකම සහ විශ්වාසය මත ගොඩනැඟුණු ශක්තිමත් බැඳීමකට ඇදහිල්ල සමාන කළ හැක. මිනිසාව තව තවත් දෙවිට ළං කිරීමට එවැනි ඇදහිල්ලකට හැකියාවක් ඇත. මෙවන් ඇදහිල්ලක් අප වගා කළ යුතු දෙයක් මිසක එය අපට උපතින්ම උරුම වන දෙයක් නම් නොවේ. ඔබට සැබෑ ඇදහිල්ලක් වර්ධනය කරගත හැක්කේ කෙසේද? බයිබලයේ එය පැහැදිලි කරන්නේ, “ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ [ක්‍රිස්තුස්] ගැන දෙසීමෙනි.”—රෝම 10:17, නව අනුවාදය.

එමනිසා, දෙවි ගැනත් ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ගැනත් දැනගැනීමට ඔබේ කාලය මෙන්ම ඔබේ වෑයමද අවශ්‍ය වේ. (හිතෝපදේශ 2:1-9) බයිබලයේ විශ්වාසනීයභාවය තහවුරු කරගැනීමට නම් එහි පවසන දේ ගැන සෙවීමට ඔබ වෙහෙසක් දැරිය යුතුයි.

දැනුම ලබාගැනීම හෝ යම් දෙයක් සත්‍යයයි කියා විශ්වාස කිරීමට වඩා වැඩි යමක් සැබෑ ඇදහිල්ලට ඇතුළත්ව ඇත. එයට ඔබේ හෘදය එනම් ඔබේ ඇතුළාන්තයෙන්ම එන පෙලඹීම ඇතුළත් වෙයි. රෝම 10:10හි පවසන්නේ, “ධර්මිෂ්ඨකම පිණිස සිතින් [හෘදයෙන්, NW] අදහාගන්නේය” යනුවෙනි. මෙහි අර්ථය කුමක්ද? ඔබ දේවභක්තියට අදාළ දේ මෙනෙහි කරන විට ඒ සඳහා අගයක් ගොඩනැඟෙයි. එවිට ඔබ බයිබලයේ ඇති පණිවුඩය ඔබේ හෘදය තුළට කිඳාබැසීමට ඉඩහරිනු ලබයි. ඔබ දෙවිගේ පොරොන්දුවලට එකඟව කටයුතු කිරීමට පෙලඹෙන විටත් ඔහුගේ ආශීර්වාද පිළිබඳ සාක්ෂි දකින විටත් ඔබේ ඇදහිල්ල වර්ධනය වන අතරම ශක්තිමත් වනු ඇත.—2 තෙසලෝනික 1:3.

ඇත්තෙන්ම සැබෑ ඇදහිල්ල මොනතරම් වටිනා සම්පතක්ද! මඟ පෙන්වීම දීමට දෙවිට ඇති හැකියාව සහ අපේ අවශ්‍යතා සපුරාලීමට දෙවිගේ කැමැත්ත කෙරෙහි ඇති අපේ විශ්වාසය, දුෂ්කර කාලවලදී පවා සාර්ථකව මුහුණ දීමට අපට හැකියාවක් ලබා දෙයි. මීට අමතරව, සැබෑ ඇදහිල්ලේ දිගු කාලීන ප්‍රයෝජනයක් දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් පෙන්වා දුන්නේය. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ (යොහන් 3:16, ඇල අකුරු අපගේය.) සදාකාල ජීවනය, ඇදහිලිවන්තයන් සඳහා මොනතරම් අනර්ඝ විපාකයක්ද!

තම සේවකයන්ට දෙවි විපාක දෙන බවට වූ පොරොන්දුව කෙරෙහි විශ්වාසය තැබීම, කෙනෙකුට ජීවිතය ගැන හොඳ ආකල්පයක් ලබා දෙයි. හෙබ්‍රෙව් 11:6හි පවසන්නේ ‘දෙවිව උනන්දුවෙන් සොයන්නන්ට [NW]’ විපාක දීමට දෙවිට ඇති හැකියාව කෙරෙහි විශ්වාස කිරීමද සැබෑ ඇදහිල්ලට ඇතුළත් බවයි. සැබෑ ඇදහිල්ල ක්ෂණික විශ්වාසය නොවන බව සක්සුදක් සේ පැහැදිලියි. එය දෙවිගේ පැවැත්ම නිකම්ම විශ්වාස කිරීමට වඩා වැඩි යමකි. ඔහුව උනන්දුවෙන් සොයන්නන්ට විපාක දීමට ඇති ඔහුගේ හැකියාව පිළිගැනීම ඊට ඇතුළත් වී ඇත. අවංකවම ඔබට දෙවිව දැනහඳුනා ගැනීමට අවශ්‍යද? එසේ නම්, ඔහුගේ වචනය වන බයිබලයේ ඇති නිවැරදි දැනුම ලබාගන්න. එවිට ඇත්තෙන්ම ඔබේ ඇදහිල්ලට අනර්ඝ විපාක ලැබේවි.—කොලොස්සි 1:10, 11.

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඇල්බ්‍රෙක්ට් ඩියූරර්ගේ සිත්තම්/Dover Publications, Inc.