Skip to content

පටුනට යන්න

ආගමික අසාධාරණකම් දැන් පිළිගනියි

ආගමික අසාධාරණකම් දැන් පිළිගනියි

ආගමික අසාධාරණකම් දැන් පිළිගනියි

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසින්

“මේරි රැජිනගේ ‘දරුණු අපරාධ’ ගැන රදගුරුවරු කනගාටු වෙති” යන්න 1998 දෙසැම්බර් 11වෙනිදා, කතෝලික දූතයා (ඉංග්‍රීසියෙන්) නම් බ්‍රිතාන්‍ය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. “කතෝලික ආගමේ නාමයෙන් බරපතළ වැරදි සිදු කර තිබෙන” බව එංගලන්තයේ හා වේල්සයේ රෝමානු කතෝලික රදගුරුවරුන් පිළිගනියි. “මහා බ්‍රිතාන්‍යයේ ආගමික ප්‍රතිසංස්කරණ සමයේදී රෙපරමාදු භක්තිකයන්ට සිදු කළ දේ ඊට හොඳ උදාහරණයක්.” මේරි රැජින කියන්නේ කවුද? දැන් පිළිගැනීමට සිදුව ඇති ඈ කළ ආගමික අසාධාරණකම් මොනවාද? එමෙන්ම එංගලන්තයේ හා වේල්සයේ රදගුරුවරුන් තම අදහස් පළ කිරීමට මේ කාලය තෝරගත්තේ මන්ද?

මේරි ටියුඩර් උපන්නේ 1516දී රෝමානු කතෝලික රටක් වූ එංගලන්තයේයි. අටවන හෙන්රි රජුගේ ප්‍රථම භාර්යාව වූ අරගොන්හි කැතරින්ගේ එකම දරුවා වූ මේරි ටියුඩර්ව ඇගේ මව ඇති දැඩි කළේ භක්තිවන්ත කතෝලිකයෙකු හැටියටයි. ඇගේ පියාට, උරුමක්කාරයෙකු වශයෙන් පිරිමි දරුවෙකු වුවමනා වූ නමුත්, පිරිමි දරුවෙකු බිහි කිරීමට කැතරින්ට හැකි වුණේ නැහැ. කැතරින්ගේ කසාදය කටුගා දැමීමට හෙන්රිට වුවමනා වූ නමුත් පාප් එය ප්‍රතික්ෂේප කළ නිසා, හෙන්රි කාරණය තමන්ගේම අතට ගෙන, එංගලන්තයේ රෙපරමාදු ප්‍රතිසංස්කරණය සඳහා මාර්ගය සූදානම් කරන්නට වුණා. හෙන්රිගේ මුල් විවාහය අවලංගු වූ බව කැන්ටබරිවල අගරදගුරු වූ ටොමස් ක්‍රැන්මර් ප්‍රකාශ කරන්න මාස හතරකට කලින් 1533දී හෙන්රි ඈන් බොලින්ව විවාහ කරගත්තා.

ඊළඟ වසරේදී, රෝමයේ සෑම බැඳීමකින්ම ඉවත් වූ මුරණ්ඩු හෙන්රිව එංගලන්ත සභාවේ ශ්‍රේෂ්ඨ නායකයා ලෙස පත් කළා. මේ අවස්ථාවේදී මේරිව අවජාතක දරුවෙකු ලෙස සැලකූ බැවින්, ඇගේ මවව යළි කවදාවත් දැකීමට ඇයට හැකි වුණේ නැහැ. එසේ වුණේ ඇගේ මව වූ කැතරින්ව ඇගේ ජීවිතයේ අවසාන දවස්වලදී අන් අයගෙන් වෙන් කර හුදකලා කර තිබුණ නිසයි.

රෙපරමාදු අසාධාරණකම්

ඊළඟ වසර 13 තුළදී, සභාවේ නායකයා වශයෙන් හෙන්රිව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ, එසේ නැතහොත් පාප්ගේ අධිකාරිත්වය පිළිගත් සමහරෙකුව මරණයට පත් කළා. හෙන්රි 1547දී මියගිය අතර නව-හැවිරිදි එඩ්වඩ් ඔහුගේ තැන ගත්තා. එඩ්වඩ්, හෙන්රිගේ භාර්යාවන් හයදෙනාගෙන් තුන්වෙනියාට ලැබුණු එකම සුජාත පුත්‍රයායි. එඩ්වඩ් හා ඔහුගේ උපදේශකයන් එංගලන්තය රෙපරමාදු රටක් කිරීමට වෑයම් දැරුවා. රෝමානු කතෝලිකයන් තම ආගම ඇදහූ නිසා ඔවුන්ට පීඩා කළ අතර පල්ලිවලින් රූප හා අල්තාර ඉවත් කරනු ලැබුවා.

වැඩි කලක් යෑමට පෙර, බයිබලය ඉංග්‍රීසියෙන් මුද්‍රණය කිරීමේ හා කියවීමේ තහනම ඉවත් කළ අතර, දේවමෙහෙයන්වලදී බයිබල් කියවීම කළේ ලතින් වෙනුවට ඉංග්‍රීසියෙනුයි. නමුත් 1553දී, එඩ්වඩ්ට වයස 15ක්ව තිබියදී ක්ෂය රෝගය හේතුවෙන් ඔහු මියගියා. අනුප්‍රාප්තිකයා වීමට අයිතිය තිබුණේ මේරිට නිසා ඇය එංගලන්තයේ රැජින බවට පත් වුණා.

කතෝලික අසාධාරණකම්

මුලදී, 37-හැවිරිදි මේරිව ගෞරවාදරයෙන් පිළිගත් නමුත් ඉතා ඉක්මනින්ම ඇගේ ජනප්‍රියත්වය නැති වී ගියා. තම යටත්වැසියන් රෙපරමාදු ක්‍රමයට හැඩගැසී තිබුණත් නැවතත් රෝමානු කතෝලික රටක් බිහි කිරීමට මේරි තීරණය කළා. ඇය ඉතා සුළු කාලයකින්, එඩ්වඩ්ගේ ආගමික නීති රීති සියල්ලම අහෝසි කළා. මේරි ජාතිය වෙනුවෙන් පාප්ගෙන් සමාව අයැද සිටියා. නැවත වතාවක්, එංගලන්තය රෝමානු කතෝලික රටක් වුණා.

රෝමය සමඟ සමඟි වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, රෙපරමාදු භක්තිකයන්ට විරුද්ධව නව පීඩා රැල්ලක් දියත් කළා. ඔවුන්ව සැලකුවේ ඔඩු දිවීමට පෙර වහාම ඉවත් කළ යුතු පිළිකාවක් හැටියටයි. රෝමානු කතෝලික සභාවේ ඉගැන්වීම් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බොහෝදෙනෙකුව වධකණුවල පණපිටින් පුලුස්සා දැමුවා.

මිථ්‍යා ලබ්ධිකයන්ට දඬුවම්

මේරිගේ පාලන සමයේදී මුලින්ම මියගියේ ජෝන් රොජස්. ඔහු ජෙම්ස් රජුගේ අනුවාදය (ඉංග්‍රීසියෙන්) සඳහා පදනම දැමූ මතෙව්ගේ බයිබලය සම්පාදනය කළා. “වසංගතයක් බඳු පාප්ධුරය, රූප වන්දනාව හා මිථ්‍යා විශ්වාසයන්ට” එරෙහිව අනතුරු අඟවමින් රෝමානු කතෝලික ධර්මයට විරුද්ධව දේශනාවක් කළ පසු ඔහුව වසරක් හිර කර තබා, මිථ්‍යා ලබ්ධිකයෙකු හැටියට සලකා 1555 පෙබරවාරියේදී ඔහුව පුලුස්සා මරා දැමුවා.

ග්ලෝස්ටර් හා වූස්ටර්හි ජෝන් හූපර්වත් සැලකුවේ මිථ්‍යා ලබ්ධිකයෙකු හැටියටයි. පූජකයන් විවාහ වීමත්, කාමමිථ්‍යාචාරය හේතුවෙන් දික්කසාද වීමත් වරදක් නොවෙයි කියා ඔහු පවසා සිටියා. පූජාව පවත්වද්දී ක්‍රිස්තුස් ශාරීරිකව එතැන සිටිනවා කියන එකත් ඔහු ප්‍රතික්ෂේප කළා. හූපර්ව පණපිටින් පුලුස්සා දැමුවා. ඔහු මියගියේ විනාඩි හතළිස්පහක් පමණ දැඩි වේදනා විඳීමෙන් පසුවයි. හැත්තෑ-හැවිරිදි, රෙපරමාදු දේශකයෙකු වූ හියූ ලැටිමර්ව පිලිස්සීමට පෙර ඔහු ප්‍රතිසංස්කරණයේ හවුල් වූ මෙන්ම වධකණුවේ බැඳ සිටි නිකලස් රිඩ්ලිව දිරිගැන්නුවා: “දුක් වෙන්න එපා රිඩ්ලි මහත්මයා; පිරිමියෙක් වගේ ඉන්න. දේවකරුණාවෙන් අද අපි එංගලන්තයේ දල්වන්න යන පහන සදා නොනිවෙන එකක් වන බව මට විශ්වාසයි.”

හෙන්රි හා එඩ්වඩ්ගේ පාලන සමයේදී කැන්ටබරිහි මුල්ම රෙපරමාදු අගරදගුරුව සිටි ටොමස් ක්‍රැන්මර්ටත් මිථ්‍යා ලබ්ධිකයෙකු වශයෙන් සලකා දඬුවම් නියම කළා. ඔහු තම රෙපරමාදු විශ්වාසයන් අත්හැරියත්, අන්තිම මොහොතේදී ඔහු ගත්ත ස්ථාවරය වෙනස් කළා. පාප්ව ක්‍රිස්තුස්ගේ සතුරෙකු ලෙස ප්‍රසිද්ධියේ හෙළාදකිමින්, ඔහු තම රෙපරමාදු ස්ථාවරය අත්හැරීම සඳහා අත්සන් තැබීමේ වරද හේතුවෙන් තම දකුණු අත මුලින්ම පිලිස්සෙන්න ගින්දරට හෙළුවා.

ධනවත් රෙපරමාදු භක්තිකයන් 800ක් පමණ ආරක්ෂාව සොයා විදේශගත වුණා. මේරි මියයන තෙක්, එනම් ඊළඟ අවුරුදු තුනයි මාස නවය ගෙවී යන අතරතුරේදී, අඩුම තරමින් 277දෙනෙකුවවත් එංගලන්තයේදී වධකණුවල පුලුස්සා දැම්මා. වැඩි වශයෙන් ඊට ගොදුරු වුණේ තමන් කුමන විශ්වාසයක් ඇතුව සිටිය යුතුදැයි යන්න සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ව්‍යාකූලව සිටි සාමාන්‍ය ජනතාවයි. යෞවනයන් ඇති දැඩි වී තිබුණේ පාප්ව හෙළා දුටු පරිසරයකයි. එමනිසා, ඔහුට විරුද්ධව කතා කළ විට ඔවුන්ට දඬුවම් පමුණුවනු ලැබුවා. අනිත් අය තමන්ගේම උත්සාහයෙන් බයිබලය කියවීමට ඉගෙනගත් අතර තමන්ගේම ආගමික මත ගොඩනඟාගෙන තිබුණා.

පුරුෂයන්ව, ස්ත්‍රීන්ව හා දරුවන්ව වධකණුවල පුලුස්සන විට මරණය ප්‍රමාද වෙනවා හා වේදනාවෙන් පෙළෙනවා දැකීමෙන් බොහෝදෙනෙක් භයෙන් තැතිගත්තා. කාරෝලේ එරික්සන් නම් ඉතිහාසඥයා එවැනි දර්ශනයක් සම්බන්ධයෙන් මෙසේ විස්තර කරයි: “හුඟක් වෙලාවට ගින්නට දමා තිබෙන්නේ අමු දර හෝ ඉක්මනින් පිලිස්සී නොයන තෙත පන් වර්ගයක්. එලෙස පිලිස්සෙන අයගේ වේදනාව කෙටි කිරීමට ඔවුන්ට වෙඩිබෙහෙත් මලු බැඳ තිබුණත් ඒවා පත්තු වුණේ නැහැ. හදිස්සියේවත් පත්තු වුණොත් ඔවුන්ව නොමරා දරුණු ලෙස තුවාල කර දැමුවා.” ඔවුන්ට මුඛවාඩම් දමා නොතිබුණ නිසා “බොහෝවිට මියයන මොහොත වෙනකම්ම ඔවුන්ගේ අඳෝනා හා යාච්ඤා ඇහුණා.”

තම ඉගැන්වීම් බලෙන් කාවැද්දීමට වුවමනා වීම හේතුවෙන් ජනයාව පුලුස්සා දමන ආගමක් ගැන සැක කරන ජන සංඛ්‍යාව වැඩි වෙන්න පටන්ගත්තා. පිලිස්සීමට ගොදුරු වන අය ගැන අනුකම්පාවක් ඇති වූ කිවිඳුන් රෙපරමාදු ප්‍රාණපරිත්‍යාගිකයන් සම්බන්ධයෙන් කවි රචනා කළා. රෙපරමාදු ප්‍රතිසංස්කාරකයන්ට බයිබලය තරම්ම බලපෑමක් ඇති කළ හැකිව තිබූ ප්‍රාණපරිත්‍යාගිකයන්ගේ පොත (ඉංග්‍රීසියෙන්) සකස් කිරීමට ජෝන් ෆොක්ස් පටන්ගත්තා. මේරිගේ පාලනය ආරම්භයේදී රෝමානු කතෝලිකයන්ව සිටි බොහෝදෙනෙක් එය අවසන් වන විට රෙපරමාදු භක්තිකයන් බවට පත්ව සිටියා.

මේරිගේ උරුමය

රැජින වූ පසු මේරි පවසා සිටියේ ඇගේ ඥාති සොහොයුරා වූ ස්පාඤ්ඤ ඔටුන්න හිමි පිලිප් සමඟ විවාහ වන බවයි. ඔහු විදේශීය රජ කෙනෙක් මෙන්ම තද රෝමානු කතෝලිකයෙකුවද සිටියා. ඉංග්‍රීසි ජාතිකයන් එම සම්බන්ධයට තම දැඩි විරෝධතාවය පළ කළා. විවාහයට විරුද්ධව දියත් කළ රෙපරමාදු වැඩ පිළිවෙළක් අසාර්ථක වූ අතර කැරලිගැසූවන් 100දෙනෙකුව ඝාතනය කළා. පිලිප්ට කිසිදා ඔටුන්න හිමි නොවුණත් 1554 ජූලි 25වෙනිදා පිලිප් හා මේරි විවාහ වුණා. කෙසේවුවත්, දරුවන් නැති ඔවුන්ගේ විවාහය, රෝමානු කතෝලික උරුමක්කාරයෙක් වුවමනා වූ මේරිට ශෝකාකූල එකක් වුණා.

මේරිගේ සෞඛ්‍ය තත්වය දුර්වල වී ගිය අතර වසර පහක කෙටි කලක් පාලනය කිරීමෙන් පසු වයස 42දී ඇය මියගියා. ඇය මියයන මොහොත වන තෙක් දැඩි ශෝකයකින් සිටියා. ඇගේ ස්වාමිපුරුෂයාට ඇයව එපා වී තිබුණු අතර ඇගේ යටත්වැසියන්ගෙන් වැඩිදෙනෙක් ඇයට වෛර කළා. ඈ මියගිය අවස්ථාවේදී ලන්ඩන්හි බොහෝදෙනෙක් වීදිවල සාදයන් පැවැත්වුවා. කෙසේ හෝ රෝමානු කතෝලික ධර්මය යළි ගොඩනඟනවා වෙනුවට, ඇය ඇගේ ආගමික උමතුවෙන් කර තිබුණේ රෙපරමාදු ධර්මය වැඩිදියුණු කිරීමයි. ඇයව ප්‍රසිද්ධ වී තිබුණ ඇගේ නමෙන්ම ඇගේ උරුමය ලුහුඬින් දැක්විය හැකියි. ඒ නම ලේ පිපාසිත මේරි යන්නයි.

වැරදි විදිහට පෙලඹුණු හෘදය සාක්ෂියක්

එතරම් සෙනඟක් පුලුස්සා මරා දැමීමට මේරි අණ කළේ මන්ද? මිථ්‍යා ලබ්ධිකයන් දෙවිට ද්‍රෝහිවන්නන් බව ඇයට උගන්වා තිබූ බැවින්, ඔවුන්ගේ බලපෑමෙන් මුළු ජාතියම දූෂණය වීමට පෙර ඔවුන්ව වනසා දැමීම ඇගේ යුතුකමයි කියා ඈ සිතුවා. ඇය තම හෘදය සාක්ෂියට සවන් දුන් නමුත්, හෘදය සාක්ෂිය වෙනත් දිශාවකට යොමු කර තිබූ අන් අයගේ අයිතිවාසිකම් නොසලකා හැරියා.

කෙසේවුවත්, රෙපරමාදු භක්තිකයන්ද ඒ හා සමානවම අසාධාරණකම් කළා. හෙන්රි හා එඩ්වඩ්ගේ පාලනය යටතේදීත්, ආගමික විශ්වාසයන් හේතුවෙන් ජනයාව පුලුස්සා දැමුවා. මේරිගෙන් පසු බලයට පැමිණි රෙපරමාදු භක්තිවන්තියක වූ 1වෙනි එළිසබෙත්, රෝමානු කතෝලික ධර්මය ඇදහීම රාජද්‍රෝහී වරදක් බවට පත් කළ අතර, ඇගේ පාලන සමයේදී ඉංග්‍රීසි ජාතික රෝමානු කතෝලිකයන් 180කට වැඩිදෙනෙකුව ඝාතනය කර දැමුවා. ඊළඟ සියවස තුළදී, තම ආගමික අදහස් හේතුවෙන් තවත් එවැනි සිය ගණනක් මරණයට පත් වුණා.

ඇයි දැන් සමාව ඉල්ලන්නේ?

මානව අයිතිවාසිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශයේ 50වන සංවත්සරය පැවැත්වුණේ 1998 දෙසැම්බර් 10වෙනිදායි. කෙනෙකුගේ ආගම වෙනස් කිරීමට හා එය ඉගැන්වීමට නිදහස මෙන්ම “සිතීමට, හෘදය සාක්ෂියට අනුව වැඩ කිරීමට හා ආගමක් ඇදහීමට නිදහස ඇතුව සිටීම සඳහා අයිතියක්” තිබෙන බව 18වන වගන්තියේ පිළිගන්නවා. එංගලන්තයේ හා වේල්සයේ රෝමානු කතෝලික අගරදගුරුවරුන් 50වන සංවත්සරය තෝරාගත්තේ, එම කාරණා සම්බන්ධයෙන් කතෝලිකයන්ට තම හෘදය සාක්ෂිය පරීක්ෂා කිරීමට මෙන්ම “දරුණු වැරදි” විශේෂයෙන්ම මේරි ටියුඩර්ගේ කාලයේදී කළ දරුණු වැරදි පිළිගැනීමට මෙය යෝග්‍ය අවස්ථාවක්” වශයෙන් සලකමිනි.

වසර 450කට ආසන්න කාලයකට පෙර සිදු වූ ආගමික අසාධාරණය සම්බන්ධ ක්‍රියා ගැන දැන් පසුතැවිලි වුවත්, ඇත්තෙන්ම වෙනසක් සිදු වී තිබෙනවාද? ජනයාව තවදුරටත් කණුවල පුලුස්සා දමන්නේ නැති වුණත්, ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ හුඟදෙනෙක් වෙනත් ආගම්වල සිටින්නන්ව දූෂණය කරමින් හා මරමින් සිටිනවා. එවැනි අසාධාරණකමක් දෙවිව සතුටු කරන්නේ නැහැ. ඇත්තවශයෙන්ම, දෙවිගේ පෞද්ගලිකත්වය පූර්ණ ලෙස පිළිබිඹු කරන යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත” කියාය.—යොහන් 13:35.

[28වන පිටුවේ පින්තූරය]

මේරි රැජින

[හිමිකම් විස්තර]

A Short History of the English People නම් පොත ඇසුරෙන්

[29වන පිටුවේ පින්තූරය]

ලැටිමර් හා රිඩ්ලිව කණුවල පුලුස්සා දැමුවා

[හිමිකම් විස්තර]

Foxe’s Book of Martyrs පොත ඇසුරෙන්

[29වන පිටුවේ පින්තූරය]

ක්‍රැන්මර් තම දකුණු අත මුලින්ම පුලුස්සාගැනීමට වගබලා ගනියි

[හිමිකම් විස්තර]

The History of England (Vol. 1) පොත ඇසුරෙන්

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

මෝස්තරය: 200 Decorative Title-Pages/Alexander Nesbitt/Dover Publications, Inc.