Skip to content

පටුනට යන්න

දුම්පානයේ ග්‍රහණයට හසු වූ ලොවක්

දුම්පානයේ ග්‍රහණයට හසු වූ ලොවක්

දුම්පානයේ ග්‍රහණයට හසු වූ ලොවක්

බිල් හරිම කාරුණික මනුෂ්‍යයෙක්. බුද්ධියෙන් හා මනා ශරීර ශක්තියකින්ද හෙබි පුද්ගලයෙකි. ඔහු තමාගේ පවුලටත් දැක්වූයේ පුදුම ආදරයක්. එනමුත් ඔහුට නරක පුරුද්දක් තිබිණ. යෞවන කාලයේ සිට බිල් දුම්පානය කළේය. වයසින් මුහුකුරා ගිය විට ඔහුට එම පුරුද්ද ගැන තිබුණේ ඉමහත් පිළිකුලකි. දුම්වැටියක් උර උර, දුම්පානයේ අනතුරු ගැන තම පුතුන්ට අනතුරු ඇඟවූ අවස්ථා එමටය. ඒ නිසා තමා කොතරම් මෝඩයෙක්ද කියා පැවසීමට ඔහු පසුබට වූයේද නැත. සිගරට් පැකට් එකක් අතින් පොඩි කර ඉවතලා ආයෙත් දුම්පානය කරන්නේ නැතැයි තරයේ පැවසූ අවස්ථාද බොහෝය. කෙසේවෙතත්, නැවත නැවතත් ඔහු දුම්පානයට හසු විය. මුලින්ම රහසිගතව එසේ කළත්, පසුව එළිපිට කළේය.

බිල් දැන් අප අතර නැත. වසර 15කට පමණ පෙර පිළිකාවක් හේතුවෙන් මාස ගණනක් තිස්සේ දුක් විඳ ඔහු මෙලොවින් සමුගත්තේය. එම පුරුද්දට ඔහු ඇබ්බැහි වී නොසිටියා නම්, සමහරවිට අදත් ජීවතුන් අතරය. ඔහුගේ භාර්යාවට පුරුෂයෙක්ද, පුතුන්ට පියෙක්ද අකාලයේ අහිමි වන්නේද නැත.

බිල්ගේ මරණය ඔහුගේ පවුලට ඉමහත් වේදනාවක් ගෙන දුන් බවට සැකයක් නැත. එනමුත් බිල්ගේ ඉරණමට අදදින බොහෝදෙනෙක් ගොදුරු වෙති. ජගත් සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, දුම්පානය හා සම්බන්ධ රෝග හේතුවෙන් වසරකට මිනිසුන් දශලක්ෂ සතරක් මියයති. එනම් සෑම තත්පර අටකටම එක් මිනිසෙකු බැගිනි. ලොව පුරා වැළැක්විය හැකි රෝග වැඩි හරියක්ම ඇතිවීමට ප්‍රධානතම හේතුව දුම්පානයයි. දුම්පානය සඳහා දැන් තිබෙන ප්‍රවණතාව මෙලෙස දිගටම පැවතුණහොත්, මරණයට සහ ආබාධ ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුව දුම්පානය විය හැක. එවිට ඒඩ්ස්, ක්ෂය රෝගය, මාතෘ මරණ, රිය අනතුරු, සියදිවි හානි කරගැනීම් සහ මිනීමැරුම් හේතුවෙන් මියයන සංඛ්‍යාවේ මුළු එකතුව පවා දුම්පානයෙන් මැරෙන සංඛ්‍යාවට වඩා අඩු වනු ඇත.

ඔව්, දුම්පානය මාරාන්තික පුරුද්දකි. එනමුත්, දුම්පානය කරන්නෝ දසත පැතිර සිටිත්. WHO සංවිධානයට අනුව, ලොව පුරා බිලියන 1.1ක් පමණ මනුෂ්‍යයන් දුම්පානය කරති. එනම් ලොවේ වැඩිහිටියන්ගෙන් දළ වශයෙන් තුනෙන් එකකි.

සමීක්ෂකයන්ගේ ගණන් බැලීම්වලට අනුව, දුම්කොළ සමාගම්වලට එරෙහිව නඩු දැමීම නිසා ඩොලර් කෝටි ගණන් ගෙවීමට සිදු වුවද, ඔවුන්ට ලැබෙන ඩොලර් ප්‍රකෝටි ගණනේ ලාභ හා සසඳන කල එය කිසිත් නැති තරම්ය. එක්සත් ජනපදයේ පමණක් දුම්කොළ කර්මාන්ත ශාලාවල දුම්වැටි බිලියන 1.5ක් දිනපතා නිෂ්පාදනය කරන බවට ගණන් බලා ඇත. ලොව වටා දුම්කොළ සමාගම් සහ ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ඒකාධිකාරයන් වසරකට දුම්වැටි ට්‍රිලියන (ප්‍රකෝටි) පහකට වැඩිය අළෙවි කරයි.

මෙතරම් මාරාන්තික පුරුද්දකට බොහෝදෙනෙක් ඇබ්බැහි වන්නේ මන්ද? ඔබත් ඊට හසු වී ඇත්නම්, එය අත්හරින්නේ කෙසේද? මීළඟ ලිපිවල මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයේ.