Skip to content

පටුනට යන්න

දුම්පානය නතර කළ යුත්තේ ඇයි?

දුම්පානය නතර කළ යුත්තේ ඇයි?

දුම්පානය නතර කළ යුත්තේ ඇයි?

මෙලොවෙහි දිගු ආයු කාලයක් භුක්ති විඳීමට ඕනෑ නම්, දුම්පානය ගැන හීනෙකින්වත් හිතන්න එපා. ඇයි? කාලාන්තරයක් පුරා දුම්පානය කිරීමෙන් සෑම දෙදෙනෙකුගෙන්ම එක් කෙනෙක් මියයන බවට සාක්ෂි ඇත. ජගත් සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂක-ජනරාල්වරිය මෙසේ පැහැදිලි කළාය. “දුම්වැටිය කොතරම් සූක්ෂ්ම ලෙස නිෂ්පාදනය කර ඇද්ද කිවහොත්, දුම් බොන්නෙක්ව ජීවිතාන්තය දක්වාම ඇබ්බැහි කර තැබීමට සුදුසුම නිකටින් මාත්‍රාව එහි අඩංගුය. ඉන්පසුව මරණය නියතය.”

එසේ නම්, දුම්පානය නතර කිරීමට එක් හේතුවක් පැහැදිලිවම දැකගත හැක. එය සෞඛ්‍යයට අහිතකර මෙන්ම ජීවිතයටද තර්ජනයකි. ජීවිතයට අනතුරක් වන රෝග 25ක්ම හෝ ඊට වැඩිය දුම්පානය නිසා ඇති වන බවට සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස හෘදයාබාධ, ආඝාත (අංශභාගය), නිදන්ගත ක්ලෝම ප්‍රදාහය (බ්‍රොන්කයිටිස්), එම්ෆිසිමාව සහ විශේෂයෙන් පෙණහලු පිළිකාව ඇතුළුව තවත් පිළිකා රැසක් සඳහන් කළ හැක.

කෙසේවෙතත්, මෙවැනි රෝගයකින් පහර කෑමට කලින් සමහරුන් වසර ගණනාවක් දුම්පානය කර තිබේ. ඒ අතරතුර නොයෙකුත් අමිහිරි අද්දැකීම්වලටද මුහුණ දීමට සිදු වේ. දුම්පානය නිසා කටින් දුගඳක් හමයි. දත්වල සහ ඇඟිලිවල කහට බැඳේ. ලිංගික බෙලහීනතාවද ඇති කරයි. සුව කළ නොහැකි කැස්සක්ද, හුස්ම ගැනීමේ අපහසුතාවක්ද ඇති කරයි. බොහෝදුරට දුම් බොන්නන්ගේ සම අකලට රැලි වැටීමට සහ වෙනත් සමේ රෝගවලට නිරාවරණය වීමට ඇති ඉඩ කඩ වැඩිය. ඔව්, ප්‍රචාරණ දැන්වීම් වලින් සම්පූර්ණයෙන්ම වෙනස් පින්තූරයක් දුන්නද, සැබෑ තත්වය ඉතා අප්‍රසන්න එකක් බව පැහැදිලිය.

අන්‍යයන්ට බලපාන අන්දම

‘අප අපගේ අසල්වාසියාට ප්‍රේම කළ’ යුතු බව බයිබලයෙහි පැවසේ. (මතෙව් 22:39) එසේ නම් දුම්පානය නතර කිරීමට තවත් ප්‍රබල හේතුවක් මෙහි ගැබ්ව ඇත. ඔබේ පවුලේ සාමාජිකයන් සහ ළඟම සිටින අසල්වාසීන් සඳහා දැක්විය යුතු ප්‍රේමය නිසා දුම්පානය අත්හැරීම යෝග්‍යය.

දුම්පානය කිරීම අවට සිටින්නන්ට හානිකරය. තමන් කැමති ඕනෑම තැනකදී කිසිවෙකුගෙන් තර්ජනයක් නොමැතිව දුම්වැටියක් දල්වාගැනීමට දුම් බොන්නෙකුට මෑතක් වන තුරුම නිදහස තිබිණ. එනමුත් දැන් බොහෝදුරට එවන් දෙයක් කිරීම අසීරුය. මන්ද දුම්පානය ගැන මනුෂ්‍යයන්ට තිබෙන ආකල්ප වෙනස් වී ඇත. බොහෝදෙනෙක් වෙනත් අය පානය කරන දුම්වැටිවලින් නැඟෙන දුම ආඝ්‍රාණය කිරීමෙන් ඇති විය හැකි අනතුරු ගැන මනා අවබෝධයකින් සිටිති. නිදසුනකට, දුම්පානය කරන්නෙකු හා විවාහ වී සිටින දුම් නොබොන කෙනෙකු ගැන සලකා බලමු. දුම්පානය නොකරන්නෙකු හා විවාහ වී සිටියා නම්, පෙණහලු පිළිකාවක් වැළඳීමේ අවදානම සියයට 30කින් අඩු වේ. එසේ නම්, දුම්පානය කරන්නන්ගේ දරුවන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ගේ ජීවිතයේ මුල් අවුරුදු දෙක තුළ නියුමෝනියාව හෝ බ්‍රොන්කයිටිස් ඇතිවීමට තිබෙන ඉඩ කඩ බෙහෙවින් වැඩිය.

දුම්පානය කරන ගැබිනි මව්වරු තම කුසෙහි සිටින දරුවාට හානි කරති. දුම්වැටියකින් ආඝ්‍රාණය කරන දුමෙහි ඇති නිකටින්, කාබන් මොනොක්සයිඩ් සහ වෙනත් මාරාන්තික රසායනික ද්‍රව්‍ය මවගේ රුධිරයට එකතු වී කෙළින්ම ගර්භාශයේ සිටින දරුවා වෙතට යයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ස්වාභාවික ගබ්සාවන්, මළ දරු උපත් සහ බිළිඳු මරණවලට තිබෙන ඉඩ කඩ වැඩිය. තවද ගැබ්ගෙන සිටි කාලයේදී දුම්පානය කළ මව්වරුන්ගේ බිළිඳුන් හදිසියේම මියයෑමට තිබෙන ඉඩ කඩ තුන් ගුණයකින් වැඩි බවට ගණන් බලා ඇත.

වියදමත් අධිකය

දුම්පානය වියදම් අධික පුරුද්දකි. එසේ නම් එය අත්හැරිය යුතු තවත් හොඳ හේතුවකි එය. ලෝක බැංකුව කළ අධ්‍යයනයකට අනුව, තනිකරම දුම්පානය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලුවලට සෑම වසරකදීම ඩොලර් බිලියන 200ක් වැය වූ බවට ගණන් බලා තිබේ. කෙසේවෙතත්, දුම්පානය හා සම්බන්ධ රෝග වැළඳීම නිසා විඳීමට සිදු වන අපහසුතාව සහ වේදනාවද මෙහිදී අමතක කළ නොහැක.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දුම්පානය සඳහා වියදම් වන මුදල ගණනය කිරීම එතරම් අපහසු නැත. ඔබ දුම්පානය කරන්නෙක් නම්, දිනකට දුම්වැටි සඳහා වියදම් කරන මුදල 365කින් වැඩි කරන්න. වසරකට දුම්පානය සඳහා ඔබට වියදම් වන මුදල එයින් සොයාගත හැක. ඒ සංඛ්‍යාව දහයෙන් වැඩි කළොත්, ඊළඟ වසර දහයෙදිම ඔබ දුම්පානය කළොත් වැය වන වියදම ලැබෙයි. ඇත්තෙන්ම මෙසේ ගණනය කිරීමෙන් ලැබෙන උත්තරය ඔබව පුදුමයට පත් කරාවි. එතරම් මුදල් ප්‍රමාණයකින් ඔබට කළ හැකි ප්‍රයෝජනවත් සහ වැඩදායක දේවල් මොනවාදැයි සිතා බලන්න.

විකල්ප නැද්ද?

දුම්කොළ සමාගම් තාර සහ නිකටින් අඩු දුම්වැටි ‘ලයිට්’ නැතහොත් ‘මයිල්ඩ්’ යන නම් යොදා ප්‍රචාරණය කරන්නේ දුම්පානයේ සෞඛ්‍ය අවදානම අඩු කරගැනීමට මඟක් ලෙසයි. කෙසේවෙතත්, තාර සහ නිකටින් අඩු දුම්වැටි පාවිච්චි කිරීමට පටන්ගන්නා අයට නිකටින් සඳහා තිබෙන ආශාවෙහි අඩුවක් නැත. එමනිසා, තාර සහ නිකටින් අඩු දුම්වැටි පාවිච්චි කරන අය සාමාන්‍යයෙන් දුම්වැටි වැඩි ප්‍රමාණයක් දල්වන අතර, හැම දුම්වැටියකින්ම උපරිම වින්දනයක් ලබාගැනීමටද පෙරට වඩා වැඩි ආයාසයක් දරති. අඩුව පිරිමසා ගැනීමට එලෙස වැඩියෙන් නොබොන අයට වුවත් ඉන් සොඛ්‍යය අතින් වැඩි වාසියක් සිදු නොවේ. හොඳම විකල්පය පුරුද්ද සම්පූර්ණයෙන්ම අත්හැරීමයි.

දුම් පයිප්ප සහ සුරුට්ටු ගැන කුමක් කිව හැකිද? දුම්කොළ සමාගම් මගින් දුම් පයිප්ප සහ සුරුට්ටු පානය කිරීමෙන් යමෙකුට සමාජයේ යම් පිළිගැනීමක් ලබා දෙන බවට සෑහෙන කලක් තිස්සේ ප්‍රචාරණය කළද, ඉන් අත් වන හානිය දුම්වැටි තරම්ම බරපතළය. සුරුට්ටුවලින් හෝ දුම් පයිප්පවලින් දුම් ආඝ්‍රාණය කිරීමක් සිදු නොවුවද, තොල්වල, මුඛයේ සහ දිවේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වේ.

එසේ නම්, දුම්කොළ නොදල්වා භාවිත කිරීම ආරක්ෂා සහිතද? මීට දුම්කුඩු ඉරීම සහ දුම්කොළ හැපීම අයත් වේ. දුම්කුඩු සාමාන්‍යයෙන් ටින් ලෙස හෝ විශේෂ ඇසුරුම්වලින් සකසා විකුණනු ලැබේ. එය භාවිත කරන ඇතැම්හු දුම්කුඩු කටට ගෙන සූප්පු කරති. හැපීම සඳහා නිෂ්පාදනය කරන දුම්කොළ දිගින් වැඩි කැබලි ලෙස අසුරා අළෙවි කෙරේ. මෙහිදී ඉරීමක් නොව හැපීමක් සිදු වේ. මෙම ක්‍රම දෙකම මුඛයෙන් දුගඳක් හැමීමට, දත්වල කහට බැඳීමට, මුඛයේ සහ ග්‍රසනිකාවේ පිළිකා ඇතිවීමට, නිකටින් ඇබ්බැහි වීමකට, පිළිකාවෙන් කෙළවර විය හැකි සුදු පැහැති මුඛ තුවාලවලට, විදුරු මස දිය වී යෑමට සහ දත් අවට අස්ථි දිය වී යෑමට හේතු විය හැක. දුම්කුඩු ඉරීමවත්, දුම්කොළ හැපීමවත් දුම්පානයට යෝග්‍ය විකල්පයක් නොවන බව මෙයින් පැහැදිලි වේ.

අත්හැරීමෙන් ප්‍රයෝජන ඇද්ද?

ඔබ දිගු කලක් තිස්සේ දුම්පානය කරන කෙනෙක්යයි සිතමු. එම පුරුද්ද අත්හරින විට කුමක් සිදු වේදැයි සලකා බලන්න. ඔබ දුම්පානය කළ අවසන් වතාවේ සිට විනාඩි 20ක් ඇතුළත ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට බසී. සතියකින් පසු ඔබේ සිරුරෙන් නිකටින් බැහැර වෙයි. මාසයකින් පසු ඔබේ කැස්ස, ඔළුවේ තිබෙන සෙම නිසා ඇති වන බර ගතිය, ඇඟට දැනෙන විඩාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව අඩු වී යෑමට පටන්ගනී. එලෙසම වසර පහකට පසු පෙණහලු පිළිකාවකින් මියයෑමට ඇති අවදානම සියයට 50කින් අඩු වේ. වසර 15කින් පසු හෘදයාබාධයක් වැළඳීමේ අවදානම, කිසිදා දුම්පානය නොකළ කෙනෙකුට එය වැළඳීමේ අවදානම් මට්ටම දක්වා පහත බසී.

ආහාර ගන්නා අවස්ථාවන්හිදී එහි රස වඩාත් හොඳින් දැනේ. තවදුරටත් ඔබේ මුඛයෙන් දුගඳක් හමන්නේ නැත. සිරුරේ සහ ඇඳුම් පැළඳුම්වල අප්‍රසන්න දුම්කොළ ගඳක් නොමැත. දුම්කොළ මිල දී ගැනීමෙන් මුදල් නාස්ති වන්නේද නැත. ඔබ විශිෂ්ට ජයක් අත් කරගෙන ඇති නිසා, ඔබේ ආත්ම-විශ්වාසයද ගොඩනැඟේ. දරුවන් සිටී නම්, ඔබේ ආදර්ශය නිසාම දුම් බොන්නන් වීමට ඔවුන්ට තිබෙන ඉඩ කඩද අඩු විය හැක. ඔබේ ආයු කාලයද වැඩි විය හැක. ඇරත් බයිබලයෙහි “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර [කරගැනීමට]” පවසා ඇති නිසා, ඔබ දෙවිගේ කැමැත්තට එකඟව කටයුතු කරන බවත් පැවසිය හැක. (2 කොරින්ති 7:1) එසේ නම්, අත්හරින්න ප්‍රමාද වැඩියි කියා කිසිදා නොසිතන්න. අද කළ හැකි දේ හෙටට කල් දමන්නේ කුමටද?

නතර කිරීම අමාරු මන්ද?

සෑහෙන ධෛර්යය උපදවාගත් අයට වුවත් දුම්පානය නතර කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ප්‍රධාන හේතුව නම්, දුම්කොළවල අඩංගු නිකටින් ඉතා ඇබ්බැහි කරවනසුලු මත්ද්‍රව්‍යයක් වීමය. ඒ සම්බන්ධව WHO මෙසේ පවසයි. “මනසට සහ හැසිරීමට බලපාන මත්ද්‍රව්‍ය කොතරම් ඇබ්බැහි කරවනසුලුද කියා මැන බලද්දී, හෙරොයින් [සහ] කොකේන්වලට වඩා නිකටින්වල ඇබ්බැහි කරවීමේ ශක්තිය වැඩි බව පර්යේෂණවලින් හෙළි විය.” හෙරොයින් සහ කොකේන්වලට වඩා නිකටින් වෙනස්ය. ඇත්තෙන්ම හෙරොයින් සහ කොකේන්වලින් ප්‍රබල මත් ගතියක් දැනේ. නිකටින්වලින් එවන් ප්‍රබල මත් ගතියක් නොදැනෙන නිසා, ඉන් එතරම් බලපෑමක් සිදු නොවේයයි පහසුවෙන්ම සිතිය හැක. එනමුත් ඉන් ලැබෙන මද ප්‍රමෝදය සෑහේ. එම ප්‍රමෝදවත් හැඟීම නැවත නැවතත් භුක්ති විඳීමේ ආශාවෙන් බොහෝ මනුෂ්‍යයෝ නැවත නැවතත් දුම්වැටියක සරණ පතති. නිකටින් ඇත්තටම ඔබේ මානසිකත්වයට බලපායි. කාන්සාව අඩු කරයි. කෙසේවෙතත්, ඇති වන පීඩනයට යම් දුරකට බලපාන්නේ නිකටින් සඳහා තිබෙන දැඩි ආශාවයි.

නිකටින්වල ඇබ්බැහි කරවනසුලුභාවයට අමතරව, දුම්පානය නතර කිරීම අපහසු කරවන තවත් හේතුවක් තිබේ. එනම් දුම්පානය කරන්නන් යම්කිසි දින චර්යාවකට පුරුදු වීමයි. ඊට දුම්වැටියක් පත්තු කර දුම ආඝ්‍රාණය කිරීම ඇතුළත් වේ. ඇතැම්හු ඒ ගැන මෙසේ පවසති. ‘සිගරට් එකක් බොන කොට කම්මැළිකමක් දැනෙන්නේ නැහැ.’ ‘ඒක කාලය ගෙවාගන්න නියම ක්‍රමයක්.’

දුම්පානය දෛනික ජීවිතයට අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන ලද්දකි. එසේ නම් එය නතර කිරීම අපහසු කරවන තුන්වන හේතු සාධකය වන්නේ එයයි. දුම්කොළ සමාගම් වාර්ෂික ප්‍රචාරණ කටයුතු සඳහා ඩොලර් බිලියන හයකට ආසන්න මුදලක් වැය කරයි. එම දැන්වීම්වල දුම්පානය කරන්නන් හැටියට නිරූපණය කිරීමට යොදාගන්නේ, කඩවසම්, ක්‍රියාශීලී, හැඩි දැඩි, බුද්ධිමත් පුද්ගලයන්වයි. අශ්වයෙකු පිට නැඟී, ටෙනිස් ගහමින්, නැතහොත් පිහිනමින් යම් සිත්ගන්නා කටයුත්තක නියැලෙන ආකාරය මෙවැනි ප්‍රචාරණ දැන්වීම්වලින් පෙන්වයි. එලෙසම චිත්‍රපටවල සහ රූපවාහිනී වැඩසටහන්වල දක්නට ලැබෙන නළු නිළියන් දුම්පානය කරන අන්දමද දැකගත හැක. එසේ දුම්පානය කරන චරිත අනිවාර්යයෙන්ම නපුරු අයද නොවේ. දුම්කොළ මත්ද්‍රව්‍ය මෙන් නොව නීත්‍යනුකූලවම අළෙවි කෙරේ. තවද ඕනෑම තැනකින් පාහේ ලබාගත හැක. දිනපතාම අවස්ථා බොහොමයකම අපගෙන් බොහෝදෙනෙකුට දුම්පානය කරන්නන්ව හමු වෙයි. මෙවැනි බලපෑම්වලින් නිදහස්ව සිටීම අසීරුයි.

කෙසේවෙතත්, ඩිස්ප්‍රින් හෝ පැනඩෝල් පෙත්තක් ගෙන හිසරදයට සහනයක් ලබාගන්නා සේ දුම්පානයට ක්ෂණික පිළියමක් නොමැත. මෙම පුරුද්ද නතර කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න නම්, පුද්ගලයෙකු ධෛර්යය උපදවාගත යුතුය. කෙනෙකුගේ ශරීරයේ බර අඩු කරගැනීමට නම් සෑහෙන කාලයක් තිස්සේ අධිෂ්ඨානපූර්වක සටනක නිරත වීමට සිදු වෙනවා හා සමානව දුම්පානය සම්බන්ධයෙන්ද එවැනිම සටනක් කළ යුතු වේ. මෙලෙස, ජයගැනීමට නම් දුම්පානය කරන්නා ධෛර්යය උපදවාගත යුතුය.

[21වන පිටුවේ කොටුව]

තුරුණු ගොදුරු

එක්සත් ජනපදයේ කළ අධ්‍යයනයකින් හෙළි වූයේ දුම්පානය අත්හදා බැලූ තරුණයන් සිව්දෙනෙකුගෙන් එක් කෙනෙක් ඊට ඇබ්බැහි වූ බවය. මෙය කොකේන් සහ හෙරොයින් අත්හදා බලා ඇබ්බැහි වූ අයගේ ප්‍රතිශතයට සමානය. නහඹර වියේ දුම්පානය කරන්නන්ගෙන් සියයට 70ක්ම එම පුරුද්ද පටන්ගැනීම ගැන පසුතැවුණද, එය නතර කර දමන්නේ අතළොස්සකි.

[21වන පිටුවේ කොටුව]

සිගරට් දුමෙහි අඩංගු දෑ

දුම්වැටියක් දල්වද්දී, ඉන් පිට වන දුමෙහි තාර ඇත. තාරවල රසායනික ද්‍රව්‍ය 4,000කට වඩා තිබෙන අතර, මෙම රසායනික ද්‍රව්‍යවලින් 43ක්ම පිළිකා හේතුකාරකයන් බව සොයාගෙන ඇත. ඉන් සමහරක් නම්, සයනයිඩ්, බෙන්සීන්, මෙතනොල්, ඇසිටලින් (ලෝහ පෑස්සීමට භාවිත කරන වායුවක්) යනාදියයි. විෂකර වායූන් දෙකක් වන නයිට්‍රජන් ඔක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ්ද සිගරට් දුම්වල අඩංගු වේ. කෙසේවෙතත්, ඉතා ඇබ්බැහි කරවනසුලු මත්ද්‍රව්‍යයක් වන නිකටින්, සිගරට් දුමෙහි ප්‍රධාන තැනක් ගනී.

[22වන පිටුවේ කොටුව]

නතර කිරීමට ඔබේ හිතවතෙකුට උපකාර කිරීම

ඔබ දුම්පානයේ අනතුරු දන්නා දුම් නොබොන්නෙක් නම්, ඔබේ මිතුරෙකු හෝ හිතවතෙකු එවැනි පුරුද්දක දිගටම නියැලෙනවා දැකීම ඔබ තුළ ඉමහත් කලකිරීමක් ඇති කළ හැක. ඔවුන්ට එම පුරුද්ද නතර කිරීමට උපකාරයක් වශයෙන් ඔබට කුමක් කළ හැකිද? බල කිරීමෙන්, පෙරැත්ත කිරීමෙන් හෝ සරදම් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගත නොහැක. බණ දේශනාවක් දීමද ඵලදායි නොවේ. සමහරවිට මෙවැනි ක්‍රියාමාර්ගයක් දුම් බොන්නාට සෑහෙන චිත්තවේගීය පීඩනයක් එල්ල කළ හැක. එම පීඩනයෙන් සහනයක් ලැබීම සඳහා තවත් දුම්වැටියක සරණ පැතීමට මෙය තවත් අමතර හේතුවක් සපයනවා විය හැක. එමනිසා මෙම පුරුද්දෙන් ගොඩ ඒම කොතරම් අමාරුද කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. තවද නතර කර දැමීමේ හැකියාව කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් බව තේරුම්ගන්න.

දුම්පානය නතර කර දැමීමට පුද්ගලයෙකුට බල කිරීමෙන් ඵලක් නැත. දුම්පානය කරන්නාම ධෛර්යය උපදවාගත යුතුය. අධිෂ්ඨානපූර්වක විය යුතුය. නතර කර දැමීමට තිබෙන ඒ ආශාවට ඔබ ප්‍රේමනීය ලෙස උපකාර කළ යුතුය. ධෛර්යය ලබා දීමටද මං සොයන්න.

එය කළ හැක්කේ කෙසේද? යෝග්‍ය අවස්ථාවක් යොදාගනිමින් ඔහු සඳහා ඔබට කොතරම් ආදරයක් ඇද්දැයි ප්‍රකාශ කරමින්, ඔහුගේ ඒ පුරුද්ද ගැන කොතරම් කනස්සලු වෙනවාද කියා පවසන්න. අත්හැරීමට තීරණයක් ගත්තොත් ඊට ඔබේ පූර්ණ සහයෝගය ලැබෙන බව පැහැදිලි කරන්න. කෙසේවෙතත්, මෙවැනි එළඹීමක් පවා නිතරම යොදාගැනීමෙන් වැළකිය යුතුය. මන්ද නිතරම යොදාගැනීමෙන් එහි ප්‍රබලත්වය සහ අර්ථවත් බව හීන වී යා හැක.

ඔබේ හිතවතා දුම්පානය නතර කර දැමීමට තීරණය කළොත් කුමක් කළ හැකිද? ටික කලකට ඔහු හෝ ඇය යම් අපහසුතාවකට ලක් විය හැකි බව මතක තබාගන්න. හදිසි කෝපය සහ අසහනය, විරමණ ලක්ෂණවලට ඇතුළත්ය. හිසරදය සහ සමහරවිට නින්ද නොයෑම වැනි ගැටලුද ඇති විය හැක. මෙවැනි ලක්ෂණ තාවකාලික බව ඔබේ හිතවතාට නිතරම මතක් කර දෙන්න. ඇත්තෙන්ම ශරීරය අලුත් මෙන්ම නිරෝගී දිවි පෙවතකට සකස් වන බවට ලක්ෂණ ලෙස ඒවා සැලකිය හැක. එමනිසා සුහදශීලීව මෙන්ම ඒකාන්ත ආකාරයකින් ඔහු හෝ ඇය සමඟ කටයුතු කරන්න. අත්හැරීමට ගත් තීරණය ගැන ඔබට කොතරම් සතුටක් දැනෙනවාද කියා නිතරම මතක් කර දෙන්න. විරමණ ලක්ෂණ පවතින තාවකාලික කාලපරිච්ඡේදයේදී, නැවතත් දුම්පානයට නැඹුරු වීමට හේතු විය හැකි, පීඩාකාරි අවස්ථාවන් මඟහරවා ගැනීමට, ඔබේ හිතවතාට උපකාර කිරීමද නුවණට හුරුය.

නැවතත් එම පුරුද්දට යොමු වුණොත් කුමක් කිව හැකිද? කලබල නොවීමට වගබලා ගන්න. අනුකම්පාවෙන් කටයුතු කළ යුතුය. ඔබ දෙදෙනාටම යම්කිසි පාඩමක් උගත හැකි අද්දැකීමක් හැටියට තත්වය දෙස බලන්න. එවිට ඊළඟට ගන්නා උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට තිබෙන ඉඩ කඩ වැඩි වේ.

[23වන පිටුවේ පින්තූරය]

දුම්කොළ සමාගම් වාර්ෂික ප්‍රචාරණ කටයුතු සඳහා ඩොලර් බිලියන හයකට ආසන්න මුදලක් වැය කරයි