Skip to content

පටුනට යන්න

නතර කිරීමට අත්වැලක්

නතර කිරීමට අත්වැලක්

නතර කිරීමට අත්වැලක්

ඔබ බයිසිකලයක් පදින්න දන්නවාද? උත්සාහ කළ මුල්ම අවස්ථාවේදී කිහිප වතාවක්ම වැටුණු බව ඔබට මතක ඇති. දුම්පානය නතර කර දැමීමට දරන වෑයම සම්බන්ධයෙනුත් කියන්න තිබෙන්නේ ඒ ටිකමය. උත්සාහ කරන මුල් අවස්ථාවේදීම දුම්පානය නතර කරන අවස්ථා දුර්ලභය. ඔව්, ඔබ පසුබසින අවස්ථා තිබෙයි. එමනිසා අධෛර්යයට පත් නොවී එවැනි අවස්ථාවන්වලට සූදානමින් සිටින්න. ඔබ එය පරාජයක් හැටියට නොව, යමක් උගත හැකි අවස්ථාවක් හැටියට සලකා අධිෂ්ඨානපූර්වකව තත්වයට මුහුණ දිය යුතුය. මෙවැනි සුළු පසුබැසීම්වලින් ඔබ්බට නෙත් යවා ඔබේ අවසාන ඉලක්කය දෙස බැලීම උපකාරවත් වේ. ඔබට උපකාරවත් විය හැකි යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. වෙනත් අය මේවායින් ප්‍රයෝජන ලැබුවා සේම ඔබටත් ප්‍රයෝජනවත් වේයයි පතමු.

අධිෂ්ඨානය අත්‍යවශ්‍යයි

■ මුලින්ම, දුම්පානය නතර කර දැමීමට අධිෂ්ඨාන කරගැනීම අවශ්‍යය. එය ඇත්තටම අත්හැරිය යුතු පුරුද්දක් බව ඔබට දැනෙන්න අවශ්‍යයි. නතර කර දැමීමට හේතු ඇතුළත් කර ලැයිස්තුවක් පිළියෙළ කරන්න. එම ලැයිස්තුවට එසේ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනද ඇතුළත් කරන්න. නතර කළ වහාම මෙම ලැයිස්තුව යළි යළි සලකා බැලීම ඔබේ අධිෂ්ඨානයට රුකුලක් වේවි. දුම්පානය නතර කර දැමීමට තිබෙන ප්‍රබලතම පෙලඹවීම විය යුත්තේ දෙවිව සතුටු කිරීමට තිබෙන ආශාව විය යුතුය. අප දෙවිට අපගේ මුළු බුද්ධියෙන්, හෘදයෙන්, ප්‍රාණයෙන් සහ ශක්තියෙන් ප්‍රේම කළ යුතු බව බයිබලයෙහි පැවසේ. අප දුම්පානයට ඇබ්බැහි වී සිටිනවා නම්, අපට එලෙස ප්‍රේම කළ නොහැකියි.—මාර්ක් 12:30, NW.

■ ඔබ දුම්පානය කරන්නේ කුමන අවස්ථාවලදීද? දුම්පානය කිරීමට යම් හේතුවක් තිබේද? මෙලෙස ඔබේ පුරුද්ද ගැන සෝදිසියෙන් සිටීම ප්‍රයෝජනවත් වේවි. සාමාන්‍ය දවසක ඔබ දුම්පානය කරන්නේ කුමන වේලාවටද, කොහේදිද යන්න සටහන් කරගැනීමත් උපකාරයකි. එසේ කිරීමෙන් ඉදිරියේදී නැවතත් දුම්පානයේ පරීක්ෂාවට ගොදුරු විය හැකි අවස්ථා කල්තියාම මඟහරවා ගැනීමට පුළුවන.

දිනයක් නියම කරගන්න

■ දුම්පානය නතර කර දැමීමට අධිෂ්ඨානය කරන දිනය නියම කරගෙන, ඔබේ දිනදර්ශනයෙහි එය සටහන් කරගන්න. ඔබට සාමාන්‍යයෙන් එතරම් පීඩනයක් එල්ල නොවන දිනයක් තෝරාගැනීම නුවණට හුරුය. ඒ දිනය පැමිණි විට, ටිකෙන් ටික නොව සම්පූර්ණයෙන්ම පුරුද්ද නතර කර දමන්න.

■ නතර කළ යුතු දිනයට කලින්, අළු බඳුන්, ගිනි පෙට්ටි සහ ලයිටර් ඉවතලන්න. දුම්කොළ ගඳ ඇති ඔබේ ඇඳුම් ආදිය හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

■ ඔබේ වැඩපොළේ හවුල් සේවකයන්ගේ, මිතුරු මිතුරියන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ උපකාරයද ලබාගන්න. ඔවුන්ගේ දිරිගැන්වීම ඔබට අවශ්‍ය වනවා නොඅනුමානය. ඔබ ඉදිරියෙහි දුම්පානය නොකරන්න කියා අන්‍යයන්ට කීමට මැළි නොවන්න.

■ නතර කරන දිනයේදී විවිධ ක්‍රියාකාරකම්වල නියැලීමට සැලසුම් කිරීම යෝග්‍යය. කෞතුකාගාරයක් හෝ සිනමාහලක් වැනි දුම්බීම තහනම් ස්ථානයකට යා හැක. එසේ නැතහොත් ව්‍යායාමයෙහි යෙදිය හැක. ඔබට ගමනක් යෑමටද පුළුවන. එසේ කිරීමට බයිසිකලයක් යොදාගත හැක. එසේ නැතහොත් පයින් යා හැක. වැවක, ගඟක හෝ මුහුදට ගොස් නෑමත් හොඳ ව්‍යායාමයකි.

විරමණ ලක්ෂණ

ඔබ දුම්පානයට බෙහෙවින් ඇබ්බැහි වූ කෙනෙක් නම්, අන්තිම දුම්වැටිය පානය කොට පැය කිහිපයක් ගත වූවායින් පසු විරමණ ලක්ෂණ අද්දැකීමට සිදු වේ. ඔබට නුරුස්සන ස්වභාවයක්, නොඉවසුම් ගතියක්, ඉක්මනින් කිපෙන ස්වභාවයක්, කනස්සල්ලක්, කලකිරීමක්, නින්ද නොයන ගතියක්, නොසන්සුන්කමක්, ආහාර රුචිය වැඩිවීමක් සහ දුම්වැටියක් සඳහා දැඩි ආශාවක් ඇති විය හැක. මෙවැනි විරමණ ලක්ෂණ අඩු කිරීමට යම් ඖෂධ නියම කිරීමට ඔබේ වෛද්‍යවරයාට පුළුවන. ඊට අමතරව, සටනින් ජයගැනීමට ඔබට උපකාරවත් විය හැකි දේවල් කිහිපයක්ද ඔබට කළ හැක.

■ මුල් සති කිහිපය අසීරු විය හැක. එමනිසා එම කාලපරිච්ඡේදයේදී කැලරි අඩු ආහාර අනුභව කර, හොඳින් ජලය පානය කරන්න. කැරට් හෝ සැල්දරි වැනි අමු එළවළු අනුභව කිරීමෙන්ද යම් සහනයක් ඇතමුන් ලබා ඇත. ව්‍යායාමය ශරීරයේ බර අඩු කරන අතර, ඔබේ නොසන්සුන්කම යටපත් කිරීමටද උපකාරවත් වේ.

■ දුම්පානයට හසු විය හැකි ස්ථාන සහ අවස්ථාවන් මඟහරින්න.

■ දුම්පානයට නැවත පෙලඹවීමක් විය හැකි වැරදි අදහස් ගැන පරෙස්සම් වන්න. විරමණ ලක්ෂණවලට මුහුණ දෙන විට සාමාන්‍යයෙන් මෙවැනි අදහස් පළ විය හැක. ‘හරිම අමාරුයි. අදට විතරක් සිගරට් එකක් බොන්නං.’ ‘මට නරක පුරුද්දකට තියෙන්නේ මේක විතරයිනෙ.’ ‘දුම් බොන එක ඔය කියන තරම්ම නරක නැතුව ඇති.’ ‘ඇයි මේ සිගරට් බොන සමහරු අවුරුදු 90 පැනලත් ජීවත් වෙන්නේ.’ ‘කොහොමත් මොනව හරි ලෙඩක් හැදිල මැරෙන්න එපායැ.’ ‘සිගරට් නැති ජීවිතයත් ජීවිතයක්ද?’

■ දුම්වැටියක් පානය කිරීමේ ආශාව කොහොමටවත් මර්දනය කළ නොහැකි නම්, ටිකකට බලා සිටින්න. විනාඩි දහයක් බලා සිටීමෙන් ඒ දැඩි ආශාව පහව යා හැකිය. නැවත කිසිමදාක දුම්පානය නොකිරීමේ සිතුවිල්ල පවා දරාගත නොහැකි යමක් විය හැක. ඔබට එසේ හැඟේ නම්, දෛනික පදනමක් අනුව ඊට විරුද්ධ වන්න.

■ දෙවිට සේවය කිරීම ඔබේ අදිටන නම්, උපකාර ඉල්ලා යාච්ඤා කරන්න. දෙවිගේ කැමැත්තට එකඟව තම ජීවිත ගෙන ඒමට උත්සාහ කරන අය සඳහා “නියම වේලාවට උපකාර” ලබා දීමට අපගේ ප්‍රේමනීය මැවුම්කරුට හැක. (හෙබ්‍රෙව් 4:16, NW) එහෙත් ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු වන්න එපා. ඔබේ යාච්ඤාවලට එකඟව ක්‍රියා කිරීම අවශ්‍යය.

දුම්පානයට සදහටම ආයුබෝවන් කියමු

■ වඩාත්ම අසීරු වන්නේ මුල් මාස තුනය. එනමුත් ඉන්පසුව පවා, හැකි සෑම අවස්ථාවකම දුම්පානයේ අනතුරට හසු විය හැකි අවස්ථාවන් සහ දුම්පානය කරන්නන්ව ඔබ මඟහැරිය යුතුය.

■ වසරක් හෝ ඊට වැඩි කාලයක් දුම්පානය නතර කර තිබුණත්, විටින් විට දුම්පානය කිරීමෙන් ඔබට හානියක් නොවේය කියා සිතීමේ උගුලට හසු නොවන්න.

■ ‘එක සිගරට් එකක්’ බොන්න තිබෙන ආශාව කෙසේ හෝ යටපත් කරන්න. එකක් බීමෙන් බොහෝවිට තවත් බීමට පෙලඹීමක් ඇති විය හැක. එතුළින් අත්හැරීමට ඔබ දැරූ උත්සාහය ව්‍යර්ථ වී යා හැක. කෙසේවෙතත්, ඔබේ දුර්වලකම නිසා දුම්වැටියක් පානය කළොත්, තව දුම්වැටියක් පානය කිරීමට එය හේතුවක් කර නොගන්න. පසුබැස්සා නම්, නැවතත් අත්හැරීමට අදිටන් කරගන්න.

දුම්පානය කළ මිලියන ගණනාවක්ම සාර්ථකව මෙම පුරුද්ද අත්හැර ඇත. අධිෂ්ඨානයෙන් සහ නොමද උත්සාහයෙන් ඔබටත් එය නතර කර දැමිය හැකි බව අපට ස්ථිරය!