Skip to content

පටුනට යන්න

බයිබලයේ දෘෂ්ටිය

බයිබලයේ දෘෂ්ටිය

බයිබලයේ දෘෂ්ටිය

නූතන සමාජයේ කැපීපෙනෙන ප්‍රවණතාවක් වන්නේ, ජනයාගේ සදාචාරාත්මක හැඟීම් ක්‍රමක්‍රමයෙන් සෝදාපාළුවට ලක්වීමයි. මෙම ප්‍රවණතාවට අනුව සකස් වන සංඛ්‍යාව දැන් එන්න එන්නම වැඩි වෙමින් පවතියි. මෙයට හේතුව කුමක්ද? එමෙන්ම එය අපට බලපාන්නේ කෙසේද?

ඇතමෙකුගේ මතයට අනුව මුළු මිනිස් සංහතියේම විනාශය අත ළඟ බව මින් අදහස් වේද? එසේත් නැත්නම් මෙම ප්‍රවණතාව ඉතිහාසයේ පොදුවේ දක්නට ලැබෙන මනුෂ්‍ය පැවැත්මේ ස්වාභාවික ලක්ෂණයක් විය හැකිද?

බහුතරයක් අනුමත කරන්නේ ඉහත සඳහන් කළ අවසාන අදහසයි. නිතරම විපර්යාසයට ලක් වෙමින් පවතින සමාජයක සදාචාරය විටින් විට බිඳ වැටෙයි කියා අපට අපේක්ෂා කළ හැකි බව ඔවුන් කියා සිටියි. ඉතා ඉහළ මට්ටමක පවතින සදාචාරය එක පාරටම පහත් අඩියටම බැසිය හැකි බවත් එය කාලයාගේ ඇවෑමෙන් නැවතත් හොඳ අතට හැරීමට ඉඩ තිබෙන බවත් ඔවුන් විශ්වාස කරයි. එබැවින් අපට ඉදිරියේදී හොඳ කාලයක් අපේක්ෂා කළ හැකි බව ඔවුන්ට නිසැකයි. මෙම මතය අපට පිළිගත හැකිද?

“අන්තිම දවස්”

ශතවර්ෂ ගණනාවක් පුරා සදාචාරාත්මක කාරණා පිළිබඳ අත්පොතක් වශයෙන් සැලකූ දෙවිගේ වචනය වන බයිබලයේ අදහස කුමක්ද කියා අපි සලකා බලමු. වත්මන් සමාජය, මිනිස් ඉතිහාසයේ වඩාත් තීරණාත්මකම යුගය වශයෙන් බයිබල් අනාවැකිවල විස්තර කර ඇති කාලයත් සමඟ සන්සන්දනය කරන විට සිත්ගන්නා කරුණු කිහිපයක් හෙළි වේ. බයිබලයේ මෙම කාලය විස්තර කර ඇත්තේ “අන්තිම දවස්,” නැත්නම් “පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදය” වශයෙනුයි. (2 තිමෝති 3:1; මතෙව් 24:3, NW) මෙම ප්‍රකාශ දෙකෙන් ඇඟවෙන පරිදි මෙම කාලපරිච්ඡේදය එක් යුගයක අවසානයත් තවත් යුගයක උදාවත් සනිටුහන් කරයි.

අන්තිම දවස්වලදී “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල් [NW]” තිබෙන්න යන බව දෙවිගේ වචනයෙහි පුරෝකථනය කර තිබේ. අවබෝධය නමැති ඇස්වලින් ලෝකයේ සිදුවීම් දෙස බලන අයට, මෙම තීරණාත්මක යුගය නැතහොත් අන්තිම දවස් පහසුවෙන් හඳුනාගත හැකි වන පිණිස බයිබලයේ ඒ පිළිබඳව පැහැදිලි තොරතුරු සහිත සංයුක්ත ලකුණක් සපයා ඇත.

නරක ගතිපැවතුම්

කැපීපෙනෙන ලෙස අද දක්නට ලැබෙන එම ලකුණෙහි එක් අංගයක් සලකා බලන්න. ‘මනුෂ්‍යයන් දේවභක්තියේ වේසය දරන නමුත්, එහි බලය එපා කරයි’ කියා බයිබලය පවසයි. (2 තිමෝති 3:2, 5) ඇත්තෙන්ම, අපේ කාලය තරම් ආගම එපා කළ යුගයක් නොමැති තරම්ය. දෙවි විශ්වයේ පරමාධිපති බවත් බයිබලය සත්‍යයේ එකම මඟ බවත් බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් ආගමක් අදහන නමුත් එය මතුපිටින් කෙරෙන හුදු චාරිත්‍රයක් පමණයි.

බයිබලය එම ලකුණේ තවත් අංගයක් විස්තර කරයි. ‘මනුෂ්‍යයන් තෘෂ්ණාව මැඩපවත්වා නොගනියි, කෲර වෙයි’ කියාද “අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය” කියාද එහි පවසයි. (2 තිමෝති 3:2, 3; මතෙව් 24:12) “කෲර” වශයෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය “දයානුකම්පිත හැඟීමෙන් තොර” වශයෙන්ද පරිවර්තනය කළ හැකියි. අදදින දරුණු අපරාධ සිදු කරන කුඩා දරුවන් පවා මෙම ගණයට වැටෙන බව අපට පැහැදිලියි.

තවද තාක්ෂණික මෙන්ම ආර්ථික පැත්තෙන් ශීඝ්‍ර වර්ධනයක් අද්දැක තිබෙන නිසා ගිජුකමෙන් පාලනය වන සමාජයක් බිහි වී ඇති අතර හොඳ ගතිපැවතුම් දැන් ගණනකටවත් නොගනියි. ජනයා දැන් අන්‍යයන්ගේ සිතුම් පැතුම් නොසලකා හරිමින් වංක ක්‍රියාමාර්ගයන් තුළින් වුවද තම ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කරගනියි. අදදින අපරාධවල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීමත්, සූදුවේ නියැලෙන ජනයාගේ සංඛ්‍යාව දැන් එන්න එන්නම වැඩි වී තිබීමත් මෙම ආත්මාර්ථකාමිත්වයට හොඳ නිදසුනක් වෙයි.

‘මනුෂ්‍යයන් දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේම’ කිරීමත් අපේ කාලයේ කැපීපෙනෙන තවත් ලක්ෂණයකි. (2 තිමෝති 3:2, 4) මෙයට හොඳ නිදසුනක් සලකා බලන්න. බොහෝදෙනෙක් තම කාමුක ආශාවන් පිනවාගන්න නමුත්, එකම විවාහක කලත්‍රයෙක් සමඟ ජීවිතාන්තය දක්වා දිවි ගෙවන්න කැමති වන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ, ගණන් කළ නොහැකි තරම් බිඳුණු පවුල් හා ආදරයේ හැඟීමවත් නොදන්නා දරුවන් බිහිවීමයි. එමෙන්ම තනි මාපිය පවුල් සංඛ්‍යාවද සමාජ රෝග බෝවීමේ ප්‍රවණතාවේද ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ.

‘මනුෂ්‍යයන් තමුන්ටම ප්‍රේම කරන’ බවත් ‘මුදලට ප්‍රේම කරන’ බවත් බයිබලයේ විස්තර කර ඇත. (2 තිමෝති 3:2) මෙය ලකුණේ තවත් අංගයකි. ජර්මානු පුවත්පතක් වන ඩී ට්සයිට් පවසන්නේ මෙලෙසයි. “අදදින ආර්ථික ක්‍රමයෙහි ප්‍රධාන බලවේගය වන්නේ ආත්මාර්ථකාමිත්වයයි.” මුදල් පසුපස හඹා යෑම දැන් ජනයාගේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය වන නිසා සාරධර්ම නොසලකා හරින බව පෙනෙන්න තිබේ.

ලෝක සිද්ධීන්

මිනිසුන්ගේ සාරධර්මවල පිරිහීමක් ගැන විස්තර කරනවාට අමතරව, අන්තිම දවස්වලදී සමාජයේ ලොකු කැලඹීමක් ඇති කරවන සිද්ධීන්ද ඇති වන බව බයිබලයේ විස්තර කර ඇත. නිදසුනකට එය මෙසේ සඳහන් කරයි. “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය.”—ලූක් 21:10, 11.

විසිවන සියවස තරම් කැලඹිලි සහිත යුගයක් ඉතිහාසයේ තවත් නොමැති තරම්ය. වෙන කිසිම සියවසක් මෙතරම් විශාල ජනකායකට විපත්ති ගෙනැවිත් නැත. නිදසුනකට, එම වකවානුවේදී යුද්ධයෙන් මිලියන සියයකට අධික සංඛ්‍යාවක් මිය ගියේය. එය කලින් සියවස් කිහිපයකදීම මිය ගිය සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩියි. එමෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ ලෝක යුද්ධ දෙකක් 20වන සියවස තුළදී අද්දැක තිබේ. මීට පෙර විවිධ ජාතීන් අතර ගැටුම් සිදු වී තිබුණත්, මේවා මුළු ලෝකයටම ප්‍රබල බලපෑමක් ඇති කළ ප්‍රථම ලෝක යුද්ධ දෙකයි.

දුෂ්ට බලවේගයක්

දුෂ්ට මෙන්ම බලවත් අදෘශ්‍යමාන පුද්ගලයෙකුගේ පැවැත්ම ගැන බයිබලයේ සඳහන් වේ. ‘සාතන් නමැති යක්ෂයා’ යනුවෙන් හඳුන්වන මොහුගේ අරමුණ වන්නේ ජනයාව රවටා ඔවුන්ව දුරාචාරමය ජීවිතයකට ඇද දැමීමයි. තමාට “ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්” සාතන් අන්තිම දවස්වලදී “මහත් උදහසින් යුක්තව [පොළොවට] බැස” ඇවිත් තිබේ.—එළිදරව් 12:9, 12.

බයිබලයේ යක්ෂයාව විස්තර කර ඇත්තේ ‘අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන්නාවූ ආත්මයේ එනම් බලපවත්වන වාතාවරණයේ අධිපතියා’ වශයෙනුයි. (එපීස 2:2, NW) මෙයින් අඟවන්නේ කුමක්ද? යක්ෂයා බොහෝදෙනෙකු මත ප්‍රබල බලපෑමක් ඇති කරන බවයි. ඇත්තෙන්ම සාතන් කොතරම් සූක්ෂ්ම අන්දමින් මෙය කරනවාද කිව්වොත් ජනයා තමන් සාතන්ගේ බලපෑම යටතේ සිටිනවා කියාවත් නොදනී. ඇස් දෙකට නොපෙනෙන විෂ වායුවකින් වාතාශ්‍රය දූෂණය වනවා හා සමානව සාතන් ජනයාගේ මනස් දූෂණය කරන බව පැහැදිලියි.

වීඩියෝපට, චිත්‍රපට, රූපවාහිනිය, අන්තර්ජාලය, වෙළඳ දැන්වීම්, පොත් පත්, සඟරා හා පුවත්පත් වැනි විවිධ නවීන සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ අද ඉදිරිපත් කරන තොරතුරුවලින් සාතන් ප්‍රබල තර්ජනයක් එල්ල කරන බව මනාව පැහැදිලි වේ. ජාතිවාදය, භූතවාදය, දුරාචාරය මෙන්ම අමානුෂික ආකාරයේ සැහැසික ක්‍රියාවලට දිරි දෙන භයානක මෙන්ම දූෂ්‍ය කරවනසුලු අදහස් එහි ඉදිරිපත් කෙරේ. යෞවනයන් එහි ප්‍රධාන ඉලක්කය වන අතර ඔවුන්ද පහසු ගොදුරු බවට පත් වී තිබේ.

අදදින ලෝකයේ පවතින තත්වයන් හා අන්තිම දවස් පිළිබඳව බයිබලයේ කර ඇති විස්තරය අතර කැපීපෙනෙන සමානත්වයක් තිබෙන බව ලෝක සිද්ධීන් දෙස උනන්දුවෙන් බලන බොහෝදෙනෙක් අවබෝධ කරගෙන ඇත. විසිවන සියවසට පෙර යුගයන්හිදී, බයිබලයේ විස්තර කර ඇති දේවල් කුඩා පරිමාණයෙන් සිදු වී ඇතත්, ලකුණ අකුරටම ඉටු වී ඇත්තේ 20වන සියවසේදීයි. විසිඑක්වන සියවසේදීත් එය දිගටම ඉටු වෙමින් පවතියි.

නව යුගයක්!

මුළු මිනිස් සංහතියම විනාශ වනවා කියා විශ්වාස කරන අයගේවත්, සෑම දෙයක්ම වෙනසක් නොවී දිගටම ඒ ආකාරයටම පවතිනවා කියා පවසන අයගේවත් අදහස් නිවැරදි නොවන බව බයිබලය හෙළි කරයි. දැන් පවතින මනුෂ්‍ය සමාජය පහ වී ගොස් ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම අලුත් සමාජයක් බිහි වන බව එහි පවසා ඇත.

අන්තිම දවස් සනිටුහන් කරන ලකුණේ විවිධ අංගයන් විස්තර කිරීමෙන් පසුව, යේසුස් මෙසේද පැවසුවා. “මේ දේ සිදුවෙනවා දකින කල, [දෙවිගේ] රාජ්‍යය ළඟ බවත් දැනගන්න.” (ලූක් 21:31) යේසුස් ප්‍රධාන වශයෙන් දේශනා කළේ දෙවිගේ ස්වර්ගික රාජ්‍යය ගැනයි. (මතෙව් 6:9, 10) දෙවිද යේසුස්ට තම රාජ්‍යයේ රජකම භාර දුන්නේය. එම රාජ්‍යය, නුදුරු අනාගතයේදී මෙම පොළොවෙහි පාලනය භාරගන්නා ආණ්ඩුවකි.—ලූක් 8:1; එළිදරව් 11:15; 20:1-6.

අන්තිම දවස්වල උච්චාවස්ථාවට පැමිණෙන විට දෙවිගේ ස්වර්ගික රාජ්‍යය මගින් එහි ප්‍රධාන සතුරා වන යක්ෂයා හා ඔහුගේ අනුගාමිකයන් සියලුදෙනාවම විනාශ කිරීමට යන අතර, සදාචාරමය වශයෙන් දූෂිත වූ මෙම පිළිවෙළ වෙනුවට ධර්මිෂ්ඨ නව ලොවක් බිහි කරනු ලැබේ. මේ සියල්ලේදී පෙරමුණ ගෙන කටයුතු කරන්නේ ක්‍රිස්තුස්ය. (දානියෙල් 2:44, 45ආ) එම කාලය තුළදී පොළොව පාරාදීසයක් බවට පත් වන අතර අවංක සිත් ඇති සියලුදෙනාම සදාකාල ජීවනය භුක්ති විඳියි.—ලූක් 23:43; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.

වත්මන් සිදුවීම්, අන්තිම දවස්වල ලකුණ ඉටු කරන බව අවබෝධ කරගනිමින් සදාචාරයේ පිරිහීම ගැන අවංකවම තම ශෝකය ප්‍රකාශ කරන ජනයාට චමත්කාරජනක අනාගතයක් අපේක්ෂා කළ හැකිය. මේ සඳහා කෘතඥතාව හිමි විය යුත්තේ, මනුෂ්‍යවර්ගයා ගැන සැලකිලිමත් වන සර්වබලධාරි දෙවිටයි. මන්ද තමන් මැවූ පොළොව සඳහා ඔහුට තේජවත් අරමුණක් තිබෙන නිසයි.—ගීතාවලිය 37:10, 11, 29; 1 පේතෘස් 5:6, 7.

අපේ ප්‍රේමනීය මැවුම්කරු ගැනත්, අවංක සිත් ඇති සියලුදෙනාටම ඔහු පොරොන්දු කර තිබෙන නිර්මල නව ලොව ගැනත් තවත් ඉගෙනගන්න කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට ආරාධනා කරයි. එයින් ඔබට විවෘත වන ප්‍රස්තාව බයිබලයේ මෙසේ පැහැදිලි කරයි. “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” මොනතරම් වටිනා ප්‍රස්තාවක්ද!—යොහන් 17:3, NW.

[10වන පිටුවේ පින්තූරය]

අවංක සිත් ඇති අය පාරාදීස පොළොවක සදාකාල ජීවනය භුක්ති විඳියි