Skip to content

පටුනට යන්න

යේසුස්ට නමස්කාර කිරීම සුදුසු දෙයක්ද?

යේසුස්ට නමස්කාර කිරීම සුදුසු දෙයක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

යේසුස්ට නමස්කාර කිරීම සුදුසු දෙයක්ද?

සියවස් ගණනාවක් පුරා, ක්‍රිස්තියානි ලෝකයේ බොහෝදෙනෙකු, යේසුස් ක්‍රිස්තුස්ව සර්වබලධාරි දෙවියන් හැටියට සලකා ඔහුට නමස්කාර කර තිබේ. කෙසේවුවත්, යේසුස් අවධානය යොමු කළෙත්, නමස්කාරය දුන්නෙත් යෙහෝවා දෙවිට පමණි. උදාහරණයක් වශයෙන්, තමාට නමස්කාරයේ ක්‍රියාවක් කිරීමට යේසුස්ව පොලඹවන්න යක්ෂයා තැත් කළ අවස්ථාවේදී, ‘නුඹේ දෙවි වූ යෙහෝවාට නමස්කාර කරව, ඔහුට පමණක් සේවය කරව’ කියා යේසුස් පැවසුවේය. (මතෙව් 4:10) ඉන්පසු යේසුස් තම ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නේය: “පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින [ඔහුමය].”—මතෙව් 23:9.

පුද්ගලයන් දෙවිට කුමනාකාරයේ නමස්කාරයක් දිය යුතුද කියා යේසුස් සමාරීය ස්ත්‍රියකට විස්තර කළේය. ඔවුන්ගේ නමස්කාරය ආත්මය හා සැබෑකම මත පදනම් වූ නමස්කාරයක් විය යුතුය. ඇත්තවශයෙන්ම, ‘පියාණන් තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු වූවන් සොයන්නේය.’ (යොහන් 4:23, 24) එසේය, ගෞරවාන්විත නමස්කාරයක් පිරිනැමිය යුත්තේ දෙවිට පමණි. වෙනත් යමෙකුට හෝ දෙයකට නමස්කාර කිරීම රූප නමස්කාරයක් වනු ඇත. එය හෙබ්‍රෙව් හා ග්‍රීක් ශුද්ධ ලියවිලි යන දෙකෙහිම හෙළා දැක තිබේ.—නික්මයාම 20:4, 5; ගලාති 5:19, 20.

‘නමුත් අපි යේසුස්ටත් නමස්කාර කළ යුතු බව බයිබලයේ අඟවන්නේ නැද්ද? දෙවිගේ සියලු දූතයෝ [යේසුස්ට] නමස්කාර කරත්වයි කියා පාවුල් හෙබ්‍රෙව් 1:6හි පැවසුවේ නැද්ද?’ කියා සමහරෙකු ඇසිය හැක. රූප වන්දනාව පිළිබඳව බයිබලයේ පවසන දේ සම්බන්ධයෙන් බලන කල, මේ ශුද්ධ ලියවිලි පාඨය අපට තේරුම්ගත හැක්කේ කෙසේද?

බයිබලයේ සඳහන් නමස්කාරය

නමස්කාරය කීමෙන් පාවුල් මෙහි අදහස් කළේ කුමක්ද කියා අප මුලින්ම වටහාගත යුතුයි. ඔහු භාවිත කළේ ප්‍රෝ·ස්කි·නෙʹඕ යන ග්‍රීක් වචනයයි. අන්ගර්ගේ බයිබල් ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසන්නේ, ‘සාමාන්‍යයෙන් ගෞරවය දැක්වීම සඳහා කෙනෙකුගේ අත සිඹීම’ යන්න ඉන් අදහස් වන බවය. අලුත් ගිවිසුමේ වචන විවරණ ශබ්දකෝෂයෙහි (ඉංග්‍රීසියෙන්) ඩබ්ලියු. ඊ. වයින් පවසන්නේ, “මිනිසාට . . . හෝ දෙවිට දෙන ගෞරවයේ ක්‍රියාවක්” මෙම වචනයෙන් “අඟවන” බවයි. බයිබල් කාලවලදී, ප්‍රෝ·ස්කි·නෙʹඕ යන්නෙන් අදහස් කළේ, බොහෝවිට ඉහළ තනතුරක සිටින කෙනෙකු ඉදිරියේ නැමී ආචාර කිරීමයි.

තම ස්වාමියාට ලොකු මුදලක් ණය වී ගෙවාගත නොහැකි වූ දාසයෙකු පිළිබඳව යේසුස් දුන් උපමාව සලකා බලන්න. මේ උපමාවේ එවැනි ග්‍රීක් වචනයක් දක්නට ඇත. එය පරිවර්තනය කිරීමේදී බයිබලයේ පවසන්නේ ‘එවිට ඒ දාසයා බිම වැටී වැඳ [ප්‍රෝ·ස්කි·නෙʹඕ]: ස්වාමිනි, මා ගැන ඉවසුව මැනවි, ඔබට [රජ] සියල්ලම ගෙවන්නෙමියි කීවේය’ යනුවෙනි. (මතෙව් 18:26; ඇල අකුරු අපේය.) මේ මිනිසා රූප වන්දනාව වැනි ක්‍රියාවක්ද කළේ? කොහෙත්ම නැත! ඔහු තම ස්වාමියා වූ රජුට හුදෙක් ගෞරවාදරය පිරිනමමින් සිටියා පමණි.

ගෞරවය දැක්වීමේ එවැනි ක්‍රියා බයිබල් කාලවලදී සාමාන්‍ය දෙයක්ව පැවතිණ. තම සහෝදරයා වූ ඒසව් මුණගැසුණු විට යාකොබ් හත් වරක් බිමට නැමී වැන්දේය. (උත්පත්ති 33:3) යෝසෙප්ගේ සහෝදරයෝ ඔහුගේ තනතුරට ගරු කිරීමක් වශයෙන් මිසරයේ රජමාළිගයේදී බිම දිගා වී ඔහුට වැන්දේය. (උත්පත්ති 42:6) මෙම කරුණු සලකා බලද්දී, “යුදෙව්වරුන්ට රජව උපන් [තැනැත්තා]” වශයෙන් පිළිගත් කුඩා යේසුස්ව බැලීමට ශාස්ත්‍රවන්තයන් ගිය විට සිදු වූ දේ අපට වඩාත් හොඳින් අවබෝධ කරගත හැක. ඔවුන් ‘බිම වැටී ඔහුට නමස්කාර කළ [ප්‍රෝ·ස්කි·නෙʹඕ]’ බවයි බයිබල් වාර්තාව අපට පවසන්නේ.—මතෙව් 2:2, 11.

එසේනම්, පැහැදිලිවම, සමහර බයිබල් පරිවර්තනවල “නමස්කාරය” වශයෙන් දක්වා ඇති ප්‍රෝ·ස්කි·නෙʹඕ යන වචනය, යොදා තිබෙන්නේ තනිකරම යෙහෝවා දෙවිට දිය යුතු නමස්කාරයට පමණක් නොවේ. තවත් කෙනෙකුට දක්වන ගෞරවයද ඉන් යොමු දැක්විය හැක. හෙබ්‍රෙව් 1:6හි ප්‍රෝ·ස්කි·නෙʹඕ යන වචනය වරදවා තේරුම්ගැනීම වැළැක්වීම සඳහා සමහර බයිබල් පරිවර්තනවල සඳහන් වන්නේ “ඔහුට ගරුබුහුමන් කිරීම” (නව යෙරුසලම් බයිබලය [ඉංග්‍රීසියෙන්]), “ඔහුට ගෞරවය දැක්වීම” (නූතන ඉංග්‍රීසි සම්පූර්ණ බයිබලය [ඉංග්‍රීසියෙන්]), “ඔහු ඉදිරියේ නැමී ආචාර කිරීම” (විසිවන සියවසේ නව ගිවිසුම [ඉංග්‍රීසියෙන්]) හෝ “ඔහුට ගෞරවය පුද කිරීම” (නව ලෝක පරිවර්තනය [ඉංග්‍රීසියෙන්]) වශයෙනි.

යේසුස් ගෞරවය ලැබීමට වටින කෙනෙක්

යේසුස් එවන් ගෞරවයක් ලැබීමට සුදුස්සෙක්ද? අනිවාර්යයෙන්ම ඔව්! “සියල්ලට උරුමක්කාරයා” වශයෙන් යේසුස් ‘උසස්ථානවල මහෝත්තමයාගේ දකුණු පැත්තේ හිඳගත්තේය’ කියා ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ තම ලිපියෙහි පැහැදිලි කරයි. (හෙබ්‍රෙව් 1:2-4) මෙබැවින්, ‘ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නැමිය යුතු අතර, යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව පිය වූ දෙවිගේ ගෞරවය උදෙසා සියලු දිව්වලින් [ස්ථිර වශයෙන්ම, NW] ඒත්තුගත යුතුය.’—පිලිප්පි 2:10, 11.

මෙම පොළොව සමස්ත ලෝක පාරාදීසයක් බවට පත් කිරීම සඳහා ළඟදීම ක්‍රිස්තුස් එම උසස් තනතුර හා පුළුල් විධායක බලතල යොදාගැනීමට යෑම කැපීපෙනෙන්නකි. යේසුස්ගේ මිදීමේ මිල පූජාව මෙන්ම දෙවිගේ මඟ පෙන්වීම යටතේ ඔහු තම ධර්මිෂ්ඨ පාලනයට යටත්වන්නන්ගේ යහපත තකා, ලෝකයෙන් සියලු දුක් වේදනා හා ශෝකය පහ කරනු ඇත. එබැවින් ඔහුට අපි ගෞරව කිරීමට හා කීකරු වීමට ඔහු සුදුස්සෙක් නොවන්නේද?—ගීතාවලිය 2:12; යෙසායා 9:6; ලූක් 23:43; එළිදරව් 21:3, 4.

“ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්ය”

කෙසේවුවත්, ආගමික ගෞරවය හා භක්තිය පිරිනැමීමේදී අපේ නමස්කාරය දිය යුත්තේ දෙවිට පමණක් බව බයිබලයේ පැහැදිලිවම පවසයි. මෝසෙස් ඔහුව විස්තර කළේ “ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්” ලෙසය. එමෙන්ම “අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ [තැනැත්තාට] නමස්කාරකරන්න” කියා බයිබලය අපට අවවාද කරයි.—ද්විතීය කථාව 4:24; එළිදරව් 14:7.

ගෞරවය ලැබීමට සුදුසු තැනැත්තා වශයෙන් යේසුස්ට සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් ඇත්තෙන්ම වැදගත් තැනක් හිමි වේ. (2 කොරින්ති 1:20, 21; 1 තිමෝති 2:5) යෙහෝවා දෙවි වෙත ළඟාවීමට අපට හැක්කේ ඔහු තුළින් පමණි. (යොහන් 14:6) මේ අනුව බලන කල, සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ නමස්කාරය දෙන්නේ සර්වබලධාරි වූ යෙහෝවා දෙවිට පමණි.