Skip to content

පටුනට යන්න

වත්මන් තත්වය

වත්මන් තත්වය

වත්මන් තත්වය

අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර් අසල පිහිටි කුඩා නගරයක් වන ලිට්ල්ටන්වලට තවත් දිනක් උදා වී ඇත. නගරයේ ප්‍රසිද්ධ පාසැලක ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුපුරුදු පරිදි තම වැඩකටයුතුවල නිරත වේ. සියල්ල වෙනස් කරමින් බිහිසුණු වෙඩි හඬක් නිකුත් වේ. බෝම්බ පිපිරෙන හඬක්ද ඇසේ. ටික වේලාවකට පසුව, ශිෂ්‍යයන් දොළොස්දෙනෙකු හා ගුරුවරයෙකු මරුමුවට පත් වෙයි. විසිදෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලබයි. මෙම දාමරික ක්‍රියාව සිදු කළ වයස අවුරුදු 17ක් හා 18ක් වූ තරුණයන් දෙදෙනා පසුව සියදිවි නසාගනියි. ඔවුන්ගේ පරමාර්ථය? තමන් එපා කළ පිරිසක්ව ඝාතනය කර දැමීමයි. මෙය සිදු වූයේ 1999 අප්‍රියෙල් මාසයේදීය.

ජන සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ අපට ලැබෙන තොරතුරු හා සැසඳූ කල, ඉහත සිදුවීම පුදුමයට හේතුවක් නොවන බව පැහැදිලියි. ඇත්තෙන්ම, ලිංගික අපරාධ, සැහැසියාව හා අල්ලස් දූෂණ දසත පැතිරී ඇත. අමෙරිකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සංඛ්‍යා ලේඛන සකසන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව, 1997දී එම රටේ පාසැල්වල ආයුධ භාවිත කරමින් සැහැසික ක්‍රියාවන් 11,000ක් සිදු කර තිබිණ. ජර්මනියේ නගරයක් වන හැම්බර්ග්හි සිදු වන සැහැසික ක්‍රියා 1997දී සියයට දහයකින් වැඩි වූ අතර, එම අපරාධවලට සම්බන්ධ සැකකරුවන්ගෙන් සියයට 44ක්ම වයස අවුරුදු 21න් පහළ තරුණයන් වූ බව වාර්තා වේ.

ආණ්ඩු නිලධාරීන් හා දේශපාලනඥයන් අතින් සිදු වන වංචනික ක්‍රියා ගැන අපට නිතරම පාහේ අසන්න ලැබේ. යුරෝපීය සංගමයේ (EU) කොමසාරිස් වන ඇනිටා ග්‍රඩින් 1998දී පළ කළ වාර්තාවකින් හෙළි වූයේ, වංචනික ක්‍රියා හේතුවෙන් එම සංගමය 1997දී අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක පාඩුවක් වින්ද බවයි. නීති විරෝධී ලෙස රථ ගාල් කිරීම සඳහා අය කරන දඩ මුදල් ගෙවීම මඟහැරීම මෙන්ම එම සංගමේ නම යොදාගෙන වංචනික ලෙස පිහිටාධාර ලබාගැනීමද මෙයට ඇතුළත් විය. එපමණක් නොව, වංචනික ලෙස උපයාගත් විශාල මුදල් ප්‍රමාණයක් නීත්‍යනුකූලව උපයාගත් ඒවා වශයෙන් පෙනෙන්න සලස්වමින් හුවමාරු කෙරේ. මත්ද්‍රව්‍ය ජාවාරම හා නීති විරෝධී අවි වෙළඳාමද විශාල පරිමාණයෙන් සිදු වේ. මේ සියල්ල සිදු වන්නේ යුරෝපීය සංගමයේ සේවකයන්ගේ අනුදැනුම ඇතුවයි! එවැනි දෙයක් සිදු වී ඇත්තේ මන්ද? සංවිධානාත්මකව අපරාධ සිදු කරන කණ්ඩායම් අල්ලස් දී මෙම පුද්ගලයන්ව නිහඬ කර තිබෙන නිසයි. මෙම කනගාටුදායක තත්වය හෙළි වූවාත් සමඟම 1999දී යුරෝපීය සංගම් කොමිසමේ සාමාජිකයන් සියලුදෙනාටම තම බලතලවලින් ඉල්ලා අස්වීමට සිදු විය.

වංචනික ක්‍රියා සිදු කරන්නේ සමාජයේ ඉහළ තානාන්තරවල සිටින අය පමණක් නොවේ. නීති විරෝධී රැකියා පිළිබඳ යුරෝපීය සංගමේ කොමිසම නිකුත් කළ වාර්තාවක සඳහන් වූ දේ ගැන කල්පනා කර බලන්න. එම සංගමයට අයත් රටවල දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකමෙන් සියයට 16ක්ම අත් කරගන්නේ ලියාපදිංචි නොවූ බදු නොගෙවන ව්‍යාපාරවලිනුයි. රුසියාවේ තත්වය කුමක්ද? එම රටේ ආදායමෙන් සියයට 50ක්ම උපයාගන්නේ නීති විරෝධී ලෙසයි. එමෙන්ම එක්සත් ජනපදයේ අමෙරිකානු සමාගම් වාර්ෂිකව ඩොලර් බිලියන 400කට වඩා පාඩු විඳින බව වංචනික කටයුතු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට සුදුසුකම් ලත් සංගමයක් විසින් හෙළි කරන ලදි. මෙයට හේතු වී ඇත්තේ කුමක්ද? තමන් වැඩ කරන සමාගම්වලින් සේවකයන් මුදල් හා දේපොළ සොරකම් කිරීමයි.

අන්තර්ජාලයද නීති විරෝධී වැඩකටයුතු සඳහා යොදාගනියි. බොහෝ කාමාතුරයන් තම නීච ආශාවන් පිනවීමට කුඩා ළමුන්ව මෙන්ම යෞවනයන්ව තම ග්‍රහණයට හසු කරගන්නේ ඒ මාර්ගයෙනුයි. ස්වීඩනයේ සේව් ද චිල්ඩ්‍රන් (ළමුන්ව බේරාගනිමු) ආයතනයේ නියෝජිතයෙකු පැවසුවේ, අන්තර්ජාලයේ දැන් කුඩා දරුවන්ගේ කාමුක රූප වැඩි වැඩියෙන් දක්නට ලැබෙන බවයි. වර්ෂ 1997දී නෝර්වේහි, ඇතැම් වෙබ් අඩවිවල ළමුන්ගේ කාමුක කෘති ප්‍රදර්ශනය කරන බවට 1,883දෙනෙක් එම ආයතනයට තොරතුරු සැපයූහ. ඊළඟ වසරේදී 5,000කට ආසන්න සංඛ්‍යාවකගෙන් එවැනි තොරතුරු ලැබිණ. මෙම කෘති වැඩිම වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන්නේ මෙවන් නීච ක්‍රියාවන් ආණ්ඩුව විසින් හෝ වෙනත් අධිකාරීන් විසින් පාලනය කිරීමට නොහැකි රටවලය.

අතීතයේ මීට වඩා හොඳ තත්වයක්?

අදදින සදාචාරයේ පිරිහීම බොහෝදෙනෙකුව තැතිගන්වයි. තම දෙමව්පියන්ගේ නැත්නම් ආච්චිලා සීයලාගේ කාලයේ හොඳ ගතිපැවතුම් තිබූ නිසා අතීතයේ ජනයා අපට වඩා යහපත් ජීවිතයක් ගත කළ බව ඔවුන් විශ්වාස කරයි. අතීතයේ ජනයා සාමයෙන් හා සමගියෙන් ජීවත් විය. අවංකකම වැනි හොඳ ගතිපැවතුම් සමාජයේ සෑම කෙනෙක්ම වගේ අගය කළෝය. ඒ වගේම ජනයා එකිනෙකාට උපකාර කරමින් වෙහෙස මහන්සි වී කඩිසර ලෙස වැඩ කළෝය. පවුලේ සියලුදෙනා අතර ඉතා කිට්ටු සබඳතාවක් තිබිණ. දරුවෝ තම තමන්ගේම වැඩකටයුතුවල පමණක් නියැලෙන්නේ නැතුව ගෙදර දොරේ වැඩකටයුතුවලදී තම දෙමව්පියන්ට උපකාර කළෝය. ඇත්තෙන්ම එදා යෞවනයන්ට කිසිදු අනාරක්ෂිතබවේ හැඟීමක් තිබුණේ නැත. ඔබත් සමහරවිට අතීතය ගැන මෙවැනි ප්‍රකාශන අසා ඇති.

මෙයින් වැදගත් ප්‍රශ්න කිහිපයක් ඉස්මතු වේ. අදට වඩා අතීතයේ විසූ ජනයාගේ සදාචාරය හොඳ මට්ටමක තිබුණාද? එහෙම නැත්නම් ඇතමෙකු මෙවැනි වර්ණනාවන් කරන්නේ නිකම්ම අතීතය ගැන ඔවුන්ට හොඳ මතක සටහන් තිබෙන නිසාද? ඉතිහාසඥයන් හා සමාජීය කාරණා විශ්ලේෂණය කරන වෙනත් අය මේ සම්බන්ධයෙන් දරන ආකල්පය අපි ඊළඟ ලිපියේ සාකච්ඡා කරමු.

[3වන පිටුවේ කොටුව]

සදාචාරය යනු කුමක්ද?

මෙම ලිපියේ “සදාචාරය” ගැන කතා කරද්දී එය යොමු දක්වන්නේ හරි හා වැරදි පිළිබඳ නිශ්චිත මඟ පෙන්වීමක් සපයන ප්‍රතිපත්තිවලටයි. අවංකකම, සත්‍යය කතා කිරීම මෙන්ම ලිංගික කාරණා හා වෙනත් දේවල් සම්බන්ධයෙන් අපේ හැසිරීම පාලනය කරන උසස් ප්‍රමිතිද මෙයට ඇතුළත් වේ.