Skip to content

පටුනට යන්න

ශරීරයේ යම් ස්ථාන විදගැනීම සුදුසුද?

ශරීරයේ යම් ස්ථාන විදගැනීම සුදුසුද?

යෞවන අය අසති . . .

ශරීරයේ යම් ස්ථාන විදගැනීම සුදුසුද?

‘මම මුල්ම වතාවට තොල් සහ වෙනත් තැන් විදගත්ත අයව දැක්කහම මට හිතුණේ “මේක තමයි නියම ස්ටයිල් එක” කියලා.’—ලීසා.

ලීසා විතරක් නොවෙයි, අද බොහෝ යෞවන අය මුදු වැනි ආභරණ පැළඳීමට තම ඇහි බැම, දිව, තොල් සහ බුරිය පවා විදගන්නවා. මෙම ක්‍රියාවන් හඳුන්වන්නේ ශරීරය විදගැනීම යනුවෙනුයි. a

දහසය හැවිරිදි හෙදර් මෙම විලාසිතාව අත්හදා බලන්න පුදුම ආශාවකින් බලාගෙන ඉන්නේ. ඇය සිතන්නේ ඇගේ බුරියේ මුදුවක් පැළඳුවාම “හොඳ පෙනුමක්” ඇති වෙනවා කියලා. දහනව හැවිරිදි ජෝ ඔහුගේ දිව විදගෙන හැමෝටම පේන්න තෝඩුවක් එල්ලගෙන ඉන්නවා. ඒ වගේම තවත් ගැහැනු ළමයෙක්ට එයාගේ ඇහි බැම විදගන්න ඕනේ වුණේ ඇයි කියලා දන්නවාද? “හැමෝ අතරෙම කැපිලා පෙනෙන්න”, ඒ වගේම, “එයා දිහා බලන අයව ගැස්සිලා හිටින්න” මොනවා හරි දෙයක් කරන්න ඕනේ වුණ නිසා.

ඇත්තෙන්ම ආභරණ පැළඳීම අලුත් දෙයක් නෙවෙයි. බයිබල් කාලයේ සිටි දේවභයැති රෙබෙකා නාසාභරණයක් පැළඳ සිටියා. (උත්පත්ති 24:22, 47) ඒ වගේම ඉශ්‍රායෙල්වරු මිසරයෙන් පිටතට එන විට ඔවුන් කරාබු පැළඳගෙන සිටියා කියා බයිබලයේ පවසනවා. (නික්මයාම 32:2) හැබැයි, ඔවුන් ආභරණ පැළඳීමට නාසය හෝ කන විදිනු ලැබුවාද කියා නම් දන්නේ නෑ. ඈත අතීතයේදී තම ස්වාමියාට ඇති පක්ෂපාතකම සංකේතවත් කිරීම සඳහා විශ්වාසවන්ත වහලුන්ගේ කන් විදීම සිදු කෙරුවා. (නික්මයාම 21:6) පුරාණ සංස්කෘතීන් තුළත් විදීම විශේෂිත වූ දෙයක් වී තිබුණා. ඇස්ටෙක්වරු සහ මායාවරු ආගමික හේතූන් නිසා ඔවුන්ගේ දිව විද්දා. අප්‍රිකානුවන් සහ දකුණු අමෙරිකානු ඉන්දියානුවන් අතර තොල් විදීම අදදින පවා සුලභ දෙයක්. මෙලනිසියානුවන් සහ ඉන්දියානු මෙන්ම පකිස්ථාන වැසියන් අතර විවිධ ආභරණ නාසය විද පැළඳීම සාමාන්‍ය දෙයක්.

මෑතක් වන තුරුම බටහිර රටවල්වල විදීම සීමා වුණේ ස්ත්‍රීන්ගේ කන් පෙත්තට පමණයි. එහෙත් දැන් ගැහැනු සහ පිරිමි, නහඹරයන් සහ තරුණ වැඩිහිටි දෙගොල්ලන්ම ශරීරයේ පැළඳීමට හැකි සෑම තැනකටම ආභරණ එල්ල ගන්නවා.

ඇයි මෙතරම් විද ගන්නේ?

බොහෝ අය විදින්නේ එය නවතම විලාසිතාවක් නිසයි. එවැනි විලාසිතාවක් තමන්ගේ පෙනුම තවත් වැඩි කරනවා කියලා තවත් අය සිතනවා. ඒ වගේම සමාජයේ ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පීන්, ක්‍රීඩකයන්, ජනප්‍රිය ගායකයන් මෙම ආභරණ පැළඳීම තවත් හේතුවක්. සමහර යෞවනයන් තම ස්වාධීනත්වය සහ තමා අනිත් අයට වඩා වෙනස් කියා පෙන්වීමටත් තම ශරීරය විදගන්නවා. එක් තීරු ලේඛකයෙක් වූ ජෝන් ලීයෝ මෙසේ නිරීක්ෂණය කළා. “යෞවනයන් තම දෙමාපියන්ව සහ සමාජයේ සිටින සාමාන්‍ය මිනිසුන්ව කේන්ති ගැස්වීමට හරිම ආස හින්දත් විදීම් කරගන්නවා.” මෙවැනි ක්‍රම උපයෝගි කරගැනීම තුළින් තමන්ගේ අසතුට, මුරණ්ඩුකම සහ භේද මෙන්ම කැරලිකාර ස්වභාවය ඔවුන් පෙන්නුම් කරනවා.

ඒ වගේම ඇති වන ගැඹුරු මානසික හා චිත්තවේගයන් සමඟ කටයුතු කිරීමට විදීම් කරනවා. උදාහරණයකට, සමහර යෞවනයන් සිතනවා එය ඔවුන්ගේ ආත්ම ගෞරවය වැඩි කරනවා කියලා. ඒ වගේම ළමා අපචාරයට හසු වූ අය විදගන්නේ තම ශරීරය පාලනය කිරීමට ඇති තමන්ගේ අයිතිය පෙන්වන්නයි.

සෞඛ්‍යයට ඇති වන අනතුරු

මතු වන ප්‍රශ්නය වන්නේ මෙම විදීම් සිදු කිරීම ආරක්ෂා සහිතද යන්නයි. බොහෝ වෛද්‍යවරු පවසන්නේ සමහරක් ක්‍රම ආරක්ෂාකාරි නැති බවයි. ඔබම ඔබේ ශරීරය විදගන්නවා නම් එය වඩාත් දරුණු වීමට පුළුවන්. වෘත්තියක් වශයෙන් මෙය කරන්නන්ට පවා ඒ ගැන හරි හැටි අද්දැකීම් නැති නිසා මෙය කිරීම අනතුරුදායක විය හැක. මන්ද ඔවුන් එම ශාස්ත්‍රය ඉගෙනගෙන තිබෙන්නේ මිතුරන්ගෙන්, සඟරා තුළින් හෝ වීඩියෝපට බැලීමෙනුයි. එම නිසා ඔවුන් සුදුසු සනීපාරක්ෂක ක්‍රම සහ එයින් ඇති වන අනතුරු ගැන හරි හැටි දැනුවත් වී නෑ. ඒ වගේම බොහෝ විදීම් සිදු කරන අයට ශරීරයේ ව්‍යූහය පිළිබඳව නිවැරදි දැනුමකුත් නෑ. වඩාත් භයානකම දෙය වන්නේ වැරදි ස්ථානය සිදුරු කිරීමෙන් විශාල ලේ ගැලීමක් හෝ නහරයකට ඇනීමෙන් සුව නොවන තුවාල පවා ඇතිවීමයි.

අනෙක් භයානකම දෙය වන්නේ ආසාදනය වීමයි. හොඳින් විෂ බීජ නසා නැති උපකරණ තුළින් සෙංගමාලය, ඒඩ්ස්, ක්ෂය රෝගය සහ පිටගැස්ම වැනි මාරාන්තික රෝග බෝවීමට ඇති ඉඩ කඩ වැඩියි. හොඳ ආරක්ෂිත ක්‍රම භාවිතා කළත් විදීමකින් පසු ප්‍රවේසම් විය යුතුයි. උදාහරණයකට බුරියේ විදීමක් කළ විට එය නිතර ඇඳුමට ඇතිල්ලෙන නිසා කැසීමක් ඇති වෙන අතර සුවවීමට මාස නවයකට වැඩි කාලයක් ගත විය හැක.

වෛද්‍යවරු පවසන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ නාසයේ හෝ කනේ කාටිලේජය විදීම කන් පෙත්ත විදිනවාට වඩා ඉතාමත් භයානක දෙයක් බවයි. අමෙරිකාවේ ප්ලාස්ටික් මුහුණු සැත්කම් විද්‍යාතනයේ ප්‍රවෘත්ති ලිපියක මෙසේ සඳහන් වුණා. “කනේ ඉහළ කොටස දක්වාම කරාබු දැමීමට තැන් කීපයක් විදීම නිසා ආසාදනය වීමෙන් කනේ ඉහළ කොටස නැතිවීමට ඉඩ ඇති අතර නාස් කරාබු දැමීමද භයානකය. මන්ද, නාසය ආසාදනය වුවොත් එහි ඇති රුධිර වාහිනි මගින් ආසාදනය මොළය දක්වාම වුවත් යා හැක.” එම ලිපිය මෙසේ අවසන් කර තිබුණා. “හොඳම දෙය විදීම් කිරීම කන් පෙත්තට පමණක් සීමා කිරීමයි.”

ඇති විය හැකි අනෙක් අනතුරු නම්, ශරීරය අවලස්සන කරන කැළැල් සහ පළඳින ආභරණ අසාත්මික වීමයි. ඉතාමත් සංවේදි ස්ථානයක් වන පියයුරට මුදු දැමූ විට එම මුදු ඇඳුමට පැටලැවී විදිනු ලැබූ ස්ථානය ඉරීමට පවා පුළුවන. මෙයින් යෞවනියකගේ පියයුරෙහි ඇති පටක තුවාල වීමෙන් කිරි නාළය අවහිර වෙනවා. මෙම දරුණු තත්වයට ප්‍රතිකාර නොගත්තොත් ඇයට අනාගතයේදී ළදරුවෙකුට කිරි දීමේදී අපහසුතාවයකට පත්වීම හෝ සමහරවිට කිසිදාක කිරි දීමට නොහැකි වීමට පවා පුළුවන.

අමෙරිකානු දන්ත සංගමය මුඛය විදීමෙන් ඇති වන පොදු සෞඛ්‍ය අවදානම හුවා දැක්වුවා. මුඛ ආශ්‍රිත ප්‍රදේශය විදීමෙන් මතු වන ගැටලු සමහරක් පහත දැක්වෙනවා: ආභරණය ගිලීමෙන් හුස්ම හිරවීම, දිව හිරි වැටීම හෝ රස නොදැනී යෑම, දිගින් දිගටම ලේ ගැලීම, දත් කැඩී යෑම, පාලනයකින් තොරව කෙළ වැගිරීම, විදුරුමස තුවාල වීම, කථනය දුර්වල වීම සහ හුස්ම ගැනීමට, සැපීමට සහ ගිලීමට අපහසු වීම වැනි දේවල්ය. දිව විදීම නිසා තරුණ කෙන්ඩ්‍රාට සිදු වුණ ඇබැද්දිය බලන්න. ඇගේ දිව “බැලුනයක් වගේ ඉදිමුණා.” ඇගේ තත්වය වඩාත් දරුණු වුණේ ඇය යොදාගත් ආභරණය දිව සඳහා නොව නිකට සඳහා නිර්මාණය කළ එකක් නිසා, එය ඇගේ දිවත් දිව යට පටකත් පසාරු කරගෙන යෑම නිසයි. තව ටිකෙන් ඇයට කතා කිරීමේ හැකියාව පවා නැතිවීමට ඉඩ තිබුණා.

තමන්ගේ ශරීරවලට ගෞරව කිරීමට සහ ශරීරවලට හානි නොකරන්න කියා දෙවි තම ඉශ්‍රායෙල් ජාතියට ඉගැන්නුවා. (ලෙවී කතාව 19:28; 21:5; ද්විතීය කතාව 14:1) අදදින ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ සිටින්නේ නැති බව ඇත්තයි, එහෙත් ඔවුන් තම ශරීරවලට ගරු කළ යුතුයි. (රෝම 12:1) කෙසේවෙතත්, අප සෞඛ්‍යයට අනතුරු වන ආකාරයේ ක්‍රියාවලින් වැළකීම ඥානවන්ත දෙයක් කියා ඔබට සිතෙන්නේ නැද්ද? තවද, අපගේ සෞඛ්‍යය වගේම සලකා බැලීමට වෙනත් හේතුද තියෙනවා.

අනිත් අයට ඔබ ගැන යමක් පවසයි

බයිබලයේ ශරීරය විදගැනීම සම්බන්ධයෙන් විශේෂ නීතියක් දෙන්නේ නැති වුණත් “විනීතව හා සිහියෙන් යුතුව” සිටින ලෙස දිරිගන්වනවා. (1 තිමෝති 2:9, NW) මෙහිදී ඔබට සලකා බැලීමට යම් දෙයක් තිබෙනවා. එනම් ලෝකයේ එක් ප්‍රදේශයක විනීත විලාසිතාවක් ලෙස සලකන දෙයක් ඔබ ජීවත් වන ප්‍රදේශයේ විනීත දෙයක් හැටියට පිළිගන්නවාද කියන එක. උදාහරණයකට ස්ත්‍රීන් කන් පෙත්ත විදීම ලෝකයේ සමහර රටවල සාමාන්‍යයෙන් පිළිගන්න දෙයක්. එහෙත් තවත් රටක හෝ සංස්කෘතියක එය නින්දාසහගත විලාසිතාවක්.

බටහිර රටවල කරාබු දමාගත් සහ ශරීරය විදගත් තරුණයන් ජනප්‍රියත්වයක් ලබන්නේ කීර්තිමත් පුද්ගලයන් අතරේ විතරයි. සමාජයේ ඔවුන්ට කිසිම පිළිගැනීමක් නෑ. මන්ද සාමාන්‍යයෙන් සිරකරුවන්, යතුරු පැදි කල්ලි, සංගීත උන්මත්තකයන් හා සමලිංගික සංස්කෘතියේ පර සහ ස්ව පීඩා කාමාතුර සාමාජිකයන් (තමන්ටත් අනිත් අයටත් රිදවීමෙන් තෘප්තියක් ලැබීම) වැනි අය තමයි කරාබු පළඳින්නේ. ඇත්තෙන්ම ශරීරය විදීමෙන් නිරූපණය කරන්නේ නීචකම සහ කැරලිකාරකමයි. මෙවැනි දේ කරන අයව දුටු විට ඇති වන්නේ කෝපයක්. ඇෂ්ලි නමැති එක් ක්‍රිස්තියානි යෞවනියක් මෙසේ පැවසුවා: “මගේ පංතියේ පිරිමි ළමයෙක් නාසය විදගත්තා. එයා හිතන්නේ ඒක මහා ලොකු දෙයක් කියලා, මට නම් හිතෙන්නේ ඒක හරිම පිළිකුල් දෙයක් කියලා.”

අමෙරිකාවේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරයක පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරන සේවකයන්ට අවසර ලැබුණේ එක කනකට එක කරාබුවක් පැළඳීමට පමණයි. ශරීරයේ වෙනත් විදීමක් පේන්න තිබීම තහනම් කළා. ව්‍යාපාරයේ එක් නියෝජිකාවක් එයට හේතුව මෙසේ පැහැදිලි කළා: “පාරිභෝගිකයන් කොහොම ප්‍රතිචාරය දක්වයිද කියලා අපිට දිවැස් කියන්න බෑ.” ඒ වගේම රැකියා උපදේශකයන් මේ සමාන අවවාදයක් දෙනවා. “පිරිමි ළමුන් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යන විට කරාබු හෝ ශරීරය විදලා ආභරණ පැළඳගෙන යෑමෙන් වැළකිය යුතුයි; ස්ත්‍රීන් හොඳින් ඇඳ පැළඳ යා යුතුයි . . . නමුත් නාසයට මුදු පැළඳීම නම් සුදුසු නෑ.”

විශේෂයෙන්ම යෞවන ක්‍රිස්තියානීන් තමන් ගැන හරි ආකල්පයක් අනිත් අයට දීම ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම දේශනා සේවයේ හවුල් වන විට සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. මන්ද ‘තමන්ගේ සේවයට දෝෂ නොපැමිණවීම සඳහා කිසිවකින් බාධාවීමට කිසි ප්‍රස්තාවක් දීමට’ ඔවුන්ට අවශ්‍ය නෑ. (2 කොරින්ති 6:3, 4) ශරීරය විදගැනීම සම්බන්ධයෙන් ඔබගේ පෞද්ගලික අදහස් කුමක් වුවත් ඔබේ පෙනුම මගින් ඔබගේ ආකල්ප සහ ජීවන රටාව ප්‍රකාශ වන බව අමතක කරන්න එපා. ඔබ කැමති ඔබ ගැන කොයි ආකාරයේ පණිවුඩයක් දෙන්නද? මොහොතකට ඒ ගැන සිතා බලන්න.

කෙසේවුවත් අවසානයේදී මේ විෂය සම්බන්ධයෙන් ඔබ කළ යුතු දේ ඔබ සහ ඔබේ දෙමාපියන් තීරණය කළ යුතුයි. බයිබලයේ ඥානවන්ත උපදේශය වන්නේ “ඔබ වටා ඇති ලෝකයේ ආකාරයට යටවීමට ඉඩ නොදෙන්න” යන්නයි. (රෝම 12:2, ෆිලිප්ස්) මන්ද, ඔබ කරන දෙයින් ඇති වන ප්‍රතිඵලවලට මුහුණ දෙන්නේ වෙන කිසිවෙකු නොව ඔබම බව කිසිවිටකත් අමතක කරන්න එපා.

[පාදසටහන]

a මෙම ලිපිය තුළින් බොහෝ රටවල පොදු හෝ සංස්කෘතියේ අංගයක් ලෙස පිළිගත් දෙයක් වන සාමාන්‍යයෙන් සිදු කරන විදීමට යොමු දක්වන්නේ නෑ. ඒ වෙනුවට අප අවධානය යොමු කරන්නේ අදදින ජනප්‍රිය වී ඇති අන්තයටම ගිය විදගැනීම් සම්බන්ධයෙනුයි.—1974 මැයි 15, මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 318-19 දක්වා පිටු බලන්න.

[17වන පිටුවේ පින්තූර]

ශරීරය විදගැනීම යෞවනයන් අතර ඉතා ජනප්‍රියයි