Skip to content

පටුනට යන්න

සදාචාරය ඇත්තෙන්ම පිරිහී ඇද්ද?

සදාචාරය ඇත්තෙන්ම පිරිහී ඇද්ද?

සදාචාරය ඇත්තෙන්ම පිරිහී ඇද්ද?

“නූතන මිනිසාගේ සදාචාරය අතීතයට වඩා හොඳ තත්වයක පවතිනවාද? එසේත් නැත්නම් තත්වය වඩා නරක අතට හැරී ඇද්ද?” ඉතිහාසඥයන් මෙයට පිළිතුරු සපයන්නේ කෙසේද? යුගයෙන් යුගය එකිනෙකට වෙනස් වන බැවින් මෙලෙස එක් යුගයක් තවත් එකක් සමඟ සන්සන්දනය කිරීම නුසුදුසුයි කියා ඇතමෙකු පවසයි. ඔවුන්ගේ මතයට අනුව සෑම යුගයකටම ඊට ආවේණික වූ ලක්ෂණ තිබේ. එමෙන්ම ඒ එක් එක් යුගයන්හි ජීවත් වූ අයගේ සදාචාරය ගොඩනැඟී ඇත්තේ එම ලක්ෂණවලට අනුවයි කියා ඔවුන් විශ්වාස කරයි. එමනිසා මේ පිළිබඳව නිශ්චිත අදහසක් පළ කළ නොහැකි බව ඔවුන් කියා සිටියි.

නිදසුනකට, 16වන සියවස තුළ යුරෝපයේ වර්ධනය වූ ප්‍රචණ්ඩකාරිත්වය සලකා බලන්න. වසර 400කට පෙර ජනයා නීතිය තමාගේ අතට ගෙන තිබූ අතර මිනීමැරීම ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණ. එක් එක් පවුල් අතර බද්ධ වෛරයන් හටගැනීමද එහි පොදුවේ දක්නට තිබූ තවත් ලක්ෂණයකි.

මැනිස්කෝවාර්ඩෙට් ඕක් මාක්ටෙන් (ආත්ම ගරුත්වය හා බලය) යන පොතෙහි, ආර්න යාරික් හා යෝහාන් සඩබෙර්ය යන ඉතිහාසඥයන් සඳහන් කළ දේ සැලකිල්ලට ගන්න. වර්ෂ 1600ත් 1850ත් අතර කාලයේදී ඇතැම් ප්‍රදේශවල “විසූ ජනයා වඩා ශිෂ්ට සම්පන්න වීමට පටන්ගත්” බව ඔවුන් සඳහන් කරයි. මෙයින් අදහස් කළේ ජනයා පෙරට වඩා අන්‍යයන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට පටන්ගෙන තිබූ බවයි. වෙනත් ආකාරයකින් පැවසුවොත්, ඔවුන් වඩා සංවේදී වීමට ඉගෙනගෙන තිබිණ. උදාහරණයක් වශයෙන් 16වන සියවසේ සොරකම හා දේපොළ හානි කිරීම වැනි අපරාධ අදදිනට වඩා සෑහෙන අඩුවෙන් සිදු වූ බව තවත් සමහර ඉතිහාසඥයන් පවසා ඇත. මෙම සාමකාමී තත්වය විශේෂයෙන්ම අද්දුටුවේ ගම්බද පළාත්වල විසූ අයයි. ඔවුන්ට මැරවර පිරිස් පිළිබඳ ආරංචියක් නොලැබුණ තරම්ය.

ඒ කොහොම වුණත්, වහල් ව්‍යාපාරයේ ආරම්භයත් සමඟම පෙර නොසිතූ විරූ ආකාරයේ අපරාධ සිදුවීමට පටන්ගත්තේය. එය මිනිස් ජීවිතයට එරෙහිව දරුණුතම අපරාධ සිදු කළ ඉතිහාසයේ බිහිසුණුම යුගවලින් එකක් වශයෙන් සැලකිය හැකියි. යුරෝපීය වෙළෙන්දන් අප්‍රිකාවෙන් මිලියන ගණන් අහිංසක ජනතාවක් පැහැරගෙන ගොස්, අමානුෂික වද හිංසාවලට ලක් කරමින් ඔවුන්ව වහලුන් බවට පත් කළේය.

මෙයින් අපට පැහැදිලි වන්නේ, අදදිනට වඩා අතීතයේ සමහර තත්වයන් යහපත්ව තිබුණත් සැමවිටම එය එසේ නොවූ බවයි. කෙසේවෙතත්, 20වන ශතවර්ෂය තුළදී නම් පෙර නොවූ විරූ ආකාරයේ වෙනසක් සිදු විය. එහි බලපෑම මෙම ශතවර්ෂය තුළදීත් දිගින් දිගටම පවතින බවට නිසැකයි.

20වන සියවස—පෙරළියක් ඇති කළ යුගයක්

“එක්දහස් නවසිය තිස් ගණන්වලදී නැවත වරක් මිනීමැරීම්වල වර්ධනයක් අද්දකින්න පටන්ගත්තේය. කනගාටුදායක ලෙස එම වර්ධනය අපේ කාලය දක්වාම අඛණ්ඩව පැවතවිත් තිබේ” කියා යාරික් හා සඩබෙර්ය යන ඉතිහාසඥයන් දෙදෙනා අදහස් දැක්වීය.

මේ සම්බන්ධයෙන් බොහෝදෙනෙකු ප්‍රකාශ කර සිටින්නේ, 20වන ශතවර්ෂය සදාචාරයේ ශීඝ්‍ර බිඳ වැටීමක් ඇති වූ යුගයක් බවයි. සදාචාරය පිළිබඳ විග්‍රහයක් පැවසුවේ මෙලෙසයි. “පසුගිය වසර 30ත් 40ත් ඇතුළත ලිංගික කාරණා මෙන්ම වෙනත් සදාචාරමය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනයාගේ ආකල්ප සෑහෙන දුරට වෙනස් වී තිබෙන බව පැහැදිලියි. අතීතයේ හරි වැරදි කෙළින්ම පහදා දෙන නීති තිබුණත්, අද ජනයාට තමන්ගේම කැමැත්ත අනුව හොඳ නරක තෝරාගැනීමට පූර්ණ නිදහස දී තිබේ.”

මෙයින් අදහස් කරන්නේ ලිංගික කාරණා හා සදාචාරයේ වෙනත් පැති සම්බන්ධයෙන් දැන් බොහෝදෙනෙකු පෞද්ගලික තීරණ ගන්නා බවයි. ඇත්තෙන්ම, තමන්ට ඒ සඳහා අයිතියක් තිබෙන බව ඔවුන් විශ්වාස කරයි. මෙය හොඳින් නිදර්ශනය කරන සංඛ්‍යා ලේඛනයක් සලකා බලන්න. එක්සත් ජනපදයේ 1960දී සිදු වූ ගැබ්ගැනීම්වලින් විවාහයෙන් පිටත සිදු වූයේ සියයට 5.3ක් පමණයි. ඒත් 1990දී එම ප්‍රතිශතය සියයට 28ක් දක්වාම ඉහළ ගොස් ඇති බව කලින් සඳහන් කළ ප්‍රකාශයේ පවසා තිබිණ.

නොත්‍ර දාම් විශ්වවිද්‍යාලයේ දේශනයකදී එක්සත් ජනපදයේ ඇමතිවරයෙක් වන ජෝ ලයිබ’මන් නූතන සදාචාරය විස්තර කළේ “සෝදා පාළුවට ලක් වූ සාරධර්මවල සංකලනයක්” වශයෙනුයි. “ඒ කියන්නේ හොඳ හා නරක පිළිබඳ සම්මතයක් වශයෙන් පිළිගෙන තිබූ අදහස් හා ප්‍රතිපත්තිවලින් ජනයා ක්‍රමක්‍රමයෙන් ඈත් වී යන බවයි.” මෙම සාරධර්ම සෝදා පාළුව “දැන් අවුරුදු 70ක පමණ කාලයක් පුරා සිදු වෙමින් පවතින” බව ලයිබ’මන් පැහැදිලි කළේය.

ආගමට තැනක් නැති යුගයක්

විසිවන ශතවර්ෂයේ මෙවන් පෙරළියක් සිදු වී ඇත්තේ මන්ද? මේ පිළිබඳව ඉතිහාසඥයන් හා වෙනත් විශ්ලේෂකයන් කිහිපදෙනෙකුගේ අදහස් මැනිස්කෝවාර්ඩෙට් ඕක් මාක්ටෙන් යන පොතෙහි සඳහන් කර ඇත. එය මෙසේ පවසයි. “පසුගිය ශතවර්ෂ දෙකෙහි සිදු වී තිබෙන වැදගත්ම වෙනස වන්නේ ආගම පිළිබඳ ජනයා දරන මතයන්ය. කාලයක් ජනයා මත විශාල බලපෑමක් ඇති කළ ආගමට දැන් තැනක් නැත. විවිධ දේවල් සම්බන්ධයෙන් තමාගේම මත ඉදිරිපත් කිරීමට අද ජනයාට නිදහස තිබේ. ආගම මගින් ඔවුන්ව සිර කර නැත. මෙවැනි ක්‍රියාකලාපයකට . . . මුලින්ම දිරි දුන්නේ 18වන සියවසේ දාර්ශනිකයන්ය. ඥානාලෝකය පිළිබඳ දර්ශනය ඉදිරිපත් කළෙත් . . . බයිබලය සත්‍යයේ එකම මඟ වශයෙන් ප්‍රථම වරට ප්‍රතික්ෂේප කළෙත් ඔවුන්ය.” එමනිසා සදාචාරමය කාරණා පිළිබඳ මඟ පෙන්වීමක් ලබාගැනීමට අතීතයේ සිටි ජනයා ආගම්, විශේෂයෙන් ක්‍රිස්තියානි ලෝකයේ ආගම් වෙතට හැරුණත් අද එසේ නොකරයි.

නමුත් 18වන සියවසේ පළ කළ දර්ශනයක් ජනප්‍රිය වීමට අවුරුදු 200කට වැඩි කාලයක් ගත වූයේ මන්ද? “ඇත්තෙන්ම සාමාන්‍ය ජනයා අතර මෙවැනි අදහස් පතුරුවන්න එතරම් පහසු නොවීය. ආගමකට ඇලී සිටින්න අවශ්‍ය නැහැයි කියන අදහස මිනිසුන්ගේ මනසට ඇතුල් වූයේ ක්‍රමක්‍රමයෙන්” කියා එම පොත තවදුරටත් විස්තර කරයි.

සම්ප්‍රදායානුකූලව පිළිගෙන තිබූ සදාචාරමය ප්‍රමිති මෙන්ම ක්‍රිස්තියානි සාරධර්ම ජනයා ඒ තරම් ඉක්මනින් අත්හැරියේ නැතත්, 20වන ශතවර්ෂය තුළදී නම් එම අදහස ජනයා අතර ශීඝ්‍රයෙන් ප්‍රචලිත විය. පසුගිය දශක කිහිපය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සැබෑවක් වී තිබේ. එයට හේතුව අපි දැන් සලකා බලමු.

ආත්මාර්ථය හා ගිජුකම

විසිවන ශතවර්ෂයේ තාක්ෂණික මෙන්ම ආර්ථික වශයෙන් අද්දැක තිබෙන ශීඝ්‍ර දියුණුව මෙයට ප්‍රබල හේතුවක් වී තිබේ. ජර්මනියේ ඩී ට්සයිට් නම් පුවත්පතේ පැවසූ ආකාරයට, අප ජීවත් වන්නේ “අඛණ්ඩ වෙනස් වීම්වලට භාජන වන වකවානුවකයි. එය ලෝකයේ ඒ තරම් දියුණුවක් නොතිබූ අතීත යුගයන් මෙන් නොවේ.” මෙයින් ඇති වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද? වෙළඳාම මත පදනම් වූ ආර්ථික ක්‍රමයක්, ඒ කියන්නේ තරඟකාරිත්වය හා ආත්මාර්ථය මත පදනම් වූ සමාජයක් බිහිවීමයි කියා එම ලිපිය පිළිතුරු දෙයි.

එම ලිපියේ තවදුරටත් පවසන්නේ මෙලෙසයි. “මෙම ආත්මාර්ථකාමී ක්‍රියාකලාපය නතර කරන්න කිසිම ක්‍රමයක් නැත. එදිනෙදා ජීවිතයේ මෙතරම් අමානුෂික ක්‍රියා සිදු වන්නේ එනිසයි. ඇතැම් අවස්ථාවලදී පාලකයන් පවා වංචනික ක්‍රියාකලාපයක් අනුගමනය කරයි. මිනිසුන් සැලකිලිමත් වන්නේ තමන් ගැන පමණයි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ තම ආශාවන් මුදුන්පත් කරගැනීමයි.”

ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයෙක් වන රොබට් වද්නෞ කළ සමීක්ෂණ කිහිපයකින්ම හෙළි වූයේ, දැන් අමෙරිකානු ජනයා කලින් පරම්පරාවලට වඩා මුදල්වලට වැඩි ලොල්බවක් දක්වන බවයි. “ජනයා මුදලට මුල් තැන දෙන නිසා අන්‍යයන්ට ගෞරවය දැක්වීම, රැකියා ස්ථානයේ අවංකකම හා සමාජ සේවයේ යෙදීම වැනි හොඳ ගතිපැවතුම් දැන් යටපත් වී තිබෙනවා කියා බොහෝ අමෙරිකානු ජනයා විශ්වාස කරන” බව එම අධ්‍යයනවලින් හෙළි විය.

සමාජයේ මෙතරම් ගිජුකම වැඩිවීමට තවත් හේතුවක් වන්නේ ව්‍යාපාර කළමනාකරුවන් තම සේවකයන්ට අඩු වැටුප් ලබා දෙමින් තමන්ගේම අත මිට සරු කරගැනීමට බැලීමයි. තම සේවකයන්ගේ ඉල්ලීම් සුළු කොට තකන ඔවුන් විවිධ ප්‍රතිලාභ භුක්ති විඳිමින් තමන්ගේම මඩි තර කරගනියි. “මෙම ව්‍යාපාරිකයන් ලාභ ලබන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැතුවයි. අනික ඔවුන්ගේ ආකල්ප බෝවනසුලුයි. එතකොට පොදු ජනයාත් තමන්ගේ ප්‍රතිපත්ති පාවා දෙනවා. මෙය සමාජීය මට්ටමෙන් විතරක් නොවේ නමුත් එක එක පුද්ගලයාගේ සදාචාරය බිඳ වැටීමටත් දායක වෙනවා.” මෙය ස්වීඩනයේ ක්‍රිස්තියානි සංගමයේ ආචාරධර්ම පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන්ම දේවධර්මවාදය පිළිබඳ උපදේශකයෙකු වන චෙල් ඌව නිල්සෝන්ගේ අදහසයි.

ජනමාධ්‍යයේ බලපෑම

විසිවන ශතවර්ෂයේ අගභාගයේදී සදාචාරයේ බිඳ වැටීමට විශාල වශයෙන් බලපා ඇති තවත් දෙයක් වන්නේ ජනමාධ්‍යයයි. මේ සම්බන්ධයෙන් ලයිබ’මන් ඇමතිවරයා පැවසූ දේ සලකා බලන්න. “අදදින මිනිසුන්ගේ සාරධර්ම ගොඩනැඟෙන්නේ ඔවුන්ට ජනමාධ්‍යය ඔස්සේ ලැබෙන තොරතුරු මතයි. ඇත්තෙන්ම, රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, ගායකයන් හා විලාසිතා නිර්මාණකරුවන් පවා මිනිස් චින්තනය මත ප්‍රබල බලපෑමක් ඇති කරයි. ජනමාධ්‍යය හරිම බලවත්. එය අපව පාලනය කරනවා කියා පැවසුවොත් නිවැරදියි. එය කිසිදු වග විභාගයකින් තොරව ඉදිරිපත් කරන හානිකර තොරතුරු අපේ සංස්කෘතිය හා විශේෂයෙන්ම අපේ දරු සම්පත මත ප්‍රබල තර්ජනයක් එල්ල කරයි.”

මෙයට හොඳ නිදර්ශනයක් වන්නේ, බටහිර ලොවේ ජනප්‍රිය වී තිබෙන හෙවි මෙට්ල් සංගීතයයි. එවැනි සංගීත කණ්ඩායමක් වන කැනිබල් කෝ’ප්ස් (මළ මිනි කන්නෝ) ගායනා කරන එක් සිංදුවක, පිහියකින් තර්ජනය කරමින් ස්ත්‍රියක්ව දූෂණය කරන ආකාරය පියවරෙන් පියවරට විස්තර කර තිබෙන බව ලයිබ’මන් පවසයි. ලයිබ’මන් සහ ඔහුගේ සහයකයන් එම සංගීත තැටිය තහනම් කිරීමට කොතරම් වෑයම් කළත් ඔවුන් අසාර්ථක විය.

දරුවන්ට සදාචාරාත්මක වශයෙන් හොඳ පදනමක් ලබා දීමට වෙර දරන දෙමව්පියන්ට ජනමාධ්‍යය ප්‍රබල අභියෝගයක් එල්ල කරන බව පැහැදිලියි. ජනමාධ්‍යය තුළින් ඉදිරිපත් කරන දූෂිත අදහස්වලට අනුව තම දරුවන්ගේ චින්තනය සකස් නොවන පිණිස ඔවුන්ට නිරන්තර සටනක යෙදීමට සිදු වෙයි. නමුත් සුපරීක්ෂාකාරි නොවන දෙමව්පියන් සිටින දරුවන්ගේ තත්වය කුමක්ද? ලයිබ’මන් මෙසේ පිළිතුරු දෙයි. “එවැනි අවස්ථාවලදී නම් දරුවන් ජනමාධ්‍යයේ ග්‍රහණයට පහසුවෙන්ම හසු වෙයි. ඔවුන්ගේ ප්‍රමිති සකසන්නේ ජනමාධ්‍යයයි. හොඳ හා නරක පිළිබඳ දරුවෙකුගේ හැඟීම්, තමාගේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නේ කුමකටද යනාදිය තීරණය වන්නේ රූපවාහිනියෙන්, සිනමා ලොවෙන් හා සංගීත ලොවෙන් ඔහුට ලැබෙන තොරතුරු මතයි.” අන්තර්ජාලයද දැන් මෙම ලැයිස්තුවට ඇතුළත් කළ හැකියි.

අප නැවතත් “ගල් යුගයට” පිවිස ඇද්ද?

යෞවනයන් වෙත එල්ල වන මෙවැනි නරක බලපෑම්වල ප්‍රතිඵලය කුමක්ද? කුඩා දරුවන් මෙන්ම නහඹරයන් විසින් වෙනත් දරුවන්ට හෝ වැඩිහිටියන්ට එරෙහිව කෲර අපරාධ සිදු කිරීම එහි එක් ප්‍රතිඵලයකි.

මෙය හොඳින් නිදර්ශනය කරන තැතිගන්වනසුලු සිද්ධියක් සලකා බලන්න. ස්වීඩනයේ 1998දී අවුරුදු පහක් හා හතක් තරම් කුඩා දරුවන් දෙදෙනෙක් අවුරුදු හතරක් වූ තම පුංචි මිතුරාගේ බෙල්ල මිරිකා මරා දැමූහ. මෙම සිද්ධියෙන් පසුව වැදගත් ප්‍රශ්නයක් ඉස්මතු විය. “දරුවන්ට හරි හා වැරදි අතර තේරීමක් කරන්න පුළුවන්ද? නැත්නම් වෙනත් ආකාරයකින් පැවසුවොත් තම සීමාව ඉක්මවා යද්දී ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට අනතුරු අඟවන්නේ නැද්ද?” ළමා මනෝ චිකිත්සකයෙක් මෙසේ පිළිතුරු දෙයි. “හරි හා වැරදි අතර තේරීමක් කරන හෘදය සාක්ෂියක් නිකම් ඉබේම හටගන්නේ නැහැ. අප එය පුහුණු කළ යුතුයි. ඒ වගේම, තමා අනුගමනය කරන පුද්ගලයන්ගේ හා තමා අවට සිටින වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපයද දරුවෙකුගේ හෘදය සාක්ෂිය සැකසීමේදී ප්‍රධාන කාර්යයක් ඉටු කරයි.”

දාමරික ක්‍රියා සිදු කරන අපරාධකරුවන් මෙයට හොඳ නිදසුනකි. ස්වීඩනයේ මනෝ චිකිත්සනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන සටේන් ලේවාන්ඩ පැවසුවේ, සිරකරුවන්ගෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් මානසික රෝගීන් බවයි. ඒ කියන්නේ හොඳ හා නරක අතර වෙනස නොදන්නා හා එම වෙනස අවබෝධ කරගැනීමට කිසිම වෑයමක් නොදරන ආත්මාර්ථකාමී හා සංවේදී නොවන පුද්ගලයන්. ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය පසුබිමක වැඩුණු දරුවන් හා වැඩිහිටියන් පවා සදාචාරමය කාරණා දෙස බලන්නේ සැහැල්ලු ආකාරයටයි. දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරියක් වන ක්‍රිස්ටීන් හොෆ් සෝම’ස් පැවසුවේ, “අපි සදාචාරාත්මක පැත්තෙන් නම් නැවතත් ගල් යුගයටම ගිහිල්ලා” කියායි. ඇගේ පන්තියේ සිටින තරුණ තරුණියන්ට හරි හා වැරදි පිළිබඳව තම අදහස් ප්‍රකාශ කරන්න කියා පැවසූ විට ඔවුන් පිළිතුරු දී ගත නොහැකිව අසීරු තත්වයකට පත් වන බව ඇය පවසයි. ඔවුන්ගේ මතයට අනුව, මේ ලෝකයේ හොඳ හා නරක කියල දෙයක් නැත. එය එකිනෙකා තනි තනියෙන් තීරණය කළ යුතු දෙයක් බව ඔවුන් විශ්වාස කරයි.

වඩා මෑතකදී ඇගේ ශිෂ්‍යයන් මනුෂ්‍ය ජීවිතය අද්විතීයයි යන අදහස පවා ප්‍රතික්ෂේප කර ඇත. එය ගෞරවය කළ යුතු අනර්ඝ දෙයක් වශයෙන් ඔවුන් පිළිගන්නේ නැත. මෙයට නිදසුනක් වශයෙන්, නාඳුනන පුද්ගලයෙකුගේ හා තමන්ගේ සුරතල් සතෙකුගේ ජීවිතය බේරාගැනීම අතර තේරීමක් කරන්න සිදු වුණොත් ඔවුන් කරන්නේ කුමක්ද කියා ඇසූ විට, ඔවුන්ගෙන් බහුතරයක් කියා සිටියේ සතාගේ ජීවිතය බේරගන්නා බවයි.

මහාචාර්ය සෝම’ස් තවදුරටත් මෙසේ පැහැදිලි කළා. “දරුවන් කියන්නේ කිසිම දෙයක් නොදන්නා, සෑම කෙනෙකුවම සැක කරන, විශ්වාසය තැබිය නොහැකි, කෲර අය නොවේ. ඇත්තෙන්ම කියනවා නම්, ඔවුන්ට හරි හා වැරදි පිළිබඳව කිසිම සංකල්පයක් නැහැ. ඒකයි ගැටලුව.” යෞවනයන් බහුතරයක් හරි හා වැරදි කියල දෙයක් තිබෙනවාද කියා සැක කරන බව ඇය පවසන අතර, මෙම ආකල්පය සමාජයට විශාල තර්ජනයක් එල්ල කරන බව ඇය විශ්වාස කරයි.

අදදින ජනයා සදාචාරාත්මක මායිම් නොසලකා හරිනවා කියා පැවසුවොත් නිවැරදියි. මෙයින් භයානක ප්‍රතිඵල ඇති විය හැකි බව බොහෝදෙනෙකුගේ විශ්වාසයයි. මේ සම්බන්ධයෙන් කලින් සඳහන් කළ ඩී ට්සයිට් නමැති පුවත්පත මෙසේ අදහස් දක්වයි. “මෑතකදී සමාජවාදී රටවල සිදු වුණාක් මෙන්, තව ටික කලක් ගත වෙද්දී” නිදහස් වෙළඳ ප්‍රතිපත්ති අනුගමනය කරන අපේ ආර්ථිකය පවා ක්‍රමක්‍රමයෙන් “බිඳවැටෙන්න පුළුවන්.”

මින් අදහස් වන්නේ කුමක්ද? අපට බලාපොරොත්තු විය හැක්කේ කොයි වගේ අනාගතයක්ද?

[6, 7වන පිටුවේ පින්තූර]

“අදදින මිනිසුන්ගේ සාරධර්ම ගොඩනැඟෙන්නේ ඔවුන්ට ජනමාධ්‍යය ඔස්සේ ලැබෙන තොරතුරු මතයි”