Skip to content

පටුනට යන්න

“ආයි දෙකෙන් එකක් නෑ ඔයා නම් මැරෙනවා!”

“ආයි දෙකෙන් එකක් නෑ ඔයා නම් මැරෙනවා!”

“ආයි දෙකෙන් එකක් නෑ ඔයා නම් මැරෙනවා!”

ලිඈන් කාර්ලින්ස්කිගේ අද්දැකීම

ස්පාඤ්ඤයේදී ලේ ගන්නෙ නැතුව ලබාගත හැකි හොඳම ප්‍රතිකාරය ගැනීමට මගේ උත්සාහය

ලෝකෙ කොතැනකට හරි යන්න අවස්ථාවක් ඔබට ලැබෙනවා නම් ඔබ තෝරගන්නේ කොහෙට යන්නද? මට නම් හරිම ලේසියි උත්තර දෙන්න. මම ස්පාඤ්ඤ භාෂාව උගන්වන පාසැල් ගුරුවරියක්. ඒ වගේම මගේ මහත්තයා ජේ සහ මගේ පුතා ජොඑල් එක්ක මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන, අ.එ.ජ., වර්ජිනියා, ගැලැක්ස්හි පිහිටි සභාවකටයි යන්නේ. ඒ නිසා මගේ ආශාව වුණේ ස්පාඤ්ඤයට යන්නයි. මගේ දෙමාපියන් එහෙ යන්න මට ආරාධනා කළ විට මට දැනුණේ පුදුම සතුටක්! මගේ මහත්තයටයි, පුතාටයි අපි එක්ක එන්න බැරි වුණත්, මමයි, මගේ දෙමාපියනුයි කෙළින්ම මැඩ්රිඩ් බලා යන ගුවන් යානයකට නැඟුණු විට මගේ සිහිනය සැබෑ වෙන්න පටන්ගෙන තිබුණා. අප්‍රියෙල් 21වෙනිදා එහි පැමිණි අප කාර් එකෙන් උතුරු ස්පාඤ්ඤයේ නවාරාහි කුඩා නගරයක් වන එස්ටෙල්යාවලට ගමන් කිරීමට තීරණය කළා. පිටුපස ආසනයේ සැපපහසුවට ඉඳගත්තහම මට නින්ද ගියා.

ඊළඟට මම ඇස් අරිනකොට මගේ මූණට හිරුඑළිය වැටිලා මම බිම වැතිරිලා හිටියා මට මතකයි. ‘මම මේ කොහෙද ඉන්නේ? මම මෙතැනට ආවෙ කොහොමද? මම මේ දකින්නේ හීනයක්ද?’ මේ වගේ ප්‍රශ්න මගේ මනසට නැඟෙත්ම සිද්ධ වෙලා තියෙන අකරතැබ්බය මොකක්ද කියලා තේරෙන්න පටන්ගත්තා. සිහිනයක් නොවෙයි ඇත්තටම මොකක් හරි වෙලා. මගේ ඇඳුමේ වම් අත ඉරිලා තිබුණා. මගේ අත් දෙකයි කකුල් දෙකයි හොලවන්න බැරි වුණා. අපේ කාර් එක ගරාදි වැටක හැප්පිලා මීටර් 20ක පල්ලමකට වැටෙද්දී මාව කාර් එකෙන් එළියට විසි වෙලා ගිහින් තිබුණ බව පස්සේ මම දැනගත්තා. හොඳ වෙලාවට, මටවත් මගේ දෙමාපියන්ටවත් අනතුර සිද්ධ වුණ විදිහ මතක නෑ.

මම උපකාරය ඉල්ලා කෑගැහැව්වාම ට්‍රක් රථ රියැදුරෙක් මා ළඟට දුවලා ආවා. ඊට පස්සේ ඔහු මා සිටිය තැනින් තවත් පහළට ගියා. එතන මගේ දෙමාපියන් කාර් එකේ හිර වෙලා හිටියා. “කාර් එකේ ඉන්න අයට හුඟක් අමාරුයි; ඉක්මනට ඇම්බියුලන්ස් එකක් ගේන්න” කියලා ඔහු ඔහුගේ සහකරුවාට කෑගැහැව්වා. ඊට පස්සේ අත පය හොලවන්න බැරුව හිටිය මා ළඟට ඇවිත්, ඔහු හොඳ චේතනාවෙන් මගේ කකුල දිග අරින්න හැදුවා. මං වේදනාවෙන් කෑගැහැව්වා. මට දරාගන්න බැරි වේදනාවක් මුල් වතාවට දැනුණේ ඒ අවස්ථාවෙදියි.

වැඩි වෙලාවක් යන්න කලින් මම ලොග්‍රොනෝහි රෝහලේ හදිසි අනතුරු ඒකකයෙයි හිටියේ. පොලිසිය කරුණාවන්තව එම ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවන්ට මේ බව දන්වලා සිද්ධ වුණ දේ පැහැදිලි කළා. එස්ටෙල්යා හා ලොග්‍රොනෝහි සභාවල බොහෝදෙනෙකුත් රෝහල් සබඳතා කමිටුවත් විගස මාව බලන්න ආවා. ඇත්තවශයෙන්ම, ඒ රෝහලේ ගත කළ දුෂ්කර කාලපරිච්ඡේදයේදී, ඊට පෙර කවදාවත් මාව දැනහඳුනා ගෙන හිටියේ නැති ප්‍රේමනීය ක්‍රිස්තියානීන් පවා මුළු දවස පුරාම මට අවශ්‍ය දේවල් දෙමින් මාව බලාගැනීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. අනතුරෙන් සතියකට විතර පස්සේ රෝහලෙන් පිට වෙන්න පුළුවන් තරමට සුවයක් ලැබූ මගේ දෙමාපියන්වත් ඔවුන් හොඳින් රැකබලා ගත්තා.

බදාදා මැදියම් රැයේ 1.00ට විතර, මගේ බිඳුණු උකුලේ ශල්‍යකර්මයක් කරන්න වෛද්‍යවරුන් ආවා. ලේ ගන්න කැමති නෑ කියලා මම වෛද්‍යවරයාට කිව්වා. a ඔහු අදිමදි ස්වරූපයකින් මගේ ඉල්ලීමට ගරු කරන්න එකඟ වුණත්, මම මැරෙයි කියලා කිව්වා. සාර්ථකව ශල්‍යකර්මය සිදු කළත්, මගේ තුවාල පිරිසිදු කළේවත්, මගේ වෙළුම් පටි මාරු කළේවත් නැති එක මට පුදුමයක්.

සිකුරාදා වෙනකොට මගේ රුධිර පරිමාව 4.7 දක්වා අඩු වෙලා, මගේ ශක්තිය හීන වෙමින් තිබුණා. එරිත්‍රෝපොයටින් (EPO) විදීම, රතු රුධිරාණු නිපදවන යකඩ හා ලේ වඩන ආහාර වර්ග වැනි විකල්ප ප්‍රතිකාර දෙන්න වෛද්‍යවරයා එකඟ වුණා. b මේ වෙනකොට ජේ හා ජොඑල් ඇවිත් හිටියා. මගේ මහත්තයවයි පුතාවයි දකින්න ලැබුණ එක මොනතරම් සතුටක්ද!

මගේ තත්වය දරුණු අතට හැරුණොත්, වෛද්‍යවරුන් රුධිරය දෙන්න දැනටමත් අධිකරණ නියෝගයක් ලබාගෙනයි තිබෙන්නේ කියලා මැදියම් රෑ 1:30ට විතර වෛද්‍යවරයෙක් ජේට කිව්වා. මම කිසිම අවස්ථාවකදී ලේ ගන්න කැමති වෙන එකක් නැහැ කියලා ජේ ඔහුට කිව්වා. “එහෙමනම් එයා මැරෙයි” කියලා වෛද්‍යවරයා පැවසුවා.

මගේ කැමැත්තට ගරු කරන වෙනත් රෝහලකට මාරු කිරීම සම්බන්ධයෙන් ජේ රෝහල් සබඳතා කමිටුව එක්ක සාකච්ඡා කළා. රෝහලේ හිටිය හැමෝම විරුද්ධ වුණේ නැහැ. උදාහරණයක් වශයෙන්, එක වෛද්‍යවරයෙක් මගේ කැමැත්තට ගරු කරමින්, මට ප්‍රතිකාර කරන්න උපරිම උත්සාහයක් ගන්න බව මට සහතික කළා. නමුත් අනිත් වෛද්‍යවරුන් මට බල කරන්න පටන්ගත්තා. “ඔයාට ඕනෙ ඔයාගේ මහත්තයවයි, ළමයවයි තනි කරලා මැරිලා යන්නද” කියලා ඔවුන් ඇහැව්වා. ලේ නොගෙන, ගන්න පුළුවන් වෙන ඕනම ප්‍රතිකාරයක් ගන්න කැමති බව මම ඔවුන්ට ස්ථිරවම කියා සිටියා. නමුත් වෛද්‍යවරුන්ගේ හදවත් උණු වුණේ නැහැ. “ආයි දෙකෙන් එකක් නෑ ඔයා නම් මැරෙනවා” කියලා එක්කෙනෙක් හිත රිදෙන විදිහට පැවසුවා.

ලේ නොදී මට ප්‍රතිකාර කරන්න කැමති රෝහලක් බාර්සිලෝනාහි තිබෙන බව රෝහල් සබඳතා කමිටුව සොයාගත්තා. රෝහල් දෙක මොනතරම් වෙනස්ද! බාර්සිලෝනාහි හෙදියන් දෙන්නෙක් මාව හොඳට හෝදලා, මට පහසුවක් දැනෙන්න සැලැස්සුවා. එක හෙදියක් මගේ වෙළුම් පටි මාරු කරනකොට, ඒවා කොළපාට ගැහිලා, වේළිච්ච ලේ තට්ටුවක් බැඳිලා තියෙනවා දැක්කා. ඇගේ රටවැසියන් මට මේ විදිහට සලකපු එක ඇත්තෙන්ම ඇයට ලැජ්ජයි කියලා ඈ පැවසුවා.

මට ලොග්‍රොනෝ රෝහලේදී දිය යුතුව තිබූ වෛද්‍ය ප්‍රතිකාරය ප්‍රමාද නොකර මට ලබා දුන්නා. පුදුම විදිහට සුවය ලැබුණා. දවස් කීපයකින් මගේ ප්‍රධාන ඉන්ද්‍රියයන් සුව වුණා. මගේ හිමොග්ලොබින් ප්‍රමාණය 7.3 දක්වා ඉහළ නැග්ගා. මම රෝහලෙන් පිට වෙනකොට එය 10.7 දක්වා ඉහළ නැඟ තිබුණා. එක්සත් ජනපදයේ රෝහලකදී මට තවත් ශල්‍යකර්ම කරන්න අවශ්‍ය වෙලා තිබුණ අවස්ථාවේදී එය 11.9ක්ව තිබුණා.

තමන් තම රෝගීන් සමඟ එකඟ වුවත් නැතත්, රෝගීන්ගේ කැමැත්තට ඉඩ දෙන වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ වෑයමට මම කෘතඥපූර්වක වෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය රෝගියෙකුගේ විශ්වාසයන්ට ගරු කරන විට, ඔවුන් සලකන්නේ එම පුද්ගලයාටයි. මේ නිසා ඔවුන් තිබෙන හොඳම ප්‍රතිකාරය සපයනවා.

[පාදසටහන්වල]

a බයිබලය මත පදනම් හේතු නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් රුධිර ප්‍රවේශන ප්‍රතික්ෂේප කරනවා.—උත්පත්ති 9:4; ලෙවී කථාව 7:26, 27; 17:10-14; ද්විතීය කථාව 12:23-25; 15:23; ක්‍රියා 15:20, 28, 29; 21:25.

b ක්‍රිස්තියානියෙක් EPO ලබාගන්නවද නැද්ද යන්න පෞද්ගලික තීරණයක්.—1994 ඔක්තෝබර් 1 මුරටැඹෙහි 31වන පිටුව බලන්න.

[10වන පිටුවේ පින්තූරය]

මගේ ස්වාමිපුරුෂයයි, පුතයි එක්ක

[11වන පිටුවේ පින්තූරය]

රෝහල් සබඳතා කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙක්