Skip to content

පටුනට යන්න

ඉන්දියාවේ චීන මාළු දැල්

ඉන්දියාවේ චීන මාළු දැල්

ඉන්දියාවේ චීන මාළු දැල්

ඉන්දියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්

ඉන්දියානු උපමහද්වීපයේ දකුණු තුඩුවේ සිට කිලෝමීටර් 250ක් ඉහළින් බටහිර මුහුදු තීරයේ, කලින් කොචින් ලෙස නම් කළ කොචි නගරය පිහිටා තිබේ. එහි වඩදිය බාදිය ඇති කරන බොක්කෙ වෙරළ දිගේ අසාමාන්‍ය චීන මාළු දැල් දක්නට තිබේ. ඒවා එහාට පැමිණියේ කෙසේද?

පොදු යුගයේ අටවන සියවසේ සිට එම ප්‍රදේශයේ චීන ජනයා වාසය කර ඇති අතර, 1400ට පෙර කොචින්වලට මෙම දැල් මුලින්ම ගෙන ආවේ කුබ්ලෙයි කාන්ගේ රජ වාසලෙන් පැමිණි චීන වෙළඳුන් බවට විශ්වාස කෙරේ. කොචින් අවට මුහුදු වෙරළ ආසන්නයේ ඇති ජලයෙහි බොහෝ මසුන් අල්ලාගත හැකියි. මෙබැවින්, අරාබිවරුන් චීන ජාතිකයන්ව පලවාහරින තුරු සියවසකට වැඩි කලක් පුරා, මිනිස් ශක්තියෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම උස මාළු දැල් මගින් මනා සේවයක් ඉටු විය.

චීන ජාතිකයන්ගේ පිටත්ව යෑමත් සමඟම දැල්ද අතුරුදහන් වී ගියේය. නමුත් නැවතත් 16වන සියවසේ මුල්භාගයේදී පෘතුගීසීන් විසින් අරාබිවරුන්ව පන්නා දමනු ලැබීය. කොචින්වලට එවැනි දැල් යළිත් හඳුන්වා දුන්නේ පෘතුගීසීන් බව පැහැදිලියි. එවකට ගිනිකොනදිග චීනයේ පෘතුගීසි යටත්විජිතයක් වූ මැකාවෝවලින් ඒවා යළිත් ගෙනෙන ලදි.

මෙම ක්‍රමය සියවස් ගණනක් පැරණි වුවත්, කිසි වෙනසක් නැතුව, මුල් මෝස්තරයට හෝ ක්‍රියාකාරිත්වයට සමානවම චීන දැල් තවමත් භාවිත කෙරේ. එමෙන්ම ඒවා මාළු අල්ලන්නන් බොහෝදෙනෙකුට ජීවිකාවක් මෙන්ම බොහෝදෙනෙකුට ආහාරද සපයයි. ඇත්තවශයෙන්ම, එක මාළු දැලකින් අල්ලන මාළු මුළු ගමකටම සෑහේ. නමුත් ඵලදායී වෙනවාට අමතරව මේ දැල්වල අලංකාරයක්ද තිබේ. විශේෂයෙන්ම උදෑසන හෝ සවස අහස රන්වන් හිරු රැසින් නැහැවී තිබෙන විට ඒවා කැපීපෙනෙන ලස්සන දසුනක් මවයි.

ඒවායින් මාළු අල්ලන්නේ කෙලෙසද?

දැලේ හා අල්ලන මාළු ප්‍රමාණයේ සමබරතාවය තබාගැනීමට විශාල චීන දැල්වලට බලකරුවක් මෙන්ම සමාන බරක් යොදාගනියි. පාවිච්චි නොකරන අවස්ථාවලදී දැල හා එහි ආධාරක රාමුව ජලයෙන් ඉවතට ඔසවා තිබේ. සාමාන්‍යයෙන් උදේ පාන්දරම මාළු අල්ලන්න පටන්ගන්නා අතර, පැය හතරක හෝ පහක කාලයක් පුරා අල්ලනු ලැබේ. මුලින්ම දැල් ජලයට පරෙස්සමින් පහත් කරනු ලැබේ. එසේ කිරීමට මාළු අල්ලන්නෙක් එය පහත් කිරීමට අවශ්‍ය බර යොදයි. නැත්නම් මාළු අල්ලන කණ්ඩායමේ නායකයා දැලේ ප්‍රධාන ලීය දිගේ ගොස් අවශ්‍ය බර යොදයි. විනාඩි 5 සිට 20 දක්වා කාලයක් ජලය යට දැල තිබීමට හැර පසුව සෙමින් සෙමින් ඉහළට ඇද, වෙරළාසන්නයේ සිටින මසුන් අල්ලාගනු ලැබේ. වසර ගණනක පළපුරුද්ද නිසා දැල ඇදිය යුතු නියම මොහොත ප්‍රධානියා දනී.

ප්‍රධානියා සංඥාවක් දෙන විටම, පස්හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ ඉතිරි අය, බර යෙදීමට දැමූ ගල් කුට්ටි බැඳ තිබෙන ලණු අදිමින් දැල ඉහළට ඔසවති. දැල උඩට ඇදෙනවාත් සමඟම මුලින්ම මතු වන්නේ දැලේ කොන් හතරයි. මේ නිසා, දැල මාළු තිබෙන වටකුරු භාජනයක හැඩය ගනී. මාළු අල්ලන්නන්ට මොනතරම් ප්‍රීතියක්ද! සෑහෙන ප්‍රමාණයක් අල්ලගත්තායින් පසු, ඔවුහු තම සතුට බෙදාගැනීමට එකිනෙකාගේ පිටට තට්ටු කරගනිත්. ඉන්පසු වෙළඳුන්ට, ගෘහණියන්ට හා කලාතුරකින් පැමිණෙන සංචාරකයන්ට මාළු වෙන්දේසි කෙරේ.

චීන ජාතිකයන්, අරාබිවරුන් හා පෘතුගීසීන් පැමිණ ආපසු ගොස් ඇත. නමුත් චීන දැල් තවමත් වසර 600කට පෙර ඉටු කළ සේවයම ඉටු කරමින් කොචි මුහුදු තීරවල උඩට එමින් හා යටට යමින් පවතී.

[31වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

කොචි

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.