Skip to content

පටුනට යන්න

කුරුල්ලෙක් සිරකරුවෙකුට උගන්වයි

කුරුල්ලෙක් සිරකරුවෙකුට උගන්වයි

කුරුල්ලෙක් සිරකරුවෙකුට උගන්වයි

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

පොල්ස්මෝ සිරගෙදර සිරකරුවන්ගේ සිත් මෘදු කිරීමට කුරුල්ලන්ගෙන් වටිනා මෙහෙවරක් ඉටු වන බව දකුණු අප්‍රිකාවේ ඩ’බන් නුවර සන්ඩේ ට්‍රිබියුන් පුවත්පතෙහි වාර්තා කරනවා. තම සිරකුටිය තුළ ගිරව් සහ ලව් බ’ඩ්ස් කුරුල්ලන්ව රැකබලා ගැනීමේ මෙම වැඩසටහනට දැනට සිරකරුවන් 14දෙනෙක් සහභාගි වෙමින් සිටිනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කෙසේද? මෙයට සහභාගි වන සෑම සිරකරුවෙකුටම තමන්ගේ සිරකුටියේ බිජු රැකීමට හැකි උපකරණයක් තබා බිජු රැකීමට සලස්වනවා. පසුව, ඉපදෙන කුරුලු පැටවුන් රැකබලා ගැනීම සිරකරුවන්ගේ වගකීමක්. සිරකරුවන් විසින් මෙම දෙමාපියන් නැති කුරුලු පැටියාව සති පහක කාලයක් පුරා දිවා රෑ, පැයෙන් පැයට හෝ පැය දෙකකට වරක් තම අතින්ම පෝෂණය කරනවා. පසුව එම කුරුල්ලාව කූඩුවක දමා සිරකුටියේම තබනවා. එම කුරුල්ලා වැඩුණු පසු ඌව මිනිසුන්ට විකුණනවා. සමහර සිරකරුවන් තම කුරුල්ලා සමඟ කොතරම් බැඳීමක් ඇති කරගෙන තිබෙනවාද කියනවා නම් වෙන්ව යන අවස්ථාවේදී ඔවුන් අඬනවා.

සමහරක් දරුණු සිරකරුවන් පවා මෙම කුරුල්ලන් සමඟ දිනපතා කතා කරමින්, උන්ව රැකබලා ගැනීම නිසා ඔවුන් සැලකිය යුතු ආකාරයකින් මුදු මොළොක් තැනැත්තන් බවට පත් වී තිබෙනවා. එක් සිරකරුවෙක් පැවසුවේ මෙසේයි: “මම කුරුල්ලන්ව හීලෑ කළා වගේම එයාල මාවත් හීලෑ කළා.” තව කෙනෙක් කුරුල්ලන් ඔහුට ඉවසීම සහ ආත්ම දමනය ඉගැන්නුවා කියා පවසනවා. දඬුවම් විඳිමින් සිටි සොරෙකුට කුරුල්ලන්ව රැකබලා ගැනීම මගින්, දෙමාපියෙකු වීම “ලොකු වගකීමක් කියා” තේරුම්ගන්න සැලැස්වුවා. ඔහු නිදහස්ව සිටි කාලයේ තම දරුවන් වෙනුවෙන් එය කිරීමට අසමත් වී තිබෙනවා.

කුරුල්ලන්ව රැකබලා ගැනීමේ මෙම වැඩසටහන තුළින් සිරකරුවන්ට තවත් ප්‍රයෝජනයක් අත් වෙනවා. එනම් “ඔවුන් ලබන පුහුණුව නිසා නිදහස් වූ පසු ඔවුන්ට කුරුල්ලන් ඇති කිරීමට හෝ පශු වෛද්‍යවරයෙකුගේ සහයකයෙක් වශයෙන් රැකියාවක් කිරීමට ප්‍රස්තාව උදා වෙනවා” කියා විකස් ග්‍රෙස් පැවසුවා.