Skip to content

පටුනට යන්න

ජානමය වශයෙන් සකස් කරන ලද ආහාර—ආරක්ෂා සහිතද?

ජානමය වශයෙන් සකස් කරන ලද ආහාර—ආරක්ෂා සහිතද?

ජානමය වශයෙන් සකස් කරන ලද ආහාර—ආරක්ෂා සහිතද?

ඔබ ජානමය වශයෙන් සකස් කරන ලද (GM) ආහාර ගැන අසා තිබෙනවාද? එසේ නම්, පළිබෝධකයන්ට එරෙහි ලක්ෂණ ඇති අර්තාපල් වර්ගයක් ගැන හෝ සෑහෙන කාලයක් පුරා කුණු නොවී පවතින තක්කාලි විශේෂයක් ගැන ඔබ අසා ඇති. ඔබේ ප්‍රදේශයේ මෙවැනි භෝග වගා කරනවා නම්, ඔබත් සමහරවිට ඒවා ආහාරයට ගෙන ඇති. තවද ඒවා මිල දී ගන්නා විට ඒවා ජානමය වශයෙන් සකස් කර ඇති බවට ලේබලයක් නොමැති වූ නිසා ඔබට කිසිම වෙනසක් නොදැනුණා විය හැකියි.

මෙම මොහොතේදීත් ආජන්ටීනාවේ, එක්සත් ජනපදයේ, කැනඩාවේ, චීනයේ, මෙක්සිකෝවේ හා බ්‍රසීලයේ GM භෝග රැසක් වගා කරමින් සිටියි. මෙයට සෝයා බෝංචි, බඩ ඉරිඟු, රේප්සීඩ් හා අර්තාපල් ඇතුළත් වේ. එක් වාර්තාවකින් හෙළි වූ දේ සලකා බලන්න. “වර්ෂ 1998 වන විට එක්සත් ජනපදයේ බඩ ඉරිඟු වගාවෙන් සියයට 25ක්, සෝයා බෝංචි වගාවෙන් සියයට 38ක් හා කපු වගාවෙන් සියයට 45ක් යම් ආකාරයකින් සකස් කර තිබිණ. මෙසේ කර තිබුණේ වල් පැළෑටි නාශකවලට ඔරොත්තු දීමේ හෝ පළිබෝධකයන්ට එරෙහිව ක්‍රියා කිරීමේ ලක්ෂණ කෘත්‍රිම ලෙස ලබා දීමටයි.” වර්ෂ 1999 අවසානයේදී, ලෝ වටා අක්කර මිලියන සියයක පමණ ඉඩම් ප්‍රමාණයක GM භෝග වගා කරමින් සිටිය බව ගණන් බලා තිබිණ. වාණිජමය හේතූන් සඳහා වගා කළ මෙම භෝග සියල්ල ආහාර භෝග නොවීය.

මෙලෙස සකස් කර ඇති ආහාර කෑමට ගැනීමෙන් ඔබට හානියක් සිදු විය හැකිද? එම ආහාර නිෂ්පාදනය කිරීමට සිදු කරන විද්‍යාත්මක වෙනස්කම් අපේ පරිසරයට තර්ජනයක් එල්ල කළ හැකිද? යුරෝපයේ නම් මෙය දැඩි මතභේදයට ලක් වූ විෂයකි. ඒ සම්බන්ධයෙන් එංගලන්තයේ එක් පුද්ගලයෙක් තම විරෝධය ප්‍රකාශ කළේ මෙලෙසයි. “ජානමය ලෙස සකස් කරපු කෑමවලට මං පොඩ්ඩක්වත් කැමති නෑ. ඒවා හානිකරයි, අනිත් එක අපිට අවශ්‍යත් නෑ.”

ජානමය සකස් කිරීම් සිදු කරන ආකාරය

ජානමය වශයෙන් සකස් කරන ලද ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ජෛවතාක්ෂණ විද්‍යාව යොදාගනියි. ජෛවතාක්ෂණයෙන් සිදු කෙරෙන්නේ, ආහාර නිෂ්පාදනය දියුණු කරගැනීමේ අරමුණින් ශාක, සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ සැකැස්ම වෙනස් කිරීමයි. මිනිසා ගොවිතැන් කිරීමට හා සතුන් ඇති කිරීමට පටන්ගත් කාලයේ සිටම ජීවමාන දේවල සැකැස්ම වෙනස් කිරීම හෙවත් ජෛවතාක්ෂණ විද්‍යාව යොදාගෙන තිබෙනවා කියා පැවසුවොත් නිවැරදියි. තම ගවයන් ඔහේ බෝවීමට ඉඩහරිනවා වෙනුවට වඩාත් ශක්තිමත් රැළක් බිහි කිරීමේ අදහසෙන් හොඳම ගවයාත් හොඳම එළදෙනත් සංසර්ගයේ යෙදවීමට සැලැස්වූ මුල්ම ගොවියා යම් ආකාරයක සරල ජෛවතාක්ෂණ ක්‍රමයක් යොදාගත් බව පැවසිය හැකියි. එමෙන්ම, පාන් සෑදීමට යීස්ට් එන්සයිම යොදාගත් මුල්ම තැනැත්තාත් ජෛවතාක්ෂණය භාවිත කළේය. මන්ද යම් දෙයක ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ඔහු යම් ජීවී වර්ගයක් යොදාගත් බැවිනි. මේ සෑම සම්ප්‍රදායික ක්‍රමයකදීම යොදාගත්තේ ස්වාභාවික ක්‍රියාවලීන් පමණි.

නූතන ජෛවතාක්ෂණයේදීත් යම් ද්‍රව්‍යයක් සෑදීමට හෝ සකස් කිරීමට සප්‍රාණික දේවල් යොදාගැනේ. නමුත් සම්ප්‍රදායික ක්‍රමවලට වඩා වෙනස්ව, අවශ්‍ය නම් සම්පූර්ණයෙන්ම පාහේ යම් ද්‍රව්‍යයක ජානමය සැකැස්ම වෙනස් කිරීමට එමගින් ඉඩ සැලසේ. එක් ජීවියෙකුගේ සිට තවත් ජීවියෙකු දක්වා ජාන මාරු කිරීමටද හැක. එයින් අදහස් වන්නේ කිසිම සම්බන්ධයක් නොමැති ජීවීන් එකිනෙකට සම්බන්ධ කරමින් ස්වාභාවිකව සිදු නොවන සකස් කිරීම් සිදු කරන බවයි. භෝග වගාව හෝ සත්ව පාලනය කරගෙන යන පුද්ගලයන්ට දැන් යම් ජීවියෙකුට ආවේණික ලක්ෂණයක් ශාකයක ජිනෝමයට පවා ඇතුල් කළ හැකියි. අධික ශීතලට ඔරොත්තු දීම සඳහා මත්ස්‍යයන්ට තිබෙන හැකියාව, රෝගවලට ඔරොත්තු දීම සඳහා වෛරස්වලට තිබෙන හැකියාව මෙන්ම කෘමීන්ව පලවාහැරීමට පසේ බැක්ටීරියාවලට තිබෙන හැකියාවද මෙයට උදාහරණ කිහිපයකි.

සාමාන්‍යයෙන් ඇපල් හා අර්තාපල්, පිහියකින් අනින විට හෝ තැළුණ විට දුඹුරු පැහැයක් ගනී. ගොවියෙකුට මෙය වළක්වාලීමට අවශ්‍යයි නම් ඔහුට කුමක් කළ හැකිද? දුඹුරු පැහැයට හැරෙන්න සලස්වන ජානය ඉවත් කර, ඒ වෙනුවට දුඹුරු පැහැයට හැරීම වළක්වන, සකස් කරන ලද එකක් ඇතුල් කළ හැකි බව පර්යේෂකයන් සොයාගෙන ඇත. වෙනත් උදාහරණයක් සලකා බලමු. බීට් වගා කරන්නෙකුට වැඩි ඵලදාවක් ලබාගන්න අවශ්‍යයි කියා සිතමු. ඒ සඳහා සාමාන්‍යයෙන් බීට් වගා කිරීමට පටන්ගන්න කාලයට වඩා කලින් එය වගා කිරීමට ඔහු කැමති වෙයි. නමුත් එම කාලයේදී තිබෙන ශීත කාලගුණය නිසා බීට් අල කුණු වී යා හැකියි. එයට පිළියමක් වශයෙන් ජෛවතාක්ෂණය යොදාගෙන ශීත ජලයේ වෙසෙන මත්ස්‍යයන්ගේ ජාන බීට් අලවලට ඇතුල් කිරීමට ඔහුට හැක. එහි ප්‍රතිඵලය කුමක්ද? සාමාන්‍යයෙන් බීට් අලයකට වර්ධනය විය හැකි අඩුම උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් වන -6.5°Cක් තුළ වැඩෙන, ජානමය වශයෙන් සකස් කළ බීට් අලයක් නිපදවීමට ඔහු සමත් වීමයි.

තනි ජානයක් හුවමාරු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඇති වන මෙවැනි ලක්ෂණවලින් කළ හැකි දේ සීමිතයි. නමුත් වර්ධන වේගය, නැත්නම් නියඟයකට ඔරොත්තු දීම වැනි වඩාත් සංකීර්ණ ලක්ෂණ සකස් කිරීමට නම් මීට වඩා ලොකු වෙනසක් සිදු කළ යුතුයි. ජාන සමූහයක් මුළුමනින්ම සකස් කිරීමට නූතන විද්‍යාවට තවමත් නොහැකියි. ඇත්තෙන්ම මෙම ජානවලින් සමහරක් විද්‍යාඥයන් තවමත් සොයාගෙන නැත.

නව හරිත විප්ලවයක්?

භෝග වගාවන් මත සිදු කරන මෙම සුළු සකස් කිරීම පවා ජෛවතාක්ෂණයට පක්ෂව කතා කරන අය තුළ බලාපොරොත්තු ජනිත කරවයි. ඔවුන් කියා සිටින්නේ GM භෝග හේතුවෙන් නව හරිත විප්ලවයක් ආරම්භ වන බවයි. ජාන ඉන්ජිනේරු ශිල්පය, දිනෙන් දින 2,30,000කින් පමණ වැඩි වන ලෝක ජනගහනය සඳහා “ආහාර සැපයීමට දරන උත්සාහයට මහත් රුකුලක්” වන බව ජෛවතාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතනයක් පවසා ඇත.

දැනටමත් එම භෝග වගා කිරීම නිසා ආහාර නිපදවීමට යන වියදම පහත බැස තිබේ. විශාල ඉඩම්වල වගා කරන ශාකවලට විෂ සහිත රසායනික ද්‍රව්‍ය ඉසීම අවශ්‍ය නැත. ඒ වෙනුවට දැන් එම ශාක තුළට පළිබෝධකයන්ට එරෙහි ලක්ෂණ නිපදවන ජානයක් ඇතුල් කරයි. එමෙන්ම, සාමාන්‍යයට වඩා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු බෝංචි හා වෙනත් ධාන්‍ය වර්ග දැන් නිෂ්පාදනය කරමින් සිටියි. මෙවැනි භෝග නිපදවීමට සමත් වුණොත් එය දුගී රටවලට ඉමහත් ප්‍රයෝජන අත් කර දෙයි. මෙම “සුපිරිශාක” තුළ බිහි කරන අලුත් ජාන හා ලක්ෂණ දිගින් දිගටම පවත්වාගැනීමට සමත් වුණොත්, වඩා ඵලදායී අස්වැන්නක් නෙළාගත හැකියි. මෙය ජනගහනය අධික රටවලට මහත් ප්‍රයෝජනයක් වේ. මන්ද සාමාන්‍යයෙන් වැඩි ලාභයක් ලබා නොදෙන කුඩා වගා බිම්වල පවා බහුල අස්වැන්නක් නෙළාගැනීමට ඉන් ඉඩ සලසා දෙන නිසයි.

ප්‍රධාන ජෛවතාක්ෂණ ආයතනයක අධ්‍යක්ෂකයෙක් මෙසේ අදහස් දක්වයි. “ලෝ පුරා වෙසෙන ගොවීන්ට උපකාර කිරීමට කළ හැකි දේවල් තව බොහොමයක් ඇත. ජෛවතාක්ෂණයෙන් මෙය කළ හැකියි කියා අපට නිසැකයි. ශතවර්ෂ ගණනාවක් පුරා වරණීය අභිජනනය තුළින් ඉටු කර ඇති දේ අපි දැන් අණුක හා ජානමය මට්ටමෙන් සිදු කිරීමට අදහස් කරමු. මෙය විශේෂිත අරමුණක් ඉටු කර දෙන, කිසිදාකටත් වඩා වේගයෙන් ප්‍රතිඵල අත් කර දෙන ඉහළම ගණයේ ද්‍රව්‍ය නිපදවීමට ඉවහල් වෙයි.”

කෙසේවෙතත්, ලෝකයේ ආහාර හිඟයට විසඳුම හැටියට ජාන ඉන්ජිනේරු ශිල්පයට දිරි දෙන අය, ඒ සම්බන්ධයෙන් තමන්ට ඉටු කළ හැකි දේ නොසලකා හරින බව කෘෂි විද්‍යාඥයන් පවසා ඇත. තමන්ගේ පර්යේෂණ ජෛවතාක්ෂණය තරම් සිත් ඇදගන්නාසුලු නොවුණත් එයින් වඩාත් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි බවත්, දුගී රටවලටත් ප්‍රයෝජන අත් කර දිය හැකි බවත් ඔවුන් කියා සිටියි. “ඔප්පු නොකළ තාක්ෂණයක් පසු පස හඹා යනවා වෙනුවට ආහාර හිඟයට වඩා සාර්ථක විසඳුම් දෙස බැලීම නැණවත් දෙයක්” කියා ශාක රෝග මර්දනය සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වන හාන්ස් හෙරන් පවසයි.

විවාදයට ලක්වීමට හේතු

ජානමය වශයෙන් භෝග මත සිදු කරන වෙනස් වීම්වලින් පරිසරයට හානියක් එල්ල වීමට හා සෞඛ්‍යමය ගැටලු ඇතිවීමට තිබෙන ඉඩ කඩ වැඩිවීමට අමතරව, සදාචාරාත්මක වශයෙන්ද ප්‍රශ්නයක් ඉස්මතු වන බව ඇතමෙකුගේ මතයයි. මෙම මතයට පක්ෂව කතා කරන විද්‍යාඥයෙක් වන ඩග්ලස් පාර් අදහස් දැක්වූයේ මෙලෙසයි. “මිනිසා විසින් අපේ පෘථිවි ග්‍රහයා, එනම් ජීවයේ ස්වභාවය මත පවා වෙනස්කම් සිදු කරන නිසා ජාන ඉන්ජිනේරු විද්‍යාව මගින් ප්‍රධාන සදාචාරාත්මක ප්‍රතිපත්තියක් කඩ කරයි.” ජෛවතාක්ෂණ සියවස (ඉංග්‍රීසියෙන්) නමැති කෘතියේ කර්තෘ වන ජෙරමි රිෆ්කින් එය මෙසේ පැහැදිලි කරයි. “ජෛවවිද්‍යාවේ සෑම ජෛවීය සීමාවක්ම පසු කළායින් පසු, හැම සත්ව විශේෂයක්ම ජීවීන් ලෙස නොව නමුත් හිතුමතේට වෙනස් කළ හැකි තොරතුරු මාධ්‍යයක් මෙන් සැලකීමට පටන්ගන්න පුළුවන්. මෙයින් ස්වභාවධර්මය හා අප අතර තිබෙන සබඳතාව ගැන අප දරන ආකල්පය පමණක් නොවෙයි නමුත් ස්වභාවධර්මය අප යොදාගන්නා ආකාරය පවා සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් විය හැකියි.” ඔහු තවදුරටත් මෙසේ ප්‍රශ්න කරයි. “ජීවය සැබවින්ම අනර්ඝ යමක්ද නැත්නම් එය නිකම්ම අපට අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි යමක්ද? මතු පරම්පරාවන් සම්බන්ධයෙන් අපේ යුතුකම කුමක්ද? අප හා සමඟ ජීවත් වන වෙනත් ජීවීන් සම්බන්ධයෙන් අපේ වගකීම කුමක්ද?”

එංගලන්තයේ චාල්ස් කුමරු ඇතුළු වෙනත් අය තර්ක කරන්නේ, එකිනෙකට සම්බන්ධ නොවන ජීවීන් අතර ජාන හුවමාරු කිරීම “දෙවියන්ට පමණක් අයිති දෙයකට ඇඟිලි ගසනවා හා සමානයි” කියායි. දෙවි “ජීවනයේ උල්පත” වන බව බයිබල් ශිෂ්‍යයන් තදින් විශ්වාස කරයි. (ගීතාවලිය 36:9) අපේ ග්‍රහයා තුළ වෙසෙන බිලියන ගණන් ජනයාගේ පැවැත්මට උපකාරවත් වන සතුන් හා ශාක මත සිදු කරන වරණීය අභිජනනයට දෙවි අකමැතියි කියා පැවසීමට අපට සාක්ෂි නොමැත. නූතන ජෛවතාක්ෂණය මිනිසාට හා අපේ පරිසරයට හානියක් එල්ල කරයිද නැද්ද කියා අපට දැනගන්න පුළුවන් වන්නේ කාලයාගේ ඇවෑමෙන් පමණයි. ජෛවතාක්ෂණ විද්‍යාව ඇත්තෙන්ම ‘දෙවියන්ට පමණක් අයිති දෙයකට ඇඟිලි ගැසීමක්’ නම්, දෙවි මිනිසාට ප්‍රේම කරන නිසාත් ඔවුන් ගැන සැලකිල්ලක් දක්වන නිසාත් ඔහු එම හානිකර ප්‍රතිඵල මුළුමනින්ම නැති කර දමන බවට කිසිම සැකයක් නැත.

[26වන පිටුවේ කොටුව]

හානිකර ප්‍රතිවිපාක?

ජෛවතාක්ෂණ විද්‍යාව කොතරම් ශීඝ්‍ර දියුණුවක් අද්දැක තිබෙනවාද කියා පැවසුවොත්, නීතියෙන්වත්, නීති පනවන ආයතන මාර්ගයෙන්වත් එය පාලනය කළ නොහැකියි. විවිධ පර්යේෂණ මාර්ගයෙන් අනපේක්ෂිත ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම වළක්වාලීමට හැකි වෙයි කියා බලාපොරොත්තු විය නොහැකියි. එහි හානිකර ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවන අයගේ සංඛ්‍යාව දැන් එන්න එන්නම වැඩි වේ. ලෝ වටා සිටින ගොවීන් ආර්ථිකමය වශයෙන් පරිහානියට ලක්වීම, පරිසරය විනාශ වීම මෙන්ම සෞඛ්‍යමය ගැටලු ඉස්මතු වීම වැනි දේවල් පිළිබඳව ඔවුන් අනතුරු අඟවයි. දීර්ඝ කාලයක් තිස්සේ කරන කිසිම පරීක්ෂණයක් මාර්ගයෙන් ජානමය වශයෙන් සකස් කරන ලද (GM) භෝගවල ආරක්ෂිතබව සම්බන්ධයෙන් ස්ථිර වීමට නොහැකියි කියා ඔවුන් තවදුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් ඇති විය හැකි අනතුරුදායක ප්‍රතිවිපාක කිහිපයක් ඔවුන් සඳහන් කරයි.

අසාත්මිකතා. නිදසුනකට අසාත්මිකතා ඇති කරවන ප්‍රෝටීනයක් නිපදවන ජානයක් බඩ ඉරිඟුවලට ඇතුල් කළොත්, අසාත්මිකතාවලින් පෙළෙන බොහෝදෙනෙකුට බරපතළ හානි සිදු විය හැකියි. සකස් කරන ලද ආහාරවල හානිකර ප්‍රෝටීන අඩංගු වනවාද කියා සඳහන් කිරීමට ආහාර පරිපාලන ආයතන ඉල්ලා සිටියත්, අසාත්මිකතාවලට හේතු වන ඇතැම් ද්‍රව්‍ය නොදැනුවත්වම ආහාරවලට ඇතුල් විය හැකියි කියා ඇතැම් පර්යේෂකයන් සැක පහළ කරයි.

ශාකවල විෂබව වැඩිවීම. ඇතැම් ප්‍රවීණයන්ගේ මතයට අනුව, ජානමය සකස් කිරීම් හේතුවෙන් ශාකවල අඩංගු ස්වාභාවික විෂ ද්‍රව්‍යවල අනපේක්ෂිත වර්ධනයක් සිදු විය හැකියි. ශාකයක ජානයක් ක්‍රියාකාරි වීමට පටන්ගන්නා විට, එයින් බලාපොරොත්තු වන ප්‍රතිඵලවලට අමතරව ස්වාභාවික විෂ ද්‍රව්‍ය නිපදවීමටත් පටන්ගත හැකියි.

ප්‍රතිජීවකවල බලපෑම නැති වී යෑම. ශාක, ජානමය වශයෙන් සකස් කිරීමේදී විද්‍යාඥයන් ජානයක් සාර්ථක ලෙස බද්ධ වූ බව නිශ්චය කරගැනීමට සලකුණු ජානයක් යොදාගනියි. සාමාන්‍යයෙන් සලකුණු ජාන බොහොමයක් ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙයි. එමනිසා මෙයින් ප්‍රතිජීවකවල බලපෑම නැතිවීමේ ප්‍රශ්නය ඉස්මතු විය හැකියි කියා බොහෝ විවේචකයන් අනතුරු අඟවයි. තවත් සමහර විද්‍යාඥයන් ඊට විරුද්ධව තම අදහස් ප්‍රකාශ කරමින් පවසන්නේ, එම සලකුණු ජානවල ව්‍යූහයේ නිශ්චිත පිළිවෙළක් නොමැති නිසා හානියක් එල්ල නොවන බවයි.

“සුපිරි වල් පැළෑටි” වර්ධනය වීම. සකස් කරන ලද භෝග වගා කිරීමට පටන්ගන්නා විට, එම ජාන එකම වර්ගයට අයත් වල් පැළෑටිවලට ඇතුල් විය හැකියි කියා ඇතමෙකු තම බිය පළ කරයි. එසේ සිදු වන්නේ බීජ හා පරාග මාර්ගයෙනි. එමගින් වල් පැළෑටි නාශකවලට ඔරොත්තු දෙන “සුපිරි වල් පැළෑටි” බිහි වෙයි කියා ඔවුන් කියා සිටියි.

වෙනත් ජීවීන් මත හානි පමුණුවීම. දළඹු අවස්ථාවේ සිටි මොනා’ක් සමනළයන් කිහිපදෙනෙක් යම් ශාකයක පත්‍ර කෑ විට රෝගයක් වැළඳී මිය ගිය බව 1999 මැයි මාසයේදී කො’නෙල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් වාර්තා කරන ලදි. එයට හේතුව වූයේ, GM බඩ ඉරිඟුවල පරාග එම ශාක පත්‍රවල රැඳී තිබීමයි කියා ඔවුන් පවසයි. මෙම අධ්‍යයනයේ වලංගුතාවය ඇතමෙකු විසින් ප්‍රශ්න කර තිබුණත්, සකස් කිරීම මගින් ඉලක්ක කර නොගත් වෙනත් ජීවීන් මත පවා හානි පැමිණවිය හැකි බව පැවසේ.

හානිකර නොවන කෘමිනාශකවලට ඔරොත්තු දීමේ ලක්ෂණ ඇතිවීම. කෘමීන්ට විෂ වන ප්‍රෝටීනයක් නිපදවන ජානයක් තිබේ. එම ජානය ඇතුල් කර තිබෙන භෝග, වඩාත් සාර්ථක ලෙස වගා කරන GM භෝග අතුරින් එකක් වේ. නමුත් කෘමීන්ව මෙම ජානයෙන් නිපදවෙන විෂ ද්‍රව්‍යවලට නිරාවරණය කිරීමෙන් උන් තුළ කෘමිනාශකවලට ඔරොත්තු දෙන ලක්ෂණ ඇති කරවයි කියා ජීව විද්‍යාඥයන් අනතුරු අඟවයි. එමනිසා කෘමිනාශක භාවිතය කිසිම ඵලක් නැති දෙයක් බවට පත් වේ.