Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

දුම්පානය, පිළිකා හේතුකාරකයක් බව දුම්කොළ සමාගමක් පිළිගනී

දශක ගණනාවක් පුරා වෛද්‍ය බලධාරීන් රැසකගේ සොයාගැනීම්වලට විරෝධය පෑමෙන් පසුව, එක්සත් ජනපදයේ විශාලතම දුම්වැටි නිෂ්පාදන සමාගම වන ෆිලිප් මොරිස්, දුම්පානය පෙණහලු පිළිකාවට සහ වෙනත් මාරාන්තික රෝගවලට හේතුකාරකයක් බව දැන් පිළිගනී. සමාගමේ ප්‍රවෘත්ති ප්‍රකාශයක මෙසේ පැවසේ. “දුම්පානය හේතුවෙන් දුම්බොන්නන්ට පෙණහලු පිළිකාව, හෘදයාබාධ, එම්ෆිසිමාව සහ වෙනත් භයානක රෝග වැළඳෙන බවට ඉතා පැහැදිලි වෛද්‍යමය සහ විද්‍යාත්මක සාක්ෂි තිබෙනවා.” ද නියූ යෝක් ටයිම්ස් කළ වාර්තාවකට අනුව “මෙම සමාගම කලින් මෙවැනි අදහස්වලට විරෝධය පෑවේය. දුම්පානය පෙණහලු පිළිකාව වැනි රෝගවලට හේතුකාරකයක් නොවන බව ඔවුහු තරයේ කියා සිටියහ. ඔවුන් පිළිගත්තේ දුම්පානයෙන් එවැනි රෝග ඇතිවීමේ ‘අවදානම’ වැඩි කළ බව පමණයි.” දුම්පානය ඍජු පිළිකා හේතුකාරකයක් බව පිළිගත්තද, සමාගම අන්තිමට පවසන දේ සැලකිල්ලට ගන්න. “අපගේ දුම්වැටි වර්ග ගැන අපි හරි ආඩම්බර වෙනවා. ගෙවී ගොස් ඇති වසර ගණනාව පුරා ඒවාට අනුග්‍රහය දුන් ප්‍රචාරණ ව්‍යාපාර ගැනත් අපට කියන්න තිබෙන්නේ ඒ ටිකමයි.”

අතුරුදහන් වන ධාන්‍ය ගබඩාවන්

කැනඩාවේ බටහිර ප්‍රේරි තණබිම්වල සුපුරුදු දර්ශනයක් වූ ධාන්‍ය ගබඩාවන් දැන් කෙමෙන් කෙමෙන් අතුරුදහන් වෙමින් පවතී. මෙවැනි ගබඩාවන් වැඩියෙන්ම දක්නට ලැබුණේ 1933දී පමණය. එදා මෙම තණබිම් සිසාරා ගබඩාවන් 5,758ක් පමණ තිබිණ. දැන් එම සංඛ්‍යාව 1,052 දක්වා පහත වැටී ඇත. හේතුව කුමක්ද? ධාන්‍ය ගබඩාවක් කඩා දමනවා දුටු එක් පුද්ගලයෙක් මෙසේ තම ශෝකය පළ කළේය. “කාලයේ තාලය සෑහෙන වෙනසකට ලක් වෙලා තිබෙනවා. දැන් කෘෂිකර්මයට වඩා කෘෂිව්‍යාපාරවලට තැනක් තිබෙනවා. හැම පවුලකටම ගොවිපොළක් තිබුණු කාලය දැන් ඉවරයි. ඒ හින්දා ධාන්‍ය ගබඩාත් අපෙන් සමුගන්නයි යන්නේ.” හැරෝස්මිත් කන්ට්‍රි ලයිෆ් නමැති සඟරාව මෙසේ වාර්තා කළේය. “ගබඩාවන් නොමැති ප්‍රේරි තණබිම්, ඇළවල් නැති වැනීසියක් වගෙයි. උස් ගොඩනැඟිලි නැති නියූ යෝක් නගරයක් වගෙයි. එහෙමත් නැත්නම්, අවන්හල් නැති බ්‍රිතාන්‍යයක් වගෙයි.” කැනඩාවේ තැනිතලාවල ගෘහ නිර්මාණ ශිල්පයට සාක්ෂියක් වශයෙන් සැලකෙන මෙම ගබඩාවන් ආරක්ෂා කිරීමට විශේෂ කණ්ඩායම් සෑහෙන පරිශ්‍රමයක් දරයි. එක් ධාන්‍ය ගබඩාවක් කෞතුකාගාරයක් බවට සහ තවෙකක් නාට්‍ය භෝජන ශාලාවක් බවට පරිවර්තනය කරනු ලැබීය.

හුස්ම ගන්නවත් කාලයක් නැත

දැන් යුරෝපය පුරා සිටින වැඩි ජන පිරිසකට තම වැඩ කටයුතු කිරීමට කාලයක් නැති බවක් දැනේ. එසේ වාර්තා කළේ ජිසන ආල්ගමයින නමැති ජර්මානු පුවත්පතය. ඔවුන් නිවස ඇතුළේ වැඩ කළත් පිට වැඩ කළත්, විනෝදය සඳහා කාලය ගත කළත් ඔවුන්ගේ මැසිවිල්ලෙහි වෙනසක් දක්නට නොමැත. “අවුරුදු 40කට පෙර තිබූ තත්වය හා සසඳන කල, ජනයා නිදාගැනීමට ගන්නේ අඩු කාලයකි. කන්නෙත් ඉතා ඉක්මනින්ය. රැකියාවේදීද වැඩි පීඩනයක් දැනේ.” එම අදහස් පළ කළේ බැම්බර්ග් සරසවියේ සමාජ විද්‍යාඥ මාන්ෆ්‍රේට් ගාර්හැමර්ය. ඔහුගේ අධ්‍යයනයට භාජන වූ සෑම යුරෝපීය රටකම, දෛනික දින චර්යාව වේගවත් වී තිබුණු බව ඔහුගේ සොයාගැනීම්වලින් හෙළි විය. නිවසේ වැඩ අවම කිරීමට අවශ්‍ය ආම්පන්න තිබුණත්, රැකියාවේදී වැය කළ යුතු පැය ගණන අඩු කර තිබුණත්, “විනෝද සුවෙන් සිටින සමාජයක්” බිහි වී නැත. “කාලය ඉතිරි වී ඇති බවක්” දක්නට නැත. දැන් කෑම සඳහා සාමාන්‍යයෙන් ගන්නා කාලය විනාඩි 20කින්ද, රාත්‍රි නින්ද සඳහා ගන්නා කාලය විනාඩි 40කින්ද අඩු වී ඇත.

සූදුවට ඇබ්බැහි වූ ඕස්ට්‍රේලියාව

“සූදුව දැන් ඕස්ට්‍රේලියාවේ බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. දැන් අඩුම තරමින් පුරුද්දක් ලෙස 3,30,000ක් පමණ එහි යෙදී සිටිති.” දි ඕස්ට්‍රේලියන් නමැති පුවත්පත එසේ වාර්තා කරයි. එම පුවත්පතට අනුව, ලොව පුරා සූදු කෙළීමට යොදාගන්නා සෑම යන්ත්‍ර පහකින් එකක් ඇත්තේ ඕස්ට්‍රේලියාවෙහිය. එහි වැඩිහිටි ජනගහනයෙන් සියයට 82ක්ම සූදුවෙහි නියැලෙති. ඕස්ට්‍රේලියාවේ සූදු ව්‍යාපාරය සෝදිසියට ලක් කළ කොමිසමක් සොයාගත්තේ, ඕස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් සියයට 2.3කට සූදුව බරපතළ ගැටලුවක්ව තිබෙන බවය. එම ප්‍රතිශතයෙන් සියයට 37ක් සියදිවි නසාගැනීම ගැන කල්පනා කළ බවත්, සියයට 11කට වැඩි පිරිසක් සියදිවි නසාගැනීමට තැත් කළ බවත් වාර්තා විය. තවද සියයට 90ක්ම සූදු කෙළීම නිසා බරපතළ අසහනයෙන් පෙළුණු බවද පැවසූහ. සූදු ව්‍යාපාරයේ මුහුණුවර වෙනස් කළ යුතු බවටත්, සූදුවේ නියැලෙන ස්ථානවල අනතුරු ඇඟවීමේ සංඥා ප්‍රදර්ශනය කළ යුතු බවටත් එම කොමිසම යෝජනා කළේය.

මානසික පීඩනයට පිළියමක්

ඔබට මානසික පීඩනයක් දැනේද? එල් යූනිවර්සාල් නමැති පුවත්පතට අනුව, මෙක්සිකෝවේ සමාජ සුභසාධන ආයතනය පීඩනයට පිළියමක් වශයෙන් මතු දැක්වෙන මඟ පෙන්වීම් යෝජනා කරයි. ඔබේ ශරීරයට අවශ්‍ය තරම් නින්දක් ලබා දෙන්න. එනම් දිනකට පැය හයක සිට පැය දහයක් දක්වා. උදේ ආහාරයට සමබර වූ, සම්පූර්ණ ආහාර වේලක් ගත යුතුයි. දහවල් ආහාරයට සාමාන්‍ය ප්‍රමාණයේ ආහාරයක් යෝග්‍යය. රාත්‍රියේදී සැහැල්ලු ආහාරයක් ගන්න. මීට අමතරව, තෙල් වැඩි ආහාර අඩු කළ යුතු බවත්, ලුණු ප්‍රමාණය සීමා කළ යුතු බවත්, වයස අවුරුදු 40න් පසු කිරි සහ සීනි ප්‍රමාණය අඩු කළ යුතු බවත් විශේෂඥයෝ නිර්දේශ කරති. නිස්කලංකව මෙනෙහි කිරීම සඳහා කාලය සොයාගැනීමටද උත්සාහ කළ යුතුය. ස්වභාවධර්මයාගේ සුන්දරත්වය තුළින් ආස්වාදයක් ලැබීමෙන්ද මානසික පීඩනය තවත් අඩු කරගත හැකිය.

රූපශ්‍රීයට විසක පිහිටක්

සමේ රැලි ඉවත් කිරීමට නව රූපලාවණ්‍ය ක්‍රමයක් දැන් යොදාගැනේ. එසේ කිරීමට මාරක විෂ ද්‍රව්‍යයක් වන බොටුලිනම් ශ්‍රාවය කරන බැක්ටීරියාවක් කටුවකින් සමට ඇතුල් කරනු ලැබේ. එම වාර්තාව සපයන්නේ ද ටොරොන්ටෝ ස්ටාර් නමැති පුවත්පතය. මෙම විෂ ද්‍රව්‍ය මුහුණේ අවශ්‍ය තැන්වලට විදීමේදී ඇතැම් පේශි ක්‍රියා විරහිත වේ. ඒ හේතුවෙන් දින කිහිපයක් ඇතුළත, රැලි ඉවත් වේ. මෙම ප්‍රතිකාරයට මාස හතරක් පමණ ගත වන අතර, ප්‍රතිකාරය ලබන්නාට මෙමගින් වඩා තාරුණ්‍ය පෙනුමක් ලබා දෙයි. කෙසේවෙතත්, ඉන් යම් අවාසියක් සිදු වන බව පැවසිය යුතුය. එම වාර්තාවෙහි මෙම අනතුරු ඇඟවීම ඇත. “එම ප්‍රතිකාරය ලබන අයගේ සමේ රැලි ඉවත් වුවත්, පුදුමයෙන් තම ඇහි බැමි ඉහළ යැවීමට, මුව පුරා සිනාසීමට සහ රවා බැලීමට ඇති හැකියාව නැති වේ.” “තරුණ පෙනුමක් ලබාගැනීමට නම්, ඔබේ මුහුණෙන් හැඟීම් පළ කිරීමට තිබෙන ඇතැම් හැකියාවන් පරිත්‍යාග කිරීමට” ඔබ සූදානම් විය යුතුය.

“දෙවියන් කාගේ පැත්තේද?”

“මම කැමති නැහැ කාගෙවත් ආගම පහත් කරන්න. හැබැයි, ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයෝ ප්‍රසිද්ධියේම තම භක්තිය ප්‍රකාශ කරන එක අනවශ්‍යයි කියලා නම් මම හිතනවා. ඔබටත් එහෙම දැනිලා තියෙනවාද? ගෝල් එකක් ගැහුවට පස්සේ පාපන්දු ක්‍රීඩකයන් ස්තුති යාච්ඤා කරන්නේ ඇයි?” ක්‍රීඩා විස්තර විචාරක සැම් ස්මිත් තම කතුවැකියක එම අදහස් පළ කළේය. තරඟයකට පසුව එකට යාච්ඤා කරන ක්‍රීඩක පිරිසම තවත් අවස්ථාවක “වාර්තාකරුවන්ට බැණ වදියි.” තරඟයක් අතරතුරේදී ප්‍රතිවාදී පිළේ “ක්‍රීඩකයන්ට යම් ශාරීරික හානියක් කරන්න උත්සාහ කරයි.” දෙවියන් එක කණ්ඩායමකට වැඩි මනාපයක් දක්වනවා කියා සිතීම “දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය බාල කරනවා කියන එකයි මගේ හැඟීම.” එමනිසා ඔහුගේ ලිපිය අවසන් වන්නේ මෙලෙසයි. “අපි ක්‍රීඩාවට අනවශ්‍ය ආගමික මුහුණුවරක් දීමෙන් වැළකෙමු.”

අවදානම් සහිත වෘත්තීන්

අවදානම වැඩිම වෘත්තීන් දහය මොනවාද? එක්සත් ජනපදයේ ශ්‍රම සංඛ්‍යා ලේඛන කාර්යාංශය පිළියෙළ කළ විස්තරයකට අනුව, ලී ඉරන ශ්‍රමිකයන්ට පළමු ස්ථානය හිමි වේ. සෑම සේවකයන් 1,00,000කින් 129දෙනෙකුට ආසන්න පිරිසක් මරු දකිති. දෙවන ස්ථානය හිමි වන්නේ ධීවරයන්ටය. එනම් 1,00,000කට 123දෙනෙකි. තෙවන ස්ථානය හිමි වන්නේ නාවිකයන්ටයි. එනම් 1,00,000කට 94දෙනෙකි. අවදානමක් ඇති තවත් වෘත්තීන් මෙලෙස ලැයිස්තුගත කරන ලදි. ගුවන් නියමුවන්, ලෝහ වැඩ කරන්නන්, පතල්කරුවන්, ඉදි කිරීම් කටයුතුවල නිරත වන ශ්‍රමිකයන්, ටැක්සි රියැදුරන්, ට්‍රක් රථ රියැදුරන් සහ ගොවිපොළවල්වල සේවයකරන්නන් මේ අතර වේ. කෙසේවෙතත් සයන්ටිෆික් අමෙරිකන් නමැති සඟරාවට අනුව, සමස්තයක් වශයෙන් ගත් කල පසුගිය වසර පහ තුළදී, රැකියා වෙලාවේදී සිදු වන මරණ සංඛ්‍යාව සෑම 1,00,000කට 4.7කින් එනම් සියයට දහයකින් අඩු වී ඇත.

අපූරු පක්ෂීන්

ටෙර් සෝවාෂ් යන ප්‍රංශ පාරිසරික සඟරාවෙහි මෙම සිත්ගන්නා වාර්තාව ඇතුළත් විය. “කල්කටාවේ ගේකුරුල්ලන්ට මැලේරියාව වැළඳෙන්නේ නැත.” ඒ ඇයි? මැලේරියාවේ ව්‍යාප්තියත් සමඟම, මැලේරියා මර්දක බෙහෙතක් වන ක්විනින් අඩංගු ස්වාභාවික ශාක පත්‍ර වර්ගයක් සොයා ගේකුරුල්ලන් පෙරටත් වඩා දුරට පියාසර කරන ආකාරය විද්වතුන්ගේ අවධානයට ලක්ව ඇත. මෙම ශාක පත්‍ර උන්ගේ කූඩු සෑදීමට යොදාගන්නා අතරම, උන් ඒවා කන බවටත් සාක්ෂි ඇත. “නගරයට ප්‍රිය, මැලේරියාවට භය මෙම ගේකුරුල්ලන්, ආරක්ෂා වීමට මඟක් සොයාගෙන ඇති බව පෙනේ.”

අපවිත්‍ර මුදල් නෝට්ටු

ගාඩියන් පුවත්පතේ වාර්තාවකට අනුව, ලන්ඩනයේ මුදල් නෝට්ටුවලින් සියයට 99කටත් වැඩි සංඛ්‍යාවක කොකේන් ගෑවී ඇත. විශේෂඥයෝ නෝට්ටු 500ක් පරීක්ෂා කළ විට, ඉන් 496කම කොකේන් අංශුමාත්‍ර ඇති බව සොයාගත්හ. මෙම නෝට්ටුවල කොකේන් ගෑවුණේ කෙසේද? මත්ද්‍රව්‍ය භාවිත කරන්නෝ මුදල් පරිහරණය කරති. එම මුදල් නෝට්ටු බැංකුවට ගිය විට හෝ වෙනත් නෝට්ටු සමඟ එකට ගබඩා කරන විට, තවත් නෝට්ටුවල කොකේන් ගෑවෙයි. බ්‍රිතාන්‍යයේ අවුරුදු 20 සිට 24 දක්වා යෞවන යෞවනියන් අතර, කොකේන්වලට පුදුම ඉල්ලුමක් තිබේ. ලන්ඩන්හි පිහිටා ඇති යෞවන කටයුතු ව්‍යාපෘතියකට අනුව යෞවනයන් කොකේන් පාවිච්චි කරන්නේ එය ඔවුන්ගේ ප්‍රසිද්ධියටත්, බලයටත් රුකුලක් බව හැඟෙන හෙයිනි.

“රුධිරය හේතුවෙන් වැඩියෙන්ම බෝවන රෝගය”

“අඩුම තරමින් අමෙරිකානුවන්ගෙන් මිලියන 2.7කට පමණවත් හෙපටයිටිස් C වයිරසය තිබේ. එමනිසා එක්සත් ජනපදයේ රුධිරය හේතුවෙන් වැඩියෙන්ම බෝවන රෝගය එයයි.” එසේ සඳහන් වූයේ මාධ්‍යවේදීන්ගේ වාර්තාවකය. හෙපටයිටිස් C වයිරසය මූලිකවම බෝවන්නේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් හෝ දූෂිත වූ රුධිරය තුළිනි. මෙම අවදානමට වැඩියෙන්ම නිරාවරණය වන්නේ, විදින කටු වගවිභාගයකින් තොරව භාවිත කරන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සහ අනාරක්ෂිතව ලිංගික සංවාසයෙහි යෙදෙන අයයි. කෙසේවෙතත්, පච්ච කොටන්නන් සහ කටු චිකිත්සාව කරන්නන් තම උපකරණ නිසි ලෙස පිරිසිදු කරන්නේ නැත්නම්, මෙම වයිරසය බෝ විය හැක. රුධිර ප්‍රවේශනය කරන්නන්ද මෙම අවදානමට නිරාවරණය වී සිටී. මෙම වයිරසය නිසා අක්මාව ක්‍රියාවිරහිත විය හැක. එමනිසා, එක්සත් ජනපදයේ වසරකට පුද්ගලයන් 1,000දෙනෙක් පමණ අක්මා බද්ධ කිරීමේ සැත්කම්වලට භාජන වෙති.