Skip to content

පටුනට යන්න

නමට පියෙක් වීම නියම පිරිමිකමක්ද?

නමට පියෙක් වීම නියම පිරිමිකමක්ද?

යෞවන අය අසති . . .

නමට පියෙක් වීම නියම පිරිමිකමක්ද?

“මම දන්න [පිරිමි ළමයි] කිහිපදෙනෙක් ඉන්නවා. ඒගොල්ලො කියනවා ‘මට දුවෙක් ඉන්නවා, එයා ජීවත් වෙන්නේ මෙහේ, පුතා ජීවත් වෙන්නේ අරහෙ’ කියලා. හැබැයි ඒගොල්ලන් ඒක කියන්නේ, කිසිම ගානක් නැතුව.”—හැරල්ඩ්.

අමෙරිකාවේ සෑම වසරකදීම නහඹර වියේ ගැහැනු ළමයින් මිලියනයක් පමණ ගැබ්ගන්නවා. මෙසේ ඉපදුන දරුවන් විශාල ගණනකගේ මව්වරුන් අවිවාහකයන්. මෙම නහඹර වියේ මව්වරුන්ගෙන් හතරෙන් එකක්ම ඊළඟ අවුරුදු දෙක තුළදී තම දෙවන දරුවා බිහි කරනවා. “මෙම තත්වය දිගටම පැවතුණොත්, අද කාලයේ ඉපදෙන සියලුම දරුවන්ගෙන් අඩකටත් වඩා අඩු සංඛ්‍යාවකට විතරයි තමන්ගේම මව සහ පියා ළඟ තම ළමා කාලය ගත කරන්න ලැබෙන්නේ. ඒ වගේම බොහෝ අමෙරිකානු දරුවන්ට අවුරුදු කිහිපයක්ම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ මවත් සමඟ පමණයි” කියා ඇට්ලැන්ටික් මන්ත්ලි යන සඟරාව පවසනවා.

නහඹර වියේ ගැබ්ගැනීම් ප්‍රමාණය වෙනත් සංවර්ධිත රටවලට වඩා එක්සත් ජනපදයේ වැඩි වුවත්, මෙම අවිවාහක දරු උපත් ලොව පුරාම පවතින ගැටලුවක්. සමහර යුරෝපීය රටවල් වන එංගලන්තයේ සහ ප්‍රංශයේ සිදු වන මෙවන් දරු උපත් සංඛ්‍යාව එක්සත් ජනපදයේ සංඛ්‍යාවට සමානයි. සමහර අප්‍රිකානු සහ දකුණු අමෙරිකානු රටවල්වල නහඹර වියේ ගැහැනු ළමයි බිහි කරන දරුවන් සංඛ්‍යාව එක්සත් ජනපදයේ සංඛ්‍යාව මෙන් දෙගුණයක්. ඇත්තටම මෙම ගැටලුවට හේතුව කුමක්ද?

ගැටලුවට හේතුව

අප ජීවත් වන “අසීරු අර්බුදකාරි” කාලයේ ලක්ෂණයක් වන පහත් සදාචාරය මෙම තත්වයට බොහෝදුරට හේතු වෙනවා. (2 තිමෝති 3:1-5, NW) මෑත දශකයේදී දික්කසාද වීමේ ප්‍රතිශතය ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති අතර, සමලිංගික සේවනය සහ වෙනත් විකල්ප ජීවන රටාවන් ජනප්‍රිය වී තිබෙනවා. මාධ්‍ය ප්‍රචාරකයන් ඉලක්ක කරන්නේ යෞවනයන්වයි. අශික්ෂිත සංගීතය සහ එම සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශන, සාහසික දේ අඩංගු සඟරා ලිපි සහ වෙළඳ දැන්වීම්, රූපවාහිනී නාට්‍ය සහ චිත්‍රපට මගින් තමන්ට කැමති කෙනෙක් සමඟ ලිංගික හැසිරීම්වල යෙදීමට දිරිගන්වනවා. ගබ්සා සිදු කිරීමේ සේවාවන් සහ පහසුවෙන් ලබාගත හැකි උපත් පාලන ක්‍රම ලිංගික හැසිරීමෙන් කිසිම අහිතකර විපාකයක් අත් වෙන්නේ නෑ කියා යෞවන අය අතර පවතින ආකල්පයට ප්‍රබල බලපෑමක් වී තිබෙනවා. එක් අවිවාහක පියෙක් පැවසුවේ මෙහෙමයි: “මට ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඕනේ. හැබැයි වගකීම දරන්න නම් කැමති නෑ.” තවත් කෙනෙක් පැවසුවේ “ලිංගිකව හැසිරීම නියම විනෝදයක්” කියායි.

මෙවැනි ආකල්ප බොහෝදුරට පැතිර පවතින්නේ දුප්පත් තරුණයන් අතරයි. ඉලයිජා ඇන්ඩසන් නමැති පර්යේෂකයා නාගරික තරුණයන් බොහෝදෙනෙකු සමඟ සිදු කළ විමසුමකින් පසුව මෙසේ නිරීක්ෂණය කළා: “පිරිමි ළමුන් බොහෝදෙනෙකු ලිංගික සංවාසය යොදාගන්නේ තමන්ගේ සමාජීය තත්වය හුවා දැක්වීම සඳහායි. ඔවුන් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම විශිෂ්ට ජයක් ලෙසයි සලකන්නේ.” එක් අවිවාහක පියෙක් පිබිදෙව්! සඟරාවට පැවසුවේ ලිංගික ඇසුරක් පැවැත්වීමට සමත් වන සෑම අවස්ථාවක්ම බොහෝදෙනෙක් සලකන්නේ ලොකු “හපන්කමක් හැටියටයි, නැතහොත් තම පිරිමිකම ඔප්පු කරන සාක්ෂි හැටියට” කියායි. ඇත්තෙන්ම එවැනි පහත් නින්දිත ආකල්පයකට හේතුව කුමක්ද? ඇන්ඩසන් පැහැදිලි කරන ආකාරයට මෙයට හේතුව, නාගරික තරුණයන්ගේ ජීවිත හා බැඳි වැදගත්ම පුද්ගලයන් වන්නේ “ඔවුන්ගේ මිතුරු කණ්ඩායම වීමයි. ඔවුන් තමයි ඔහු හැසිරිය යුතු විදිහ තීරණය කරන්නේ. ඔවුන් කියන කියන දේ කරන එක තමයි ඔහුගේ ජීවිතයේ වැදගත්ම දෙය.”

ඇන්ඩසන් තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් සොයාගත්තේ, බොහෝ තරුණයන්ට ලිංගික හැසිරීම් තුළින් ලබන ජයග්‍රහණයන් ඇත්තටම සෙල්ලමක් බවයි. “ලිංගික හැසිරීමට හවුල් වන අනෙක් පුද්ගලයාව එනම් තරුණියව මෝඩයාට ඇන්දවීම තමයි ඔවුන්ගේ අරමුණ.” ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: “මෙම සෙල්ලමට තරුණයා තමාව ඉදිරිපත් කරන විලාශයත් සම්බන්ධයි. මෙයට ඔහු අඳින පළඳින ආකාරය, ඔහුගේ පෙනුම, නටන්න ඇති හැකියාව සහ සිත් දිනාගන්න විදිහට කතා කිරීමේ දක්ෂතාව වැනි අංගයන් ඇතුළත්.” බොහෝ යෞවනයන්ට මේ “සෙල්ලම” ජයගැනීමට හොඳ පළපුරුද්දක් තියෙනවා. “හැබැයි ගැහැනු ළමයා ගැබ්ගත් විගසම මෙම තරුණයන් මඟහැර යනවා” කියා ඇන්ඩසන් සඳහන් කරනවා.—රොබට් ල’මන් සහ තියඩෝරා ඌම්ස් විසින් සංස්කරණය කරන ලද, තරුණ අවිවාහක පියවරුන්—වෙනස් වන ක්‍රියා කලාපය හා ඒ සම්බන්ධයෙන් පනවන නීති, ඉංග්‍රීසියෙන්.

දෙවි බලන ආකාරය

ඇත්තටම නමට පියෙක් වීම කෙනෙකුව නියම පිරිමියෙක් කරනවාද? ලිංගික හැසිරීම නිකම්ම සෙල්ලමක්ද? අපගේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ දෘෂ්ටියට අනුව නම් එසේ නොවෙයි. ඔහුගේ වචනය වන බයිබලයේ පැහැදිලිව පවසන්නේ ලිංගික හැසිරීමට උදාර අරමුණක් ඇති බවයි. පළමු පුරුෂයා සහ ස්ත්‍රියව මැවූ ආකාරය ගැන පැවසූ පසු, බයිබලයේ මෙසේ කියා තිබෙනවා: ‘දෙවි ඔවුන්ට ආශීර්වාද කර මෙසේ පැවසීය: බෝවී වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න.’ (උත්පත්ති 1:27, 28) පියවරුන් විසින් තම දරුවන්ව අත්හැර දමා යෑම කිසිවිටකත් දෙවිගේ අරමුණ නොවීය. ඔහු පළමු ස්ත්‍රිය සහ පුරුෂයාව විවාහය නමැති කල්පවතින බැඳීමෙන් එක් කළ අතර, සෑම දරුවෙකුම පියෙක් සහ මවක් ඇතුව සිටීම ඔහුගේ කැමැත්ත වුණා.—උත්පත්ති 2:24.

අතීතයේදී මනුෂ්‍යයන් විසින් බොහෝ භාර්යාවන් පාවාගත්තා. (උත්පත්ති 4:19) සමහර දේවදූතයන් පවා ‘මනුෂ්‍ය දූවරුන් ශෝභන බව දැක,’ මනුෂ්‍ය ශරීරවලින් මූර්තිමත් වී තෘෂ්ණාවෙන් පෙලඹී “තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්” බව උත්පත්ති 6:2 පවසනවා. (ඇල අකුරු අපගේය.) නෝවාගේ ජලගැල්මේදී මෙම භූතයන්ට නැවතත් ආත්ම විෂයට යෑමට සිදු වුණා. කෙසේනමුත්, දැන් එම භූතයන්ව පොළොවට හෙළා ඇති අතර, ඔවුන්ගේ බලපෑම් අපගේ පොළොවට පමණක් සීමා වී තිබෙනවා කියා බයිබලයේ සඳහන් කරනවා. (එළිදරව් 12:9-12) මෙම භූතයන් මෙන්ම සාතන් අදදින සිටින මනුෂ්‍යයන්ට බලපෑම් කිරීමට මහත් වෑයමක් දරනවා. (එපීස 2:2) තරුණයන් විසින් තමන්ට අවශ්‍ය නැති එමෙන්ම තමන් ආදරය නොකරන දරුවෙකුව ජනිත කිරීමෙන්, නොදැනුවත්වම එම දුෂ්ට බලපෑමට යටත් වෙනවා.

බයිබලය මෙසේ පවසන්නේ හොඳ හේතු ඇතිවයි: ‘දෙවිගේ කැමැත්ත නම් ඔබ ශුද්ධව සිටීමය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් [වේශ්‍යාකමින්] වැළකී සිටිය යුතුය. ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධවද, ගෞරවයෙන් යුක්තවද තබාගැනීමට දැනගත යුතුය. දෙවි නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතුය. මේ කාරණයේදී කිසිවෙකු තම සහෝදරයා රවටා වාසියක් නොගත [සහෝදරයාට හිංසා නොකළ යුතුය. ඔහුගේ අයිතිය පැහැර නොගත, NW] යුතුය. මන්ද, මෙබඳු අයට යෙහෝවා විපාක දෙන්නේය.’—1 තෙසලෝනික 4:3-6, නව අනුවාදය.

‘වේශ්‍යාකමින් වළකින්න’ යන අවවාදය බොහෝ යෞවනයන් විහිළුවකට ගන්න පුළුවන්. ඊට හේතුව ඔවුන් තරුණ වියේ පසු වන නිසා ඔවුන්ගේ ලිංගික හැඟීම් බලවත්ව තිබීමයි! එහෙත් වේශ්‍යාකම අනෙක් පුද්ගලයාගේ ‘අයිතිය පැහැරගැනීමක් මෙන්ම හිංසාවක්’ බව අමතක නොකරන්න. ස්වාමිපුරුෂයෙකුගේ යුතුකම ඉටු නොකර තරුණියක්ව තම දරුවා සමඟ අත්හැර යෑම එම තරුණියට කරන හිංසාවක් නොවෙයිද? ඒ වගේම ලිංගිකව බෝවන රෝග වන හර්පීස්, සිෆිලිස්, ගොනෝරියා හා ඒඩ්ස් වැනි රෝග ඇයට ආසාදනය වීමට ඇති ඉඩ කඩ ගැන පැවසීමට ඇත්තේ කුමක්ද? සමහර අවස්ථාවලදී එවැනි දේවල් වළක්වාගැනීමට පුළුවන් බව ඇත්තයි. එසේ වුවත්, විවාහයට පෙර ලිංගිකව හැසිරීම මගින් යෞවනියකගේ හොඳ නම සහ කන්‍යාවක් ලෙස විවාහයට පිවිසීමට ඇති ඇගේ අයිතිය උදුරාගැනීමක් සිදු වෙනවා. එසේ නම්, වේශ්‍යාකමෙන් වැළකී සිටීම නුවණට හුරු වන අතර එයින් මේරුකම පිළිබිඹු වෙනවා. “තමාගේ ශරීරය දමනය කරගෙන” විවාහයට පෙර ලිංගික හැසිරීමෙන් වැළකීමට නම් ආත්ම දමනය මෙන්ම හොඳ අධිෂ්ඨානයක් අවශ්‍ය බව ඇත්තයි. නමුත් යෙසායා 48:17, 18හි පවසන පරිදි දෙවි ඔහුගේ නීති මගින් ‘අපට ප්‍රයෝජන ලබාගැනීමට උගන්වයි.’

“පුරුෂයන් මෙන් සිටින්න

තරුණයෙකුට තමා නියම පිරිමියෙක් කියා ඔප්පු කළ හැක්කේ කෙසේද? අවජාතක දරුවන් ජනිත කිරීමෙන් නම් නොවෙයි. බයිබලයෙහි පවසන්නේ මෙසේයි: “අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න. නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.”—1 කොරින්ති 16:13, 14.

“පුරුෂයන් මෙන් සිටින්න” යන උපදෙසට අයත් වන්නේ, සුපරීක්ෂාකාරි වීම, ඇදහිල්ලේ ස්ථිරව සිටීම, ධෛර්යවත් වීම සහ ප්‍රේමනීය වීම බව සැලකිල්ලට ගන්න. මෙම ප්‍රතිපත්ති පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද එක සේ අදාළයි. ඇත්තෙන්ම ඔබ මෙවැනි ආත්මික ගුණාංග වර්ධනය කරගන්නා විට මනුෂ්‍යයන් ඔබව නියම පුරුෂයෙක් ලෙස අගය කිරීමට සහ ඔබට ගරු කිරීමට යන බව නිසැකයි! මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් පාඩමක් ඉගෙනගත හැකියි. වද හිංසා සහ මරණය ඉදිරියේ පවා ඔහුට තිබූ නිර්භීතකම ගැන මොහොතකට සිතා බලන්න. එහෙත් යේසුස් විරුද්ධ ලිංගයේ අය සමඟ ආශ්‍රය කළේ කෙසේද?

යේසුස් ස්ත්‍රීන් සමඟ ඕනෑ තරම් ආශ්‍රය කළා. මන්ද ඔහුව අනුගමනය කළ බොහෝ ස්ත්‍රීන් සිටියා. ඔවුන්ගෙන් සමහරෙක් යේසුස්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට ‘තමන්ගේ වස්තුවෙන් පවා උපස්ථාන කළා.’ (ලූක් 8:3) විශේෂයෙන් ඔහු ලාසරුස්ගේ සහෝදරියන් දෙදෙනාට සමීපව සිටියා. ඇත්තෙන්ම යේසුස් ‘මාර්තාටද ඇගේ සහෝදරීටද ප්‍රේම කළා’ කියා බයිබලයේ පවසනවා. (යොහන් 11:5) නමුත් යේසුස් පරිපූර්ණ මනුෂ්‍යයෙකු ලෙස තමන්ට උරුම වූ කඩවසම් සහ සිත් ඇදගන්නා ශාරීරික පෙනුම, මෙම ස්ත්‍රීන්ව දුරාචාර හැසිරීමකට පොලඹවාගැනීමට යොදාගත්තාද? යේසුස් කිසිවිටකත් එසේ කළේ නෑ. ‘ඔහු කිසි පාපයක් නොකළේය’ කියා බයිබලයේ පවසනවා. (1 පේතෘස් 2:22) දුරාචාරයෙහි යෙදුණු පව්කාරියක් වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ ස්ත්‍රියක්, ‘ඔහුගේ පාද ළඟ සිට හඬ හඬා, ඔහුගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඒවා ඇගේ හිසකෙස්වලින් පිස දැම්මා.’ මේ අවස්ථාවේදීවත් යේසුස් වැරදි ලෙස හැසුරුණේ නෑ. (ලූක් 7:37, 38) යේසුස් පහසුවෙන්ම රවටාගත හැකි එවැනි ස්ත්‍රියකගෙන් වුණත් අයුතු ප්‍රයෝජන ගැනීමට සිතුවේ නෑ! ඔහු හැඟීම් පාලනය කිරීමට තිබූ තම හැකියාව මනා ලෙස නිරූපණය කළා. එයයි නියම පිරිමිකම! ඔහු ස්ත්‍රීන්ට සැලකුවේ ලිංගික භාණ්ඩ ලෙස නොව, නමුත් ප්‍රේමය සහ ගෞරවය ලැබීමට සුදුසු අය ලෙසයි.

ඔබ තරුණ ක්‍රිස්තියානි පුරුෂයෙක් නම්, ඔබගේ මිත්‍රයන්ගේ හැසිරීම් රටාව අනුකරණය නොකර යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න. එවිට ‘තවත් කෙනෙකුට හිංසා කිරීමට සහ ඔවුන්ගේ අයිතිය පැහැරගැනීමට’ තිබෙන වැරදි පෙලඹීමෙන් එය ඔබව වළක්වන්න යනවා. අවජාතක දරුවෙකු බිහි කිරීම නිසා පසු කාලයකදී ඇති විය හැකි සිත්තැවුල්වලින් පවා එය ඔබව ආරක්ෂා කරයි. ඔබ වේශ්‍යාකමින් වැළකීම නිසා අන්‍යයන්ගේ සිනහවට ලක් වුවත්, ඔබට දෙවිගෙන් ලැබෙන අනුමැතිය මිතුරන්ගෙන් ලැබෙන තාවකාලික අනුමැතියට වඩා වටිනා යමක් බව කිසිවිටකත් අමතක කරන්න එපා.—හිතෝපදේශ 27:11.

තරුණයෙක් අතීතයේදී දුරාචාර ජීවිතයක් ගත කර පසුව අවංකවම ඒ ගැන පසුතැවී එම ජීවිතය අත්හැර ඇත්නම් තත්වය කුමක්ද? නුසුදුසු ලිංගික හැසිරීමේ යෙදී, පසුව අවංකවම පසුතැවී දෙවිගෙන් සමාව ලබාගත් දාවිත් රජ මෙන්, ඔහුටත් දෙවිගේ සමාව බලාපොරොත්තු විය හැකියි. (2 සාමුවෙල් 11:2-5; 12:13; ගීතාවලිය 51:1, 2) නමුත් විවාහයට පෙර තරුණිය ගැබ්ගෙන ඇත්නම් තත්වය බැරෑරුම් ලෙස සැලකීමට තරුණයාට සිදු වෙයි. ඔහු එම තරුණියව විවාහ කරගත යුතුද? ඒ වගේම, ඔහුගේ දරුවා වෙනුවෙන් ඉටු කිරීමට යම් වගකීම් තිබෙනවාද? මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු මතු ලිපියකින් දැනගන්න ලැබේවි.

[15වන පිටුවේ පින්තූර]

ලිංගික හැසිරීමෙන් කිසිම අහිතකර විපාකයක් අත් වෙන්නේ නෑ කියා බොහෝ යෞවනයන් තුළ වැරදි විශ්වාසයක් තිබෙනවා