Skip to content

පටුනට යන්න

ප්‍රවෘත්තිද නැත්නම් කාලය කා දමන තොරතුරුද?

ප්‍රවෘත්තිද නැත්නම් කාලය කා දමන තොරතුරුද?

ප්‍රවෘත්තිද නැත්නම් කාලය කා දමන තොරතුරුද?

මාධ්‍ය කටයුතු නිරීක්ෂණ කණ්ඩායමක් අමෙරිකාවේ නගර 52ක ප්‍රවෘත්ති වැඩසටහන් 102ක් විශ්ලේෂණය කළා. නිරීක්ෂණය කළ ප්‍රවෘත්ති වැඩසටහන්වලින් ප්‍රවෘත්ති අඩංගු වූයේ සියයට 41.3ක පමණයි කියා ඔවුන් වාර්තා කළා. ප්‍රවෘත්ති විකාශන තුළ අඩංගු වූ අනෙක් තොරතුරු මොනවාද?

සාමාන්‍ය වශයෙන් ගත් කල රූපවාහිනි ප්‍රවෘත්ති විකාශන වේලාවේදී දකින දේවලින් සියයට 30.4ක්ම වෙළඳ දැන්වීම්. ඇත්තෙන්ම කියනවා නම් සමහර විකාශන මධ්‍යස්ථාන වැඩි කාලයක් වෙන් කරන්නේ ප්‍රවෘත්තිවලට වඩා වෙළඳ දැන්වීම්වලටයි. මීට අමතරව, ප්‍රවෘත්ති විකාශන වේලාව පුරාම දකින්නේ වැදගැම්මකට නැති දේවල් කියා එම අධ්‍යයන වාර්තාව පෙන්නුම් කරනවා. a “වැදගැම්මකට නැති” දේවල් යන මාතෘකාව යටතේ එම වාර්තාව පහත දැක්වෙන දේවල් පෙන්වා දෙනවා: “නිවේදකයන් දෙදෙනා අතර ඇති වන විහිළු තහළු ඇතුළු කතා බහ, යම් යම් දේවල්වලට පුළුල් ප්‍රචාරයක් ලබා දීම, විකාශනය වීමට නියමිත වැඩසටහන් ගැන විස්තර, ‘බොළඳ’ නැතහොත් විකාර කතා සහ ප්‍රසිද්ධ පුද්ගලයෙකු පිළිබඳ විශේෂාංගයක්.” වැදගැම්මකට නැති ප්‍රවෘත්ති ලෙස “ඔබේ ප්‍රියතම ගායක ගායිකාවන් සමඟ පිළිසඳරක්,” “වාර්තාකරු ත්‍රාසජනක සවාරියක් යයි,” “විශාල ජන පිරිසක් සුපිරි වෙළඳසැල්වලින් බඩු තොග පිටින් මිල දී ගනියි” වැනි දෑ දැක්විය හැක.

සැබවින්ම ප්‍රවෘත්ති ලෙස සැලකිය හැක්කේ කුමන තොරතුරුද? විකාශන වේලාවේදී අපරාධ පිළිබඳ තොරතුරු සියයට 26.9ක් ඉදිරිපත් කරනවා. “ප්‍රාදේශීය රූපවාහිනි ප්‍රවෘත්තිවලදී ප්‍රධානතම තැන ලැබෙන්නේ ලේ වැගිරීම් හෝ අපරාධ සම්බන්ධ තොරතුරුවලටයි. . . . පසුගිය අවුරුදු කිහිපය තුළ අමෙරිකාව පුරාම අපරාධවල පහත වැටීමක් සිදු වුණත්, ප්‍රාදේශිය ප්‍රවෘත්තිවල එවන් පහත වැටීමක් දක්නට නොලැබුණි.” මෙම අධ්‍යයනයේ නිරීක්ෂකයන්ට අනුව මෙයට හේතුව වන්නේ, “අපරාධ පිළිබඳ තොරතුරුවලට මනුෂ්‍යයන්ගේ අවධානය ඇදගැනීමට ඇති හැකියාවයි.”

අපරාධවලට පසු ඊළඟ අංගය වන්නේ විපත් පිළිබඳ තොරතුරුයි. එයට ගිනි ගැනීම්, රිය අනතුරු, ජලගැලීම් සහ පිපිරීම් ආදිය (ප්‍රවෘත්ති විකාශනයකින් සියයට 12.2ක) ඇතුළත්. ඉන්පසුව ක්‍රීඩා තොරතුරු (සියයට 11.4ක්), සෞඛ්‍යය පිළිබඳව (සියයට 10.1ක්), ආණ්ඩු ගැන (සියයට 8.7ක්) සහ ආර්ථික පුවත් (සියයට 8.5ක්) ඉදිරිපත් කරනවා. අධ්‍යාපනය, පරිසරය, කලාව සහ විද්‍යාව වැනි මාතෘකාවලට ලැබුණේ ඉතා අඩු අවධානයක් (සියයට 1.3 සිට 3.6ක් දක්වා). එහෙත් කාලගුණ වාර්තාව සෑම ප්‍රවෘත්ති විකාශනයක් තුළම සියයට 10ක සාමාන්‍යයක් දක්නට තිබෙනවා. “හැමෝම කැමති කාලගුණය ගැන කතා කරන්න. රූපවාහිනි ප්‍රවෘත්තිවල කිසිම විශේෂත්වයක් නෑ” කියා නිරීක්ෂකයන් පැවසුවා. ඔවුන් තවදුරටත් පැවසුවේ: “කාලගුණය හොඳ හෝ නරක වුණත්, උණුසුම් හෝ සීත වුණත්, තෙත් හෝ වියළි වුණත් එය ප්‍රවෘත්ති විකාශනයක හොඳින් ආවරණය කෙරෙනවා.”

මෙම වාර්තාවට අනුව මාධ්‍යවේදීන් සහ නරඹන්නන් විශාල සංඛ්‍යාවක් වෙනස්කම් සිදු කිරීමේ අවශ්‍යතාව වටහාගෙන තිබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්. කෙසේවුවත් අධ්‍යයනයෙන් පෙන්වන්නේ එවැනි වෙනස්කම් කිරීම පහසු නැති බවයි. “තරඟකාරිත්වය සහ ගිජුකම මාධ්‍ය කටයුතුවලට මහත් තර්ජනයක් එල්ල කිරීම” එයට හේතුවයි.

[පාදසටහන]

a රෝකි මවුන්ටන් මාධ්‍ය කටයුතු නිරීක්ෂණ කණ්ඩායමේ ආචාර්ය පෝල් කිලයිට්, ආචාර්ය රොබට් ඒ. බාඩ්වෙල් සහ ජෙසන් සාල්ස්මන් විසින් සම්පාදිත, ප්‍රවෘත්ති විකාශනයක අඩංගු විය යුතු දෑ පිළිබඳව සාකච්ඡා කරන, මහජන සුභසිද්ධියට දායක නොවන අමෙරිකාවේ ප්‍රාදේශිය රූපවාහිනි ප්‍රවෘත්ති (ඉංග්‍රීසියෙන්) නමැති හතරවන වාර්ෂික සමාලෝචනය.