Skip to content

පටුනට යන්න

බලාපොරොත්තු සුන් වෙද්දී කළ හැකි දේ

බලාපොරොත්තු සුන් වෙද්දී කළ හැකි දේ

බයිබලයේ දෘෂ්ටිකෝණය

බලාපොරොත්තු සුන් වෙද්දී කළ හැකි දේ

බලාපොරොත්තු සුන්වීම යම් දුරකට සැමටම පොදු දෙයක්. කෙසේවුවත්, සමහරු අන්තයටම කලකිරී, ජීවත් වෙනවට වඩා හොඳයි මැරෙනවා නම් කියා සිතන්න පෙලඹෙනවා.

දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන්ට පවා බලාපොරොත්තු සුන්වීමට මඟ පාදන ගැටලු හා පීඩනවලින් මිදිය නොහැකි බව බයිබලයේ පෙන්වනවා. උදාහරණයක් වශයෙන්, දෙවි සමඟ හොඳ සබැඳියාවක් භුක්ති වින්ද එලියා හා යෝබ් යන දෙදෙනා ගැන සලකා බලන්න. නපුරු යෙසෙබෙල් රැජිනගෙන් ගැළවී පණ බේරාගැනීමට පලාගිය එලියා “මාගේ ප්‍රාණය ගතමැනව” කියා ‘යෙහෝවාගෙන්’ ඉල්ලා සිටියා. (1 රාජාවලිය 19:1-4) පිළිකුල්සහගත රෝගයක් මෙන්ම දරුවන් දහදෙනාගේ මරණය ඇතුළත් ඛේදවාචකයන් ගණනාවක්ම ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු වූ යෝබ්ට අද්දකින්න සිදු වුණා. (යෝබ් 1:13-19; 2:7, 8) “වේදනා විඳිනවට වඩා හොඳයි මැරිලා යනව නම්” කියා පැවසීමට ඔහුගේ බලාපොරොත්තු සුන්භාවය ඔහුව පෙලඹුවා. (යෝබ් 7:15, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) පැහැදිලිවම, දෙවිගේ මෙම ඇදහිලිවන්ත මිනිසුන්ගේ කාන්සාව සෑහෙන්න තීව්‍ර වී තිබුණා.

වයසට යෑම, කලත්‍රයෙකුගේ මරණය හෝ දරුණු ආර්ථික ගැටලු හේතුවෙන් ඇති වන වේදනාකාරි ප්‍රතිඵල නිසා අදදින සමහරෙකුගේ බලාපොරොත්තු සුන්ව යා හැකියි. නිරන්තරයෙන්ම පවතින වෙහෙස, දුක්ඛදායක අද්දැකීමක් නිසා මුහුණ දෙන ප්‍රතිඵල හෝ කාලයක් පුරා අද්දකින පවුලේ ගැටලු නිසා, තවත් අයට හැඟෙන්නේ තමන් සාගරයක් මැද, වෙරළට ළඟා විය නොහැකිව රැලි අතරේ පොරබදිමින් සිටින අය වගේ කියලයි. එක් මනුෂ්‍යයෙක් මෙසේ පැවසුවා: “මම මැරිල ගියත් කිසි කෙනෙක් ගණන්ගන්න එකක් නෑ කියන නොවටිනාබවේ හැඟීමක් යමෙකුට ඇති වෙන්න පුළුවන්. එවැන්නෙකුට ඇති වෙන පාළුව සමහර අවස්ථාවලදී දරාගන්න බැරි වෙනවා.”

සමහර අවස්ථාවලදී මේ අතිශය කටුක පීඩනය ටිකෙන් ටික අඩු වී තත්වයන් හොඳ අතට හැරෙනවා. නමුත් අපේ තත්වයන් වෙනස් වුණේ නැත්නම් මොනවද කරන්නේ? බලාපොරොත්තු සුන් කර නොගෙන සිටීමට අපට උපකාර කරන්න බයිබලයට හැක්කේ කෙසේද?

උපකාර කරන්න බයිබලයට හැකියි

එලියාව හා යෝබ්ව ඔවුන්ගේ කරදර මධ්‍යයෙහි උසුලාගැනීමට යෙහෝවාට හැකියාව හා බලය තිබුණා. (1 රාජාවලිය 19:10-12; යෝබ් 42:1-6) ඒ බව දැන සිටීම අදදින අපට මොනතරම් සැනසීමක්ද! “[දෙවි] අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය” කියා බයිබලයේ පවසයි. (ගීතාවලිය 46:1; 55:22) බලාපොරොත්තු සුන් වූ හැඟීම්වලින් අපව යටපත් වී තිබෙන බවක් දැනිය හැකි වුවත්, යෙහෝවා තමන්ගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් අපව තදින් අල්ලාගෙන සිටින්න යන බවට පොරොන්දු වෙනවා. (යෙසායා 41:10) මෙම උපකාරයෙන් අපිට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?

යාච්ඤා කරන විට, “කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ [අපගේ] සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා” කියා බයිබලය පැහැදිලි කරනවා. (පිලිප්පි 4:6, 7) අපේ චිත්ත පීඩාව නිසා අපේ ගැටලුවෙන් ගොඩ එන්න ක්‍රමයක් නැහැ කියා අපට පෙනී යා හැකියි. කෙසේවෙතත්, අපි ‘යාච්ඤාවෙහි නොකඩවා පවතිනවා’ නම්, විඳදරාගැනීමට අපට අවශ්‍ය ශක්තිය සපයමින් අපේ හෘද හා මනස් ආරක්ෂා කිරීමට යෙහෝවාට හැකියි.—රෝම 12:12; යෙසායා 40:28-31; 2 කොරින්ති 1:3, 4; පිලිප්පි 4:13.

අවශ්‍ය කාරණය යාච්ඤාවෙන් දැන්වීමෙන් අපට ප්‍රයෝජන ලැබේවි. අපේ සිතුවිලි වචනයට නැඟීම අපට අසීරු විය හැකි මුත් අපට හැඟෙන දේ මෙන්ම ගැටලුවේ මුල හැටියට අප ඒත්තුගෙන තිබෙන දේ යෙහෝවා සමඟ කතා කිරීමට අපි පසුබට නොවිය යුතුයි. අධෛර්යයට පත් නොවී සෑම දවසක්ම ගත කිරීම සඳහා අපි ඔහුගෙන් ශක්තිය අයැදිය යුතුයි. අපට මෙවැනි සහතිකයක් තිබෙනවා: ‘ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙන්නේය; ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවන්නේය.’—ගීතාවලිය 145:19.

යාච්ඤා කරනවාට අමතරව, අපි තනි වී සිටීමෙන්ද වැළකී සිටිය යුතුයි. (හිතෝපදේශ 18:1) සමහරු අන්‍යයන් වෙනුවෙන් ඇප කැපවීමෙන් ශක්තියක් ලබා තිබෙනවා. (හිතෝපදේශ 19:17; ලූක් 6:38) මරියා a නම් ස්ත්‍රිය ගැන සලකා බලන්න. ඇය පිළිකාවකින් වේදනා වින්දා විතරක් නෙවෙයි එක අවුරුද්දක් ඇතුළත පවුලේ සාමාජිකයන් අටදෙනෙකුගේ මියයෑමත් අද්දැක්කා. ඇඳෙන් නැඟිට දෛනික වැඩකටයුතුවල යෙදෙන්න ධෛර්යය උපදවාගන්න මරියාට සිදු වුණා. අන්‍යයන්ට බයිබලය උගන්වන්න ඇය හැම දවසකම වගේ ගෙයින් පිටට ගිය අතර ක්‍රිස්තියානි රැස්වීම්වලටත් නිතිපතා සහභාගි වුණා. යළි නිවසට පැමිණි විට මරියාගේ පීඩාකාරි හැඟීම් අධික වුණා. කොහොම නමුත්, අන්‍යයන්ට උපකාර කිරීමට ඇයට හැකි ආකාරය ගැන කල්පනා කිරීම මරියාට විඳදරාගන්න උපකාරයක් වෙනවා.

නමුත් යාච්ඤා කරන්න අමාරු බව හෝ අපේම වෑයමෙන් තනිකම මකාගන්න බැරි බව අපට දැනෙනවා නම් කුමක්ද? එවැනි අවස්ථාවකදී අපි උපකාරය පැතිය යුතුයි. “සභාවේ වැඩිමහල්ලන්” වෙත හැරෙන්න කියා බයිබලය අපට දිරිගන්වනවා. (යාකොබ් 5:13-16) නිරතුරුවම පවතින කලකිරීමෙන් ගොඩ එන්න පොරබදින මනුෂ්‍යයෙක් මෙසේ පැවසුවා: “සමහරවිට තමන් විශ්වාස කරන කෙනෙක් එක්ක කතා කිරීම මනස සැහැල්ලු කරගන්නත්, තමන්ගේ ස්වභාවය සන්සුන්ව තබාගන්නත් උපකාර වෙනවා. එතකොට අනවශ්‍ය සිතුවිලි බැහැර කරන්න පුළුවන්.” (හිතෝපදේශ 17:17) දිගු කලක් පුරා පවතින කලකිරීම හා අධික කලකිරීම වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු ගැටලුවක් බව පෙනී යනවා නම් යෝග්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමත් අවශ්‍යයි. bමතෙව් 9:12.

පහසු විසඳුම් නැතත්, අපේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට උපකාර කිරීම සඳහා දෙවිට තිබෙන හැකියාව අපි අවතක්සේරු නොකළ යුතුයි. (2 කොරින්ති 4:8) යාච්ඤාවේ නොකඩවා පැවතීම, හුදකලා වීමෙන් වැළකීම හා සුදුසුකම් ඇති කෙනෙකුගෙන් උපකාරය පැතීම යළි ස්ථිරත්වයක් ලබාගැනීමට අපට උපකාර වෙනවා. අපව අතිශයින්ම බලාපොරොත්තු සුන් තත්වයකට පත් කරවන හේතු සාධකවලට දෙවි සම්පූර්ණ අවසානයක් ගෙනෙන බවට බයිබලය පොරොන්දු වෙනවා. ‘පළමු දේ මතක් කරනු ලබන්නේ නැති’ දවස එන තුරු බලා සිටිමින් ඔහු මත රඳා සිටීමට ක්‍රිස්තියානීන් අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා.—යෙසායා 65:17; එළිදරව් 21:4.

[පාදසටහන්වල]

a ඇගේ නියම නම නෙවෙයි.

b පිබිදෙව්! මගින් විශේෂිත ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ නැහැ. තමන් ගැනීමට යන ප්‍රතිකාරය බයිබල් ප්‍රතිපත්ති සමඟ නොගැටෙන බවට ක්‍රිස්තියානීන් වගබලාගත යුතුයි. වැඩි විස්තර සඳහා 1990 මාර්තු 1 මුරටැඹහි පිටු 18-22 බලන්න.